එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සරය එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20 වැනිදා කොළඹදී පැවැත්විණි. සංවත්සර සභාව අමතින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කළ කතාව පහත පළවේ.Sri Lanka Latest News
මම මගේ දකුණු පැත්තේ ඉන්න කීර්තිමත් නායකයන් අතරේ මගේ අභාවප්‍රාප්ත නායක අෂ්රොෆ් මැතිතුමාගේ පින්තූරයත් තියෙන බව දකිනවා. එතුමත් ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට පෙර සිටම මේ ජනාධිපතිවරුන් අතරේ රණසිංහ ප්‍රේමදාසයන්ගේ ජනාධිපති මැතිවරණයේදී එතුමාගේ ජයග්‍රහණයේ තීරණාත්මක සාධකයක් වුණා කියලා කවුරුත් දන්නවා. ඒ වෙලෙත් රටේ තිබුණේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදිත්වය පිළිබඳ ගැටලුවක්. ගිය සැප්තැම්බර් 16 වැනිදා මගේ හිටපු නායකතුමාගේ 25 වැනි සමරු දිනය සැප්තැම්බර් මාසයේ 16 වැනිදා අපි සැමරුවා. අවුරුදු 25ක් ගතවෙලා ඉවරයි. එතුමාගේ අභාවයෙන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ ආණ්ඩුවෙන් මාව අමාත්‍ය ධුරයෙන් නෙරපුවාට පස්සේ මම එක්සත් ජාතික පක්ෂය නැවත ආණ්ඩුවට ගෙන ඒම සඳහා සන්ධානගත වුණා. ඒ මැතිවරණයේදී කවුරුත් දන්නවා, මගේ ආධාරකරුවන් එකොළොස් දෙනෙක් බිල්ලට දෙන්න සිදුවුණා. ඉතින් ඒ වගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට විවිධ අවස්ථාවලදී එක්සත් ජාතික පක්ෂයත් එක්ක අපි ඓතිහාසික තීරණ අරගෙන ගමනක් ආපු පක්ෂයක්.
දැන් වර්තමාන ආණ්ඩුව පිළිබඳ අපි බලනකොට, අතීතයේදී අපි විවිධ ආණ්ඩුවලට මේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වය පිළිබඳ දොස් කිව්වා, දෝෂාරෝපණය කළා. වර්තමාන ආණ්ඩුවත් නොයෙකුත් පොරොන්දු දෙමින් ආවට, දැන් උදාහරණයක් හැටියට ගත්තාම මේ පළාත් පාලන මැතිවරණ සමයේ වර්තමාන ජනාධිපතිතුමන් ගිහිල්ලා වේදිකාවේ කිව්වා, අප පක්ෂයට ඡන්ද නොදුන්ණොත් සංවර්ධනයට කිසිම පළාත් පාලන ආයතනයකට මම මුදල් වෙන් කරන්නේ නැහැ කියලා ප්‍රසිද්ධියේ කිව්වා. ඒ වගේම විවිධ අවස්ථාවලදී විවිධ නායකයන්ගේ කතා අපි දකිනවා. දැන් මෑතකදී කියලා තිබුණා වැඩවර්ජනය කළොත් බලාගෙනයි, වැඩවර්ජනය කරලා බලන්නකෝ අපි කරන වැඩේ කියලා තර්ජනය කරනවා. මේ රටේ හැම සංවර්ධන වැඩක්ම, හොඳ වැඩක්ම, වැඩ වර්ජනය කරලා නවත්තපු අය දැන් වෘත්තීය සමිතිවලට අවවාද කරනවා.
දවස් කීපයකට පෙරදී අපි දැක්කා පෙරටුගාමී පක්ෂයේ පක්ෂ කාර්යාලයේ ගැටලුවක් පිළිබඳ කොහොමද ඒ ආණ්ඩු පක්ෂයේ හැසිරුණේ කියන එක. ප්‍රසිද්ධියේ මාර්ග බාධක දාලා, විශේෂ කාර්ය බළකාය ගෙනැවිත්, පළාතේ තියෙන හැම පොලිස් ස්ථානයෙන්ම පොලිසිය ගෙනැවිත් ඒ කාර්යාලයේ ගැටලුව නිරාකරණය කරගන්න ආණ්ඩු බලය පාවිච්චි කරපු හැටි අපි දැක්කද නැද්ද? ඉතින් මේ ඔක්කොම දකිද්දී, දැන් මේ ආණ්ඩුව පිළිබඳ ජනතාව අතරේ නැත්නම් විපක්ෂය අතරේ ඇතිවෙලා තියෙන මේ භීතිකාව වෙන මොකුත් නෙමෙයි. මේක බොල්ෂෙවික් ඒකාධිපතිත්වයට යන ගමනක් කියන එක අපිට පේනවා.
මේක සාමාන්‍ය ඒකාධිපතිත්වයක් නෙමෙයි. නමුත් අපිට ව්‍යවස්ථාව පිළිබඳ ජනතාවට දුන්නු හැම පොරොන්දුවක්ම කණපිට හරවන ආණ්ඩුවක්, විශේෂයෙන්ම මැතිවරණ ක්‍රමය අතපත ගාන්න සූදානම් වෙන බවත් අපි දකිනවා. විවිධ ආණ්ඩු, විශේෂයෙන්ම තමන්ට තුනෙන් දෙකේ බලයට ළඟා වුණාම, නැත්නම් තුනෙන් දෙකේ බලය ලබාගත්තාම හැසිරෙන ආකාරය අපි දන්නවා. මම කවදත් කියන දෙයක් තමයි, දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ගේ තේරීම් කාරකසභාවේ යෝජනාවලට වැඩියෙන්ම විරුද්ධ වුණේ මමයි. මනෝ ගනේෂන් මැතිතුමයි, තවත් සුළු පක්ෂවල නායකවරු කීප දෙනෙක්. මැතිවරණ ක්‍රමවල ස්ථාවර ආණ්ඩුවක් කිය කියා ආණ්ඩු බලය ගන්න ඉන්න පක්ෂ කතා කරනකොට සුළු පක්ෂවලට ඇතිවෙන ලොකුම ප්‍රශ්නය තමයි, මේ ස්ථාවර ආණ්ඩුව කිය කියා යනකොට, කරුණාකරලා මතක තියාගන්න විපක්ෂයට එනකොට ඕගොල්ලන්ට මොකද වෙන්නේ කියලා. ඒකයි මම සමානුපාතික ක්‍රමය ආරක්ෂා කළ යුතුයි කියලා සටන් කළේ.
අපේ හිටපු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය වෙලා ඉඳිද්දී, එතුමා පළාත් සභා ක්‍රමයට වෙන යෝජනාවක් ගෙන එද්දිත් මම විරුද්ධ වුණා. තරයේම විරුද්ධ වුණා. නමුත් දැන් අපිට පළාත් සභාවක් නෑ අවුරුදු දොළහක්. අප පක්ෂය ප්‍රථම ජනාධිපති මැතිවරණයට පෙරම ජනාධිපති ප්‍රේමදාස මැතිතුමන්, අපේ හිටපු ජනාධිපතිතුමන්, සභානායක වෙලා ඉඳිද්දී, එක රැයකින් ගෙනාපු සංශෝධනයෙන් තමයි 12%ට තිබුණු ඒ ප්‍රතිශතය 5%ට බස්සවලා, සමානුපාතික ක්‍රමයේ සුළු පක්ෂවලට පාර්ලිමේන්තු ආසනයක් ගැනීමේ ඒ වරම අපිට ලබාදෙන්න පුළුවන් වුණේ. ඒ වරමෙන් තමයි වර්තමාන ආණ්ඩුවත් දැන් මෙතරම් දුරට ඇවිත් තියෙන්නෙ කියන එකත් වර්තමාන ආණ්ඩුවට මම මුල් දවසෙම පාර්ලිමේන්තුවේදී මතක් කළා.
එතකොට අපිට තියෙන විශාලතම අභියෝගය, අපේ මැතිවරණ ක්‍රමවලට අවශ්‍ය නැති වෙනස්කම් ගෙනැවිත්, සුළු පක්ෂවල නියෝජනය අහිමි කරන්න හිතුවා නම්, ඒකෙන් විශාල ප්‍රතිවිපාකයක් ආණ්ඩු කරන්න බලන් ඉන්න පක්ෂවලටත් ඇති වෙනවා කියන එක දැන් අපි දකිනවා. එබැවින් මේ ආණ්ඩුවේ මේ ඒකාධිපති වියරුව මුල සිටම දකින අපි පෙළගැසිය යුතුයි, මැතිවරණ ක්‍රමවලට අයථා ලෙස අතගැහීමට මේ ආණ්ඩුවට ඉඩ නොදිය යුතුයි. ඒ පිළිබඳ අපි අතරේ එකඟත්වයක් ඇති කරගත යුතුයි කියලා කියමින්, විශේෂයෙන්ම 79 වැනි සංවත්සරය සමරන එක්සත් ජාතික පක්ෂයට අපේ පක්ෂයේ ශුභාශිංසනය පුද කරමින් මම සමුගන්නවා. ස්තුතියි.
Voice Tube










