ජාතික භික්ෂු පෙරමුණ සංවිධාන කළ ජාතික භික්ෂු දිනය පසුගිය 26 වැනිදා අරලියගහ මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ, එහිදී ජනාධිපතිවරයා පළකළ අදහස්වලින් කොටසකි.Sri Lanka Latest News
‘පැරණි විනාශකාරී ගමනෙම, ඒ ගලන ගඟේ ඔරුව ඒ දිශාවටම ඔහේ පාවෙන්න අත්හරිනවාද? මේක ආපහු හරවනවාද? මා අපේ හාමුදුරුවන් වහන්සේලා ඉදිරිපිට සපථ කරලා කියනවා, මේ විනාශකාරී ගමන තිර අදිටනින් යුතුව ආපහු හරවනවා. කරන්න ඕනෙ. කුමන ඝෝෂාවන් තිබුණත්, මේ තබන ලද පියවර ආපසු නොහරවන බව මම අපේ හාමුදුරුවන් වහන්සේලා ඉදිරිපිට සපථ කරලා කියනවා. ඒක අපි කරන්න ඕනෙ.
මෙය මා, මාගේ රජය මේ දේ කරන්නේ නැත්නම්, කිසිදු රාජ්‍යයක් ලංකාවේ යළි මේ වැඩේ කරන්නේ නෑ. කිසිදු ආණ්ඩුවක්. මේ වැඩේ මම කරනවා. මගේ ආණ්ඩුව කරනවා. සෑම දෙනාම නීතිය ඉදිරියේ සමාන විය යුතුයි. ඒක නීතියේ තියෙන පොදු සංකල්පයක්. සෑම දෙනාම නීතිය ඉදිරිපිට සමානයි. ඒ නිසා එවැනි සංස්කෘතියක් අපි හදනවා. ධනය, බලය, තනතුරු, ඉතිහාසය, විරාජමානව බලය හෙබවීම් කිසිවක් අදාළ නෑ. නීතිය ඉදිරියේ හැම දෙනාම සමානයි. අපේ රටේ කවර හෝ දිනක අපරාධයකට හවුල් වී තිබෙනවා නම්, කවර හෝ දිනක දූෂණයකට හවුල් වෙලා තිබෙනවා නම්, කවර හෝ දිනක බලය අයුතු ලෙස උපයෝගී කරගෙන තිබෙනවා නම්, කවර හෝ දිනක මහජනයාගේ ධනය රිසි සේ නාස්ති කොට තිබෙනවා නම්, සෑම කෙනාම නීතිය හමුවට ගෙන ඒම සඳහා උපරිම ප්‍රයත්න දරනවා. පළිගැනීම නෙවෙයි, දඩයම් කිරීම නෙවෙයි. මේ සමාජයට යළි නීතිය, යුක්තිය, සාධාරණත්වය පිළිබඳ හැඟීමක් සහ විශ්වාසයක් හදන්න ඕනෙ.
පොදු සමාජය අද නීතිය, යුක්තිය, සාධාරණත්වය පිළිබඳ විශ්වාසයක් නෑ. ‘ආ එයාට නම් එහෙම නීතිය වෙන්නේ නෑ, අපිට තමයි නීතිය’ ‘ආ එයා අහවලාගේ ඥාතියානෙ, එයාට නම් දඬුවමක් ලැබෙන්නේ නෑ. අපිට තමයි දඬුවම්….’ මෙහෙමනේ නීතිය පිළිබඳ තියෙන සංකල්පය. නීතිය පොදු සංකල්පයක්. නීතිය ඉදිරියේ සෑම දෙනාම සමානයි. හැබැයි නීතියේ භාවිතාව එක් එක් අයට එක් එක් ආකාරයට. අන්න ඒ තත්ත්වය වෙනස් කිරීම සඳහා අපි පියවර තබනවා. අපි කිසිදු ආයතනයකට මැදිහත් වෙන්නේ නෑ. ඒ ආයතනවලට අපි එකයි කියන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඔබට අණපනත්වලින් සපයා දී තිබෙන බලය ඔබ ක්‍රියාත්මක කරන්න. නීතිපති දෙපාර්තමේන්තුව, අණපනත්වලින් පවරා තිබෙන බලය ක්‍රියාත්මක කරන්න. අධිකරණය, ඒක යුක්තිසහගතව විභාග කරන්න. අපි නිකන් දූෂිතයා හඳුන්වන්නේ නෑ. අධිකරණය විභාග කරන්න. විභාග කරලා තීරණය දෙන්නේ. ඒක අපේ ප්‍රයත්නය. අපි ඒ වැඩේ කරන්න ඕනෙ.
නීතිය කාටත් සාධාරණයි කිව්වහම කඩිගුල ඇවිස්සුණා වගේ. දකිනවනේ මේ දවස්වල. ඒගොල්ලො කියනවා නීතිය කාටත් සමාන වෙන්න බෑ, අපිට නීතිය. මොකක්ද දන්නෑ නේ. ආයි නිර්ප්‍රභූ අයට නීතිය, ප්‍රභූ අයට නීතිය බෑ. එහෙමනෙ කියන්නේ. නීතිය කාටත් සමානයි කියන එකට කඩිගුල ඇවිස්සුණා වගේ දඟලන්නේ ඇයි? ඔවුන්ගේ හෘද සාක්ෂිය දන්නවා ඔවුන් අපරාධකාරයෙක් බව. ඔහුගේ හෘද සාක්ෂිය දන්නවා ඔහු වංචනිකයෙක් බව. එම නිසා නීතිය ඉදිරියේ හැම දෙනාම සමානයි කියන සංකල්පයට ආශීර්වාද කරන්න ඕනෙ. හැබැයි කලබල වෙන්නේ ඇයි? ඔහු දන්නවා ඔහු අපරාධකාරයෙක් බව. කලබල වෙනවා….’
Newsfirst.lk










