• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

හැම පැත්තෙන්ම ජන්දය ඉල්ලන පවුල් ගස්

August 4, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
හැම පැත්තෙන්ම ජන්දය ඉල්ලන පවුල් ගස්
Share on WhatsAppShare on Facebook

පිය උරුමයෙන් රටක පාලනය හිමි වීම සාම්ප්‍රදායික ක්‍රමය ලෙස පැවතුණේ රජවරුන් රට පාලනය කළ යුගයේදීය. අපේ රටේ පළමු රජ ලෙස සැලකෙන විජය රජුට දාව උපන් පුතුට රජකම හිමි නොවුණු නමුත් එතැනින් පසුව රජ වූ පඬුවස්දෙව් රජුගේ පටන් රාජ උරුමය හිමිව ඇත්තේ ඉහත කී ලෙසටය. සිංහල රාජාවලිය තුළ එම සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව රජකමට පත් රජවරුන් සිටින්නේ ඉතාම සීමිත ගණනකි. සියවස් ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ එම ක්‍රමය බිඳ වැටුණේ 1815දී මුළු දිවයිනම ඉංග්‍රීසීන්ගේ අණසකට යටත් වීමත් සමඟිනි. ඉංග්‍රීසීන් යටතේදීම ශ්‍රී ලාංකිකයන්ට සර්වජන ඡන්ද බලය හිමි වූ අතර නිදහස ලැබීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යටතේ පාලකයා තෝරා පත් කර ගැනීම සිදු වන්නේ මහජන ඡන්දය මඟිනි. නමුත් නිදහසින් පසු මෙරට පාලනය කළ දේශපාලනඥයන් රැසක්ම දේශපාලනයට පිවිසි ඇත්තේ තම පිය උරුමය සමඟින් හෝ තම ඥාතියකුගේ උරුමය සමඟින් වීම කැපී පෙනෙන කරුණකි. මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් පිළිබඳව විමසා බැලීමේදීද එය පැහැදිලිව දක්නට හැක.
මෙවර මැතිවරණයේදී අගමැති තනතුරට තරග වදින ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාම දේශපාලනය පිවිස ඇත්තේ ඉහත කී ආකාරයටය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පියා වන ඩී. ඒ. රාජපක්ෂ මහතා හිටපු ඇමැතිවරයකි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට පිවිස ඇත්තේ තම මාමණ්ඩිය වූ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ අඩිපාරේ යමිනි. සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා යනු හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතණුවන් බව කවුරුත් දන්නා කරුණකි. ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාට අමතරව මෙවර මැතිවරණයේදී රාජපක්ෂ උරුමය සමඟින් තරග වදින අපේක්ෂකයන් කිහිප දෙනකුම ඇත. ඒ අතරින් චමල් රාජපක්ෂ මහතා යනු මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයා වන අතර නාමල් රාජපක්ෂ යනු ඒ මහතාගේ ප්‍රතණුවන්ය. ඊට අමතරව චමල් රාජපක්ෂ මහතාගේ පුතණුවන් වන ඌව පළාතේ හිටපු මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයට මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත් වී ඇත. රාජපක්ෂවරයකු නොවුණද, මෙවර මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයට තරග වදින නිපුණ රණවක මහතා දේශපාලනයට පිවිස ඇත්තේද රාජපක්ෂ උරුමය සමඟිනි. නිපුණ රණවකගේ මව වන ගාන්ධිනී රාජපක්ෂ මහත්මිය යනු මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරියකි.

ඊට අමතරව මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දෙපාර්ශ්වයම නියෝජනය කරමින් තවත් පිය පුතු යුගල දෙකක් ඉදිරිපත් වී ඇත. ඒ අතරින් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මාතලේ දිස්ත්‍රික්කය සඳහා මෙවර තරග වදින අතර සමඟි ජන බලවේගය නියෝජනය කරමින් රාජිත සේනාරත්න මහතා කළුතර දිස්ත්‍රික්කයටත්, චතුර සේනාරත්න මහතා ගම්පහ දිස්ත්‍රික්කයටත් තරග වැදීම සඳහා ඉදිරිපත් වී ඇත. පිය උරුමය හෝ මව් උරුමය ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යමින් දේශපාලනයට පිවිසි සහ මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති අපේක්ෂක අපේක්ෂිකාවන් ගණනද විශාලය. මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමඟි ජන බලවේගය යටතේ තරග වදින රන්ජිත් අළුවිහාරේ සහ වසන්ත අළුවිහාරේ මහත්වරුන් දේශපාලනයට පිවිස ඇත්තේ තම පියා වූ හිටපු අමාත්‍ය ඇලික් අළුවිහාරේ මහතා ගිය මඟ අනුගමනය කරමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා තරග වදින දුමින්ද දිසානායක මහතාගේ පියා උතුරු මැද හිටපු මහ ඇමැති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා බව සැවොම දන්නා කරුණකි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකු වූ ගාමිණී දිසානායක මහතාගේ පුතුන් දෙදෙනාම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර නවීන් දිසානායක මහතා මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට ඉදිරිපත් වී සිටියදී, මයන්ත දිසානායක මහතා සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී තිබීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා දේශපාලනයේ තවත් ප්‍රබල දේශපාලනඥයකු ලෙස සැලකෙන පිලිප් ගුණවර්ධන මහතාගේ පුතු වන දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වී ඇත.
සමඟි ජන බලවේගය නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයට තර වදින චන්දිම ගමගේ මහතා උතුරු මැද පළාත් සභාවේ පළමු මහ ඇමැතිවරයා වූ ජී. ඩී. මහින්දසෝම මහතාගේ පුත්‍රයාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නායකයා ලෙස මෙවර මැතිවරණයට තරග වදින කනක හේරත් මහතා සබරගමුව පළාත් සභාවේ හිටපු මහ ඇමැති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන මහීපාල හේරත් මහතාගේ පුත්‍රයාය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ මහනුවර දිස්ත්‍රික්කයට තරග වදින අනුරාධ ජයරත්න මහතා හිටපු අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ පුත්‍රයාය. සමඟි ජන බලවේගය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයට තරග වදින කාවින්ද ජයවර්ධන මහතා හිටපු අමාත්‍යවරයකු වන දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ පුතණුවන්ය. හිටපු ඇමැතිවරයකු වන රිචඞ් පතිරණ මහතාගේ පුතණුවන් වන රමේෂ් පතිරණ මහතා ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ඇත. කෑගල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ වින්සන්ට් පෙරේරා මහතාගේ පුතුවන සුජිත් සන්ජය පෙරේරා මහතා සමඟි ජන බලවේගය යටතේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ඇත. සමඟි ජන බලවේගයේ පුත්තලම් දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස මැතිවරණයට තරග වදින නිරෝෂන් පෙරේරා මහතාගේ දේශපාලන ආගමනය සිදුව ඇත්තේ මව් පිය දොපොළගේම පාර්ලිමේන්තු උරුමය සහිතවමය. ඒ මහතාගේ පියා වන ෆෙස්ටස් පෙරේරා මහතා මෙන්ම මව වන ලැරීන් පෙරේරා මහත්මියද, එක්සත් ජාතික පක්ෂය යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් අතරින් තම මව සහ පියා යන දෙදෙනාම පාර්ලිමේන්තුව නියෝජනය ඇති එකම අපේක්ෂකයා වන්නේද නිරෝෂන් පෙරේරා මහතාය.
පිය උරුමය සහිතව දේශපාලනයට පිවිසෙමින් මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති තවත් අපේක්ෂිකාවක ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළ හැක. සමඟි ජන බලවේගය යටතේ කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින ප්‍රෙමචන්ද්‍ර මහත්මියගේ පියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකි. සමඟි ජන බලවේගය යටතේ මෙවර මැතිවරණයට තරග වදින හර්ෂණ රාජකරුණාගේ පියා වන සරත්චන්ද්‍ර රාජකරුණා මහතාද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකි. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන භූමිකාවක නිරත වන රණතුංග පවුල නියෝජනය කරමින්ද මෙවර මැතිවරණයට අපේක්ෂකයන් දෙදෙනකු ඉදිරිපත් වී ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෙජී රණතුංග මහතාගේ පුතුන් වන ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේත්, අර්ජුණ රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂය යටතේත් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ඇත.
මහනුවර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මෙවර මැතිවරණයට තරග වදින ලොහාන් රත්වත්තේ මහතා, හිටපු ඇමැතිවරයකු වන අනුරුද්ධ රත්වත්තේ මහතාගේ පුත්‍රයාය. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වදින ශෙහාන් සේමසිංහ මහතා දේශපාලනයට පිවිසියේද තම පියාගේ අඩුව පිරවීම සඳහාය. ශෙහාන් සේමසිංහ මහතාගේ පියා වන එච්. බී. සේමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇති අතර එච්. බී. සේමසිංහ මහතාගේ පියාණන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම විශේෂත්වයකි.
රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වදින පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පියා වන ධර්මදාස වන්නිආරච්චි මහතාද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකි. හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ පුතු වන විදුර වික්‍රමනායක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කළුතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග වදින අතර හිටපු ඇමැතිවරයකු වන මහින්ද විජේසේකර මහතාගේ පුතු වන කාංචන විජේසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මාතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වී ඇත. මාතලේ දිස්ත්‍රික්කයෙන් සමඟි ජන බලවේගය යටතේ මැතිවරණයට තරග වදින රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගේ පියාණන් වන කේ. වයි. එම්. විජේරත්න බණ්ඩා මහතාද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකි. එමෙන්ම රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගේ ස්වාමියා වූ සංජීව කවිරත්න මහතාද පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අතර සංජීව කවිරත්න මහතාගේ පියාණන් වන පුංචි බණ්ඩා කවිරත්න මහතාද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම විශේෂත්වයකි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සමඟි ජන බලවේගය යටතේ මැතිවරණයට ඉදිරිපත් වී සිටින ජේ. සී. අලවතුවල මහතාගේ පියාණන් වන එස්. ඩබ්. අලවතුවල මහතාද හිටපු ඇමැතිවරයෙකි. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වදින තාරක බාලසූරිය මහතාගේ පියාණන් වන ජගත් බාලසූරිය මහතාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මෙන්ම උතුරු මැද පළාතේ සහ මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසටද කටයුතු කර ඇත. ජගත් බාලසූරිය මහතාගේ පියාණන්ද කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා සමඟි ජන බලවේගය යටතේ තරග වදින චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය යනු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රා බණ්ඩාර මහතාගේ දියණියය. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වදින තාරානාත් බස්නායක මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල බස්නායක මහතාගේ පුතණුවන්ය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එච්. ආර්. මිත්‍රපාල මහතාගේ පුතු වන සාරතී දුෂ්මන්ත මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ඇත. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වදින සුසන්ත පුංචිනිලමේ මහතාගේ පියා වනුයේද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ආණ්ඩුකාරවරයකු වන ජී. වී. පුංචිනිලමේ මහතාය. එමෙන්ම මෙවර මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින ඩිලාන් පෙරේරා මහතාගේ පියා වන මාර්ෂල් පෙරේරා මහතාද පළාත් ආණ්ඩුකාරවරයකු ලෙස කටයුතු කර ඇත. ඊට අමතරව සමඟි ජන බලවේගයේ මහලේකම්වරයා සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාගේ දේශපාලන පසුබිමද ඉතා ප්‍රබලය. ඔහුගේ පියා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. ගුණසේකර මහතා වන අතර ඒ මහතාගේ අභාවයෙන් පසුව මද්දුම බණ්ඩාර මහතාගේ බාප්පා වන ආර්. එම්. ධර්මදාස බණ්ඩා මහතාද පාර්ලිමේන්තුව නියෝජනය කළේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වදින ඩී. එම්. චානක මහතා දේශපාලනයට පිවිසියේද තම පියාගේ අඩි පාරේ යමිනි. ඩී. එම්. චානක මහතාගේ පියා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලකයකු මෙන්ම දකුණු පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වන ඩී. එම්. උපුල් මහතාය. කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුතු වන කනිෂ්ක සේනානායක මහතා සමඟි ජන බලවේගය යටතේ කොළඹ දිස්ත්‍රික්කයට තරග වැදීම සඳහා නාම යෝජනා බාර දී ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ආණ්ඩුකාරවරයකු වන හේමකුමාර නානායක්කාර මහතාගේ පුතු වන තාරක නානායක්කාර මහතා ගාල්ල දිස්ත්‍රික්කයෙන් සමඟි ජන බලවේගය යටතේ මැතිවරණයට ඉදිරිපත්ව ඇත. එමෙන්ම හිටපු කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතාගේ පුතු වන උදිත ලොකුබණ්ඩාර මහතා මැතිවරණයට ඉදිරිපත් වන්නේ බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමිනි.
ඊට අමතරව තම මවගේ දේශපාලන අඩිපාරේ යමින් දේශපාලනයට පිවිසි තවත් දියණියක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ඇත. ඒ හිටපු ඇමැතිවරියක වන රේණුකා හේරත් මහත්මියගේ දියණිය වන හිරන්‍යා හේරත් මෙනවියය. ඇය මහ මැතිවරණයට තරග වදින පළමු අවස්ථාව මෙය වන අතර ඒ සඳහා ඇය තෝරා ගෙන ඇත්තේ සමඟි ජන බලවේගයය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබලයන් දෙදෙනකු වන ගාමිණී දිසානායක මහතාගේ පුතණුවන් එක්සත් ජාතික පක්ෂය යටතේත්, රේණුකා හේරත් මහත්මියගේ දියණිය සමඟි ජන බලවේගය යටතේත් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී තිබෙන පසුබිමක නුවරඑළියේ දේශපාලනය උණුසුම් මුහුණුවරක් ගෙන ඇත. නුවරඑළියේ දේශපාලනයේ ප්‍රධාන භූමිකාවක් වූ තොණ්ඩමන් පරපුර නියෝජනය කරමින් මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇත්තේ හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පුතු වන ජීවන් තොණ්ඩමන් මහතාය. ඊට අමතරව මෙවර මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මාතර දිස්ත්‍රික්කයෙන් තරග වදින ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පියාණන්ද මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙක් ලෙස කටයුතු කර ඇත.
තම පියාගේ හෝ මවගේ අඩිපාරේ යමින් දේශපාලනයට පිවිසි දූ දරුවන්ගේ නම් ලැයිස්තුව ඒ ආකාරයෙන් පෙළ ගැසෙද්දී, තම පියාගේ හෝ මවගේ සෘජු ආභාෂය නොලැබුවද, සෘජු ඥාති සබඳතා ඔස්සේ දේශපාලනයට පිවිසි අපේක්ෂක අපේක්ෂිකාවන් කිහිප පොළක්ද මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇත. රත්නපුර දිස්ත්‍රික්කයෙන් සමඟි ජන බලවේගය යටතේ මැතිවරණයට තරග වදින තලතා අතුකෝරල මහත්මිය දේශපාලනයට පිවිසෙන්නේද ඒ ආකාරයටය. ඒ ඇයගේ සහෝදරයා වූ හිටපු අමාත්‍ය ගාමිණී අතුකෝරල මහතාගෙන් හිස්වූ දේශපාලන අඩුව පිරවීමටය. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වදින සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ දේශපාලන ආගමනය සිදු වූයේ ඇයගේ සැමියා වූ හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ අභාවයෙන් අනතුරුවය. එමෙන්ම යාපනය දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින විජයකලා මහේෂ්වරන් මහත්මිය දේශපාලනයට පිවිසියේද තම සැමියා වූ ටී. මහේෂ්වරන් මහතාගේ අභාවයෙන් පසුවය. ඊට අමතරව සැමියා සහ බිරිඳ යන දෙදෙනාම මෙවර මැතිවරණයට තරග වදින එක් අවස්ථාවක්ද ඇත. කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ දයා ගමගේ මහතා මැතිවරණයට තරග වදිද්දී, ඒ මහතාගේ බිරිඳ වන අනෝමා ගමගේ මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ අම්පාර කණ්ඩායම් නායිකාව ලෙස මැතිවරණයට ඉදිරිපත් වී ඇත.
මහනුවර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරග වදින දිලුම් අමුණුගම මහතා යනු හිටපු අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ඥාති පුත්‍රයාය. බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස තරග වදින රවීන්ද්‍ර සමරවීර මහතා යනු ඌව පළාතේ හිටපු මහ ඇමැතිවරයකු වන පර්සි සමරවීර මහතාගේ ඥාති පුත්‍රයාය. ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග වදින රුවන් විජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බෑණාය. සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු වන හරීන් ප්‍රනාන්දු මහතා දේශපාලනයට පිවිසියේ තම මාමණ්ඩිය වූ හිටපු අමාත්‍ය වින්සන්ට් ඩයස් මහතාගේ අඩි පාරේ යමිනි. එමෙන්ම කවුරුත් දන්නා පරිදි ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමඟි ජන බලවේගය යටතේ තරග වදින රන්ජන් රාමනායක මහතා ජනප්‍රිය නළුවකු සහ ප්‍රබල දේශපාලනඥයකු වූ විජය කුමාරණතුංගයන්ගේ බෑණාය.
ඉහත ලැයිස්තුව සැකසීමේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ප්‍රධාන පක්ෂ නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් කෙරෙහිය. නමුත් අනෙක් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන අපේක්ෂකයන් සලකා බැලුවහොත් මේ ලැයිස්තුව තවත් දීර්ඝ වනු ඇත. කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගයේ කිසිදු අපේක්ෂයකු මෙම ලැයිස්තුවට ඇතුළත් වී නොතිබීමද කැපී පෙණෙන කරුණක් බව පැවසයි යුතුමය. තම පියාගේ, මවගේ හෝ කිට්ටු ඥාතියකුගේ අඩි පාරේ යමින් දේශපාලනයට පිවිසීම ශ්‍රී ලංකාවේ පමණක් නොව බොහෝ ආසියාතික රටවලද දක්නට ලැබෙන කාරණයක් ලෙස සැලකිය හැක. බොහෝ විට ඒ සඳහා හේතු වී ඇත්තේද ජනතා ඉල්ලීමය. කොයි ආකාරයෙන් මැතිවරණයට ඉදිරිපත් වුවද, ඔවුන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගන්නවාද, නැද්ද යන පරමාධිපත්‍යයේ බලය ඇත්තේ ජනතාව අතේය. එබැවින් පවුල් දේශපාලනය පිළිබඳ කිසිවකුට හෝ චෝදනාවක් ඇත්නම් එම චෝදනාවේ වැඩි බර එල්ල විය යුත්තේද ජනතාවටය.
මෙම පිරිසට අමතරව අපේක්ෂක ලැයිස්තුවේ විශාල පිරිසක් පිය-පුතු සබඳතා හෝ ඥාති සබඳතා මත මෙවර මැතිවරණයට තරඟ වැදී සිටී. ඔවුන්ගේ තොරතුරු සහ ඡායාරූප සොයාගැනීමේ අපහසුතාවය මත, ඉඩකඩ සීමාසහිත වීම මත එම තොරතුරු පළනොවන බව කරුණාවෙන් සලකන්න.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මානව හිමිකම් සභාපතිත් අයින් වෙයි

Next Post

මේ පාර ජන්ද‌ෙ දාන්නෙ මෙහෙමයි (VIDEO)

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.