අතිරමණීය දසුන්වලින් හෙබි හිමාලය ආසන්නයේ පිහිටි නේපාල රාජ්‍යයේ අගනුවර වන කත්මන්ඩු නුවරට පසුගිය සතියේදීත් හිරු නැගෙමින් තිබුණේ සාමාන්‍ය අයුරිනි. එහෙත් ගතවූයේ දින කිහිපයක් පමණි. කත්මන්ඩු අගනුවර ගිනි ජාලාවකින් වැසී ගියේය. ගිනි ජාලාවන් සමගම නිල්වන් අහස් කුස අඳුරු දුම් වළාවකින්ද වැසී ගියේය. නගරයේ තැන තැන කෝපයෙන් උද්ඝෝෂණය කරන දසදහස් ගණනක තරුණ පිරිස් දක්නට හැකි වූයේය. නගරයේ පිහිටි බොහෝ රාජ්‍ය ගොඩනැගිලිවලට ගිනිතබා විනාශ කළේ මෙම කෝපාවිෂ්ට වූ තරුණ පිරිස්ය. ඉතා කෙටි කාලයක් තුළ මොවුන් මෙසේ මහා අරගලයක් දියත් කළේ ඇයි? අද මුළුමහත් ලෝකයම මෙම තරුණ ජන අරගලයේ තතු යම් පමණින් අවබෝධ කරගෙන ඇත්තේය. මෙවැනි අරගලයක් ඇතිවීමට ප්‍රධාන හේතුව කුමක්ද? නේපාල රජය විසින් පසුගියදා එරට තුළ සමාජ මාධ්‍ය තහනමක් පැනවීම මෙයට ප්‍රධාන හේතුව විය. එනම් ෆේස්බුක්, එක්ස් සහ යූටියුබ් ඇතුළු තවත් සමාජ මාධ්‍ය වේදිකාවන් ගණනාවක් තහනම් කිරීමට නේපාල රජය විසින් පනතක් සම්මත කරගන්නා ලදී. මෙම තීරණය ප්‍රධාන වශයෙන් තරුණ පරපුර සඳහා ප්‍රබල ලෙස බලපාන හෙයින් එම තහනමට එරෙහිව මුලින්ම විශ්වවිද්‍යාල සිසුන් විසින් උද්ඝෝෂණය කරන ලද අතර, පසුව එය ජන කැරැල්ලක් බවට පත්වුණේය. දින දෙකක් වැනි කෙටි කාලයකදී මෙමත තත්ත්වය අතිශය උත්සන්න වූ අතර, අවසානයේදී මාරාන්තික තත්ත්වයටද පත්ව රජයේ පොලිස් වෙඩි පහරින් තරුණ පිරිස් 25ක් පමණ ඝාතනයටද ලක්විය.
‘මේක වචනයෙන් ප්‍රකාශ කරන්න බැරි මහා විනාශයක්. මේ තරම් විශාල ජන උද්ඝෝෂණයක් මෑත කාලයක ලෝකයේ කිසිම රටක පැවැතිලා නැහැ. විශ්වවිද්‍යාල සිසුන් ප්‍රධාන කරගත් තරුණ කණ්ඩායම් දසදහස් ගණනින් මේ අරගලයට එක්වෙලා. ඔවුන් හරියට මුහුදක් ගලනවා වගේ නගර මධ්‍යයට කෝපයෙන් කඩාවදින ආකාරය දක්නට ලැබුණා. එම අරගලකරුවන් නේපාලයේ පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණය, ජනාධිපති මන්දිරය, අගමැති නිල නිවස සහ තවත් රජයේ ප්‍රධාන ස්ථාන රැසක් ගිනිබත් කර විනාශ කර දමලා. නේපාල රජයේ නියෝගය මත පොලිසිය විසින් අරගලකරුවන්ට ප්‍රබල ලෙස ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඔවුන් තරුණ තරුණියන්ට වෙඩිතබනවා. මෙම වෙඩි ප්‍රහාරවලින් දැනටමත් තරුණ පිරිස් 25ක් පමණ ඝාතනයට ලක්වෙලා. තවත් දහස් ගණනක් තුවාල ලබලා. මෙය මහා භයානක තත්ත්වයක්. නේපාල රජය මෙසේ සිදුකරන්නේ බරපතළ මානව හිමිකම් උල්ලංඝනයක්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමත් මේ ගැන විමර්ශනයක් සිදුකරනවා…’
මෙම බැරෑරුම් කතාව කියා සිටින්නේ කවරකු විසින්ද? මෙයට දින කීපයකට ඉහතදී අසන්නට ලැබුණු මෙම ප්‍රකාශය සිදුකරන්නේ ලොව ප්‍රකට ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන ‘හියුමන් රයිට්ස් වොච්’ (Human Rights Watch) සංවිධානයේ ආසියාතික අධ්‍යක්ෂ මීනක්ෂි ගංගුලි (Meenakshi Ganguly) විසිනි. ඇය ආසියාතික කලාපයේ මානව හිමිකම් ක්‍රියාවලින් ගැන අධීක්ෂණය කරන අතර, ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානයට සම්බන්ධ වී කටයුතු කරන්නේ 2004 වසරේ සිටය. එනම් වසර 21ක මානව හිමිකම් විෂය කෙරෙහි ඇය වෙත දීර්ඝ පළපුරුද්දක් ඇත. ඉන්දියානු ජාතිකයකු වන මීනක්ෂි ගංගුලි සමාජ විද්‍යාව පිළිබඳ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් හිමිකරගෙන ඇත. ඇය කාලයක් පුරා ලෝකයේ ප්‍රකට සඟරාවක් වන ‘ටයිම්’හි වාර්තාකාරිනියක ලෙසද කටයුතු කර ඇත. තවද ඇය පසුගිය කාලයක් පුරා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සිදුවීම්වලට අදාළවද විශ්ලේෂණයන් රැසක් සිදුකර ඇත. ඇය ඉහත විශ්ලේෂණය සිදුකරනු ලබන්නේ මෙම දිනවල ලෝකය පුරා මහත් කතාබහට ලක්ව තිබෙන සුවිශේෂ විෂයකට අදාළවය. එය නම් අපගේ යාබද ආසියාතික රාජ්‍යයක් වන නේපාලයේ මෙම දිනවලදී සිදුවන මහා ජන අරගලයයි. මෙම අරගලයේ දසුන් දකින විට අපගේ මතකයට එන්නේ මෙයට වසර කීපයකට පෙර ශ්‍රී ලංකාවේ පැවැති මහා ජන අරගලයයි. එහෙත් අපගේ අරගලයට වඩා නේපාලයේ අරගලය ඉතා බියකරු වී ඇත්තේ එයින් මේ වනවිට ජීවිත විනාශ රැසක්ම සිදුව ඇති හෙයිනි.
ඉහත මානව හිමිකම් සංවිධානය වන ‘හියුමන් රයිට්ස් වොච්’හි ආසියාතික අධ්‍යක්ෂ, මීනක්ෂි ගංගුලි විසින් සිදුකරන විශ්ලේෂණය තවදුරටත් සොයා බලමු.
‘නේපාලයේ රජය විසින් පනවනු ලැබූ සමාජ මාධ්‍ය වේදිකා තහනමට සහ රජයේ දූෂණ වංචාවලට එරෙහිවයි නේපාලයේ තරුණ පිරිස් මෙම අරගලය සිදුකරන්නේ. ප්‍රධානවම නේපාලයේ විශ්වවිද්‍යාල සිසුන් විසින් තමයි මෙය ආරම්භ කර ඇත්තේ. මෙහිදී අපට පෙනීගොස් ඇත්තේ උද්ඝෝෂකයන්ට එරෙහිව රජය විරෝධතා මර්දනය කිරීම සඳහා පොලිසියේ මාරාන්තික බලය යොදවා ඇති ආකාරයයි. මේ තරුණ පිරිස් ප්‍රකාශ කළ තවත් ප්‍රධාන විරෝධයක් තමයි නේපාල රජයේ ඇති වත්මන් දේශපාලන දූෂණය සහ ඥාති සංග්‍රහය. කෙසේ වෙතත් මෙලෙස තරුණ පිරිස්වලට රජය මාරාන්තික බලය යොදවා වෙඩිතැබීම ගැන අපක්ෂපාතීව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකළ යුතුයි. එසේම එම විමර්ශනය මගින් මෙම ඝාතනයන්ට වගකිව යුතු සියලු දෙනාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වහා ගත යුතුයි. මෙලෙස නේපාලය පුරා විරෝධතාකරුවන්ට පොලිසිය විසින් වෙඩිතැබීමෙන් පෙන්නුම් කරන්නේ රාජ්‍ය පරිපාලනය තමන්ගේම පුරවැසියන්ගේ ජීවිත කෙරෙහි දක්වන බියජනක ප්‍රතික්‍රියාවයි. ආරක්ෂක හමුදාවන්ට මිනීමැරුම්වලින් ගැලවී යෑමට ඉඩ දී ඇති දඬුවම් නොලැබීමේ සංස්කෘතිය ආරක්ෂා කිරීම වෙනුවට බලධාරීන් මෙම ඝාතන සඳහා වගකිව යුතු අයට වහා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. රජය ඉතා ආක්‍රමණශීලී ලෙස විරෝධතාවට ප්‍රතිචාර දක්වා තිබෙනවා…’
කැරැල්ල ගැහුවේ ඨැබ ’ පරම්පරාව
මෙම මහා ජන අරගලය නම්කර ඇත්තේ ‘ජෙනරල් ඉසෙඩ්’ (General Z) යන නාමයෙන් වන අතර, එය කෙටි නාමයකින් හඳුන්වනු ලබන්නේ Gen Z ලෙසිනි. එහෙත් තවත් වාර්තාවලින් මෙම අරගලය හඳුන්වා ඇත්තේ ‘ජෙනරේෂන් ඉසෙඩ්’ (Generation Z) ලෙසින් වන අතර, කෙටි නාමය ලෙස Gen Z ලෙසම භාවිත කර ඇත. මෙලෙස මෙම මහා අරගලයට එම නාමය භාවිත කිරීමට හේතු වූයේ කුමක්දැයි අප ‘මව්රට’ තවත් තීව්‍රව සොයා බැලුවේය. එය සැබැවින්ම අපූරු කතාවකි. එනම් Generation Z හෙවත් ‘Z පරම්පරාව’ යනු 1995 සිට 2010 වසර දක්වා උත්පත්තිය ලැබූ තරුණ පරපුරයි. අන්තර්ජාලයේ විවිධ ක්‍රියාවලීන් මුලින්ම ආරම්භ කරනු ලැබුවේ 1995 වැනි වසරක වීමත්, එතැන් සිට 2010 දක්වා උපන් තරුණ පිරිස එම අන්තර්ජාල පරපුර ලෙසද හඳුන්වා ඇත. එසේම එම පරපුරට ‘සූමර්’ (Zoomer) යන අන්වර්ථ නාමයක්ද පටබැඳ ඇත. එය තවත් ආකාරයකින් අර්ථ ගන්වා ඇත්තේ අන්තර්ජාලය Zoom කරනු ලැබූ (ආරෝහණය කළ) මුල්ම පරම්පරාව ලෙසිනි. එම තරුණ පරපුර ගැන ප්‍රකාශ කෙරුණු මෙම කාලවකවානුව, එනම් 2025 දක්වාම සිටින තරුණ පරපුරටද අදාළ බව අර්ථකථනය කර ඇත. මෙම අපූරු රසවත් කතාවෙන් පෙනීයන්නේ මෙය වසර 30ක් දක්වා වයස්වල පසුවන තරුණ පිරිස්වල ජන අරගලයක් බවයි. කෙසේ වෙතත් මෙහි අවසාන පැහැදිලි නිර්ණය ලෙස ගත හැක්කේ Generation Z යන්නය.
අගමැති පිටරටකට පනී
නේපාලයේ සිදුවූ මෙම මාරාන්තික තරුණ අරගලය යම් පමණකට සමථයකට පත්ව තිබුණද එය මෙතෙක් නිමාවකට පත්ව නොමැත. මෙම කැරැල්ල හේතුවෙන් පසුගියදා නේපාලයේ වත්මන් අගමැති ලෙස කටයුතු කළ කේ.පී. ෂර්මා ඕලි වහා අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය. ඔහු මේ වනවිට ඉතා රහසිගතව ප්‍රකාශ නොකෙරුණු විදෙස් රටකට පලාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියයි. ෂර්මා ඕලි නේපාලයේ 38 වැනි අගමැතිවරයා ලෙස කටයුතු කළ අතර, ඔහු දැනට 73 වැනි වියේ පසුවෙයි. නේපාලයේ සිටින ප්‍රවීණ දේශපාලකයකු වන ඔහු 1970 වසරේ සිටම එරට දේශපාලනයේ නිරතව සිටී. දශක ගණනාවක් පුරා නේපාලය තුළ රාජාණ්ඩුවක් පැවැතියද එය 2008 වසරේදී කැරැල්ලක් මගින් අහෝසි කරන ලදී. දැන් එරට ප්‍රධාන රාජ්‍ය පාලකයා වන්නේ අගමැතිවරයාය. තවද ජනාධිපතිවරයකුද සිටියි. එහෙත් ඔහුට ඇති බලතල සීමිතය. අගමැති ධුරය ප්‍රබලය.
කැරැල්ලේ මහමොළකරු
මෙම අරගලය තුළදී හෙළිවන්නේ තවත් අපූරු රසවත් කතාවකි. එනම් තරුණ අරගලකරුවන් ප්‍රකාශ කර ඇත්තේ නේපාලයේ නව අගමැතිවරයා ලෙස මෙම අරගලයට නායකත්වයක් දුන් බාලේන්ද්‍ර ෂා :ඊ්කැබාර් ීය්ය* නමැත්තා පත්කළ යුතු බවයි. ඔහු දැනට කත්මන්ඩු නගරයේ නගරාධිපතිවරයා ලෙස 2022 සිට කටයුතු කරයි. දැනට 35 වැනි වියේ පසුවන ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවකු වන අතර, නව රැල්ලේ ‘රැප්’ ගායකයකු ලෙසද ජනතාව අතර ප්‍රකටය. ඔහු විවාහක තරුණයෙකි.
මීට අමතරව හිටපු අගවිනිසුරුවරියක වූ සුෂිලා කර්ති නේපාල භාරකාර ආණ්ඩුවේ අගමැතිවරිය බවට පත්විය යුතු බවට යෝජනාවක්ද ඨැබ ’ කණ්ඩායමෙන් ඉදිරිපත්ව තිබේ.

ප්‍රියන්ත හෙට්ටිගේ










