වජිරගේ ගේම්
එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සරය සෙනසුරාදා දිනයේදී (21) පැවැත්වීමට මේ වනවිට තීරණය වී තිබේ. මීට පෙර එජාපය තීන්දු කොට තිබුණේ පසුගිය 06 වැනිදා සිය පක්ෂ සංවත්සරය සැමරීමටය. නමුත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම හේතුවෙන් පක්ෂ සංවත්සරය තවත් දින කිහිපයකින් කල් දැමීමට එජජාපය තීරණය කොට තිබිණි. එහිදී රනිල්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත පක්ෂ සංවත්සරය කල්දැමීමට එජාපය තීන්දු කොට ඇති බවට නිවේදනය කර තිබුණද ඒ සඳහා බලපෑ ප්‍රධාන හේතුව වූයේ එය නොව, එජාප සංවත්සරයට සජබය සහ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්කර ගැනීමට එජාපය කළ සැලසුම ඒ මොහොත වනවිට බිඳවැටී තිබීමය.Sri Lanka Latest News
රනිල් අත්අඩංගුවට පත්වීමත් සමග රනිල්ව බේරාගැනීම සඳහා සමස්ත විපක්ෂය එකතු කොට විශාල සටනක් ගෙන යෑමට සජබය අවංක උත්සාහයක් ගත්තේය. රනිල් අතීතයේ සිටම සජිත්ගේ දේශපාලනය විනාශ කිරීමේ යටි අරමුණෙන් කටයුතු කළද, සජබය ආරම්භ කළ දිනයේ සිටම සජබය විනාශ කිරීම සඳහා එළිපිට කටයුතු කළද ඒ සියල්ලක්ම අමතක කර දැමූ සජිත්, රනිල් ගලවාගැනීමේ මෙහෙයුමේ ප්‍රධාන අණ දෙන නිලධාරියාගේ භූමිකාවට පණ පෙව්වේය. ඒ අනුව රනිල් බන්ධනාගාරගතව සිටි දිනයේත්, රෝහල්ගතව සිටි දින හතරේත් උදේටත්, සවසටත් රනිල්ගේ සුවදුක් විමසීම සඳහා සජිත් ගොස් තිබිණි. ඒ අනුව රනිල්ට ඇප ලබාගැනීමත් සමග මුළු රටම සිතා සිටියේ එජාපය සහ සජබය එක්ව අලුත් ගමනක් යෑමට කටයුතු කරනු ඇතැයි කියාය. නව නායකත්වයක් යටතේ පක්ෂ දෙක එකතු කිරීමට රනිල් කටයුතු කරනු ඇතැයි කියාය.
රුවන්ගේ පත්තර
සජබ සහ එජාප පාක්ෂිකයන් අවංකවම පක්ෂ දෙකේ එකතුවක් බලාපොරොත්තු වුවද ‘රාජ්‍ය රහස්’ තීරය ඒ වනවිටත් සාක්ෂි සහිතවම වාර්තා කොට තිබුණේ පක්ෂ දෙකේ ගොඩනැගෙමින් පැවැති මේ එකමුතුව කඩාබිඳ දැමීම සඳහා රෝහලේ සිටින අතරවාරයේදීම රනිල් සිය සුපුරුදු ගේම් ගැසීම ආරම්භ කොට ඇතැයි කියාය. එහිදී අප කියා සිටියේ රෝහල් ඇඳේ සිටියදීම රනිල්, සජිත්ව බියගැන්වීම සඳහා ආණ්ඩුව සජිත් පස්සේ එළවීමට පටන්ගෙන ඇති බව සජිත්ට දැනුම් දී සිටි බවය. නමුත් රනිල්ගේ මේ තුට්ටු දෙකේ නූල් සූත්තර දන්නා නිසාම සජිත් රනිල්ගේ එම ප්‍රකාශය තඹයකට මායිම් නොකර සිටි බවද අපි එහිදී අනාවරණ කළෙමු.
ඉන් අනතුරුව රනිල් සිය මස්සිනා වූ රුවන් විජේවර්ධනට අයත් පුවත්පත් සමූහයම සජිත්ව ඉලක්ක කොට ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදාගෙන තිබූ ආකාරය එකින් එක අප රටට අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. එහිදී රනිල්ගේත්, රනිල්ට සමීප වජිර, රුවන් ඇතුළු කණ්ඩායමේත් සැලසුම වී තිබුණේ සජිත්ව බියගන්වා සජබයත්, සජිත්වත් එජාපයේ සංවත්සර වේදිකාවට රැගෙන ඒමය. එසේ කොට විශාල සංදර්ශනයක් පවත්වා එජාප සංවත්සරය රනිල්ගේ නැවත නැගිටීමක් ලෙස රටට පෙන්වීමටය. ඒ අනුව පළමුව ‘ලංකාදීප’ පුවත්පතේ විපක්ෂයේ ප්‍රබලයකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවට ව්‍යාජ පුවතක් රනිල් සහ රනිල්ගේ කුලී මාධ්‍ය කණ්ඩායම විසින් පළකිරීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ එජාප සංවත්සරයට සජබයට ආරාධනා යවා ඇති බවටත්, එම ආරාධනාව සජබය විසින් පිළිගත් බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් පුවත්පතට තහවුරු කළ බවටත් අසත්‍ය පුවතක් පළකිරීමට පියවර ගත්තේය. මීට අමතරව සිරස ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ අල්ලස් කොමිසම විසින් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සජිත්ව කැඳවා ඇති බවට අසත්‍ය පුවතක් පළකිරීමටද පියවර ගැනිණි.
නමුත් මේ සියලු පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය ඒවා බවත්, එම මාධ්‍ය මෙහෙයුම රනිල් සහ රනිල් සමග සිටින වජිර, රුවන් සහ කුලියට ලියන මාධ්‍ය කණ්ඩායමේ ගේමක් බවත් එකින් එක පැහැදිලිව රටට අනාවරණ කිරීමට අපි පියවර ගත්තෙමු. අප කළ එම අනාවරණයන් 100%ක්ම සත්‍ය බව තහවුරු වූයේ රුවන්ගේ පුවත්පත් සමූහය අනාවරණ කළ පරිදි සජිත්ව අත්අඩංගුවට ගැනීමේ කිසිදු උත්සාහයක් දියත්ව නොතිබීම නිසාය. අල්ලස් කොමිසම මගින් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කිසිදු අවස්ථාවක පැමිණෙන ලෙසට සජිත්ට දැනුම් දීමක් කොට නොතිබූ නිසාය. එමෙන්ම එජාප සංවත්සරයට කිසිදු ආරාධනාවක් කර නොමැති බවත්, තමන්ට ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත කතා නොකළ බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රසිද්ධියේම ප්‍රකාශ කොට තිබීමත් නිසාය. ඒ අනුව අප කළ අනාවරණයන් සත්‍ය බවටත්, මේ මාධ්‍ය මෙහෙයුම පිටුපස රනිල්, වජිර, රුවන් ඇතුළු කණ්ඩායම සිටින බවත් සජබයටත්, රටටත් තහවුරු විය.
මේ හරහා සිදුවූයේ වෙන කිසිවක් නොව එජාපයට සහ සජබයට එක්වීම සඳහා පසුබිම සැකසෙමින් තිබූ ස්වර්ණමය අවස්ථාවක් සිය පටු අරමුණු හේතුකොට ගෙන එජාප නායකයා විසින් සම්පූර්ණයෙන්ම අහුරා දැමීමය. එමෙන්ම මෙම මෙහෙයුම පසුපස රනිල් ඇතුළු රනිල්ගේ කල්ලිය සිටින බවට අප කළ අනාවරණයන් හේතුවෙන් එම කඳවුර දැඩි කලබලයට පත්වූ ආකාරයක්ද දැකගන්නට තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ සජිත්ව බියගන්වා සජිත් සහ සජබ මන්ත්‍රීවරුන් එජාප සම්මේලනයට රැගෙන ඒමට දැරූ උත්සාහය අසාර්ථක වීමත්, ඒ හේතුව නිසාම එජාප සම්මේලනය කල්දැමීමට එජාපයට සිදුවීමත්ය.
මෙහෙයුම අලුත් වටයකින්
එම මාධ්‍ය මෙහෙයුම සම්පූර්ණයෙන්ම බිඳවැටීමත් සමග සජිත් සහ සජබය කෙසේ හෝ සම්මේලනයට රැගෙන ඒම සඳහා ඇඟ බේරාගෙන අලුත් විදියකින් ගේමක් ගැසීමට රනිල් සැලසුම් කළේය. එම සැලසුම රනිල් භාරදුන්නේ වෙන කාටවත් නොව වජිරටය. එහිදී අදියර කිහිපයකින් එම අලුත් සැලසුම දියත් කිරීමට රනිල් සහ වජිර සැලසුම් කළහ. එහි පළමු අදියර වූයේ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සජබයේ සිටින ජ්‍යෙෂ්ඨ යැයි කියන කිහිප දෙනකු අල්ලාගෙන එජාප සමුළුවට සහභාගි වන ලෙසට සජිත්ට බලපෑම් කරන ලෙස දිගින් දිගටම බලපෑම් කිරීමට. එහි දෙවන පියවර ලෙස මද්දුමබණ්ඩාර සහ සජබ ජ්‍යෙෂ්ඨයන් වෙන වෙනම හමුවී ඔවුන් සමග කතාකොට සජිත්ට බලපෑම කිරීම රුවන්ටත්, වජිරටත්, සාගලටත් පැවරීමට තීන්දු විය. එහි තුන්වැනි අදියර වූයේ සජබයේ සාමාජිකත්වය ගැනීම හේතුවෙන් සජබ මන්ත්‍රීවරුන්ට පනවා තිබූ එජාප පක්ෂ තහනම ඉවත් කිරීමය. ඒ හරහා රනිල්, වජිර බලාපොරොත්තු වූයේ තහනම ඉවත් කිරීමත් සමග ඊට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබාදීමත්, ඒ සමගම සජබ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් යළිත් වතාවක් එජාපයට එකතු වීමට කටයුතු කරනු ඇති බවත්ය.
ඒ අනුව එම පුවතද රුවන් විජේවර්ධනට අයත් ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ පළකිරීමට රනිල් පියවර ගත්තේය. ඒ අනුව තෝරාගත් සජබ ආසන සංවිධායකවරුන්ට යළි එජාපයට එක්වන ලෙස දැනුම් දෙමින් සාකච්ඡා පැවැත්වීම භාරදුන්නේ වජිරටය. කෙසේවෙතත් පක්ෂ දෙකක එකතු වීමක් සිදුවන්නේ නම් නිල වශයෙන් එය එම පක්ෂ දෙකේ මහලේකම්වරුන් අතර සිදුකෙරෙන සාකච්ඡාවන් හරහා සිදුවිය යුතු වුවත්, රනිල් කළේ එම නිල ක්‍රමවේදය පසෙක දමා තමන්ට සුපුරුදු ගේම් ගසමින් නොනිල ක්‍රමවේදයන් ඔස්සේ සජබ මන්ත්‍රීවරුන් එජාපයට එක්කර ගැනීමට තිරය පිටුපස මෙහෙයුම් දියත් කිරීමය. ඒ හරහා පක්ෂ දෙක එකතු කිරීමටත්, එහි නායකයා තමන් බවත්, නියෝජ්‍ය නායකයා සජිත් බවත්, වජිර සභාපති බවත්, සාගල ජාතික සංවිධායක වශයෙන් කටයුතු කරනු ඇති බවත් ප්‍රකාශ කිරීම රනිල්ගේ සැලසුම වී තිබිණි. රනිල්ගේ මේ සැලසුම වජිරගේ කටින්ම පසුගිය සතියේ එළියට පැන්නේ මධ්‍යවේදීන් එ පිළිබඳ විමසද්දීය. එහිදී වජිර කියා සිටියේ ගොඩනැගෙන නව සන්ධානයේ ජාතික නායකයා රනිල් වික්‍රමසිංහ යැයි කියාය.
ගේම ආපිට කැරකෙයි
නමුත් රනිල් ගැසූ මේ ගේම වැරැදී ගියේ වජිර කතාකළ සෑම සජබ මන්ත්‍රීවරයකුම එජාප සංවත්සරයට සහභාගී වීම තමන්ට ගත හැකි පෞද්ගලික තීන්දුවක් නොවන බවටත්, පක්ෂය සහ පක්ෂ මහලේකම්වරයා විසින් ගතයුතු තීන්දුවක් බවටත් වජිරට දැනුම් දී සිටීම නිසාය. ඒ අනුව, පෞද්ගලිකව සජබ මන්ත්‍රීවරුන්ට කතාකොට පක්ෂ සම්මේලනයට සහභාගි වන ලෙස කළ නොනිල ආරාධනාව අසාර්ථක වන බව වජිරට වැටහිණි. ඒ අනුව වජිර මේ තත්ත්වය වහාම රනිල්ට දැනුම්දීමත් සමග රනිල් වජිරටත්, රුවන්ටත් දැනුම් දී සිටියේ එසේ නම් වහාම සජිත්ටම කතා කොට පක්ෂ සංවත්සරයට සජබය සහභාගි කරවා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කරන ලෙසටය. ඒ අනුව වජිරත්, රුවනුත් තමන් විසින් ඊට පෙර සජිත්ට එරෙහිව දියත් කළ මාධ්‍ය මෙහෙයුම් බිඳවැටීමේ ලැජ්ජාව පසෙකින් තබා සජිත්ට කතා කිරීමට පටන් ගත්තේය. පසුගිය සතිය ආරම්භයේ සිටම දිගින් දිගටම වජිරගෙනුත්, රුවන්ගෙනුත් සිය ජංගම දුරකතනයට ඇමතුම් ලැබුණද ඒ වන විටත් ඔවුන්ගේ යටි අරමුණක් පැහැදිලිව වටහාගෙන සිටි සජිත් ඒ කිසිදු ඇමතුමකට පිළිතුරු දීමට පියවර ගත්තේ නැත. වරෙක වජිර සජිත්ට පණිවුඩයක් එවමින් කියා තිබුණේ තමන්ට විනාඩි 20ක කාලයක් සඳහා සජිත්ව හමුවීමට අවශ්‍ය යැයි කියාය. නමුත් ඊට හෝ ප්‍රතිචාර දැක්වීමට සජිත් කටයුතු නොකිරීම විශේෂ සිදුවීමක් විය.
රෙහාන්ගේ උත්තරය
මෙවැනි පසුබිමක් යටතේ පසුගිය බදාදා දින සජබයේ වැලිගම ආසන සංවිධායකවරයා වූ රෙහාන් ජයවික්‍රම සිය ‘එක්ස්’ ගිණුමේ විශේෂ සටහනක් පළකරමින් රනිල් විසින් එජාප තහනම ඉවත්කිරීමට ගෙන තිබූ තීන්දුවට ප්‍රතිචාර දැක්වීමට පියවර ගෙන තිබිණි. එහි සඳහන්ව තිබුණේ මෙවැන්නකි.
‘තවදුරටත් සජබ මන්ත්‍රීවරුන් හට එජාප සාමාජිකත්වය අවශ්‍ය නැත.
සමගි ජන බලවේගය නව පක්ෂයක් ලෙස පිහිටුවනු ලැබුවේ එජාප නායකත්වයේ දුර්වලතා හේතුවෙනි. එජාපය මේ දක්වා නිවැරැදි මාවතට පිවිස නැති බව පැහැදිලිය.
එමෙන්ම කිසිදු මන්ත්‍රීවරයකුට එකවර පක්ෂ දෙකක සාමාජිකත්වය දැරිය නොහැක.
එම නිසා එජාප නායකත්වය විසින් පළකොට ඇති මෙම පුවත ව්‍යාජයකට වැඩි යමක් නොවේ. යනුවෙන් එහි සඳහන්ව තිබිණ.
ජ්‍යෙෂ්ඨයන් නිහඬයි
රෙහාන් මෙසේ සජබය ගතයුතු තීන්දුව ප්‍රසිද්ධියේ සඳහන් කිරීමට එඩිතර වුවද, කනගාටුවට කරුණ වී තිබුණේ සජබයේ ජ්‍යෙෂ්ඨයන් යැයි කියාගන්නා කිසිවකුටත් එම ස්ථාවරය ගැනීමට හෝ එම ස්ථාවරය ප්‍රකාශ කිරීමට ශක්තියක් නොතිබීමය. ‘රනිල්ට බෑ’, ‘රනිල්ට මිනිස්සු නෑ’, ‘රනිල් එපා’, රනිල්ට ඡන්ද දිනන්න බෑ..‘ යැයි කියමින් සජිත් සමග අලුත් ගමනක් ආරම්භ කිරීමට එජාපයෙන් එළියට බැස්ස මේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනාද මේ වනවිට අඳුරේ අතපතගාමින් දැන් කියන්නේ ‘අපිට රනිලුත් ඕනෑ, සජිතුත් ඕනෑ’ යැයි කියාය. නමුත් විය යුත්තේ මේ ආකාරයට පක්ෂයක් ඇතුළේ සිටිමින් ඩබල් ගේම් ගැසීම නොව, පක්ෂ නායකයා සමග පක්ෂ ප්‍රතිපත්ති සමග පක්ෂය ඉදිරියට ගෙන යෑමට කටයුතු කිරීමය. එය ප්‍රසිද්ධියේ කීමට අප කිසිදු අවස්ථාවක මැලි වන්නේ නැත. ඒ, අප කිසිවකුටත් බැඳී නොසිටීම නිසාය. අප කිසිවකුටත් බයක්, ණයක් නැති නිසාය. එම නිසා මේ සජබය ඇතුළේ සිටින ඩබල් ගේම් ගසන සුදු පිරුවට හැඳගත් ජ්‍යෙෂ්ඨයන් යැයි කියාගන්නා කිහිප දෙනා සම්බන්ධයෙන් සහ ඔවුන් පසුගිය කාලය පුරා සජබය ඇතුළේ සිටිමින් ගෙන ගිය ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විශාල හෙළිදරව්වක් ඉදිරියේදී රට හමුවේ තැබීමට අප සූදානම්ය. රටේ ජනතාවගේ දැනගැනීම සඳහා එය නිසි අවස්ථාවේ සිදුකිරීමට අප කටයුතු කරන බවද මෙහි සඳහන් කිරීමට අප සූදානම්ය.
මේ ආකාරයට එජාපය පැත්තෙන් සජිත් සහ සජබය එජාප සංවත්සරයට ගෙන්වා ගැනීම සඳහා දැඩි උත්සාහයක යෙදි සිටිද්දී සජිත් පසුගිය සතියේ සිටියේ අනුරාධපුරය, ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ රැසක සජබ පළාත් පාලන ප්‍රධානීන් සහ ජනතාව හමුවෙමින් ඔවුන් සමගය. එසේ කොළඹින් පිටව සිටියද සෑම රාත්‍රියකම සූම් තාක්ෂණය ඔස්සේ සජබ ජ්‍යෙෂ්ඨයන් සමග එජාප සංවත්සරය පිළිබඳ සාකච්ඡා කිරීමට සජිත් පියවර ගත්තේය. ඒ අනුව අවසානයේදී සජබය තීන්දු කළේ රනිල් කුමන කුපාඩි දේශපාලන ගේම් ගැසුවද එජාප පාක්ෂිකයන් වෙනුවෙන් එජාප සංවත්සරයට පක්ෂයක් ලෙස සජබය සහභාගි වීමටය. නමුත් සජිත් ඊට සහභාගි නොවීමටත්, සජබය නියෝජනය කරමින් නියෝජිතයකු යැවීමටත් එහිදී තීන්දු විය. ඒ අනුව එසේ යවන නියෝජිතයා කවුද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණු අතර, අවසානයේදී තීන්දු වූයේ සජබ මහලේකම්වරයා වන රංජිත් මද්දුමබණ්ඩාර එජාප සංවත්සරයට සහභාගි කරවීමටය.
මේ අතරවාරයේ එජාප – සජබ එකමුතුවක් ගැන පසුගිය කාලයේ කතාකළ සජබ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුට මේ වනවිට වැටහී ගොස් ඇත්තේ සජබය වට්ටා සජබය දෙකේ කොළයට දමා එජාප සංවත්සරයට ගෙන්වා ගැනීම සඳහා විශාල කුමන්ත්‍රණයක් පැවැති බවය. ඒ අනුව සජබ මන්ත්‍රීවරු විශාල පිරිසක් සජිත්ට කතාකොට දැනුම් දී සිටියේ එජාපයේ ඇතැමුන්ගෙන් දිගින් දිගටම තමන්ට දුරකතන ඇමතුම් ලැබෙමින් පවතින බවටත්, ඇතැම් විට එය මහත් වධයක් වන තරමට දුරදිග ගොස් ඇති බවත්ය. මේ ආකාරයට දිගින් දිගටම පැමිණිලි ලැබීමත් සමග සජිත් වහාම පක්ෂ මහලේකම් මද්දුමබණ්ඩාරට කතාකොට දැනුම් දී සිටියේ මේ අයුරින් මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකව කතාකිරීම සිදු නොවිය යුත්තක් බවත්, ඕනෑම කරුණක් නිල වශයෙන් පක්ෂ දෙකේ මහලේකම්වරුන් අතර පමණක් සාකච්ඡා විය යුතු බවත්ය. ඒ අනුව මද්දුමබණ්ඩාර වහාම කළේ එජාප මහලේකම්වරිය වූ තලතා අතුකෝරාලට කතාකොට මේ ආකාරයට විවිධ පුද්ගලයන් සජබ මන්ත්‍රීවරුන්ට දිගින් දිගටම දුරකතන ඇමතුම් ලබාදීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකිරීමය. පක්ෂ දෙක අතර යම් සාකච්ඡාවක් පැවැත්වෙන්නේ නම් එය නිල වශයෙන් මහලේකම්වරුන් අතර සිදුවිය යුතු බවත්, වජිර විසින් සජබ මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකව කතාකිරීම කිසිසේත්ම පිළිගත නොහැකි කැත වැඩක් බවත්, වහාම එය නැවැත්වීමට කටයුතු කළ යුතු බවත් මද්දුමබණ්ඩාර එහිදී තලතාට දැනුම් දී සිටියේය. තලතාද එය පිළිගැනීමත් සමග විවිධ පුද්ගලයන් ලවා සජබ මන්ත්‍රීවරුන්ට එන ඇමතුම් සම්පූර්ණයෙන්ම වාගේ නැවතුණු ආකාරයක් දැකගත හැකි විය. නමුත් වජිර ඇතුළු කණ්ඩායම දිගින් දිගටම සජිත්ට කතාකිරීමේ උත්සාහය නම් නැවතුණු පාටක් පේන්නට තිබුණේ නැත. එජාප 79 වැනි සංවත්සරය 21 වැනිදා පැවැත්වීමට මේ වනවිට තීන්දු කොට ඇත්තේ ඒ අනුවය.
සජිත් කෝ?
කෙසේ වෙතත් එජාප සංවත්සරයට සජබය සහ සජිත් ගෙන්වා ගැනීම සඳහා රනිල් තිරය පිටුපස මේ ආකාරයට දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබියදී සජිත් සිටියේ කොහේද? සජිත් ඒ වනවිට සිටියේ අනුරාධපුරයේ සිට ත්‍රිකුණාමලය දක්වා ප්‍රදේශ ආවරණය කරමින් විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමිනි. මේ වනවිට ආණ්ඩුව විසින් ගෙන ඇති යම් යම් තීන්දු තීරණ හේතුවෙන් රටේ ස්ථාන රැසක විවිධ ක්ෂේත්‍රවල පිරිස් උද්ඝෝෂණ ව්‍යාපාර, විරෝධතා, සත්‍යග්‍රහ ආරම්භ කොට ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ අනුව සජිත් මෙම සංචාරයේදී උද්ඝෝෂණ පැවැත්වූ පාර්ශ්ව කිහිපයක් සමගම සාකච්ඡා කරමින් ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැකි වැඩපිළිවෙළක් සකස් කිරීමට පියවර ගත්තේය. ගොවි බිම්වලටම ගොස් ගොවීන් මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කළේය. මෙහිදී දැක ගැනීමට ලැබුණු විශේෂම සිදුවීම වූයේ වෙනදා නොතිබූ විශාල උනන්දුවකින් ගමේ ජනතාව සජිත්ගේ රැස්වීම්වලට එක්ව සිටීමය. ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳ සජිත්ට හැඬූ කඳුලින් යුතුව පැහැදිලි කිරීමය. එහි ඇති අනෙක් විශේෂම සිදුවීම වූයේ මෙසේ සජිත් හමුවී ප්‍රශ්න ඉදිරිපත් කළ බොහෝ දෙනකු පසුගිය මැතිවරණවලදී මාලිමාවට ඡන්දය ලබාදුන් පිරිස් වීමය.
පළාත් සභා කෝ?
පසුගිය සතියේ යම් යම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා කොට තිබූ කරුණක් වූයේ මාලිමා ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානමින් සිටින බවකි. ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු ආණ්ඩුව මුලින්ම සැලසුම් කර තිබුණේ ඉතා ඉක්මණින් මහ මැතිවරණයත්, පළාත් පාලන මැතිවරණයත්, පළාත් සභා මැතිවරණයත් යන මැතිවරණ තුනම පවත්වා අවසන් කිරීමටය. ඒ අනුව මහමැතිවරණය පවත්වා තුනෙන් දෙකක බලයක් ලබාගත්තද, පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව ලැබූ අනපේක්ෂිත පසුබෑමත් සමග පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වූ මාතෘකාව හිටිහැටියේම ආණ්ඩුව පැත්තෙන් අතුරුදන් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අවස්ථාවේදී ‘රාජ්‍ය රහස්’ තීරය වාර්තා කොට සිටියේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම ලබන වසරේ මැදභාගය දක්වා කල්දැමීමට තීරණය කොට ඇති බවකි.
නමුත් හදිසියේම වාගේ නැවත වතාවක් ආණ්ඩුව ඇතුළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතුව තිබීමත් සමග ‘රාජ්‍ය රහස්’ තීරයද ඊට පසුබිම් වූ කාරණා මොනවාද යන්න සොයාබැලීමට පියවර ගත්තේය. එහිදී අපට දැනගන්නට ලැබුණේ පසුගිය දා ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පනත සම්මත කරන දිනයේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා හා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් මන්ත්‍රීවරයා අතර පමණක් පැවැති මුහුණට මුහුණ සාකච්ඡාවකදී මෙම මාතෘකාව නැවත වරක් කරළියට පැමිණ ඇති බවකි.
ශානක්‍යයන් අනුරව හමුවෙයි
එදින ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පැමිණි පසු රාසමානික්කම් ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණේ විශේෂ කරුණු කීපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමන්ට වේලාවක් ලබාදෙන ලෙසයි. ඒ අනුව ජනාධිපතිවරයා රාසමානික්කම්ට දැනුම් දී සිටියේ සවස් වරුවේ සාකච්ඡා කිරීමට හැකියාව ඇති බවකි. එම දැනුම්දීමට අනුව ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රාසමානික්කම් ජනාධිපතිවරයාගේ කාර්යාලයට ගියේය. එම ප්‍රධාන කරුණු 3 වූයේ උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතුවලදී දෙමළ ජාතික සන්ධානයත් සහභාගී කරවාගැනීම, උතුරු නැගෙනහිර සංවර්ධන අරමුදලක් පිහිටුවීම සහ පළාත් සභා මැතිවරණය පවත්වා උතුරු නැගෙනහිරට බලය බෙදීම සම්බන්ධයෙන්ය.
ඒ අනුව රාසමානික්කම් මුලින්ම කතා කළේ උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු සහ සංවර්ධන අරමුදල පිහිටුවීම සම්බන්ධයෙන්ය. මෙම සංවර්ධන අරමුදල පිහිටුවීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානය මීට පෙර හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ සමගද සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබිණි. නමුත් එම සාකච්ඡා සාර්ථක නොවූ අතර, අනුර සමගද එක් සාකච්ඡා වටයක් පැවැත්වීමට ඔවුන් කටයුතු කොට තිබිණී.
එමෙන්ම පසුගියදා ලංකාවට පැමිණි ලෝක බැංකු නියේජිතයන්ගේ රැස්වීමට දෙමළ ජාතික සන්ධානයට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන්ද රාසමානික්කම් එහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර සිටියේය. මුලදීම රාසමානික්කම් ඒ පිළිබඳ ඇමැති සුනිල් හඳුන්නෙත්තිගෙන්ද විමසීමක් කර තිබූ අතර, එහිදී සුනිල් කියා තිබුණේ ඊට ආරාධනා කර තිබුණේ ලෝක බැංකුවෙන් බවත්, ආණ්ඩුවෙන් නොවන බවත්ය. නමුත් රාසමානික්කම් ඒ පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන්ගෙන් විමසද්දී ඔවුන් දැනුම් දී තිබුණේ තමන් කිසිවකුටත් එම සාකච්ඡාවට ආරාධනා කිරීමට කටයුතු කළේ නැතැයි කියාය.
ඒ අනුව රාසමානික්කම් ජනාධිපතිවරයා සමග පැවැති හමුවේදී මෙම සියලු කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමටත්, මින් ඉදිරියට උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඊට දෙමළ ජාතික සන්ධානයද සම්බන්ධ කරගන්නා ලෙස ඉල්ලීමක් කිරීමටත් පියවර ගත්තේය.
පළාත් සභා ඡන්දය
ඉන් අනතුරුව රාසමානික්කම් ප්‍රධානම ප්‍රශ්නය වූ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර සිටියේය. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය අවධානය යොමුකොට තිබුණේ මීට වසර ගණනාවකට පෙර සිටමය. 2015 යහපාලන ආණ්ඩුව පැමිණ නව සීමා නිර්ණයක් සිදුකිරීමට කටයුතු කිරීමෙන් පසු එහි තිබූ ගැටලු හේතුවෙන් පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල්ගොස් තිබිණි. ඒ අනුව 2019දී එවක හිටපු දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කොට තිබිණි. නමුත් එම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග එයද විසිවී ගියේය.
ඉන් අනතුරුව පසුගිය මාර්තු මාසයේ පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරකසභාවේදී රාසමානික්කම් සභානායක බිමල් රත්නායක මහතාගෙන් විමසීමක් කොට තිබිණි. නමුත් එහිදී බිමල් රාසමානික්කම්ට දී තිබුණේ තරමක උද්දච්ච ආකාරයේ පිළිතුරකි. ඒ අනුව රාසමානික්කම් නැවත වතාවක් පසුගිය මැයි මාසයේදී පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ඉල්ලා පෞද්ගලික යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. මෙය පෞද්ගලික යෝජනාවක් වීම හේතුවෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතියට එය ඉදිරිපත් කිරීම සඳහා අවම වශයෙන් මාස 6ක කාලයක් අවශ්‍යය. ඒ අනුව එම මාස 6 අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන දෙසැම්බර් මාසයේය.
බිමල් දීපු උත්තරේ
ඒ අතරවාරයේ මීට සති දෙකකට පමණ ඉහතදී ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා යාපනයේ සංචාරයක නිරත වූ අතරවාරයේදී පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා තිබුණේ සීමා නිර්ණ වැඩකටයුතු අවසන් වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරනවා යැයි කියාය. නමුත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත කාලවකවානුවක් සඳහන් කිරීමට ටිල්වින් කටයුතු කර නොතිබිණි. ටිල්වින්ගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් රාසමානික්කම් පසුගිය සතියේදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරකසභා රැස්වීමේදී බිමල්ගෙන් විමසීමක් කර තිබිණි. ඊට ප්‍රතිචාර දක්වමින් බිමල් කියා සිටියේ ‘ඔය සමාජ මාධ්‍යවල යන දේවල්වලට මම උත්තර දෙන්නේ නෑ’ යැයි කියාය. නමුත් රාසමානික්කම් නැවත වතාවක් කියා සිටියේ එය සමාජ මාධ්‍යයේ ගිය කතාවක් නොව, ටිල්වින් යාපනයේ ගොස් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කළ කතාවක් බවකි. නමුත් ඊටද ‘මම ඕවට උත්තර දෙන්නේ නෑ’ යනුවෙන් සඳහන් කරමින් රැස්වීම අවසන් කිරීමට බිමල් කටයුතු කොට තිබිණි.
මේ කෙටි ඉතිහාසය සිහිපත් කරමින් රාසමානික්කම් ජනාධිපතිවරයාගෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විමසා සිටියේ ඒ අනුවය. එහිදී අනුර ඊට ඉතා සූක්ෂම ආකාරයේ පිළිතුරක් ලබාදුන් ආකාරය දැකගත හැකි විය. ‘පළාත් සභා ඡන්දය තියන්නේ අලුත් ක්‍රමයටද පරණ ක්‍රමයටද කියලා ඔබතුමන්ලා පක්ෂ නායක රැස්වීමෙදී සාකච්ඡා කරලා තීන්දුවකට එන්න’ යන්න ජනාධිපතිවරයාගේ පිළිතුර විය.
ඡන්දෙ නෑ වගේ
ජනාධිපතිවරයා මේ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වුවද අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ ජනාධිපතිවරයා පළාත් සභා ඡන්දය පවත්වනවාට වඩා එය නොපවත්වන ස්ථාවරයක සිට එවැනි පිළිතුරක් ලබාදුන්නා යැයි කියාය. නොඑසේ නම් ඉන්දියාව කුමන බලපෑම් එල්ල කළද, රට ඇතුළෙන් කුමන බලපෑම් එල්ල වුවද ආණ්ඩුව පළාත් සභා මැතිවරණය තවදුරටත් කල්දැමීමේ ස්ථාවරයක සිටිනවා යැයි කියාය. එසේ වුවත් පසුගිය සතියේ අනුරාධපුරයේ සහ ත්‍රිකුණාමලයේ ස්ථාන කිහිපයක සංචාරයක නිරතව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නම්, තමන් කළ සෑම කතාවකදීම ආණ්ඩුවට අභියෝග කරමින් කියා සිටියේ හැකි නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නැයි කියාය. එමෙන්ම සජිත් ජනතාවගෙන්ද ඉල්ලීමක් කරමින් කියා සිටියේ පොරොන්දු කඩකළ වැඩ බැරි ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීම සඳහා ඉදිරි පළාත් සභා මැතිවරණය උපයෝගී කරගන්නා ලෙසටය.
අනුර වැඩ පටන් ගත්තා
ආණ්ඩු බලය ලබාගෙන වසරකට ආසන්න කාලයක් තරමක නිහැඬියාවකින් ගතකළ මාලිමා ආණ්ඩුව පසුගිය සතියේ හදිසියේම විවිධ සංවර්ධන ව්‍යාපෘති රැසකට අඩිතාලම දැමීමට පියවර ගත්තේය. ඒ අනුව පිටකොටුව, මරදාන දුම්රිය ස්ථාන සහ ලංගම බස් නැවතුම නවීකරණය කිරීමට ආණ්ඩුව අත තිබ්බේය. කඩවත-මීරිගම මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටස ඉදිකිරීම යළි ආරම්භ කිරීමට කටයුතු කළේය. සපුගස්කන්ද තෙල් ගබඩා සංකීර්ණයේ නව තෙල් ටැංකි 6ක් ඉදිකිරීම ආරම්භ කළේය.
කෙසේ වෙතත් මීට සති කීපයකට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් අප ජනාධිපතිවරයා සිදුකළ චීන සංචාරය පිළිබඳ විශේෂ වාර්තාවක් පළකළෙමු. එහිදී අප කියා සිටියේ කඩවත – මීරිගම කොටස ඉදිකිරීම සඳහා ජනාධිපතිවරයා චීනයෙන් ආධාර ඉල්ලා සිටි බවකි. එහිදී චීනය ඊට එකඟ වුවත් එක් කොන්දේසියක් ඉදිරිපත් කිරීමට පියවර ගත් බවත්, ඒ, අදාළ ණය සහනය ඩොලර්වලින් නොව, චීන යුවාන්වලින් ලබාදීමට එකඟ වූ බවත්ය. නමුත් ඒ මොහොතේ චීනය එසේ යුවාන්වලින් ණය ලබාදීමට තීරණය කළේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳ කිසිවකුටත් අවබෝධයක් නොවීය. ඒ පිළිබඳ සොයාබැලීමේදී එළියේ පෙනෙන්නට තිබෙනවාට වඩා බරපතළ කතාවක් එහි පසුපස ඇති බව මේ වනවිට දැකගන්නට තිබේ. ඒ අන්කිසිවක් නොව, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙළෙඳ යුද්ධයකට සූදානම් වන බවට චීනයට කල්තියා තොරතුරු ලැබී තිබීම නිසාය.
ඒ අනුව චීනය කල්තියා ඊට සූදානම් වීම සඳහා මෙසේ යුවාන්වලින් ගනුදෙනු කිරීම ආරම්භ කිරීමට තීරණය කර තිබූ බවක් දැනගන්නට තිබේ. දැනටමත් චීනය, රුසියාව සමග එක්ව ඩොලරය බිඳදැමීම සඳහා බි්‍රක්ස් සමුළුව හරහා දැවැන්ත වෙළෙඳ යුද්ධයකට අවතීර්ණ වී තිබේ. ඒ අනුව කඩවත-මීරිගම අධිවේගී මාර්ගයේ කොටස ඉදිකිරීම සඳහා යුවාන්වලින් ණය මුදලක් ලබාදෙමින් ලංකාව ඉලක්ක කර එම චීන ප්‍රතිපත්තිය පළමු වරට ක්‍රියාවට නැංවීමට චීනය කටයුතු කොට ඇත.
යුවාන් ණය දුන්නේ ඇයි?
අනෙක් අතට මෙම අධිවේගී කොටස ඉදිකිරීම සඳහා වැයවන සම්පූර්ණ ණය මුදල ලබාදීමට චීනය කටයුතු කොට නොතිබීමද විශේෂ සිදුවීමකි. චීනය එහිදී ඒ සඳහා ලබාදී ඇත්තේ ඩොලර් මිලියන 500ක ණය මුදලකි. එයද 2.5%ක් වැනි වූ සහනදායී ණය පොලියකටය. එහි ඉතිරි වියදම වූ ඩොලර් මිලියන 438ක මුදල ලංකා ආණ්ඩුව විසින් දැරීමට නියමිතය. මේ ආකාරයට චීනය යුවාන්වලින් ලංකාවේ ගනුදෙනු ආරම්භ කිරීමත් සමග ඊට ඇමෙරිකානු රජය කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇද්ද යන්න සම්බන්ධයෙන් බලාගැනීමට තව ටික කාලයක් සිටිය යුතුව ඇත. එහිදී බොහෝ පාර්ශ්වයන් අනුමාන කරන්නේ ඇමෙරිකාව සහ යුරෝපා රටවල් ඉතා නුදුරේදීම ඊට සිය ප්‍රතිචාරය දක්වනු ඇතැයි කියාය.
බලශක්ති යුද්ධයක්
මීට අමතරව මේ වනවිට ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය මුල්කොට ගෙන ජාත්‍යන්තරයේ බරපතළ ගැටලුවක් නිර්මාණය වීමේ අවදානමක්ද මෙ වනවිට මතුව ඇති බවක් දැකගන්නට තිබේ. මීට පෙරද අප මේ තීරයේ වාර්තා කර තිබුණේ කෙරවළපිටියේ ආරම්භ කිරීමට නියමිත එල්.එන්.ජී. ව්‍යාපෘතියට චීනය, ඇමෙරිකාව, ජපානය, ඉන්දියාව ආයෝජනය කිරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කර ඇති බවකි. එහිදී සිදුවන්නේ පාවෙන ගෑස් ගබඩා පර්යන්තයක් ඉදිකොට නළ මාර්ග ඔස්සේ කෙරවළපිටියට ගෑස් ලබාදීමය. කෙසේ වෙතත් ලොව ප්‍රබල රටවල් 4ක් මෙම කෙරවළපිටිය ගෑස් ව්‍යාපෘතියට කැමැත්ත ප්‍රකාශ කොට තිබියදී ආණ්ඩුව එම ව්‍යෘපෘතිය චීන – පාකිස්තාන ඒකාබද්ධ සමාගමකට ලබාදීමට සූදානම්ව සිටින බවක් මේ වනවිට දැනගන්නට තිබේ. ඊට ඉන්දියාව, ඇමෙරිකාව වැනි රටවල් ඍජුව සිය විරෝධය ප්‍රකාශ කොට ඇති බවත්, ඉදිරියේදී එම රටවල් ඊට මැදිහත් වීමට සූදානමින් සිටින බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
කැනඩාවත් ඇතුල් වුණා
තත්ත්වය මෙසේ තිබියදී මීට සති කිහිපයකට ඉහතදී තවත් අලුත් රාජ්‍යතාන්ත්‍රික බෝම්බයක් පත්තු වී ඇති ආකාරයක්ද දැකගන්නට ලැබිණි. ඒ, කැනඩාවද මේ එල්.එන්.ජී. ව්‍යාපෘතියට ආයෝජනය කිරීම සඳහා ඉදිරිපත් විමය. ඒ සඳහා පැමිණ ඇත්තේ කැනඩාවේ ග්‍රීන් ලින්ක් නමැති සමාගමය. මෙම සමාගම 2011 වසරේදී මේ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කළද විවිධ හේතු ඉදිරිපත් කරමින් එවක පැවැති ආණ්ඩු එය වෙනත් සමාගම්වලට පැවැරීමට සූදානම් විය. ඒ අනුව ඔවුන් 2020 වසරේදී තම සමාගමට අදාළ ව්‍යාපෘතිය ලබා නොදී වෙනත් සමාගමකට ලබාදිමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 400ක වන්දියක් ඉල්ලා අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගත්තේය. එම නඩුව තවමත් අධිකරණය හමුවේ විභාග වෙමින් තිබේ. එමෙන්ම 2022 වසරේදීත් මෙම සමාගම එවක ජනාධිපතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අදාළ ව්‍යාපෘතියට තම සමාගමට ඇති හිමිකම පෙන්වා එහි ආයෝජනය කිරීම සඳහා සාකච්ඡා පවත්වා ඇති බවක්ද දැනගන්නට ඇත.
ඒ අනුව මෙම ග්‍රීන් ලින්ක් සමාගම අලුත් සටනක් අරඹමින් නැවත වතාවක් එම කෙරවළපිටිය එල්.එන්.ජී. ව්‍යාපෘතිය තම සමාගමට ලබාදෙන ලෙස ඉල්ලීමක් කොට තිබේ. වත්මන් ආණ්ඩුව දූෂණයට එරෙහිව කටයුතු කරන බවට ප්‍රකාශ කොට තිබීම නිසාත්, මෙම ව්‍යාපෘතිය තමන්ගෙන් පැහැරගත් එකක් බවට තම සමාගම විශ්වාස කරන නිසාත් එම ව්‍යාපෘතිය නැවතත් තම සමාගමට හිමිවිය යුතු බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ. ඒ අනුව මේ වනවිට කෙරවළපිටිය ව්‍යාපෘතියට ඉන්දියාව, ඇමෙරිකාව, චීනය, ජපානය පමණක් නොව කැනඩාවද ඇහැ ගසාගෙන සිටින බව දැකගන්නට තිබේ. ජනාධිපතිවරයා මෙම මස අවසානයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්විමට සහභාගි වීම සඳහා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට යෑමට නියමිතව තිබීම නිසා කැනඩාව සූදානමින් සිටින්නේ එම සංචාරයේදී ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමටය. ඊට ඍජුව කැනඩා රජය මැදිහත් වෙයිද, එසේත් නැත්නම් රජයේ මැදිහත් වීම මත ග්‍රීන් ලින්ක් සමාගමේ නිලධාරීන් මැදිහත් වෙයිද යන්න පිළිබඳ තවමත් තොරතුරු වාර්තා වී නැතත් ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු සංචාරයේදී කැනඩා රජය විශාල මැදිහත් වීමක් ඒ සම්බන්ධයෙන් සිදු කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
කෙරවලපිටිය යුද පිටියක් වෙයිද?
ඒ අනුව මේ වනවිට කෙරවළපිටිය ඉදිරි කාලයේදී ජාත්‍යන්තරයේ යුද පිටියක් බවට පත්වීමේ ලකුණු දැනටමත් පහළ කොට ඇති බවක් දැකගන්නට තිබේ. එය බොහෝ තීව්‍ර වී ඇත්තේ ලංකා ආණ්ඩුව දැනටමත් චීනය ප්‍රමුඛ සමාගමකට එම ව්‍යාපෘතිය ලබාදෙන බවට වාචික අනුමැතිය ලබාදී තිබීමත් සමගය. ඒ අනුව කල් ඇදෙමින් පැවැති කඩවත-මීරිගම අධිවේගී කොටස යළි ඉදිකිරීම සඳහා චීන රජය අරමුදල් සැපයූවේ මේ වාචික එකඟතාව නිසාද කියන්න දන්නේ නැත. දැනටමත් ඊට ජාත්‍යන්තරයේ ප්‍රබල රටවලින් විරෝධය පළවීම නිසාත්, රජය ඉදිරියේදී කුමන තීරණයක් ගනු ඇද්ද යන්න පිළිබඳ නිශ්චිතව කිව නොහැකි නිසාත්, ආණ්ඩුවේ ස්ථාවරය පරීක්ෂාවට ලක්කිරීමේ අරමුණ ඇතිව චීනය සම්පූර්ණ ණය මුදල ලබා නොදී ඉන් කොටසක් ලබාදීමට කටයුතු කළාද කියා කියන්න දන්නේත් නැත. මෙම ව්‍යාපෘතිය චීනයට ලබා දීමට අවසන් තීන්දුව ගන්නේ නම් කඩවත-මීරිගම ව්‍යාපෘතියට අවශ්‍ය සම්පූර්ණ ණය මුදලම ලබාදීමට චීනය කැමැති බවට වූ ඉඟිය මේ හරහා ලබාදී ඇති බවක්ද බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
සපුගස්කන්දත් පත්තු වෙයි
ලංකාවේ ව්‍යාපෘති සඳහා මැදිහත් වීමේ ලෝක බලවතුන්ගේ සටන කෙරවළපිටියෙන් කෙළවර වීී ඇති ආකාරයක් දැකගන්නට නැත. අපට වාර්තා වන තොරතුරුවලින් කියැවෙන්නේ සපුගස්කන්ද පිරිපහදුව මුල්කරගෙනද මෙවැනිම ආකාරයේ ජාත්‍යන්තර මැදිහත් වීමේ ගැටලුවක් මේ වනවිට මතුවෙමින් පවතින බවකි. ඒ, සපුගස්කන්දේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා ලොව ප්‍රබල රටවල් රැසකින්ම අභිලාෂයන් ඉදිරිපත්ව තිබීමත් සමගය. මේ වනවිට සපුගස්කන්දේ දිනකට තෙල් බැරල් 38,000ක් නිෂ්පාදනය කෙරෙන අතර එය 150,000ක් දක්වා ඉහළ නැංවීම සඳහා අභිලාෂයන් කැඳවීමට ආණ්ඩුව කටයුතු කොට තිබිණි.
ඒ අනුව, ඇමෙරිකාව මීට කාලයකට ඉහතදී මෙම ගබඩා පහසුකම තෙල් බැරල් මිලියන 20 දක්වා ඉහළ නැංවීමට හැකිවන පරිදි දැවැන්ත ව්‍යාපෘති යෝජනාවක් ලබාදී තිබිණි. මෙය ලංකාව යෝජනා කොට ඇති ප්‍රමාණයට වඩා අතිදැවැන්ත ප්‍රමාණයකින් යුක්ත යෝජනාවකි. ඔවුන් පෙන්වා දී ඇත්තේ එසේ ගබඩා කෙරෙන තෙල් අතිරික්තය අවශ්‍ය නම් ප්‍රතිඅපනයනය කිරීම සඳහාද කටයුතු කළ හැකි බවකි.
මීට අමතරව චීනයද මේ වනවිට සිටින්නේ සපුගස්කන්දට ඇහැ ගහගෙනය. ඔවුන් දැනට දිනකට 50,000කට සීමා වී ඇති බැරල් ප්‍රමාණය 100,000 දක්වා ඉහළ නැංවීම සඳහා ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කොට ඇත.
මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයද ඉන්දීය රජය සමග ඒකාබද්ධ ප්‍රබල ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කරමින් දැනටමත් සපුගස්කන්ද සටනට ඇතුළත් වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. එමෙන්ම චීන සිනොපෙක් සමාගමද සපුගස්කන්ද සඳහා යෝජනාවක් ඉදිරිපත් කොට ඇත. මීට අමතරව ඉන්දියාව තවත් අලුත් යොජනාවක්ද, කටාර් රාජ්‍යය පළමු වතාවට සපුගස්කන්ද සඳහා තවත් යෝජනාවක්ද ඉදිරිපත් කොට ඇති බවක් ආරංචිය. නමුත් ඒ සමාගම් මොනවාද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණ වී නැත.
පිටට දෙන යෝජනාවක්
මේ ආකාරයට සපුගස්කන්ද මුල්කොට ගෙනද ලොව ප්‍රබල රටවල් අතර විශාල තරගයක් මතුවෙමින් පැවැතියදී ආණ්ඩුව ඇතුළේද පසුගිය සතිය වනවිට මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබිණි. එහිදී සපුගස්කන්ද සහ කෙරවළපිටිය මුල්කොට ගෙන ජාත්‍යන්තරයේ ප්‍රබල රටවල් තුළ මතුව ඇති සටනේ උණුසුමද ආණ්ඩුවට දැනී ඇති බවක් ආරංචිය. ඒ අනුව ආණ්ඩුව මේ වනවිට තීන්දු කොට ඇත්තේ කිසිදු රටක් අමනාප කොට නොගෙන මෙම යෝජනා ව්‍යාපෘති ඉදිරියට රැගෙන යෑමටය. ඒ අනුව යෝජනා ඉදිරිපත් කොට ඇති කිසිදු රටකට අදාළ ව්‍යාපෘති ලබා නොදී මැදපෙරදිග වෙනත් රටක් හෝ වියට්නාමය වැනි රටකින් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් සලකා බැලීම සුදුසු බව ආණ්ඩුව තීන්දු කොට ඇති බව පැවැසේ. එසේ කොට ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය මුල්කරගෙන මතුවෙමින් පවතින ගැටුම සාමකාමීව මැඬපවත්වා ගැනීමේ ආණ්ඩුවේ සැලසුම වී ඇති බව දැනගන්නට ඇත.
නමුත් එය ආණ්ඩුව හිතන තරම් ලේසියෙන් සිදුකළ හැකි එකක් නොවන්නේ ආණ්ඩුව කුමන රටකට අදාළ ව්‍යාපෘතිය ලබාදුන්නද ඒ හරහා ඊට තරග කළ අනෙකුත් සියලු රටවල් ලංකාව සමග යම් අමනාපයක් මතුකර ගැනීම වැළැක්විය නොහැකි වීම නිසාය.
උදාහරණයක් ලෙස දැනටමත් ඇමෙරිකාව ලංකාව ඉලක්ක කොට 20%ක තීරුබද්දක් පැනවීමට පියවර ගෙන තිබේ. යම් හෙයකින් මෙම ව්‍යාපෘති ලබාදීමේදී ලංකා ආණ්ඩුව ඇමෙරිකාවට විශේෂයක් නොකළහොත් මෙම තීරුබද්ද නැවත වතාවක් 40% දක්වා නැවත වතාවක් ඉහළ යෑමේ අවදානමක් නැතුවාම නොවේ.
මීට අමතරව ට්‍රම්ප් පැනවූ බදු හේතුවෙන් ලෝක ආර්ථිකය මේ වනවිට යම් හැකිලීමක් සිදුවෙමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. ඒ අනුව ඉදිරි මාස දෙක තුන ඇතුළත ලෝක තෙල් ඉල්ලුම සැලකිය යුතු මට්ටමකින් පහළ වැටීමේ අවදානමක් මතුවනු ඇති බව ඔවුන්ගේ පුරෝකථනය වී තිබේ. එසේ වුවහොත් ලංකාව මේ ආකාරයට ඉන්ධන ගබඩා කිරීම සඳහා දැවැන්ත ව්‍යාපෘති දියත් කිරීම ගඟට කැපූ ඉනි මෙන් ගසාගෙන යනු ඇද්ද යනුවෙන් බරපතළ ප්‍රශ්නයක් බොහෝ දෙනාට මතුව තිබේ.
40%ම චීනයට
මීට අමතරව චීනය දැනටමත් හම්බන්තොට පිරිපහදුවේ වැඩ ආරම්භ කිරීමට පටන්ගෙන තිබේ. පසුගිය කාලයේදී ආණ්ඩුව සහ චීන සිනොපෙක් සමාගම අතර යම් මතභේදයක් පැවැතුණේ චීනය ලංකාවේ ඉන්ධන පරිභෝජනයෙන් 40%ක කොටසක් තමන්ට අවශ්‍ය බව දැනුම් දී සිටීම නිසාය. නමුත් ආණ්ඩුවේ ස්ථාවරය වී තිබුණේ 20%ක කොටසක් පමණක් චීන සිනොපෙක් සමාගමට ලබාදිය හැකි යැයි කියාය. නමුත් ඒ සම්බන්ධයෙන් දීර්ඝව පැවැති සාකච්ඡාවලදී ආණ්ඩුව චීන සිනොපෙක් සමාගම ඉල්ලූ 40%ක කොටස ලබාදීමට නම්‍යශීලී වී තිබේ. නමුත් එහි ඇති අවදානම වී ඇත්තේ එවැනි විශාල කොටසක් චීන සිනොපෙක් සමාගමට ලබාදීම හරහා ඛනිජ තෙල් සංස්ථාව කඩාවැටීමේ අවදානමක් මතුවනු ඇති බවට විවිධ පාර්ශ්වයන්ගෙන් අදහස් ඉදිරිපත් වී තිබීමය.
ඒ අනුව මේ සමස්තය දෙස බැලීමේදී ලංකාවේ බලශක්තිය මුල්කරගෙන ආණ්ඩුව මේ වනවිට අතිශය දරුණු ජාත්‍යන්තර ගැටුමකට මුහුණ දීමේ අවදානමක සිටින බවක් දැකගන්නට තිබේ.නමුත් කනගාටුවට කරුණ වන්නේ ඒ සම්බන්ධයෙන් කිසියම් හෝ තක්සේරුවක් ආණ්ඩුව ඇද්ද යන්න සම්බන්ධයෙනි. එසේත් නැත්නම් මෙම ගැටුමේ අවසානය කොතැනකද යන්න පිළිබඳ කිසියම් තක්සේරුවක් ආණ්ඩුවට තිබේද යන්නය. සපුගස්කන්දේ ධාරිතාව මේ අවස්ථාවේදී විශාල වශයෙන් වැඩිකිරීමේ අරමුණ කුමක්ද යන්න පිළිබඳවද මේ වනවිට බරපතළ ප්‍රශ්නයක් මතුව තිබේ.
රටම හෙල්ලී ගිය ෆොටෝ
වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ හොරුන්ට එරෙහි සටහනක් ආරම්භ කරනවා යැයි කියාය. හොරු සමග කිසිදු ගනුදෙනුවක් පවත්වන්නේ නැතැයි කියාය. හොරු සියලු දෙනාම අල්ලා දඬුවම් දෙනවා යැයි කියාය. ඒ අනුව පසුගිය කාලයේදී දීර්ඝ කාලයක් පුරා දේශපාලනයේ නිරතව සිටි රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, මර්වින් සිල්වා, ශෂීන්ද්‍ර රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ වැනි විශාල පිරසකට වත්මන් ආණ්ඩුව යටතේ නඩු පැවරීම සිදුවිය. ඉන් කීප දෙනකු මේ වනවිට සිටින්නේ චෝදනාවලට වැරැදිකරුවන් වී සිර දඬුවම් විඳිමිනි. තවත් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටිති.
මෙවැනි පසුබිමක් යටතේ පසුගිය සතියේ සමාජ මාධ්‍යවල හිටිහැටියේම විශේෂ ඡායාරූප කිහිපයක් සංසරණය වන ආකාරයක් දැකගත හැකි විය. එම ඡායාරූපවල දැක්වුණේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් වන විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාත්, නියෝජ්‍ය මහජන ආරක්ෂක අමාත්‍ය සුනිල් වටගල මහතාත් දූෂණ චෝදනාවලට ලක්ව සිටින හිටපු මැති ඇමැතිවරුන් කිහිප දෙනකු සමග එක මේසයක අසුන්ගෙන සිටින ආකාරයය. එහි රාජිත සේනාරත්න, මර්වින් සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සිටි අතර, එක් ඡායාරූපයක විජිත මර්වින්ගේ අත් දෙක අල්ලාගෙන සිනාසෙමින් සිටින ආකාරයද දැකගත හැකි විය. ඒ අනුව බොහෝ දෙනා මෙම ඡායාරූපය දුටු සැණින්ම සිතුවේ එය ඒ.අයි. තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද ඒවා යැයි කියාය.
වෙඩින් එක බොල්ගොඩ
නමුත් අප මේ සම්බන්ධයෙන් කළ සොයාබැලීමේදී තහවුරු වූයේ එය ඒ.අයි. තාක්ෂණයෙන් නිර්මාණය කළ ඒවා නොව, සත්‍ය ඡායාරූප යැයි කියාය. පසුගිය සතියේ කොළඹට නුදුරින් පිහිටි පැරඩයිස් ඉන් බොල්ගොඩ හෝටලයේ පැවැති මංගලෝත්සවයකදී මෙම ඡායාරූප ගෙන ඇති බවය. ප්‍රකට ගුවන් විදුලි නාලිකා හිමිකරුවකුගේ පුතෙකුගේ විවාහය සඳහා මෙසේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් රැසකට ආරාධනා කර තිබූ අතර, ඊට විජිත හේරත්, සුනිල් වටගල, රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ, රාජිත සේනාරත්න, වජිර අබේවර්ධන, කරු ජයසූරිය, රංජිත් මද්දුමබණ්ඩාර, දයාසිරි ජයසේකර, අකිල විරාජ් කාරියවසම්, ඉරාන් වික්‍රමරත්න, කාවින්ද ජයවර්ධන, ඉමිටියාස් බාකීර් මාකර්, චරිත හේරත්, සුසිල් ප්‍රේමජයන්ත, ආෂු මාරසිංහ, යෝෂිත රාජපක්ෂ ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් එහිදී සියලු දෙනාගේම ඇස් යොමුව තිබුණේ විජිත හේරත්, සුනිල් වටගල යන ඇමැතිවරුන් මේ වනවිට ඇප ලබා එළියේ සිටින ප්‍රබල දේශපාලනඥයන් සමග අත්වැල් බැඳගනිමින් කතාබහ කළ ආකාරය දෙසටය.
මහින්ද අකරතැබ්බයක
කොළඹ නිවසින් පිටවීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට වාසය කරන්නේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසේය. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තමන්ගේ උපන් නිවසේ කාලය ගතකිරීම සැපයක් යැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබුණද, මේ වනවිට බරපතළ ප්‍රශ්න කිහිපයකටම මහින්දට මුහුණ දීමට සිදුව ඇති බවක් කාල්ටන් නිවසින් ලැබෙන ආරංචිවලින් දැනගන්නට තිබේ. ඉන් ප්‍රධානම එකක් වී ඇත්තේ මහින්දගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවය.
කාල්ටන් නිවස තංගල්ලේ ප්‍රධාන මාර්ගයකට ආසන්නව පිහිටා තිබීම නිසා මහින්දගේ සුවදුක් බැලීමට නිරන්තරයෙන්ම අවට ගම්වල ජනතාව පමණක් නොව, විනෝද චාරිකා යන, කතරගම වන්දනාවේ යන නඩ පවා පැමිණීම මේ වනවිට සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබේ. විජේරාම නිල නිවසේ සිටියදී නම් මහින්දගේ සුවදුක් බැලීමට එන සෑම කෙනකුම පරීක්ෂා කොට ඇතුළට ගත්තද, කාල්ටන් නිවසේ එවැන්නක් සිදුකිරීමේ කිසිදු හැකියාවක් නොමැත. එම නිසා සියලු දෙනා කිසිදු බාධාවකින් තොරව මහින්දව බැලීමට කාල්ටන් නිවසට පැමිණෙන ආකාරයක් දැකගත හැකිය. ඒ හරහා මහින්දගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතුව ඇති බව මහින්දගේ ආරක්ෂාව භාරව සිටින ආරක්ෂක නිලධාරීන්ගේ මතය වී තිබේ.
අනෙක් අතට කොළඹ නිල නිවසේ සිටියදී මහින්දගේ අසනීප තත්ත්වයන්ට නිරන්තරයෙන්ම ප්‍රතිකාර ලැබුණු ආකාරයක් දැකගත හැකිය. විශේෂයෙන්ම මහින්දගේ පාදයේ ආබාධයට බටහිර ප්‍රතිකාර මෙන්ම දේශීය ප්‍රතිකර්මද, භෞත චිකිත්සක ප්‍රතිකර්මද නිරතුරුවම සිදුවිය. නමුත් මහින්ද කාල්ටන් නිවසේ පදිංචියට යෑම හේතුකොට ගෙන නිරන්තරයෙන් සිදුකෙරුණු මේ වෛද්‍ය පරීක්ෂා කිසිවක් මේ වනවිට සිදුවන්නේ නැත. පාදයට සිදුකරන සම්බාහන ප්‍රතිකාරද කිසිවක් සිදුවන්නේ නැත. ඒ නිසා මේ වනවිට මහින්දගේ අසනීප තත්ත්වයේ යම් වැඩිවීමක් දැකගැනීමට හැකිව තිබේ.
ඒ අනුව මේ වනවිට මහින්දගේ පවුලේ හිතවතුන් තීන්දු කොට ඇත්තේ තාවකාලිකව හෝ මහින්දට වෛද්‍ය පහසුකම් ගත හැකි නිවාසයක් කොළඹින් කුලියට ගැනීමටය. ඒ අනුව මේ දිනවල ඒ සඳහා සුදුසු ස්ථානයක් සොයමින් සිටින බවක්ද දැනගන්නට ඇත.
අනුර යන්නේ නිල ගමනක්
මෙවර ඇමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වන ජනාධිපතිවරයා ඉන් අනතුරුව කෙළින්ම යෑමට නියමිතව ඇත්තේ ජපානය බලාය. ඊට පෙර ජනාධිපතිවරයාගේ මෙම ජපාන සංචාරය සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රශ්න මතුකරමින් කියා තිබුණේ මෙය ජපානයේ ආරාධනාව පරිදි සිදුකෙරෙන නිල සංචාරයක්ද, එසේත් නොමැති නම් ජනාධිපතිවරයාගේ පෞද්ගලික සංචාරයක්දැයි කියාය. මෙය නිල සංචාරයක් නම් ජනාධිපතිවරයා ජපාන අධිරාජ්‍යයාත්, අගමැතිවරයාත් හමුවිය යුතු බවද ඔවුන්ගේ ස්ථාවරය වී තිබිණි. බොහෝ දෙනා එසේ ප්‍රශ්න කිරීමට හේතු වී තිබුණේ ජනාධිපතිවරයාගේ ඉකුත් ජර්මානු සංචාරයේදී එරට ප්‍රධානියා වන ජර්මන් චාන්සලර්වරයා මුණ නොගැසීමය. එහිදී ජනාධිපතිවරයා මුණගැසී තිබුණේ එරට නාමික තනතුරක් දරන ජර්මානු ජනාධිපතිවරයා පමණි. ඒ අනුව බොහෝ දෙනා චෝදනා කොට සිටියේ ජනාධිපතිවරයා ජර්මනියෝ සිදුකළේ නිල සංචාරයක් නොව, පෞද්ගලික සංචාරයක් යැයි කියාය.
කෙසේ වෙතත් මේ වනවිට අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයා ජපානයේදී එරට අගමැතිවරයාත්, ජපාන අධිරාජ්‍යයාත් මුණගැසීමට සූදානමින් සිටින බවකි. නමුත් මේ වනවිට ජපාන සංචාරයේ යම් ගැටලුවක් මතුව ඇත්තේ එරට අගමැතිවරයා වූ ෂිගේරු ඉෂිබා සිය ඉල්ලා අස්වීම දැනටමත් ප්‍රකාශයට පත්කොට තිබීම නිසාය. එසේ තිබියදී ජනාධිපතිවරයා ජපානයේ සංචාරය කොට ඵලක් තිබේද යන්න පිළිබඳ යම් මතගැටුමක් ආණ්ඩුව තුළද මතුව තිබිණ. කෙසේ වෙතත් එම මතගැටුම විසඳුණේ ශ්‍රී ලංකාවට පැමිණි ජපන් රජයේ නිලධාරීන් පිරිසක් සමග ආණ්ඩුවේ ප්‍රධානීන් පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවය. එහිදී මෙම ප්‍රශ්නය යොමුකළ අවස්ථාවේදී ජපන් නියෝජිතයන්ගේ ස්ථාවරය වී තිබුණේ ජපන් අගමැතිවරයකු ඉල්ලා අස්වුවද නව අගමැතිවරයකුගේ පත්වීම සිදුවන තෙක් ඒ සිටින අගමැතිවරයාගේ පත්වීම වලංගු යැයි කියාය. එමෙන්ම නව අගමැතිවරයකු පත්වීමේ ක්‍රියාපටිපාටිය තරමක් දීර්ඝ එකක් බවත්, පක්ෂ සම්මේලනයක් පැවැත්වීමෙන් අනතුරුව නව අගමැතිවරයා තෝරා ගැනෙනු ඇති බවත්, එහිදී ජපන් නියෝජිත කණ්ඩායම ආණ්ඩුවේ ප්‍රධානීන්ට පෙන්වා දී තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා මේ වනවිට තීන්දු කර ඇත්තේ කලින් සැලසුම් කරගත් පරිදි සිය ජපන් සංචාරය සිදුකිරීමටය.
ආධාර එනවා
කෙසේ වෙතත් මෙහිදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර පැවැති අතීත සබඳතාව යළිත් තහවුරු කරමින් වසර ගණනාවකට පසු ජපන් රජය මගින් යෙන් මිලියන ගණනක ප්‍රදානයක් ලංකාවට සිදුකිරීමට නියමිතය. ජපානය ලංකාවට අතීතයේ සිටම උපකාර සිදුකළද පසුගිය ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේදී එම හිතවත්කම් විශාල වශයෙන් පළුදු වී තිබිණි. එහි ආරම්භක සිදුවීම වූයේ යහපාලන සමයේදී ජපානය සමග ගිවිසුම් අස්සන් කොට තිබූ කොටුවේ සිට තලාහේන දක්වා කණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය කිසිදු සාධාරණ හේතුවක් නොදක්වා ගෝඨාභය රාජපක්ෂ පාලනය මගින් අවලංගු කර දැමීමය. එහිදී ඒ සඳහා විශාල වන්දි මුදලක් ගෙවීමටද රාජපක්ෂ ආණ්ඩුවට සිදුවිය. මෙසේ බිඳවැටුණු ජපන් හොඳ හිත තවත් දරුණු ලෙස බිඳවැටීමට හේතු වූ සිදුවීමක් වූයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා ගුවන් සේවා අමාත්‍ය ධුරය දරමින් සිටියදී කටුනායක සංවර්ධන කටයුතු සිදුකළ තායි සෙයි ජපන් සමාගමෙන් අල්ලසක් ඉල්ලා තිබූ බවට තොරතුරු වාර්තා වීමය. මෙය ගෝඨාභයට පැමිණිලි කළේද වෙන කිසිවකු නොව ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිවරයා විසින්මය. ඒ අනුව මෙම පැමිණිල්ල ලැබීමෙන් පසු ගෝඨාභය කළේ තාවකාලිකව නිමල් සිරිපාලව අමාත්‍ය ධුරයෙන් ඉවත් කොට ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත්කිරීමය.
කෙසේ වෙතත් ගෝඨාගෙන් පසු බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ කළේ එම කමිටුවට සිය හිතවතුන් පත්කොට නිමල් සිරිපාල නිවැරැදි බවට වාර්තාවක් එළිදක්වා නැවත වතාවක් නිමල් සිරිපාලට එම අමාත්‍ය ධුරයම ලබාදීමය. මේ නිසා ජපන් රජය පසුගිය කාලය පුරාම ලංකා ආණ්ඩුව සමග සිටියේ යම් නෝක්කාඩුවකය. එම නිසා ජපානය පසුගිය වසර කීපය පුරාම ලංකාවට කිසිදු ආධාර මුදලක් ලබා නොදීමට ඉදිරිපත් වූයේ නැත.
එසේ තිබියදී මෙවර ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයේදී නැවත වතාවක් ජපානය ලංකාවට විශාල මූල්‍ය ප්‍රදානයක් ලබාදීමට තීරණය කොට තිබීම විශේෂ සිදුවීමකි. එමෙන්ම මෙම සංචාරයේදී අනුරට ජපානයෙන් නොමිලේ සුඛෝපභෝගී බස් රථ 50ක්ද ලැබීමට නියමිතය. ඒ හරහා නැවත වතාවක් ලංකාව සමග සුහද ගනුදෙනුවකට යෑමට ජපානය තීරණය කොට ඇති බවක් මේ හරහා දැකගැනීමට පුළුවන.










