මා පසුගිය වසරෙහි ජනාධිපතිවරණ සමයෙහි මෙරටට පැමිණි අවස්ථාවෙහි සෑම ත්‍රිරෝද රථ රියැදුරකුම, සෑම පික්මී රියැදුරෙකුම වාගේ කතා කළේ අපේක්ෂාසහගතවය. ‘මේපාර නම් වෙනසක් වෙනව. ඒක තමයි අපට ඕනෑ’ යැයි ඔවුහු කීහ.Sri Lanka Latest News
ආණ්ඩුවට නොපෙනෙන වෙනස කුමක්ද?
මා මේ ඔක්තෝබරය ගෙවූයේද මෙරටය. මේ කාලයෙහි යාපනය, මන්නාරම, මඩකළපුව සහ මහනුවර ක්‍රියාකාරී ජන පිරිස් සමග අදහස් බෙදාගැනීමට අවස්ථාව උදාවිය. එමෙන්ම ත්‍රිරෝද රථ සහ පික්මී රියැදුරන් හා සල්ලාපයේ යෙදීමටද අවස්ථාව ලැබිණි.
අද මේ සෑම තැනකදීම වාගේ අසන්නට ලැබෙන අදහස ප්‍රශ්නයකි. එනම් ‘මොනවද වෙන්නේ’ යනුය. එය වෙනසකි. ආණ්ඩුවට දැනෙන බවක් නොපෙනෙන වෙනසකි.
ඒ සමගම තවත් ප්‍රශ්න දෙකක් නැගේ. ‘හොරු හිරේම යවයි නේද’ සහ ‘කුඩු පාතාලයට සබ්බුව ලැබෙයි නේද?’ මෙය ආණ්ඩුව සම්බන්ධයෙන් සාධනීය නමුත් සම්පූර්ණ විශ්වාසයක් තවම නැති ප්‍රකාශනයකි.
රාජපක්ෂවරුන් හෝ සජිත් ප්‍රේමදාස කෙරෙහි මහජන ප්‍රසාදයේ කැපීපෙනෙන වැඩිවීමක් මේ කිසිදු අවස්ථාවක පෙනෙන්ට ලැබුණේ නැත. ඔවුන් දෙදෙනාටම නව ගැම්මක් ගැනීමට නොහැකි වී තිබේ.
නාමල්ගේ බාල වයස
ජාජබ ආණ්ඩුව ලිංගික හැසිරීමක් සඳහා කැමැත්ත දීමේ වයස අවුරුදු 16 බවට පත්කිරීම දරුවන්ට කරන අපරාධයක් යැයි වෙන්න ජනාධිපති නාමල් රාජපක්ෂ අඳෝනා නැගීම හාස්‍යයකට වඩා කපටිකමකි. නීතිඥ නාමල් රාජපක්ෂ නොදන්නා දේ නම් 1995 දක්වා මෙරට ලිංගික හැසීරීමක් සඳහා කැමැත්ත දීමේ වයස අවුරුදු 12ක් වූ බවයි. එය 16 දක්වා ඉහළ දමන ලද්දේ ඔහුගේ පියා ද කොටස්කරුවකු වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව විසිනි.
ඊටත් වඩා රාජපක්ෂවරුන් විසින් පත්කරගත් ජනාධිපතිවරයා වූ රනිල් රාජපක්ෂ ආණ්ඩුව ලිංගික කැමැත්ත දීම අවුරුදු 14 දක්වා අඩුකිරීමට නීති සංසෝධනයක් පවා ගෙන ආවේය. එම නීතිය බලහත්කාර ලිංගික කෙළෙසීම් සඳහා දෙනු ලබන දඬුවම් අඩු කිරීමටත් යෝජනා කළේය. එම නීතිය මහජන විරෝධය හමුවේ හකුළා ගැනීමට සිදුවිය. නාමල් රාජපක්ෂ ද ඔල්මොරෙන්දම් වී නැත්නම් මෙවැනි කකුල කටේ දාගැනීමක් කරන්නේ නැත.
උත්තර නැති ප්‍රශ්න
එසේ නමුත් විපක්ෂය විසින් මහජන අභිවෘද්ධියට අදාළ කාරණා බොහෝ ගණනාවක් මතුකරමින් ජාජබ ආණ්ඩුව නිරුත්තර කර ඇති අවස්ථාද තිබේ. කන්ටේනර් 300 නිදහස් කිරීම, ජනාධිපති මාධ්‍ය ඒකකයට අනුයුක්ත කර ඇති පුද්ගලයන්ගේ විස්තර නොදීම, දේශපාලන පත්වීම් ලබාදීම, ජනඝාතක ඊශ්‍රායලය සමග ආණ්ඩුවේ මිතුරුකම ඉන් කිහිපයකි.
ආණ්ඩුවට වසරක් ගතවී ඇත්තේ හනි හනිකටය. ඉදිරි වසර හතර ද ඒ වේගයෙන්ම ඉක්ම යනු ඇත.
අනුර සරණං ගච්චාමි
ජාජබ ආණ්ඩුවේ ලොකුම ශක්තිය වන්නේ අනුර කුමාර දිසානායකය. ඔහුගේ ආසන්නයටවත් පැමිණිය හැකි අනුහස් සහිත නායකත්වයක් සජබට හෝ පොදු පෙරමුණට නැත. රනිල් වික්‍රමසිංහ දුවන්නේ තනි ධමනියෙනි. සජිත් දෙවරක් ලද පරාජයන්ගෙන් තවම ගොඩ පැමිණ නැත. රාජපක්ෂ හිතවාදීන් අයිස් මත්ද්‍රව්‍ය ජාලයේ කොටස්කරුවන් බව හෙළිවීමත් රාජපක්ෂ පවුලට විරුද්ධව ඇති දූෂණ චෝදනාත් නාමල් රාජපක්ෂ ඉණිමගේ පහළට ඇද දමනු ඇත.
ජනප්‍රිය ජනවරම ආණ්ඩුවේ තවත් ප්‍රමුඛ ශක්තියකි. ජාජබ – ජවිපෙ සතුව ජනාධිපති ධුරය සහ පාර්ලිමේන්තු සුපිරි බහුතරයක් තිබේ. එනමුත් පොරොන්දු වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා එමගින් ලැබී ඇති වාසිය තවම ආණ්ඩුව ප්‍රයෝජනයට ගෙන නැත.
දූෂණ විරෝධී ව්‍යාපාරය සමහර විට ආණ්ඩුවේ වඩාත්ම ආකර්ෂණීය වැඩසටහනය. 2015 යහ පාලන ආණ්ඩුව බලයට පත්වීමට බලපෑ එක් ප්‍රධාන සාධකයන් වූයේ දූෂිතයන්ට දඬුවම් කරන බවට දෙන ලද පොරොන්දුව බව සලකන විට දූෂණ විරෝධී ව්‍යාපාරයේ වැදගත්කම අවතක්සේරු කළ නොහැක.
සමහර විපක්ෂ දේශපාලනඥයන් වෙඩි කෑ ඌරන් මෙන් කෑගසමින් දුව පනින්නේ දූෂණ විරෝධී හස්තය තමන්ගේ ගෙලට තොණ්ඩුවක් වනු ඇත්දැයි යන බිය නිසාය.
අන්තරායකර මත්ද්‍රව්‍ය සමග බැඳී ඇති ප්‍රබල යටිබිම්ගත ව්‍යාපාරික, දේශපාලන සහ ආරක්ෂක අංශ ජාලය මැඬලීමේ කැපීපෙනෙන සාර්ථකත්වයක් ද ආණ්ඩුව දිනාගෙන තිබේ. රනිල් රාජපක්ෂගේ වධක පොලිස්පති වූ දේශබන්දු ගෙනගිය ව්‍යාජ සහ මර්දනකාරී මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරය සමග සසඳන විට අද ඇති වෙනස අහසට පොළොව මෙන්ය.
ලපයි සිපයි වැඩකාරයා
ලපයි සිපයි වැනි කටකැඩුණු කතා කියන නමුත් අමාත්‍ය බිමල් රත්නායක පොදු ප්‍රවාහන සේවා නීතියේ පාලනය යටතට ගෙන ඒමට සහ දියුණු කිරීමට දරන ප්‍රයත්නය මේ තාක් කිසිදු ආණ්ඩුවක් නොදරන ලද සත් ව්‍යායාමයකි. ප්‍රවාහන මාෆියාව, මත්ද්‍රව්‍ය මාෆියාවට වඩා බලගතු එකකි. එයද ජාවාරම්කාර පන්තිය, දේශපාලනඥයන්, දාමරිකයන් සහ බස් හිමි පොලිස් ප්‍රධානීන්ගේ හවුලකි. පොදු ප්‍රවාහනය දියුණු කිරීම, ශිෂ්ටාචාර කිරීම සහ නීතියේ පාලනය යටතට ගැනීම අරභයා කැපීපෙනෙන සාර්ථකත්වයක් ලබාගතහොත් එය දෙවැනි ජනවරමක් සඳහා ශක්තිමක් අත්තිවාරමක් විය හැකිය.
ජාජබ – ජවිපෙ බලයට පැමිණියහොත් යළි ආර්ථික අර්බුදයක් ඇතිවන බවට අනෙක් දේශපාලන පක්ෂ ගෙනගිය ප්‍රචාරය අනාථ කරමින් අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රශංසා දිනාගැනීමට ආණ්ඩුව සමත් වී තිබේ.
ආර්ථිකය අවසාන තීරණයේ සාධකයයි
සමහර විට ආණ්ඩුවේ ලොකුම දුර්වලතාව වන්නේ පුරවැසියන් මුහුණ දෙන ආර්ථික පීඩනය ලිහිල් කිරීමට නොහැකි වීමයි. උද්ධමනය ලිහිල් කළද, ආහාර මිල ඉහළ මට්ටමක පවතී. දරිද්‍රතා මට්ටම් 24.5%ක් ලෙස පවතී. සාමන්‍ය ජනයාගේ මූලිකම කනස්සල්ල වන්නේ මෙම කාරණයයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැනි ප්‍රධාන පොරොන්දු ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට ද නැත. ආණ්ඩුවක් තීරණාත්මක වෙනස්කම් කළ යුත්තේ පළමු දින සියයේ දී යැයි ස්වර්ණමය රීතියක් තිබේ. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සඳහා ජනමත විචාරණයක්ද අවශ්‍ය වනු ඇත. ජාජබ නොනිල ආරංචි මාර්ග පවසන පරිදි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇති කරන්නේ සිවුවැනි වසරෙහිදී නම් එහි සාර්ථකත්වය තීරණය වන්නේ ආණ්ඩුවේ දේශපාලන සාර්ථකත්වය මෙන්ම ආර්ථික සාර්ථකත්වයද මතය.
අනුර කුමාර දිසානායකට මෙම ජනාධිපති ධුර කාලය භුක්ති විඳීමට අවස්ථාව ඉතිරි කරගෙන පළමු වසර තුළදීම විධායක ජනාධිපති ක්‍රමය ද අහෝසි කෙරෙන ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ කළේ නම් එය නිසැකවම ජය ගැන්වීමට ඉඩ තිබිණි.
පෙනෙන විදියට ආණ්ඩුව හසුව සිටින තවත් හිරවීමක් නම් නව ව්‍යවස්ථාවක් මගින් ජනවාර්ගික ප්‍රශ්නයට ද විසඳුමක් සැපයිය යුතු වීමයි. අමාත්‍ය විජිත හේරත් කියන පරිදි පළාත් සභා ක්‍රමය ජාජබ – ජවිපෙ ආණ්ඩුව පිළිගන්නේ නැත. මේ සම්බන්ධයෙන් ජවිපෙ මතය වන්නේ, සමාජවාදය යටතේ ජාතීන්ගේ පීඩනය තුරන් වී යන්නේය යන යල් පැනගිය න්‍යායයි.
පොදු මතයක් නැති ආණ්ඩුව
ජාජබ – ජවිපෙ ආණ්ඩුවේ මන්ත්‍රීන්ගේ වත්කම් අල්ලස් කොමිසම විසින් ප්‍රකාශයට පත්කළ විට දේශපාලන කම්පනයක් ඇති විය. ඊට මුහුණ දීමට ආණ්ඩුවට පොදු මතයක් තිබුණේ නැත. තමන්ගේ වත්කම් ප්‍රකාශනය ගැන ප්‍රශ්න කිරීමට මාධ්‍යට අයිතියක් නැතැයි මුල්පෙළ ඇමැතිවරයකුද, තමන්ගේ දියණිය මල්වර වීමේ උත්සවයට (මල්වර වීමේ උත්සව යනු ගතානුගතික ලිංගිකත්වය ඔප්නංවන ලැජ්ජාසහගත ක්‍රියාවකි) ලද ත්‍යාග සිය ආදායම ලෙස තවත් ඇමැතිවරයකුද, තමාගේ වත්කම් ඇතුළත ‘නීති විරෝධී’ ක්‍රිප්ටෝ කරන්සි ඇතැයි තවත් මුල්පෙළ ඇමැතිවරයකු කීවේ එම කම්පනයට තනි තනිව මුහුණ දීමට සිදුවූ නිසාය.
සමහර විට ආණ්ඩුව මත විශාලතම තෙරපුම ගෙන එන්නේ එහි සන්නිවේදන අකාර්යක්ෂමතාව සහ එහි ප්‍රධානීන් දක්වන අහංකාර සහ නොමේරූ මාධ්‍ය හැසිරීම් විසිනි. ලක්ෂයක් මරා හෝ අවශ්‍ය දේ කරන බවට එහි නගරාධිපතිවරයකු කී කතාව වයිරල් වී නවතින්නේ අනුර කුමාරගේ කීර්තිය අබියසය.
සමාජ මාධ්‍ය විශ්ලේෂකයකු වන ආචාර්ය සංජන හත්තොටුවගේ අධ්‍යයනයකින් හෙළිවන්නේ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සිය වත්කම් ලබාගත් පිළිවෙත අහංකාර ලෙස ප්‍රතික්ෂේප කිරීම සමාජ මාධ්‍ය අදහස් 5000ට ආසන්න ප්‍රමාණයක හෙළාදුටු බවයි.
අනවශ්‍ය ලෙස රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ඛණ්ඩනය වූ විපක්ෂය නැවත තාවකාලිකව හෝ එක්රැස් වීමට අවස්ථාවක් පාදා දුන්නේය. දැනට බෙදී සිටියද, මහජන අතෘප්තිය වර්ධනය වුවහොත් විරුද්ධ පක්ෂ ජාජබ ආධිපත්‍යයට අභියෝගක් විය හැකිය.
ආණ්ඩුවට දැනෙන අභියෝගයක් දැන් එල්ල වන්නේ මහජන විරෝධතාවන්ගෙනි. ත්‍රිකුණාමලයේ ගොවිජන පිරිස්ද, මන්නාරමේ පුරවැසි පිරිස්ද වෘත්තීය සමිති එක පිට එක විරෝධතාවන්ට එක්ව සිටිති. මෙම විරෝධතාවන්ට දක්ෂිණාංශික පක්ෂවලින් සහායක් නැත. නමුත් අවසානයේ දී මෙම විරෝධතා තමන්ගේ ඡන්ද මල්ලට වැටෙනු ඇතැයි දක්ෂිණාංශික විපක්ෂය කල්පනා කරමින් සිටිනවා විය හැක.
ආණ්ඩුව පෙන්නුම් කරනවාට වඩා එයට එරෙහිව ඇති ව්‍යාපාර සහ තර්ජන බලවත්ය. එම සියලු තර්ජන නාභිගතවීමක් වුවහොත් එය අනුර කුමාර දිසානායක කෙරෙහි ඉලක්කය ගැනීමට පවා ඉඩ තිබේ.
සුනන්ද දේශප්‍රිය










