දේශපාලන පවුල් කී සැණින් මේ රටේ එක්වම සිහියට එන පවුල් කිහිපයක් තිබේ. ඉන් පළමුවැන්න වන්නේ බණ්ඩාරනායක පවුලය. දෙවැන්න රාජපක්ෂ පවුලය. පවුල් දෙකම එන්නේ ශ්‍රීලනිපයෙන්ය. බණ්ඩාරනායක පවුල 2005 ජනාධිපතිවරණයේදී මහින්දගේ ජයග්‍රහණයත් සමඟ දේශපාලන සිතියමෙන් ඉවත්ව ගියේය. චන්ද්‍රිකාගෙන් පසුව දේශපාලනයට පිවිසෙන්නට කිසිදු බණ්ඩාරනායකවරයෙක් පේන තෙක්මානයකවත් සිටින බවක් දැකගන්නට නැත.
ඒ අනුව ශ්‍රීලනිපයේ පවුල් දේශපාලනයේ ප්‍රධානත්වය ගත්තේ රාජපක්ෂ පවුලය. මහින්ද, චමල්, බැසිල්, නාමල්, ශෂින්ද්‍ර ඒ වන විට රාජපක්ෂ පවුලෙන් ඍජුවම දේශපාලනයේ නිරතව සිටියහ. ගෝඨාභය ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේය. 2015 ජනාධිපතිවරණය වන විට එජාපය රට වටේම ගෙයක් ගෙයක් ගානේ ගිහින් කීවේ එක පවුලක් විසින් මුළු රටම පාලනය කරනවා යැයි කියාය. ආණ්ඩුවේ අමාත්‍යාංශවලින් 70%ක්ම රාජපක්ෂ පවුල අතේ තියාගෙන ඉන්නවා යැයි කියාය. ඒ නිසා මේ පවුල් දේශපාලනයට තිත තැබිය යුතු බව කියමින් එදා එජාප නායකයෝ ලොකු විරෝධයක් රාජපක්ෂ පවුලට එරෙහිව රට ඇතුළේ ගොඩනැගූහ.
හැබැයි මෙහෙම රාජපක්ෂ පවුලට එරෙහිව රට ඇතුළේ මතයක් ගොඩනැඟුවත් එජාපය එක දෙයක් අමතක කර තිබිණි. ඒ වෙන මොකවත් නොව එජාපය බිහිකළදා සිටම එජාපය ඇතුළේ පවුල් දේශපාලනය තිබුණු බවය. එජාපය හැමදාම පක්ෂ නායකත්වය ඉදිරියට අරගෙන යෑමට උත්සාහ කළේ පවුල් පසුබිමත් එක්කය.
ඩී.එස්. සේනානායක 1946 සැප්තැම්බර් 06 වැනි දින එජාපය බිහිකිරීමෙන් පසු හදිසියේ මියයෑමත් සමඟ ඒ වෙලාවේ පක්ෂයේ බලයයි, රටේ බලයයි දෙකම ගියේ ඩී.එස්.ගේ පුතා වූ ඩඞ්ලිටය. ඒ අවස්ථාවේදී පක්ෂ නායකත්වය ගන්න එජාපයේ ඕන තරම් දක්ෂ, කීර්තිමත්, ප්‍රසිද්ධ නායකයන් සිටියද පක්ෂය ඉල්ලා සිටියේ ඩඞ්ලිවය. කොහොම වුණත් දේශපාලන ඉතිහාස පොත පෙරලා බලන විට අදත් ඩඞ්ලිව සැලකෙන්නේ කීර්තිමත් දේශපාලකයෙක් ලෙසටය.
ඉන්පසු 77 ජේ.ආර්. බලයට ආ පසු පක්ෂය ඇතුළේ අතිදක්ෂ දේශපාලකයන් වූ ලලිත්, ගාමිණී, ප්‍රේමදාස වැන්නවුන් සිටියද ජේ.ආර්. නායකත්වය භාරදෙන්න සූදානම් කළේ වෙන කවුරුවත් නොව සිය බෑණා වූ රනිල් වික්‍රමසිංහය. ඒ අනුව ජේ.ආර්. තමන් දේශපාලනයට පැමිණි ගම්පහ දිස්ත්‍රික්කයෙන්ම රනිල්වද දේශපාලනයට ගෙනැවිත් ලලිත්, ගාමිණීලා හා සම තත්ත්වයකට පක්ෂය ඇතුළේ උස්සා තැබුවේය.
එජාපයේ පවුල් දේශපාලනය රනිල් නායකත්වයට පත්වීමෙන් පසුවද නැවතුණේ නැත. රනිල් කළේ පක්ෂය ඇතුළේ සිටි අතිදක්ෂ, ජනප්‍රිය නායකයන් සියලු දෙනාම කපා දමා තමන්ගේ ඥාති පුත්‍රයා වූ රුවන් විජේවර්ධන එජාපය ඇතුළේ දේශපාලනයට කැඳවා ඒමය. ජේ.ආර්. රනිල්ව ගෙනාවා වගේම රනිල්ද රුවන්ව ගෙනාවේ තමන් මුලින්ම ඡන්දය ඉල්ලූ ගම්පහ බියගම ආසනයෙන්ය. රනිල්ගෙන් පසු එජාප නායකත්වයට නායකයන් දුසිම් ගණන් පක්ෂය ඇතුළේ සිටියද රනිල්ගේ ඔළුවේ වැඩ කළේ රුවන්ව නායකයා කරන ආකාරයය. ඒ අනුව රුවන්ව බියගමින් පාර්ලිමේන්තු ගෙනා රනිල් පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් තනතුර දක්වා රුවන්ව ඉහළට අරන් ආවේය. ආණ්ඩුවේ ජනාධිපතිවරයාට පමණක් දෙවැනි වන රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරය රුවන්ට ලබාදීමට පියවර ගත්තේය.
හැබැයි කරුමෙ කියන්නේ එජාපයට මේ පවුල් දේශපාලනය යා නොදීමය. ශ්‍රී ලනිපයටයි, පොහොට්ටුවටයි පවුල් දේශපාලනය යාදුන්නද එජාපයට පවුල් දේශපාලනය විනාශයක්ම විය. ජේ.ආර්. යූඇන්පී නායකයා කරන්න අරන් ආපු රනිල් යූඇන්පීය නැතිභංගස්තාන කළේය. පස්වරක් ආණ්ඩු පිහිටුවා අගමැති ධුරයේ දිවුරුම් දුන්නද ඒ පස් වතාවේම රනිල්ට ආණ්ඩුවේ නිල කාලය අවසන් කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. රනිල්ගේ කාලයේ පක්ෂයේ සිටි අතිදක්ෂතම දේශපාලනඥයන් පිරිසක් පක්ෂයෙන් ඉවත්ව ගියේය. ප්‍රේමදාසගෙන් පසු අද වනතුරු යූඇන්පී එකට ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් පත්වී නැත.
රනිල් යූඇන්පී නායකයා කරන්න දේශපාලනයට රැගෙන ආ රුවන්ද මේ වන විට සිටින්නේ යූඇන්පී අති අසාර්ථක නායකයන්ගේ ලැයිස්තුවේ ඉහළින්මය. ඒ නිසා යූඇන්පීයට පවුල අවුලක්ම විය.
හැබැයි රාජපක්ෂලාට එහෙම වූයේ නැත. රාජපක්ෂලා හැමදාම පවුල නිසා තමන්ගේ පක්ෂයත්, රටත් බැබලවුවේය. 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු හැමෝම කිව්වේ පවුල නිසා මහින්ද පරාද වුණා යැයි කියාය. කොටින්ම කියනවා නම් බැසිල් නිසා මහින්ද පරාද වූවා යැයි කියාය. ජනාධිපතිවරණ පරාජයෙන් පසුව බැසිල්ද එළියට ඇවිත් ප්‍රසිද්ධියේම මේ පරාජයේ වගකීම භාරගත්තේය. බැසිල් කීවේ මේ පරාද වූවා වගේම වැඩි කල් නොගොස් අලුත් ආණ්ඩුවක්ද යළිත් මහින්දට අරන් දෙනවා යැයි කියාය. බැසිල් මේ කතාව කීවේ සියයට සියයක්ම බැසිල්ගේ අතේ වැරැද්ද තියාගෙන නොවේ. 2015 වන විට රටේ ජනතාවට ආණ්ඩුව එපාවී තිබිණ. ඊටත් වඩා ආණ්ඩුව ඇතුළේ රාජපක්ෂලාගේ පාලනයට නතු නොවූ කල්ලි කණ්ඩායම් කිහිපයක් බිහිව තිබිණ. මීට පෙර මහින්දගේ සියලුම කැම්පේන් බැසිල් කළා වගේම 2015 කැම්පේන් එකත් බැසිල් සිදුකළද පෙර කී කල්ලි කණ්ඩායම් නිසා බැසිල්ටද කැම්පේන් එකේ හරිහමන් කන්ට්‍රෝල් එකක් තිබුණේ නැත. ඒකෙ අන්තිම ප්‍රතිඵලය වුණේ මහින්ද පරාජයට පත්වීමය. හැබැයි පරාජයෙන් පසු බැසිල් කීවා වගේම අවුරුදු පහක් ඇතුළත බැසිල් අලුතින් පක්ෂයක් හදා තමන්ගේ ඊළඟ සහෝදරයා ජනාධිපති පුටුවේ ඉන්ඳවූයේය. පළාත් පාලන ඡන්දයේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට බලයේ සිටි ආණ්ඩුවක් මාස හයක අලුත් පක්ෂයක් ඉදිරියේ දණගස්සවා පෙන්නුවේය.
“ශ්‍රී ලංකා එකටයි, යූඇන්පී එකටයි යා නොදුන් පවුල් දේශපාලනය රාජපක්ෂලාට විතරක් මේ විදිහට යාදෙන්නේ කොහොමද?”
ඒකට හේතුව වෙන මොකවත් නොව රාජපක්ෂ පවුල ඇතුළේ තියෙන එකමුතුකමය. ඒ එකමුතුකම අතින් බැලුවාම රාජපක්ෂලා බණ්ඩාරනායක පවුලටත්, ජයවර්ධන පවුලටත් වඩා හාත්පසින්ම වෙනස්ය. මොකද පවුල ඇතුළේ මොන මොන ප්‍රශ්න තිබුණත් මේ රාජපක්ෂලා අතිශය වැදගත් දේශපාලන තීන්දු තීරණ ගන්නේ එක මේසයකට ඇවිත් කතාබහ කරලාය. 2019 ජනාධිපතිවරණයට රාජපක්ෂලා ගෝඨාව අරගෙන ආවෙත් ඒ විදිහටය. ඒ වෙද්දි යූඇන්පී එක රට වටේම ප්‍රචාරය කරපු කටකතාවලින් කියැවුණේ රාජපක්ෂ පවුල ඇතුළේ එකාට එකා නැතැයි කියාය. පවුල ඇතුළේ අවුල් කියලාය.
ජනාධිපතිවරණයට දාන්න කෙනෙක් නැතැයි කියාය. සමහරු චමල් දානවා යැයි කීහ. සමහරු බැසිල්ගේ හා නාමල්ගේ නමද කීහ. හැබැයි මේ සියලු කටකතා යද්දී රාජපක්ෂවරු චමල්ගේ දෙවැනි පුත් ශමින්ද්‍රට අයත් පැලවත්තේ නිවෙසේ රැස්වී සාකච්ඡා කොට ජනාධිපතිවරණයට ගෝඨා දාන්න තීන්දු කළහ. ඒ සාකච්ඡාවට චමල්, මහින්ද, බැසිල්, ගෝඨා, නාමල්, ශශින්ද්‍ර යනාදී ඒ වෙලාවේ දේශපාලනය කළ රාජපක්ෂ පවුලේ සියලුදෙනාම එක්ව සිටියහ. රාජපක්ෂ පරම්පරාවේ දෙවැන්නාත්, බැසිල් ජනාධිපති පුටුවේ වාඩි කළේ ඒ ආකාරයටය.
මේ විදිහට දැනට ලංකාවේ දේශපාලනයේ රාජපක්ෂ පරම්පරා තුනක් ඉස්සරට ඇවිත් අවසානය. පළමුවැනි පරම්පරාව ඩී.ඒ. රාජපක්ෂ පරපුරය. දෙවැනි පරම්පරාව මහින්ද, බැසිල්, ගෝඨා, චමල් පරම්පරාවය. තුන්වැනි පරම්පරාව නාමල්, ශශින්ද්‍ර පරම්පරාවය.
“එතකොට නාමල්ලාගෙන් පස්සෙ රාජපක්ෂ පරම්පරාව ඉවරද?”
බැසිල් ඒකටත් මේ වෙද්දි ගේමක් ගහලා අවසානය. ඒ රාජපක්ෂ පරම්පරාවේ හතර වැනි පරම්පරාව දේශපාලන කරළියට කැන්දමින්ය. ඒ වෙන කවුරුවත් නොව මාතරින් පොහොට්ටුවෙන් ඉල්ලන තුසිත රණවකය. තුසිත යනු මහින්දගේ නංගි වන ගාන්ධිනී රාජපක්ෂගේ පුත්‍රයාය. බැසිල් පසුගිය සති කිහිපයේම තුසිතගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් විශාල සහයෝගයක්ද ලබාදීමට පියවර ගෙන තිබිණ.
ඒ අනුව පේන්නට ඇත්තේ පවුල් දේශපාලන මාතෘකාව අල්ලා ගනිමින් විපක්ෂය රාජපක්ෂවරුන්ට කෙතරම් පහර දුන්නත් රාජපක්ෂවරුන් ඒ පවුල් දේශපාලනයේ හයියම ඊළඟ පරම්පරාවටත් ගෙනගොස් ඇති බවය. රාජපක්ෂ පවුලේ සාර්ථකත්වයට හේතුවත් ඒකමය. රාජපක්ෂ පවුල ඇතුළේ තියෙන එකමුතුකම සහ සමඟියය.
“ඒ කියන්නේ මේ පාර ආයි කාලෙකට හොල්ලන්න බැරි විදිහේ රාජපක්ෂවරුන් කණ්ඩායමක් පාර්ලිමේන්තුව ඇතුළට එනව කියන එකද?”
පසුගිය බදාදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී බැසිල් මේකට හොඳ උත්තරයක් දුන්නේය. බැසිල් කීවේ මෙවර මහ මැතිවරණයේදී පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට එන මන්ත්‍රිවරුන් ප්‍රමාණය ඉහළ දමා ගැනීමට කටයුතු කළ යුතු යැයි කියාය. බැසිල් එසේ නොකියා කීවේ ශ්‍රීලනිපය ඇතුළු වෙනත් පක්ෂවලින් පොහොට්ටුව යටතේ මහ ඡන්දයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට එවන්නට කටයුතු කරන්න එපා යැයි කියාය. ඒ අනුව නිශ්චිත වශයෙන් මෙවර පාර්ලිමේන්තුවේදී මහින්ද, චමල්, නාමල්, ශශින්ද්‍ර, තුසිත යන රාජපක්ෂවරුන්ගේ මුහුණු දැකගත හැකි වනු ඇත. ඒ ජනාධිපති ගෝඨාභයටත්, ආණ්ඩුවේ වැඩිම බරක් අදින බැසිල්ටත් අමතරවය. එවිට සියලුම රාජපක්ෂවරුන්ගේ ගණන හතක් වනු ඇත. ඉතිරි වසර පහේ පොහොට්ටුවත්, රටත් ඉදිරියට යනු ඇත්තේ මේ හත්දෙනාගේ එකමුතුකමේ හයියෙනි.
‘මේකෙන් විපක්ෂය ගන්න ඕන පාඩම මොකක්ද?’
විපක්ෂය ගන්න ඕන පාඩම වෙන මොකක්වත් නොව පවුල පවුල කිය කියා රාජපක්ෂවරුන්ට ගගහ ඉන්නවට වඩා රාජපක්ෂවරුන් එකමුතු වී දිනනව වගේ විපක්ෂයේත් එකමුතුකම තියාගෙන දිනන්න උත්සාහ කරන එකය.
විමලසිරි ගම්ලත්










