අලුත් ජෝක්ස්
ගෙවෙමින් පවතින්නේ සතියෙන් සතිය ආණ්ඩුව ඇතුළේත්, විපක්ෂය ඇතුළේත් දේශපාලන මාතෘකා ඉතා ඉක්මණින් වෙනස් වෙන කාලවකවානුවකි. සාමාන්‍යයෙන් ඒ ආකාරයට ලංකාවේ දවසින් දවස, සතියෙන් සතිය දේශපාලන මාතෘකා වෙනස් වන්නේ ජාතික මැතිවරණයක් හෝ ජන අරගලයක් පවතින අවස්ථාවකදීය. නමුත් එවැනි ජාතික මැතිවරණයක් හෝ ජනතා අරගලයක් හෝ නොමැතිව වුවද මොහොතින් මොහොත ලංකාවේ දේශපාලන මාතෘකා වෙනස් වීම විශේෂ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.
ආණ්ඩුව පැත්තෙන් ගත් විට දේශපාලන මාතෘකා කෙසේ වෙතත් ජනතාවට විහිළු සපයන මාතෘකා නම් මොහොතින් මොහොත අලුත් වන ආකාරයක් දැකගැනීමට පුළුවන. මාලිමා ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයා වූ සුනිල් හඳුන්නෙත්ති මහතා එසේ ජනතාවට එක දිගට විහිළු සපයන ප්‍රධාන චරිතය බවට මේ දිනවල පත්ව තිබේ. විපක්ෂය පැත්තෙන් ගත් විට මොහොතින් මොහොත වෙනස් වන මාතෘකා වන්නේ රහස් පොලිසියට හෝ අල්ලස් කොමිසමට කැඳවීම්, අත්අඩංගුවට ගැනීම්, රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම්, නඩු පැවරීම් යනාදියය. ආණ්ඩුවේත්, විපක්ෂයේත් මොහොතින් මොහොත වෙනස් වන මාතෘකාවල වෙනස ඒ ආකාරයය. එමෙන්ම මෙම වෙනස්කම් හරහා ආණ්ඩුව ඇතුළේත්, විපක්ෂය ඇතුළේත් පවතින අභ්‍යන්තර ගැටුම්ද එළියට එන ආකාරයක් දැකගන්නට පුළුවන. ආණ්ඩුව පැත්තෙන් ඊට හොඳම උදාහරණය වී ඇත්තේ සුනිල් හඳුන්නෙත්තිය.
හඳුන් තමයි චරිතෙ
මෑත මාස දෙක තුනක කෙටි ඉතිහාසය ගත් විට හඳුන්නෙත්ති රටට විහිළු සැපයූවේ එක් අවස්ථාවක පමණක් නොවේ. අවස්ථා දෙක තුනකදීම හඳුන්තෙත්ති කළ ප්‍රසිද්ධ ප්‍රකාශයන් ජනතාව අතරත්, සමාජ මාධ්‍ය අතරත් බොහෝ හාස්‍යයට ලක්විය. මුළු රටම හඳුන්නෙත්තිගේ ප්‍රසිද්ධ ප්‍රකාශයන්ට හිනාවෙන ආකාරයක් දැකගත හැකි විය. ඉන් පළමුවැන්න වූයේ ජාත්‍යන්තර සමුළුවකදී නිවේදිකාවක විසින් අසනු ලබන ප්‍රශ්නයට හඳුන්නෙත්ති ලබාදුන් පිළිතුරය. එහි එක් අවස්ථාවක හඳුන්නෙත්ති ‘ඉස් අ බික් කුච්චන්’ යනුවෙන් දුන් පිළිතුරෙන් සමුළුව මෙහෙයවූ නිවේදිකාවද අන්දමන්ද වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. එමෙන්ම එහිදී ‘සුනාමි ඊස් අ මෑන් මේඩ් ඩිසාස්ටර්’ යනුවෙන් කළ ප්‍රකාශයද සමාජ මාධ්‍යවල විශාල ලෙස හාස්‍යයට ලක්විය.
ඉන් අනතුරුව දෙරණ නාලිකාවේ පැවැති 360 වැඩසටහනේදී හඳුන්නෙත්තිගේ වත්කම් සම්බන්ධයෙන් මාධ්‍යවේදියා ප්‍රශ්න කරද්දී ඊට ලබාදුන් පිළිතුරෙන්ද හඳුන්නෙත්ති රට ඇතුළේ ප්‍රධාන මාතෘකාවක් විය. ඊට ඍජු පිළිතුරක් ලබා නොදෙමින් හඳුන්නෙත්ති කියා සිටියේ වත්කම් ගැන ‘ඔයාට පාන්ද?’ යැයි කියාය. ප්‍රශ්නයක් ඇත්නම් ඊට අදාළ ආයතනවලට හෝ ඕනෑම තැනකට පැමිණිලි කළ හැකි බවද හඳුන්නෙත්ති එහිදී කියා සිටියේය. එයද රට ඇතුළේ හාස්‍යයට ලක්වූ කතාවක් විය.
බේරගන්න කවුරුත් නෑ
මෙහි අලුත්ම සිදුවීම පසුගිය සතියේ එළියට පැන්නේය. එහිදී ලංකාවේ තේ සම්බන්ධයෙන් කතා කරද්දී හඳුන්නෙත්ති කියා සිටියේ ජපානයේ පැවැති තේ වෙන්දේසියේදී ලංකාවේ තේවලට නොබෙල් ත්‍යාගය හිමිවූවා යැයි කියාය. එහිදී සිදුව තිබුණේ ඉතා ඉහළ මිලකට අලෙවි වී ලංකාවේ තේ ගිනස් වාර්තා පොතට ඇතුළත් වීමය. නමුත් නොබෙල් තෑග්ගයි, ගිනස් වාර්තාවයි පටලවාගෙන හඳුන්නෙත්ති කළ ප්‍රකාශයෙන් නැවත වතාවක් හඳුන්නෙත්ති රට ඇතුළේ මාතෘකාවක් විය.
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ හඳුන්නෙත්තිව බේරා ගැනීමට කිසිදු ජවිපෙ ඇමැතිවරයෙක් හෝ මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් නොවීමය. වෙනදා නම් ජවිපෙ හෝ මාලිමාවේ මැති ඇමැතිවරයෙක්ට යම් වැරැද්දක් සිදුවුවහොත් හෝ අමාරුවේ වැටුණහොත් මාලිමාවේ මන්ත්‍රීවරුන් 159 දෙනාම එළියට පැමිණ ඔහුව හෝ ඇයව සුද්ධ කළද මෙදා සුනිල් හඳුන්නෙත්තිව සුද්ධ කිරීමට මාලිමාවේ ඒ 159 දෙනාගෙන් එක් අයකු හෝ ඉදිරිපත් වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. මාලිමාවේ සහ ජවිපෙ මන්ත්‍රීවරුන් හඳුන්නෙත්තිව ආරක්ෂා කරනවා වෙනුවට ඔවුන්ද හඳුන්නෙත්තිගේ මේ ප්‍රකාශයෙන් යම් වින්දනයක් ලැබූ ආකාරයක් පසුගිය සතියේ දැකගන්නට ලැබිණ.
බිමලුත් හිනාවුණා
ඒ බව හොඳින්ම තහවුරු වූයේ ජවිපෙ ආණ්ඩුවේ දෙවැනියා ලෙස සැලකෙන බිමල් රත්නායක සිය ප්‍රවාහන අමාත්‍යාංශයේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය. එහිදී එක් මාධ්‍යවේදියකු බිමල්ගෙන් හඳුන්නෙත්ති පිළිබඳ විමසද්දී කවදාවක්වත් නැතිව බිමල් හක හක ගාමින් උස් හඬින් එක දිගට සිනාසුණු ආකාරයක් දැකගත හැකි විය. බිමල්ගේ එම හිනාව කෙතරම් දුරදිග ගියාද කියනවා නම් අනෙක් පැත්තට හැරී ඔළුවේ අත ගසාගෙන එක දිගට බිමල් සිනාසුණු ආකාරයක් පෙනෙන්නට තිබිණ. බිමල්ගේ ඒ සිනාව පිටුපස වචන දහසකින් කිව නොහැකි කතාවක් සැඟව තිබුණු අයුරක් දැකගත හැකිවිය.
මේ ආකාරයට බිමල් වචනවලින් නොමැතිව අංග ලක්ෂණවලින් සහ ඉඟිවලින් ප්‍රතිචාර දැක්වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර අවස්ථාවකදී රනිල්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ සමන් අතාවුදහෙට්ටිගේ පොතක් දොරට වැඩීම නිමිත්තෙන් පදනම් ආයතනයේ පැවැති උත්සවයකදීද බිමල් මෙවැනිම දෙයක් කළේය. එහිදී සංවිධායකවරුන් විසින් හිතාමතා ඉදිරි පෙළ අසුන් දෙකක් හිටපු ජනාධිපති රනිල්ට සහ බිමල්ට පැනවීමට පියවර ගෙන තිබිණි. රනිල් කල්වේලා ඇතිව පැමිණ සිය ආසනයේ අසුන්ගෙන සිටි අතර, පසුව පැමිණි බිමල්ට රනිල් ළඟ අසුන් ගැනීමට සිදුව ඇති ආකාරය දැකගන්නට ලැබිණි. නමුත් කිසිදු කලබලයක් නොපෙන්වූ බිමල් රනිල් ළඟ අසුන් ගෙන මේ සම්බන්ධයෙන් තමන්ට ඇති අකැමැත්ත සහ අප්‍රසන්නභාවය ඉඟියෙන් පෙන්නුම් කරමින් සිය අතින් රනිල් සිටි දකුණු පැත්තේ ඇස වසාගෙන වම් පැත්ත බලමින් සිටි අයුරක් දැකගන්නට ලැබිණ. එම ඡායාරූපයට එදා සමාජ මාධ්‍යයේ විශාල ප්‍රචාරයක් ලැබිණි. ඒ හා සමානවම මෙදා හඳුන්නෙත්තිගේ ප්‍රශ්නයට බිමල් එක දිගට සිනාසුණු වීඩියෝවටද විශාල ප්‍රතිචාර ලැබී තිබිණි.
බිමල් දුන්නේ රිටර්න් එකක්ද?
මෙහිදී මතුවන ප්‍රශ්නය වන්නේ බිමල් වැනි ජවිපෙ ප්‍රබලයකු, ජවිපෙ හඳුන්නෙත්තිට මේ ආකාරයට සිනාසුණේ ඇයිද යන්නය. ඊටද එක්තරා හේතුවක් තිබේ. ඒ, මාලිමා ආණ්ඩුව පත්වී මාස කීපයකට පසු බිමල් කළ විශේෂ ප්‍රකාශයකට එරෙහිව යමින් ප්‍රසිද්ධියේම හඳුන්නෙත්ති ප්‍රකාශයක් කරමින් ඊට අභියෝග කර සිටීමය. මාලිමා ආණ්ඩුව බලයට පත්වී මාස කීපයකට පසු ආණ්ඩුවේ මාධ්‍යයක් වන ස්වාධීන රූපවාහිනියට පැමිණ මාධ්‍යවේදී සිසිර යාපා සමග පැවැති වැඩසටහනේදී බිමල් කියා සිටියේ ආණ්ඩුවේ මුහුණුවර වෙනස් විය යුතුයි කියාය. එහිදී බිමල් අගමැති ධුරය සම්බන්ධයෙන් පවා යම් ඉඟියක් කරමින් කියා සිටියේ ආණ්ඩුවේ එන්ජිමද වෙනස් විය යුතු බවකි. එමෙන්ම තමන්ගේ ඇතුළු බොහෝ දෙනකුගේ වගකීම් වෙනස් වීමට නියමිතව ඇති බවත්, ඉතා ඉක්මනින් කැබිනට් ඇමැති සංශෝධනයක් සිදුවීමට නියමිත බවත් බිමල් එහිදී ප්‍රකාශ කළේය. එකල අපි මේ බව ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කිරීමට පියවර ගත්තෙමු.
කෙසේ වෙතත් බිමල් කළ මෙම ප්‍රකාශයටද විශාල ප්‍රසිද්ධියක් ලැබෙද්දී වෙනත් පෞද්ගලික නාලිකාවකට පැමිණි හඳුන්නෙත්ති ඊට සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රකාශයක් කිරීමට පියවර ගත්තේය. එහිදී මාධ්‍යවේදීයා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරද්දී හඳුන්නෙත්ති කියා සිටියේ කිසිදු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු නොවන බවත්, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ කිසිදු සාකච්ඡාවක් නොමැති බවත්ය. සියලු අමාත්‍යවරුන් තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටුකරන බවද හඳුන්නෙත්ති එහිදී කියා සිටියේය.
කිසිවෙකුටත් නොපෙනුණාට එය බිමල් කළ ප්‍රකාශයට ප්‍රසිද්ධියේ කළ ප්‍රතිචාර දැක්වීමක් විය. ඒ හරහා බිමල් විශාල අපහසුතාවකට පත්වූ ආකාරයක්ද දැකගත හැකි විය. මෙහිදී බොහෝ දෙනා කියා සිටියේ හඳුන්නෙත්තිගේ කටින් එළියට ආවේ ජනාධිපතිවරයා හා පැලවත්ත අතර ඇති ගැටුමේ එක් අවස්ථාවක් යැයි කියාය. ජනාධිපතිවරයා පැලවත්තේ බිමල්ට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා හඳුන්නෙත්තිව පාවිච්චි කළා යැයි කියාය. බොහෝ විට බිමල් සිය අමාත්‍යාංශයේදී හඳුන්නෙත්තිට හක හක ගාමින් ප්‍රතිචාර දැක්වූයේ ඊට දුන් ‘රිටර්න් එකක්’ වශයෙන් විය යුතුය. එමෙන්ම හඳුන්නෙත්තිව ආරක්ෂා නොකරන බවට ජවිපෙ දුන් යම් ඉඟියක් ලෙසද මෙය සැලකිය හැකිය.
ගැටුම ආයෙත් පැන්නා
අනෙක් අතින් ආණ්ඩුව ඇතුළේ කොච්චර නෑ නෑ කීවද පැලවත්ත සහ මාලිමාව අතර විශාල පරස්පරයක් මේ වනවිට නිර්මාණය වී ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. එය හොඳින්ම පෙනුණු තවත් සිදුවීමක් වූයේ පාසල් ශිෂ්‍යයන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් හරිනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතය. අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් පවා මේ වනවිට එම කෙටුම්පතට ප්‍රහාර එල්ල කරමින් කියා සිටින්නේ ඊට අනුව ශිෂ්‍යයකුට දඬුවම් දුනහොත් ගුරුවරුන්ට හිරේ යෑමට සිදුවනවා යැයි කියාය. එපමණක් නොව දෙමවුපියන්ටද හිරේ යෑමට සිදුවනවා යැයි කියාය. එමෙන්ම ආණ්ඩුව මේ වනවිට ප්‍රසිද්ධියේම සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවටත්, ගංජා වගාව නීතිගත කොට ඇති බවටත් කියමින් මාලිමා ආණ්ඩුවට විශාල චෝදනාවක් එල්ල වෙමින් පවතින ආකාරයද දැකගන්නට පුළුවන. එහිදී විපක්ෂයෙන් මීට එරෙහිව ප්‍රබල මතයක් මතුවෙද්දී පාර්ලිමේන්තුව ඇතුළේ හරිනිව ආරක්ෂා කරමින් බිමල් අදහස් දැක්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
ආගමික ප්‍රජාව කැළඹෙයි
නමුත් දැන් සිදුව ඇත්තේ කුමක්ද? හරිනි විසින් ගෙන ඒමට සූදානම් වූ මේ සංශෝධනයන්ට එරෙහිව සමස්ත ආගමික ප්‍රජාවම කැලඹීමට ලක්ව තිබීමය. විශේෂයෙන්ම ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන සමලිංගික ක්‍රියාවන් ප්‍රවර්ධනයට, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සහ ගංජා ප්‍රවර්ධනයට එරෙහිව පළමු වරට ත්‍රෛනිකායික මහානාහිමිවරුන් විසින් විරෝධය පළකරමින් පසුගිය සතියේ ජනාධිපතිවරයාට ලිපියක් යොමුකිරීමට පියවර ගනු ලැබීය. එමෙන්ම මාලිමාව බලයට ගෙන ඒම සඳහා අනියමින් සහාය දැක්වූ කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ද පසුගිය සතියේ සමලිංගික ක්‍රියාවන් ප්‍රවර්ධනයට එරෙහිව ආණ්ඩුවට බරපතළ ප්‍රහාරයක් එල්ල කළේය. මීට අමතරව ආණ්ඩුවට සහාය දැක්වූ ඕමල්පේ සෝභිත හිමියන්ද පසුගිය සතියේ ප්‍රසිද්ධියේම මෙම කටයුතුවලට විරෝධය පාමින් බරපතළ ප්‍රකාශයක් කළේය.
අඩියක් පස්සට
ආගමික නායකයන්ගේ එම විරෝධයත් සමග කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අඩියක් පසුපසට ගනිමින් හරිනි ගෙන ආ දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් කෙටුම්පතට කාරකසභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කිරීමට සූදානම් බව ප්‍රකාශ කර සිටියේය. නලින්ද දුන් පිළිතුරේ එම කෙටුම්පත හකුළා ගන්නා ආකාරයේ යම් යම් ඉඟිද ගැබ්ව තිබිණි. නමුත් එදාම ලෝක ළමා දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති නිල උත්සවයේදී හරිනි තමන් විසින් ගෙන ආ එම කෙටුම්පත සුද්ද කරමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව නලින්ද කළේ පැලවත්තෙන් ආ නියෝගයක් ක්‍රියාත්මක කළාද යන්න සම්බන්ධයෙන් ලොකු සැකයක් මේ වනවිට බොහෝ දෙනා තුළ මතුව තිබේ. එමෙන්ම මේ හරහා නැවත වතාවක් ජවිපෙ – මාලිමා ගැටුම එළියට පැමිණ ඇති ආකාරයක්ද දැකගන්නට පුළුවන.
තවත් කඹ ඇදීමක්
අනෙක් පැත්තෙන් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්ද ආණ්ඩුව ඇතුළේ යම් කඹ ඇදීමක් මේ වනවිට මතුවෙමින් පවතින ආකාරයක්ද දැකගැනීමට පුළුවන. ඒ කඹ ඇදීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ජනාධිපතිවරයා හා හරිනි ප්‍රමුඛ කඳවුර ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ප්‍රජාව සමග අත්වැල් බැඳගෙන සිටීමය. අනෙක් කඳවුර වී ඇත්තේ චීනය, රුසියාව, වියට්නාමය වැනි සමාජවාදය ප්‍රධාන කොටගත් කඳවුර සමග ටිල්වින් – බිමල් පාර්ශ්වය අත්වැල් බැඳගෙන සිටීමය. පසුගිය ජනාධිපතිවරණයේදීත්, ඉන් පසුවත් මාලිමාව ඇතුළේ මේ බටහිර නියෝජනය කරන අනුර – හරිනි කණ්ඩායමට ඇමෙරිකාව පැත්තෙන් විශාල සහායක් හිමි විය. විශේෂයෙන්ම මෙරට ඇමෙරිකානු තානාපතිවරිය වූ ජූලි චන්ග්ට අනුර සහ හරිනි සම්බන්ධයෙන් විශාල පිළිගැනීමක් තිබිණි. නමුත් චීනය ප්‍රමුඛ සමාජවාදී කඳවුර පැත්තේ සහාය හිමිව ඇත්තේ ටිල්වින්, බිමල් ඇතුළු කණ්ඩායමටය. මේ චීන සහ ඇමෙරිකානු කඹ ඇදීම හේතුවෙන් දැනටමත් ලංකාවට හිමිවූ දැවැන්ත ආයෝජන රැසක් තවමත් ඇත්තේ ආරම්භ නොකරන තත්ත්වයකය. උදාහරණයක් ලෙස හම්බන්තොට චීන තෙල් පිරිපහදුව, කෙරවළපිටිය සහ සපුගස්කන්ද ව්‍යාපෘති ආදිය මේ වනවිට යම් සිරවීමක පවතින තත්ත්වයක් දැකගන්නට පුළුවන.
චීනයට හැරෙයි
කෙසේ වෙතත් පසුගිය සතිය වනවිට ආණ්ඩුවේ මේ විදේශ ප්‍රතිපත්තියේ කඹ ඇදිල්ල නැවතී චීනය පැත්තට හැරෙන ආකාරයක් දැකගැනීමට පුළුවන. ඒ බව අප මීට පෙර ‘රාජ්‍ය රහස්’ තීරයෙන්ද වාර්තා කළෙමු. එහිදී අප කියා සිටියේ කඩවත – මීරිගම අධිවේගී මාර්ගයේ ඉතිරි ඉදිකිරීමේ කටයුතු ආණ්ඩුව විසින් චීනයට ලබාදුන් බවකි. එමෙන්ම එම ණය මුදල ඇමෙරිකානු ඩොලර්වලින් නොමැතිව චීන යුවාන්වලින් ලබාදෙන බවට වූ කොන්දේසියට එකඟතාව පළකිරීමටද ආණ්ඩුව කටයුතු කළේය. මීට අමතරව හම්බන්තොට පිරිපහදුව ඉදිකිරීමේදී සිනොපෙක් සමාගම ඉල්ලූ වෙළෙඳපළෙන් 40%ක කොටස එම චීන සමාගමට ලබාදීමටද ආණ්ඩුව තීරණය කොට තිබිණි. ඒ අනුව ආණ්ඩුව කෙමෙන් කෙමෙන් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර අතහරිමින් චීනය පැත්තට නැඹුරු වන ආකාරයක් පසුගිය සතිය වනවිට දැකගන්නට ලැබිණි.
අනුර බෑ කියයි
මෙම තත්ත්වය කෙතරම් දුරදිග ගියාද කියනවා නම් ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ නිව්යෝර්ක් සංචාරය අතරතුරදී ජූලි චන්ග්ද ඇමෙරිකාවේ සංචාරයක නිරත වෙමින් ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට උත්සාහයක් ගත්තාය. ඇය එහිදී මේ වනවිට ඇමෙරිකානු රජය විසින් පත්කොට ඇති නව ලේකම්වරියක වූ ඇලිසන් කුකර් මහත්මිය ජනාධිපතිවරයාට මුණගැස්වීමට විශාල ප්‍රයත්නයක් දැරුවාය. නමුත් ඒ අවස්ථාවේදී ඇලිසන් කුකර් හමුවීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළේ නැත. ඒ අනුව ජනාධිපතිවරයා වෙනුවට ලේකම්වරිය සමග සාකච්ඡා කළේ විදේශ අමාත්‍ය විජිත හේරත්ය.
විජිත සමග පැවැති මෙම සාකච්ඡාවේදී ඇලිසන් කුකර් ඍජුවම දැනුම් දී සිටියේ හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකිරීම චීනයට ලබාදීම සම්බන්ධයෙන් ඇමෙරිකාව විශාල අවධානයකින් පසුවනවා යැයි කියාය. එහිදී විජිත පැහැදිලිවම ඇලිසන් කුකර් හට දැනුම් දී සිටියේ එය සිය රජය විසින් ගත් තීන්දුවක් නොවන බවත්, පැවැති ආණ්ඩුව විසින් ගෙන තිබූ තීන්දුවක් බවත්ය. මේ වනවිට එම කටයුතු අවසන් අදියරට පැමිණ ඇති නිසා එම ගිවිසුම වෙනස් කිරීමේ හැකියාවක් ආණ්ඩුවට නොමැති බවද විජිත එහිදී ඇලිසන් කුකර් හට දැනුම් දී සිටියේය. එමෙන්ම ලංකාවට ආයෝජන අවශ්‍ය බවත්, තවමත් ඇමෙරිකාව පැත්තෙන් කිසිදු ආයෝජනයක් ලංකාවේ සිදුකර නොමැති බවත් විජිත මෙහිදී දැනුම් දී සිටි බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
ප්‍රතිචාරය භයානකයි
ජූලි චන්ග් වොෂින්ටනයටද ගොස් මෙම චීන ආයෝජනයන් සම්බන්ධයෙන් වාර්තා කොට තිබූ ආකාරයක් දැකගත හැකිවිය. කෙසේ වෙතත් මෙහි ඇති විශේෂම සිදුවීම වන්නේ ලංකාවේ සිදුකෙරෙන චීන ආයෝජනයන් සම්බන්ධයෙන් දැනටමත් ඇමෙරිකාව සිය විරෝධය ප්‍රසිද්ධියේ පළකිරීම ආරම්භ කොට තිබීමය. ඒ අනුව ජනාධිපතිවරයා අමෙරිකාවේ සිටියදීම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුම මගින් නිකුත් කළ නිවේදනයකින් කියවුණේ මාක්ස්වාදී-බටහිර විරෝධී ජවිපෙ මතවාද හේතුවෙන් ආයෝජකයන් ලංකාවේ ආයෝජනය කිරීමට බියකින් පසුවන බවය. එමෙන්ම ලංකාවේ විදෙස් ආයෝජනවල ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් නොගැලපෙන බවක් පවතින බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ එම නිවේදනයේ සඳහන් විය.
කෙසේවෙතත් සිය නිව්යෝර්ක් සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ට්‍රම්ප්ගේ දකුණු සහ මධ්‍යම ආසියාව වෙනුවෙන් පත්කොට ඇති විශේෂ නියෝජිතයා මෙන්ම ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා වන සර්ජියෝ ගෝර් මහතා හමුවීමටද පියවර ගත්තේය. හෙතෙම ට්‍රම්ප්ට අතිශය සමීප අයෙකු වන අතර, ට්‍රම්ප්ට බලපෑම් කිරීමේ විශාල හැකියාවක් ඇති අයෙකු ලෙසද ප්‍රසිද්ධය. කෙසේ වෙතත් මෙම හමුවේදී ජනාධිපතිවරයා හා ගෝර් අතර චීන ආයෝජන සම්බන්ධයෙන් කිසිවක් සාකච්ඡා වූයේ නැත. එහිදී සාකච්ඡා වූයේ ට්‍රම්ප් රජය විසින් ලංකාව ඉලක්ක කොට පනවා ඇති 20%ක තීරුබද්ද තවදුරටත් අඩුකර ගන්නා ආකාරය සම්බන්ධයෙන්ය. ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන්ය. මෙහිදී සිදුවූ විශේෂම සිදුවීම වූයේ මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ සාගර කලාපය ආරක්ෂා කිරීම සඳහා තවත් වෙරළාරක්ෂක නෞකාවක් ලංකාවට ලබාදීමට එකඟතාව පළවීමය. මීට පෙරද ඇමෙරිකාව ලංකාවේ වෙරළාරක්ෂාව වෙනුවෙන් තවත් නෞකාවක් ලබාදීමට පියවර ගෙන තිබිණි. එමෙන්ම මෙම නව නෞකාවට අමතරව සී1-30 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් ලබාදීමට සර්ජියෝ ගෝර් ජනාධිපතිවරයාට පොරොන්දු විය. එහිදී ජනාධිපතිවරයා බොහෝ සතුටට පත්ව ඒ සම්බන්ධයෙන් ඇමෙරිකානු රජයට සිය විශේෂ ස්තුතිය පළකිරීමටද පියවර ගෙන තිබිණි.
අනුරට ඇදුණු ලොතරැයිය
මෙම සාකච්ඡාවේදී තවත් විශේෂ වරප්‍රසාදයක් ජනාධිපතිවරයාට යෝජනා කිරීමටද හෙතෙම පියවර ගත්තේය. එහිදී ඔහු කියා සිටියේ තමන් කෙළින්ම ට්‍රම්ප් සමග කටයුතු කරන නිසා අවශ්‍ය ඕනෑම අවස්ථාවක ට්‍රම්ප් සමග කතා කළ හැකි බවත්, එම නිසා ජනාධිපතිවරයාට ට්‍රම්ප් සමග කතා කිරීමට අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක තමන්ට කතාකරන ලෙසත්, තමන්ට එම ඇමතුම ට්‍රම්ප්ට සම්බන්ධ කළ හැකි බවත්ය. මෙය ජනාධිපතිවරයාට ලැබුණු විශේෂ වරප්‍රසාදයක් විය. නමුත් මෙහි ඇති ගැටලුව වන්නේ ජනාධිපතිවරයා ට්‍රම්ප් සමග සිදුකරන සාකච්ඡාවලදී ලංකාවට වාසියක් ගන්නවාට වඩා ට්‍රම්ප් මෙය ලංකාවේ චීන ආයෝජන නැවැත්වීම සඳහා උපයෝගී කොට ගනීද යන්න කියාය.
ෆොටෝ අවුල
ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු සංචාරය අතරතුරදී රට ඇතුළේ මහත් ආන්දෝලනයකට ලක්වූ ඊළඟ සිදුවීම වූයේ ජනාධිපතිවරයා හා ට්‍රම්ප් යුවල එකට සිටින නිල ඡායාරූපයය. මෙම ඡායාරූපයත්, අනෙකුත් රාජ්‍ය නායකයන් සිටින ඡායාරූපත් මාධ්‍යවල පළවූ විට ඒ සියලු ඡායාරූපවල ට්‍රම්ප් සහ මෙලනියා එකම ආකාරයෙන් සිටීම නිසා බොහෝ දෙනා කියා සිටියේ මෙය ඒඅයි තාක්ෂණය ඔස්සේ නිර්මාණය කළ එකක් යැයි කියාය. නමුත් ඒ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමේදී තහවුරු වූයේ මෙය ඒඅයි තාක්ෂණයෙන් නොව, සැබෑ ලෙසින් ජනාධිපතිවරයා හා ට්‍රම්ප් හමුවේදී ලබාගත් ඡායාරූපයක් යැයි කියාය. සාමාන්‍යයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය පැවැත්වීමෙන් පසු ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිය රටට පැමිණෙන සියලු රාජ්‍ය නායකයන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීම සිදුකරනු ලබයි. ඒ අනුව ට්‍රම්ප්ද ඒ සියලු රාජ්‍ය නායකයන්ට භෝජන සංග්‍රහයක් පිරිනැමීමට කටයුතු කර තිබිණි. එම භෝජන සංග්‍රහයේදී සෑම රාජ්‍ය නායකයකුටම ඇමෙරිකානු ජනාධිපතිවරයා සමග මිනිත්තුවක කාලයක් එකට සිටින ඡායාරූපයක් ගැනීමේ අවස්ථාව හිමිවේ. ඒ අනුව ට්‍රම්ප්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වූ ජනාධිපතිවරයාටද ට්‍රම්ප් සමග ඡායාරූපයක් ගැනීමේ අවස්ථාව හිමිවිය. නමුත් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල මතුවූ ආන්දෝලනය නිසාම පසුව ධවල මන්දිරයෙන් ඊට අදාළ නිල ඡායාරූපය ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යොමුකිරීමටද පියවර ගෙන තිබිණි.
සජබ-එජාප එකතුව
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු සජබය සහ එජාපය අතර යම් එකතු වීමක් සිදුවිය යුතු බවට ගම් මට්ටමෙන් විශාල මතයක් පැනනැගුණද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කිහිප දෙනකුගේ වුවමනා එපාකම් මත එම එකතු වීම නොවෙන තැනට වැඩ සිද්ධ විය. ඒ සඳහා විශාල වැඩ කොටසක් සිදුකර තිබුණේ රනිල්ගේ මස්සිනා වන රුවන් විජේවර්ධනට අයත් ලංකාදීප ඇතුළු පුවත්පත් සමූහයත්, එහි සිටින රනිල්ට හිතවත් කුලී නිව්ස් ප්ලාන්ට් කල්ලියත්ය.
පසුව රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඔහු බේරාගැනීමේ සටනේදී සජබය සහ සජිත් අවංක උත්සාහයක් දැරුවද ඇප ලබා එළියට පැමිණීමත් සමග රනිල් ආපසු කළේ සුපුරුදු පරිදි රුවන්ගේ පත්තර යොදාගන සජිත්ටත්, සජබයටත් පහර දීමය. ඒ හරහා පක්ෂ දෙක එකතු වීමට තිබූ ස්වර්ණමය අවස්ථාවක් නැවත වතාවක් අහිමි වී ගියේය. එසේ වුවත් රනිල් තවමත් සිටින්නේ සජබය දෙකඩ කඩා කෙසේ හෝ සජිත් බිමට වැට්ටවීමේ උත්සාහයකය. ඒ සඳහා දැන හෝ නොදැන රනිල්ට උදව් උපකාර කරන කිහිප දෙනකුද සජබය ඇතුළේ නැතුවා නොවේ. ඉන් එක් අයකු වන්නේ කබීර්ය. ඒ අනුව පසුගිය කාලය පුරාම රනිල්ගේ අවශ්‍යතාවන්ට අනුව කබීර් තැන් තැන්වල සාකච්ඡා පවත්වමින් සජබය සහ එජාපය එකතු කිරීමට යැයි කියමින් සජබය ඇතුළේ අර්බූද නිර්මාණය කිරීමට ලොකු වැඩ කොටසක් කළේය.
දූෂිතයන්- හොරු එපා
මේ තත්ත්වය හේතුකොට ගෙන පසුගිය සතිය වනවිට සජබය ඇතුළේ යම් අර්බුදයක් මතුව තිබිණ. ඒ, මහජන මුදලින් ලන්ඩන් සංචාරයක නිරත වූ බවට චෝදනා යටතේ රනිල් අත්අඩංගුවට ගත් විට ඔහු වෙනුවෙන් පෙනී සිටියත් මින් ඉදිරියට තවදුරටත් අල්ලස් හෝ දූෂණ චෝදනා එල්ල වී ඇති පිරිස් වෙනුවෙන් පෙනීසිටින්නේද නැද්ද යන්න සම්බන්ධයෙනි. මීට සති දෙකකට ඉහතදී පැවැති සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීද බොහෝ දෙනා පෙන්වා දී තිබුණේ සමාජය ඇතුළේ බරපතළ පිරිහීමකට ලක්වූ දූෂණ චෝදනා සහිත අප්‍රසන්න චරිත සමග එක්ව සන්ධාන බිහිකිරීම හෝ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම සජබයට විශාල අවාසියක් බවත්, ඒ හරහා සජබ ඡන්ද පදනම පිරිහෙනවා පමණක් නොව, අලුත් තරුණ ඡන්ද සජබය වටා එක්වීමද ඇහිරෙන බවත්ය. මන්ත්‍රී මරික්කාර් මේ බව ප්‍රසිද්ධියේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කළා පමණක් නොව පසුගිය සතියේ පැවැති මාධ්‍ය හමුවේදීද මහින්දගේ සැප දුක් විමසීම සඳහා රනිල් තංගල්ලේ යෑමද දැඩිව හෙළාදැක්කේය. ඔහු කියා සිටියේ එදා මහින්දට ‘හොරා’ කියන ලෙස පාර්ලිමේන්තුවේදී තමන්ට උපදෙස් දුන්නේද රනිල් බවත්, එදා හොරු වෙනුවෙන් දෙපැත්තට බැණගත් පිරිස් අද එකට එකතු වී සිටින බවත්ය. ඒ අනුව අවසානයේදී සජබය තීන්දු කළේ මින් ඉදිරියට චෝදනා එල්ල වන කිසිවකුත් වෙනුවෙන් පෙනී නොසිටීමටය.
රනිල්ගේ ඩිනර් එක
මෙවැනි පසුබිමක් යටතේ පසුගිය බදාදා සජබ කළමනාකරණ කමිටු රැස්වීම විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. ඒ වනවිටත් රනිල් සජබයට තවත් උගුලක් අටවමින් කොල්ලුපිටියේ පිහිටි ‘කලම්බෝ ස්විමිං ක්ලබ්’හි විපක්ෂයේ නියෝජිතයන්ට යැයි කියමින් සුපිරි රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කොට තිබිණි. බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැත්වෙන එම භෝජන සංග්‍රහයට පැමිණෙන ලෙස දුරකතන ඇමතුම් ලබාදෙමින් සහ වට්ස්ඇප් ඇමතුම් ලබාදෙමින් ආරාධනා කරනු ලැබුවේ වෙන කවුරුවත් වජිර අබේවර්ධනය. ඒ අනුව සජබයේ රංජිත් මද්දුමබණ්ඩාරටත්, කබීර් හෂීම්ටත්, තිස්ස අත්තනායකටත් රනිල්ගේ මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වන ලෙස වජිර ආරාධනා කොට තිබිණි. එජාප සමුළුවට සහභාගි වූවන්ට ස්තුති කිරීම සඳහා මෙම රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වෙන බව කියා සිටියත් එහි යටි අරමුණ වී තිබුණේ සජබ මන්ත්‍රීවරුන් ඊට ගෙන්වාගෙන සජබය ඇතුළේ තවත් අර්බුදයක් ඇතිකිරීමය. නමුත් කනගාටුවට කරුණ වන්නේ සජබයේ සිටින ඇතැම් ඔළමොට්ටල දේශපාලකයන්ට රනිල්ගේ මේ ගේම් තවමත් නොතේරීමය.
සජබයේ මත දෙකක්
එවැනි පසුබිමක් යටතේ බදාදා පැවැති කළමනාකරණ කමිටු රැස්වීමේදීද සන්ධාන මාතෘකාව එළියට ඇදී ආවේය. එහිදී සජබ මන්ත්‍රීවරුන් අතර මත දෙකක් පැවැති ආකාරය දැකගත හැකි විය. ඉන් එක් මතයකින් කියැවුණේ දූෂණ චෝදනා සහිත ඡන්දයක් ජයග්‍රහණය කිරීමට බැරි පිරිස් සමග එක්වී සන්ධාන හැදීමට ගියහොත් සජබයද නියත වශයෙන්ම විනාශ වනවා යැයි කියාය. නමුත් එජාපය යනු අපේ මහගෙදර බවත්, එජාපය සමග සන්ධානගත වීම සඳහා සාකච්ඡා කිරීම වෙනම දෙයක් බවත්, ගමේ පාක්ෂිකයන් මේ පක්ෂ දෙකේ එකමුතුවක් බලාපොරොත්තු වන බවත් තවත් පිරිසකගේ මතය විය.
කබීර්ට බාරදෙයි
ඒ අනුව මෙම කරුණු දෙකම සාකච්ඡාවට මතුවෙද්දී ඒ සියල්ල සාවධානව අසා සිටි සජිත් කබීර්ට විශේෂ වගකීමක් පැවරීමට කටයුතු කළේය.
‘මම කබීර් මේ කතාව කියන්නේ ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන. මට දිගටම ගහපු, අපිව පක්ෂෙන් එළියට දාපු රනිල්ව අත්අඩංගුවට ගත්තාම මම අවංකව පක්ෂෙත් එක්කම රනිල් වෙනුවෙන් පෙනී සිටලා එතුමාව එළියට ගන්න සටන කළා. හැබැයි එයා එළියට ආපු ගමන් ආපහු හැරිලා මටත් පක්ෂෙටත් ගහන්න ගත්තා. ඒ නිසා ඔයා ගිහිල්ලා රනිල්ට කියන්න ගේම් ගහන්න ලෑස්ති වෙන්න එපා කියලා….’ යනුවෙන් සජිත් කියද්දී කබීර් ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, ‘මම මේක එතුමට කියන්නම්. නමුත් අපි මේක තේරුම් ගන්න ඕනේ. දැන් රනිල් කියන චරිතයෙන් කාටවත් වැඩක් නෑ. එතුමා දැන් විශ්‍රාම යන්න ඉන්න කෙනෙක්. අනික එතුමට දිනන්නන් බෑ, එතුමාට ඡන්දත් නෑ. ඉතින් අපි මොන ක්‍රමයකින් හරි පක්ෂ දෙක එකතු කරගත්තොත් ඒකේ වැඩි වාසිය අපිට…’ යැයි කියාය. එමෙන්ම එහිදී බ්‍රහස්පතින්දා දිනයේදී රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත රාත්‍රී භෝජන සංග්‍රහය පිළිබඳවද කතාව එළියට පැමිණියේය.
ඒ අනුව සජිත් අවසානයේදී කබීර්ට වගකීමක් පවරමින් කියා සිටියේ එසේ නම් පක්ෂ දෙක එකතු කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කරන ලෙසය.
‘හරි එහෙම නම් මේ පක්ෂ දෙක එකතු වෙන්න ඕනේ කොහොමද කියලා කබීර් ඔයා වාර්තාවක් හදන්න. හැබැයි ඒකෙදි පැහැදිලිවම සජබ නායකත්වය යටතේ මේ පක්ෂ දෙක එකතු වෙනවා කියන එක තියෙන්න ඕනේ. අපි මොන විදියටද එකතු වෙන්නේ කියන එක ඕගොල්ලෝ ඒකෙන් යෝජනා කරන්න. මට කමක් නෑ ඕගොල්ලෝ මොන තැනක ගිහිල්ලා මොන අය එක්ක ඩිනර් ගත්තත්. ඒ හින්දා ආයේ මේක ගැන තැන් තැන්වල කතාකරන්න යන්න ඕනේ නෑ. ඕගොල්ලෝ වාඩිවෙලා එක තැනක ඉඳන් මේ වාර්තාව හදන්න. අපි බලමු ඒ වාර්තාවේ මොනවද කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒක ගිහින් යූ.එන්.පී. එකට දෙන්න. එතකොට අපිට පුළුවන් ඒ අයගේ ප්‍රතිචාරය මොකක්ද, පක්ෂ දෙකට එකතු වෙන්න පුළුවන්ද, ඒ කොහොමද කියලා බලාගන්න. ඒ හින්දා මේවා හැංගි හොරා කරන්න ඕනේ නෑ. අපි එළිපිට කරමු….’ යනුවෙන් කී සජිත් කබීර්ට සහාය දැක්වීම සඳහා මුජිබර් රහුමාන් සහ එස්.එම්. මරික්කාර් එම කමිටුවට පත්කිරීමට පියවර ගත්තේය.
රනිල්ගේ ඩිනර් එකට සජබය නෑ
මේ අතර බ්‍රහස්පතින්දා රාත්‍රියේ රනිල්ගේ ප්‍රධානත්වයෙන් කලම්බෝ ස්විමිං ක්ලබ්හි රාත්‍රී භෝජන සංග්‍රහය පැවැති අතර, ඊට විපක්ෂයේ පක්ෂ නියෝජිතයන් 18 දෙනකු පමණ එක්ව සිටියහ. ඒ අතර ජී.එල්. පීරිස්, නාමල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, පලනි දිගම්බරම්, කාදර් මස්තාන්, උදය ගම්මන්පිල, තලතා අතුකෝරාල, රවී කරුණානායක, හරීන් ප්‍රනාන්දු, ටිරාන් අලස්, අසංක නවරත්න සහ වජිර අබේවර්ධන යන අයද සිටියහ. නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සජබයෙන් ආරාධනා ලැබ සිටි රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම් හා තිස්ස අත්තනායක යන තිදෙනාම රනිල්ගේ භෝජන සංග්‍රහයට එක්ව නොසිටීමය.
රස මසවුලෙන් සහ සුපිරි මධුවිතෙන් පිරුණු මෙම රාත්‍රී භෝජන සංග්‍රහයේදී රනිල් ඇතුළු විපක්ෂයේ පක්ෂ නියෝජිතයන් තීන්දු තීරණ කිහිපයක්ම ගෙන තිබිණි. ඉන් පළමුවැන්න වී තිබුණේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ එකමුතුවෙන් දැවැන්ත රැලියක් නුගේගොඩ සංවිධාන කිරීමටය. ඊට පළමුව දිනය යොදාගත්තේ නොවැම්බර් 21 වැනි දිනය. නමුත් ඊට ආසන්න දිනවලදී ආණ්ඩුවට වසරක් සපිරෙන බව ගම්මන්පිල පෙන්වා දීමෙන් පසු අදාළ රැස්වීම නොවැම්බර් 11 වැනි දින පැවැත්වීමට තීරණය විය. එමෙන්ම රනිල්ගේ ප්‍රධානත්වයෙන් ගම් මට්ටමින් පවත්වන රැස්වීම් දහස ද ඊට සමගාමීව ආරම්භ කිරීමට මෙහිදී තීරණය විය.
අපි කියපු දේම අනුරත් කිව්වා
පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් 2026 වසර සඳහා වූ අයවැය ලේඛනයේදී අලුතෙන් බදු පැනවීමක් සිදු නොකිරීමට ආණ්ඩුව තීන්දු කර ඇති බව පෙන්වා දුන්නෙමු. එමෙන්ම අයවැය හිඟය විශාල වශයෙන් මෙවර අයවැයේදී අඩුකර ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින බවද අප එහිදී සඳහන් කර සිටියෙමු. අප මෙම තොරතුර රාජ්‍ය රහස් තීරයෙන් අනාවරණ කොට පැය 48ක් ඉක්ම යෑමට මත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අප කී කතාව තහවුරු කරමින් මෙවර අයවැයෙන් කිසිදු අලුත් බදු පැනවීමක් සිදු නොකරන බව සඳහන් කර සිටියේය. ඒ, සිය ජපන් සංචාරය අතරතුරදී ජපානයේ ශ්‍රී ලාංකිකයන් අමතා කළ කතාවේදීය.










