පසුගිය සතියේ යම් යම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා කොට තිබූ කරුණක් වූයේ මාලිමා ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානමින් සිටින බවකි. ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු ආණ්ඩුව මුලින්ම සැලසුම් කර තිබුණේ ඉතා ඉක්මණින් මහ මැතිවරණයත්, පළාත් පාලන මැතිවරණයත්, පළාත් සභා මැතිවරණයත් යන මැතිවරණ තුනම පවත්වා අවසන් කිරීමටය. ඒ අනුව මහමැතිවරණය පවත්වා තුනෙන් දෙකක බලයක් ලබාගත්තද, පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව ලැබූ අනපේක්ෂිත පසුබෑමත් සමග පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වූ මාතෘකාව හිටිහැටියේම ආණ්ඩුව පැත්තෙන් අතුරුදන් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අවස්ථාවේදී ‘රාජ්‍ය රහස්’ තීරය වාර්තා කොට සිටියේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම ලබන වසරේ මැදභාගය දක්වා කල්දැමීමට තීරණය කොට ඇති බවකි.Sri Lanka Latest News
නමුත් හදිසියේම වාගේ නැවත වතාවක් ආණ්ඩුව ඇතුළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතුව තිබීමත් සමග ‘රාජ්‍ය රහස්’ තීරයද ඊට පසුබිම් වූ කාරණා මොනවාද යන්න සොයාබැලීමට පියවර ගත්තේය. එහිදී අපට දැනගන්නට ලැබුණේ පසුගිය දා ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පනත සම්මත කරන දිනයේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා හා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් මන්ත්‍රීවරයා අතර පමණක් පැවැති මුහුණට මුහුණ සාකච්ඡාවකදී මෙම මාතෘකාව නැවත වරක් කරළියට පැමිණ ඇති බවකි.
ශානක්‍යයන් අනුරව හමුවෙයි
එදින ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පැමිණි පසු රාසමානික්කම් ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණේ විශේෂ කරුණු කීපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමන්ට වේලාවක් ලබාදෙන ලෙසයි. ඒ අනුව ජනාධිපතිවරයා රාසමානික්කම්ට දැනුම් දී සිටියේ සවස් වරුවේ සාකච්ඡා කිරීමට හැකියාව ඇති බවකි. එම දැනුම්දීමට අනුව ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රාසමානික්කම් ජනාධිපතිවරයාගේ කාර්යාලයට ගියේය. එම ප්‍රධාන කරුණු 3 වූයේ උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතුවලදී දෙමළ ජාතික සන්ධානයත් සහභාගී කරවාගැනීම, උතුරු නැගෙනහිර සංවර්ධන අරමුදලක් පිහිටුවීම සහ පළාත් සභා මැතිවරණය පවත්වා උතුරු නැගෙනහිරට බලය බෙදීම සම්බන්ධයෙන්ය.
ඒ අනුව රාසමානික්කම් මුලින්ම කතා කළේ උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු සහ සංවර්ධන අරමුදල පිහිටුවීම සම්බන්ධයෙන්ය. මෙම සංවර්ධන අරමුදල පිහිටුවීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානය මීට පෙර හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ සමගද සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබිණි. නමුත් එම සාකච්ඡා සාර්ථක නොවූ අතර, අනුර සමගද එක් සාකච්ඡා වටයක් පැවැත්වීමට ඔවුන් කටයුතු කොට තිබිණී.
එමෙන්ම පසුගියදා ලංකාවට පැමිණි ලෝක බැංකු නියේජිතයන්ගේ රැස්වීමට දෙමළ ජාතික සන්ධානයට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන්ද රාසමානික්කම් එහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර සිටියේය. මුලදීම රාසමානික්කම් ඒ පිළිබඳ ඇමැති සුනිල් හඳුන්නෙත්තිගෙන්ද විමසීමක් කර තිබූ අතර, එහිදී සුනිල් කියා තිබුණේ ඊට ආරාධනා කර තිබුණේ ලෝක බැංකුවෙන් බවත්, ආණ්ඩුවෙන් නොවන බවත්ය. නමුත් රාසමානික්කම් ඒ පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන්ගෙන් විමසද්දී ඔවුන් දැනුම් දී තිබුණේ තමන් කිසිවකුටත් එම සාකච්ඡාවට ආරාධනා කිරීමට කටයුතු කළේ නැතැයි කියාය.
ඒ අනුව රාසමානික්කම් ජනාධිපතිවරයා සමග පැවැති හමුවේදී මෙම සියලු කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමටත්, මින් ඉදිරියට උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඊට දෙමළ ජාතික සන්ධානයද සම්බන්ධ කරගන්නා ලෙස ඉල්ලීමක් කිරීමටත් පියවර ගත්තේය.
පළාත් සභා ඡන්දය
ඉන් අනතුරුව රාසමානික්කම් ප්‍රධානම ප්‍රශ්නය වූ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර සිටියේය. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය අවධානය යොමුකොට තිබුණේ මීට වසර ගණනාවකට පෙර සිටමය. 2015 යහපාලන ආණ්ඩුව පැමිණ නව සීමා නිර්ණයක් සිදුකිරීමට කටයුතු කිරීමෙන් පසු එහි තිබූ ගැටලු හේතුවෙන් පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල්ගොස් තිබිණි. ඒ අනුව 2019දී එවක හිටපු දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කොට තිබිණි. නමුත් එම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග එයද විසිවී ගියේය.
ඉන් අනතුරුව පසුගිය මාර්තු මාසයේ පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරකසභාවේදී රාසමානික්කම් සභානායක බිමල් රත්නායක මහතාගෙන් විමසීමක් කොට තිබිණි. නමුත් එහිදී බිමල් රාසමානික්කම්ට දී තිබුණේ තරමක උද්දච්ච ආකාරයේ පිළිතුරකි. ඒ අනුව රාසමානික්කම් නැවත වතාවක් පසුගිය මැයි මාසයේදී පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ඉල්ලා පෞද්ගලික යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. මෙය පෞද්ගලික යෝජනාවක් වීම හේතුවෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතියට එය ඉදිරිපත් කිරීම සඳහා අවම වශයෙන් මාස 6ක කාලයක් අවශ්‍යය. ඒ අනුව එම මාස 6 අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන දෙසැම්බර් මාසයේය.
බිමල් දීපු උත්තරේ
ඒ අතරවාරයේ මීට සති දෙකකට පමණ ඉහතදී ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා යාපනයේ සංචාරයක නිරත වූ අතරවාරයේදී පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා තිබුණේ සීමා නිර්ණ වැඩකටයුතු අවසන් වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරනවා යැයි කියාය. නමුත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත කාලවකවානුවක් සඳහන් කිරීමට ටිල්වින් කටයුතු කර නොතිබිණි. ටිල්වින්ගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් රාසමානික්කම් පසුගිය සතියේදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරකසභා රැස්වීමේදී බිමල්ගෙන් විමසීමක් කර තිබිණි. ඊට ප්‍රතිචාර දක්වමින් බිමල් කියා සිටියේ ‘ඔය සමාජ මාධ්‍යවල යන දේවල්වලට මම උත්තර දෙන්නේ නෑ’ යැයි කියාය. නමුත් රාසමානික්කම් නැවත වතාවක් කියා සිටියේ එය සමාජ මාධ්‍යයේ ගිය කතාවක් නොව, ටිල්වින් යාපනයේ ගොස් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කළ කතාවක් බවකි. නමුත් ඊටද ‘මම ඕවට උත්තර දෙන්නේ නෑ’ යනුවෙන් සඳහන් කරමින් රැස්වීම අවසන් කිරීමට බිමල් කටයුතු කොට තිබිණි.
මේ කෙටි ඉතිහාසය සිහිපත් කරමින් රාසමානික්කම් ජනාධිපතිවරයාගෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විමසා සිටියේ ඒ අනුවය. එහිදී අනුර ඊට ඉතා සූක්ෂම ආකාරයේ පිළිතුරක් ලබාදුන් ආකාරය දැකගත හැකි විය. ‘පළාත් සභා ඡන්දය තියන්නේ අලුත් ක්‍රමයටද පරණ ක්‍රමයටද කියලා ඔබතුමන්ලා පක්ෂ නායක රැස්වීමෙදී සාකච්ඡා කරලා තීන්දුවකට එන්න’ යන්න ජනාධිපතිවරයාගේ පිළිතුර විය.
ඡන්දෙ නෑ වගේ
ජනාධිපතිවරයා මේ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වුවද අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ ජනාධිපතිවරයා පළාත් සභා ඡන්දය පවත්වනවාට වඩා එය නොපවත්වන ස්ථාවරයක සිට එවැනි පිළිතුරක් ලබාදුන්නා යැයි කියාය. නොඑසේ නම් ඉන්දියාව කුමන බලපෑම් එල්ල කළද, රට ඇතුළෙන් කුමන බලපෑම් එල්ල වුවද ආණ්ඩුව පළාත් සභා මැතිවරණය තවදුරටත් කල්දැමීමේ ස්ථාවරයක සිටිනවා යැයි කියාය. එසේ වුවත් පසුගිය සතියේ අනුරාධපුරයේ සහ ත්‍රිකුණාමලයේ ස්ථාන කිහිපයක සංචාරයක නිරතව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නම්, තමන් කළ සෑම කතාවකදීම ආණ්ඩුවට අභියෝග කරමින් කියා සිටියේ හැකි නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නැයි කියාය. එමෙන්ම සජිත් ජනතාවගෙන්ද ඉල්ලීමක් කරමින් කියා සිටියේ පොරොන්දු කඩකළ වැඩ බැරි ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීම සඳහා ඉදිරි පළාත් සභා මැතිවරණය උපයෝගී කරගන්නා ලෙසටය.
රාජ්‍ය රහස්










