සුනිල් හඳුන්නෙත්ති ඇමැතිතුමා පහුගිය දවසක තිබුණු රූපවාහිනී වැඩසටහනකදී ඒකේ නිවේදකයාගෙන් අහනවා ‘ඉතින් ඔයාට පාන්ද?’ කියලා. ඒක ඇත්ත, ඇත්තටම එයාට පාන්ද? දැන් මේ ප්‍රශ්නේ අපිට මේ රටෙන් අහන්න පුළුවන්. පාරේ බයිසිකලේ යනකොට ට්‍රැෆික් කෙනෙක් නතර කරලා අහනවා හෙල්මට් එකක් දාලා නැත්තේ ඇයි කියලා. එතකොට අපිට අහන්න පුළුවන්, ඔළුව මගේ නම්, තුවාල වෙන්නේ මට නම්, ඔයාට පාන්ද? කියලා. ඒ වෙලාවට ට්‍රැෆික් නිලධාරියා අපිට දෙකක් කියලා, දඩයක් ගහන්න යනවා නම් බය නැතුව කීයක් හරි දෙන්නත් පුළුවන්. ඒක වැරදියි. හැබැයි ඉතින් අපිට අහන්න පුළුවන්නේ, දෙන්නේ මම නම්, ගන්නේ එයා නම්, ඔයාලට පාන්ද? කියලා. බැඳුම්කර වංචාවක් ගැන පහුගිය දවස්වල කිව්වා. බැඳුම්කර වංචාව කළා නම්, දැන් ඒ වැඩේ වෙලා ඉවර නිසා, අපිට ඕනෙ වෙලාවක අහන්න පුළුවන්, ඉතින් ඔයාට පාන්ද? කියලා.
අපරාධකාරයෝ අරවා ගෙනාවා, මෙව්වා ගෙනාවා කියලා තඩි කතන්දර කියනවා. අයිස් ගෙනාවා නම්, අයිස් හැදුවා නම්, අයිස් හදලා විකුණුවා නම්, ගහන එකා ගහනවා නම්, ගහන එකා කියනවා නම් කමක් නෑ කියලා, විකුණන එකා කියනවා නම්, ඒගොල්ලෝ ගන්න නිසයි විකුණන්නේ කියලා, ඉතින් අපිට අහන්න තියෙන්නේ පාන්ද? කියලා. මේ වගේ ඕනෙ තරම් දේවල්වලදී දැන් අපිට බය නැතුව අහන්න පුළුවන් ඉතින් ඔයාට පාන්ද? කියලා.Sri Lanka Latest News
අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් පහුගිය දවස්වල විශාල ප්‍රමාණයක් අත්තඩංගුවට ගත්තා. අල්ලස් දෙන කෙනත් වැරදියි, ගන්න කෙනත් වැරදියි. හැබැයි දැන් අපිට ඕනෙ නම් අහන්න පුළුවන්, දෙන කෙනයි ගන්න කෙනයි දෙන්නම වැඩේට කැමැති නම් ඔයාට පාන්ද? කියලා. මේ විදිහට ලංකාව පුරාම සිද්ධ වෙච්ච හැමදේටම දැන් අපිට බය නැතුව කතා කරන්න පුළුවන් වචනයක් තියෙනවා. ඒ තමයි, ඉතින් ඔයාට පාන්ද? කියන එක.
පහුගිය දවස්වල අපි දන්නවා ටෙන්ඩර් මගඩි සිද්ධ වුණා. අපි දන්නවා එක එක දේවල් ලංකාවට ගෙන්නන්න ගිහිල්ලා විවිධ උපක්‍රම පාවිච්චි කරලා අහුවුණා. ඒ හැම වෙලාවකම ඒගොල්ලන්ට අහන්න පුළුවන් ඒ ඒ නිලධාරීන්ගෙන්, ඉතින් ඔයාට පාන්ද? කියලා. ඉතින් අපිට පාන්ද, ඉතින් ඔයාලට පාන්ද? කියලා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ලංකාවට ආවා, මුහුදේදී ගිනිගත්තා, නැවේ නාවිකයන්ට අහන්න පුළුවන්, ඉතින් ඔයාලට පාන්ද? කියලා. අපි දන්නවා, කසළ පොහොර නැවක් ලංකාවට ආවා, ඒ පොහොර නැව ලංකාවේ ටික කාලයක් ඉඳලා ආපහු ගියා. එතකොට ඒ වෙලාවේ ඒ නැවට සල්ලි ගෙව්වා. ඒගොල්ලන්ට අහන්න පුළුවන්, ඉතින් ඔයාලට පාන්ද? කියලා. ඒ සල්ලි ගෙව්වේ අපි නම්, ගත්තේ ඒගොල්ලෝ නම්, ඉතින් ඔයාලට පාන්ද? මේ වගේ දැන් ඕනෙ තැනකදී පාන්ද කියන වචනය අහන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව. අලුත් වචනයක්, අලුතින් කරළියට ගෙනාවේ සුනිල් හඳුන්නෙත්ති ගරු අමාත්‍යතුමා.
ඔය විදියට ගියොත් කසිප්පු විකුණන තැන්වල මිනිස්සු කියන්න පටන් ගනීවි, බොන්නෙ අපි නං, වෙරි වෙන්නෙ අපි නං, මැරෙන්න අපි නං, ඔයාලට පාන් ද කියලා. ඊළඟට ඒවා විකුණන එව්වො අහයි විකුණන්නෙ අපි නං, ගන්නෙ අපේ කස්ටමස්ලා නං, අපිටත් අවුලක් නැත්තන්, ගන්න එවුන්ටත් අවුලක් නැත්තන් ඔයාලට පාන්ද කියලා.
බූරු ගහන තැන්වලත් එහෙමයි. බූරු ගහන්නෙ අපි නං, සල්ලි වියදම් වෙන්නෙ අපේ නං ඔයාලට මොකද කියලා පොලිසියෙන් අහන්න ඉඩ තියෙනවා. ඒ වගේම බුරූ ගස්සන තැන එකා වුණත් එහෙම අහන්න බැරි නෑ. ගස්සන්නෙ මම නං, ගහන්නෙ උන් නං ඔයාලට පාන්ද කියලා.
ස්පා එකකට පැනලා ඒකෙ ඉන්න එවුන්ව උස්සගෙන යන්න කලින් දැන් අහගන්න වෙන්නෙ කුණුහරුප කතාවක්. කරන්නෙ අපි නම්, කරන්නෙ අපේ කස්ටමස්ලට නං, අපිටත් අවුලක් නැත්නම්, එයාලටත් අවුලක් නැත්නම් ඔයාලට පාන්ද කියලා අහන්න පුළුවන්. ඒකෙ ඉඳලා කොටුවෙන එව්වොත් ඕකම අහන්න ඉඩකඩ තියෙනවා.
ඒ නිසා දැන් ඉතිං කොරන්ට දෙයක් නෑ. අපි මෙව්වා ලිව්වම ඔය ලොකු මහත්තුරු අහන්ඩ ඉඩ තියෙනවා අපි එහෙම කිව්වම ඔයාලට පාන්ද කියලා. ඒ නිසා අපිත් අහන්නෙ ඇත්තටම කවුරු කාට මොනවා කිව්වත් ‘අපිට පාන්ද?’ කියලා.

ජීවන පහන් තිළිණ










