මහනුවර දොඩන්වෙල ඓතිහාසික නාථ දේවාලයේ සියවස් ගණනාවක් තැන්පත් කර තිබුණු දෙවැනි ශ්‍රී රාජසිංහ රජු විසින් අතීතයේ දේවාලයට පරිත්‍යාග කරන ලද රන් ඔටුන්නේ (කිරුළේ) රිදී අනුරුව නැවත දේවාලය තුළ තැන්පත් කරන ලෙස නාථ දේවාලයේ බස්නායක නිලමේ අකලංක බණ්ඩාර වේරපිටිය විසින් ඉල්ලීමක් කර ඇත. දෙවැනි ශ්‍රී රාජසිංහ රජුගේ මූලිකත්වයෙන් සිදුකළ ඓතිහාසික ගන්නෝරුව සටනින් ඔවුන් ජයග්‍රහණය කිරීමෙන් පසු රජතුමා විසින් නාථ දේවාලයට එම මුල් රන් ඔටුන්න පූජා කරන ලදී. එහෙත් පසු කාලයකදී එම ඔටුන්න සොරුන් විසින් සූක්ෂ්ම අයුරින් සොරකම් කරන ලදී. ඉන් පසුව එම මුල් රන් ඔටුන්නේ රිදී අනුරුවක් සාදා දේවාලයේ තැන්පත් කර ඇත. ඉන් පසුව මෙම රිදී අනුරුවද මෙරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රැගෙන ගොස් මහනුවර කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. එම රිදී අනුරුව මේ වනවිට එම කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇත.Sri Lanka Latest News
එලෙස මහනුවර කෞතුකාගාරයට ගෙන යෑමට පෙර නාථ දේවාලයේ කපු මහත්වරුන් විසින් සියවස් තුනක පමණ කාලයක් පුරා එම ඔටුන්න ඉතා හොඳින් රැකබලා ගත් බැව් නාථ දේවාලයේ වත්මන් බස්නායක නිලමේවරයා ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ එම රන් ඔටුන්නේ රිදී අනුරුව නැවත දේවාලය වෙත රැගෙන විත් තැන්පත් කරන ලෙසටය. එසේ සිදුකිරීමෙන් එය නාථ දේවාලයට සිදුකරන ගෞරවයක් මෙන්ම මහජනතාවට එම කෞතුක වස්තුව එයට අයත් නිසි ස්ථානය තුළදීම දැකබලා ගත හැකි බව නිලමේවරයා විසින් අවධාරණය කර ඇත. යටිනුවර ජනතාවට මෙන්ම අනෙකුත් බැතිමතුන්ටද අවම වශයෙන් ශ්‍රී රාජසිංහ රජු විසින් නාථ දෙවියන් වෙනුවෙන් සිදුකළ පූජාවේ සමානකම මේ අනුව දැකබලා ගැනීමට හැකිවනු ඇතැයිද ඔහු ප්‍රකාශ කර ඇත. එම ඔටුන්නේ රිදී අනුරුව පවා අයිති වන්නේ නාථ දේවාලයට බැව් ඔහු පැහැදිලි කර ඇත.
ඓතිහාසික නාථ දේවාලය යනු මහනුවර රාජකීය මාලිගා සංකීර්ණය ඉදිරිපිට පිහිටා ඇති ඉපැරැණි සිද්ධස්ථානයකි. මහනුවරට දන්ත ධාතුන් වහන්සේ වැඩම කිරීමට පෙර සිටම මෙම දේවාලය පැවැති බව ඉතිහාසය කියයි. මහනුවර ඇති පැරැණිතම ව්‍යුහය වන එය 14 වැනි සියවසේදී තෙවැනි වික්‍රමබාහු රජු විසින් ඉදිකරන ලද බව පැවැසෙයි. මහනුවර රාජධානිය පැවැති සමයේදී මෙම දේවාලය රාජකීයත්වය ස්ථාපිත කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටුකළ බව කියැවෙයි. රජවරුන්ට රාජකීය නාමය ලබාදුන්නේ මෙම දේවාලය තුළදී බවද, නාථ දේවියන් යනු බුදුදහම රැකගන්නා දෙවියකු බවද ජනප්‍රවාදය කියා සිටියි.

ප්‍රියන්ත හෙට්ටිගේ










