පරිසරය කියන්නේම නිරන්තරයෙන්ම වෙනස් වන අපූර්වත්වයට. ඒකට නිර්ණායක නීතිරීති නෑ. සොබාදහම විසින්ම සකස් කරගත් රිද්මයකට තමයි ඒ සියල්ලම සිදුවෙන්නේ. ඒකට කදිම නිදසුනක් මෙරට කඳුකර පරිසර පද්ධතියේ මේ දවස්වල සිදුවෙමින් පවතිනවා. ඒ වලාකුළු වනාන්තරය ආශ්‍රිතව සිදුවන ‘නෙළු වසන්තය’. අවුරුදු දොළහකට වතාවක් පමණ සිදුවන මෙකී පාරිසරික වෙනස්වීම, එහෙම නැත්නම් සුන්දරත්වය ගැන කැලෑ කොලම කියවන පාඨකයන් දැනුවත් කිරීම තමයි අද අපේ සූදානම.

ස්ට්‍රෝබිලාන්තස් (Strobilanthes) ශාකයේ පුෂ්ප මංජරිය, වලාකුළු වනාන්තරයේ වසර දොළහකට පමණක් ඇතිවන ‘සමූහ නෙළු මල් පිපීම’, ‘මහ නෙළු පිපීම’ හෝ ‘සමමුහුර්ත මල් පිපීම’ යනුවෙන්ද දැක්විය හැකිය. එකී සංසිද්ධිය හෝර්ටන් තැන්නේදී මේ දිනවල දැකගත අපට හැකිය.
මෙකී මහ නෙළු මල් පිපීම පිළිබඳ අතීතය සොයා බැලීමේදී තෝමස් ෆා (Thomas Farr) නම් සුදු ජාතිකයා විසින් 1910දී අපූරු නිරීක්ෂණ සටහනක් ලියා ඇත. 1870 සිට 1910 දක්වා වැවිලිකරුවකු ලෙස කටයුතු කළ තෝමස් ෆා මහතා ස්වභාව විද්‍යාඥයකු වූ අතර, සිලෝන් ගේම් ප්‍රොටෙක්ෂන් සොසයිටි (Ceylon Game Protection Society) හි ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත. තෝමස් ෆා විසින් මහ නෙළු මල් පිපීම 1881, 1893, 1905 යන වර්ෂවල නිරීක්ෂණය කරමින් සටහන් ලියා ඇත.
හෝර්ටන් තැන්නේ පමණක් නොව පිදුරුතලාගල, සමනළ කන්ද ආදී කඳු බොහොමයකද මෙකී මල් හටගන්නා බවද ඔහු විසින් ඔහුගේ නිරීක්ෂණ සටහන්වල ලියා ඇත. ඔහුගේ නිරීක්ෂණය ඉතා නිවැරදි වන අතර, 2001, 2013, 2025 යන වර්ෂවල මහ නෙළු මල් පිපීම සිදුවිය. නැවත වරක් මහ නෙළු මල් පිපීමක් සිදුවනු ලබන්නේ 2034 වසරේදීය.
මහ නෙළු මල් පිපීම විවිධ දිස්ත්‍රික්කවලදී විවිධ කාලවකවානුවලට අනුරූපව සිදුවන බව තෝමස් ෆා නිරීක්ෂණය කර ඇත. එවන් එක් හඳුනාගත් දිශාවන් ලෙස ශ්‍රීපාදයේ සිට පෙඩ්රෝ දක්වාත් ඉන් ඔබ්බට පූඩලුඔය දක්වාත් සඳහන් කර ඇත. කෙසේ වෙතත් එය එකී දිශාවන් මහ නෙළු වර්ෂය හෝර්ටන් තැන්නේ සැතපුම් හයේ දිස්ත්‍රික්කය හෝ ලෝකාන්ත දිස්ත්‍රික්කය ලෙස සටහන් කර ඇත. මෙකී මහ නෙළු වර්ෂය වසර හතරකට හෝ පහකට වරක් සිදුවන බවද ඔහු නිරීක්ෂණය කර ඇත. 1910 හා 1911 අතර කාලය තුළ එකී මහා නෙළු මල් පිපීම සිදුවූ බවද ඔහු සඳහන් කොට ඇත.
වර්තමානයේ අප සිදුකළ යුත්තේ කුමක්ද? එකී පාරිසරික සුන්දරත්වය හික්මීමකින් රසවිඳීම හා එකී පාරිසරික පද්ධතිය ආරක්ෂා කිරීම අපගේ ප්‍රධානතම වගකීම වේ. එසේ නොමැතිව බස් පුරවාගෙන ගොස් මල් අතු ඉති කඩා ඡායාරූප ගෙන සමාජ මාධ්‍යවලට මුදාහැරීම නොව. දැනට එවන් සිදුවීම් කීපයක්ද වාර්තා වී තිබේ. ස්වයං හික්මීමක් නැති පාරිසරික විනෝදකාමීන්ගෙන් එල්ලවන මෙකී තර්ජනය නිලධාරීන්ට පාලනය කර නොහැකි මට්ටමට ළඟාවුවහොත් එය ඉතා ඛේදවාචකයක් වනු නොඅනුමානය. එවැනි ඔලමොට්ටල ක්‍රියා සිදුකිරීමෙන් වෙන්නේ මෙවැනි සුන්දර පාරිසරික සංසිද්ධියක් අනාගත පරපුරට දැකබලා ගැනීමට තිබෙන අවස්ථාව නැති වීමයි. ඒ ගැන අවධානය යොමුකරන ලෙස සියලු පාරිසරික රසවතුන්ගෙන් කැලෑ කොලමේ අපි වගකීමෙන් යුතුව ඉල්ලා සිටිමු.
වසර සියයකට පෙර එකී සුදු වැවිලිකරුවා විසින් මෙම පාරිසරික සංසිද්ධිය නිරීක්ෂණය කොට සටහන් කොට තැබීම ගැන අප ස්තුතිවන්ත විය යුතුය. එසේම මෙම අපූරු පාරිසරික සිදුවීම් වාර්තා කොට තැබීම වත්මන් පරපුරේද වගකීමක් වන අතර, එය අනාගතයට සිදුවන මහඟු ආයෝජනයක් වනු නොඅනුමානය. මෙරට පාරිසරික පද්ධතිය රැකගැනීම මෙරට සිටින සියලු පුරවැසියන්ගේ අනුල්ලංඝනීය වගකීම වන බවද කැලෑ කොලමේ අප අවධාරණය කර සිටින්නෙමු. අයාලේ ගොස් නෙළු වසන්තය විනාශ නොකරන ලෙස නැවත නැවතත් අප පාරිසරික රසවතුන්ගෙන් ඉල්ලා සිටිමු.
මෙකී සටහන තැබීම සඳහා කරුණු උපුටා ගැනීමට සහයෝගය දැක්වූ දිලුම් අලගියවන්න මහතාට කැලෑ කොලමේ ස්තුතිය පුද කරන්නෙමු.

සමන් හල්ලොලුව










