පවුලේ බර කරට අරගෙන දොදොල් විකුණා ජීවිතය සරිකර ගන්නා අවුරුදු 11ක පාසල් දරුවෙක් ගැන පුවතක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුණා. මේ පුවත සමාජ මාධ්‍යයට එක්කළ පුද්ගලයාට ප්‍රථමයෙන් ස්තුතිවන්ත විය යුතුයි. ඔහු දැක තිබුණේ බණ්ඩාරවෙල නගරයේ සුපිරි වෙළෙඳසලක් ළඟ ඉන්න පුංචි දරුවෙක් දොදොල් විකුණනවා. එලෙස දොදොල් විකුණා ලැබෙන මුදල් තමයි මේ දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා වගේම ඔහුගේ මිත්තණිය සහ නංගීගේ වියදම්වලට යොදවා තිබුණේ.
මේ වීඩියෝව මේ සමාජ මාධ්‍යයේ පළවීමත් සමග පරිවාස හා ළමා ආරක්ෂක කටයුතු දෙපාර්තමේන්තුවට ද ඒ පිළිබඳ දැනගන්නට ලැබී තිබුණා. ඒ අනුව, ඌව පළාත් පරිවාස හා ළමා ආරක්ෂක කොමසාරිස් ඊ.කේ.වී.ටී. එදිරිසූරිය මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් කහගොල්ලේ ජීවත්වන මේ දරුවාගේ නිවස සොයා යන්නට කටයුතු කර තිබුණා. ඔවුන් එම නිවසට යන විට දරුවා සිටියේ සිය බාප්පාගේ තේ කඩයේයි. පරිවාස නිලධාරීන්ට දැනගන්නට ලැබුණේ මේ දරුවා දියතලාව කහගොල්ල විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත්, ඔහුගේ නැගණියද එම පාසලේම 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවයි. කුඩා කාලයේම මවුපියන් මේ දරුවන් දෙදෙනා අත්හැර දමාගොස් තිබෙන බවත් ඔවුන් ආච්චි විසින් රැකබලා ගන්නා බවත්, ඇය පිළියෙල කර දෙන දොදොල් විකුණා ලැබෙන මුදලින් ජීවත් වන බවත් වැඩිදුරටත් එම නිලධාරීන්ට දැනගන්නට ලැබී තිබුණා. Sri Lanka Latest News
පසුව ඌව පළාත් පරිවාස හා ළමා ආරක්ෂණ කොමසාරිස් ඊ.කේ.වී.ටී. එදිරිසූරිය මහත්මිය ඇතුළු නිලධාරීන් දරුවාගෙන් සහ මිත්තණියගෙන් කරුණු විමසා සිටියේ මේ ආකාරයටයි.
මිත්තණිය
‘මේ ළමයින්ට උදව් කරන්න කිසි කෙනෙක් නැහැ මම රට යන එකත් නැවැත්තුවේ මේ ළමයි නිසයි. මම දුක්මහන්සි වෙලා පුළුවන් දෙයක් කරලා ජීවත් වෙනවා. ඉස්කෝලේ ගිහින් ඇවිත් මේ දරුවන් මට උදව් කරනවා. මාත් අසනීපෙන් ඉන්නේ. මගේ පණ තියෙනකල් මම දරුවන් බලාගන්නවා. මේ දරුවන්ගේ තාත්තා අවුරුදු දෙක තුනකට සැරයක් ඇවිත් යනවා. අම්මා නම් කොහේද ඉන්නේ කියලාවත් දන්නේ නැහැ. අම්මා ලංකාවේ කොහේ හරි ඉන්නවා….’
පරිවාස නිලධාරීන්
‘අපි මේ දරුවට උදව්වක් කරන්න අහන්නේ. අපි ඉස්කෝලේ යමු. තව ඉස්සරහට බිස්නස් කරන්න පුළුවන්. ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා අපි බිස්නස් කරමු අම්මා. අපි දොදොල් විකුණන වැඩේට ක්‍රමයක් හදමු.
මිත්තණිය
‘මේ ළමයි දෙන්නාව ජීවත් කරන්න එපැයි මම. මෙයා ඉස්කෝලේ ගිහින් එයාගේ වැඩ ටික කරනවා. මෙයාගේ නංගිටත් කරන්න ඕනේ…’
පරිවාස නිලධාරීන්
‘දවසකට ආදායම කීයක් විතර ලැබෙනවද?’
දරුවා
‘7000ක් විතර ලැබෙනවා.’
පරිවාස නිලධාරීන්
‘ඒ සල්ලිවලට මොනවද කරන්නේ…?’
දරුවා
‘ආච්චිට දෙනවා, මම 500ක් විතර තියාගෙන නංගිගේ ටියුෂන්වලටත් දෙනවා…’
පරිවාස නිලධාරීන්
‘අපි දරුවා දොදොල් විකුණන්න යවන එක ටික දවසකට නවත්තමු. තව අවුරුදු 4යි 5යි ඉගෙන ගන්න තියෙන්නේ. ඒ ටික යන්න දෙන්න. ගිය සැරේ ඉස්කෝලේ 27 වැනියා. මේ සැරේ 19 වැනියා. ඉස්කෝලේ ගියොත් තව ටිකක් මෙහාට එන්න පුළුවන්නේ. දොදොල් විකුණන්න නෙවෙයි දොදොල් කඩයක්ම දාන්න පුළුවන් ඉස්කෝලේ ගියොත්. අපරාදේ අම්මේ මේ දරුවා දොදොල් විකුණන්න යවන්නේ. අපි වෙන විදියක් බලමු…’
කොමසාරිස්තුමිය
‘අද අපි ආවේ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙන මේ දරුවා ගැන සොයා බලන්න. දරුවා පාසලේ 7 වසරේ. ආච්චියි නංගියි මේ දරුවයි ගෙදර ඉන්නේ. මේ ගෙදර ඉස්සරහ තියෙන කඩේ කරන්නේ බාප්පා. දරුවා ඉගෙන ගන්න දක්ෂ දරුවෙක් කියලා පේනවා. දිගටම ඉස්කෝලේ යන්න කියලයි අපි කිව්වේ. දරුවාට ඉගෙන ගන්න අවස්ථාව පරිවාස දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ලබාදෙන්න කතා කළා. ආච්චි අම්මට දොදොල් විකුණන්න බණ්ඩාරවෙල නගරය ආශ්‍රිතව තැනක් පැය දෙක තුනකට හොයලා දෙන්න මැදිහත් වෙනවා. මොකද මේ දරුවන්ට ඉගෙන ගන්න පිටිවහලක් වෙන නිසා. මින් ඉදිරියට ජීවත් වෙන ආකාරය පිළිබඳව පරිවාස දෙපාර්තමේන්තුව හැටියට අධීක්ෂණයක් කිරීමට බලාපොරොත්තු වෙනවා…’
මේ දරුවාට පාසල් අඳින්න තියෙන්නේ එකම එක පාසල් නිල ඇඳුමයි. සමහර දවසට දොදොල් විකුණනකොට ලැබෙන්නේ රුපියල් 250ක් වැනි මුදලක්. මේ පුංචි දරුවා දොදොල් විකුණන්න ගිහින් දොදොල් ඉතුරු වුණොත් පහුවදාටත් බණ්ඩාරවෙලට බස් එකේ ගිහින් විකුණනවා. සතියට දවස් දෙකක් දොදොල් විකුණන්න යන ඔහු දවස් 3ක් පාසල් යන බවයි දැනගන්නට ලැබුණේ. දරුවා පවසා සිටියේ සවස 3ට පමණ බණ්ඩාරවෙලට දොදොල් ගෙන ගොස් රෑ 8ට පමණ නැවත කොළඹ බස් එකක නැගී නිවසට පැමිණෙන බවයි. දරුවා පවසා සිටියේ දොදොල් විකුණා ලැබෙන මුදල්වලින් රුපියල් 500ක් මේ දරුවා තියාගෙන ඒ මුදලින් 200ක් පාසල් යාමට වියදම් කරන බවත්, ඉතිරි මුදලින් නංගිගේ පන්ති වියදම් දරන බවයි.
කොමසාරිස්තුමිය වැඩිදුරටත් අනාවරණ කර තිබුණේ මෙම ප්‍රදේශයේ මෙවැනි දරුවන් 620ක් පමණ සිටින බවත්, අධිකරණ නියෝග මත ඔවුන්ට අධ්‍යාපන පහසුකම් සපයන බවයි. විවිධ පුද්ගලයන් විසින් අපයෝජනයට ලක්කරන ලද, මවුපියන් විසින් වධ හිංසා පමුණුවන ලද සහ මවුපියන් අත්හැර දමා ගොස් අනාරක්ෂිතව සිටින දරුවන් අධිකරණ නියෝග යටතේ ළමා නිවාසවලට යොමුකර සිටින බවද ඇය අනාවරණ කර සිටියා.
පරිවාස නිලධාරීන් මිත්තණියට උපදෙස් දුන්නේ දරුවා මින් පසු කිසිදු ව්‍යාපාරික කටයුත්තක් සඳහා යොදා නොගන්නා ලෙසයි. නමුත් මේ පවුලට කිසිවකුටත් අතනොපා ජීවත් වීම සඳහා යම් වැඩපිළිවෙළක් සකසා දීමට ඔවුන්ට හැකි නම් එය වඩාත් යහපත් වනවා.
පරිවාස දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බොහොමත් පින් දරුවකුගේ අනාගතයක් ආරක්ෂා කිරීම වෙනුවෙන් දායක වුණාට. තමන්ගේ රාජකාරිය හරි හැටි තේරුම් ගෙන අසරණ දරුවන් වෙනුවෙන් තමන්ගේ වගකීම නිසි ලෙස ඉෂ්ට කරන මෙවැනි නිලධාරීන් රාජ්‍ය සේවයට ආඩම්බරයක් බව කිව යුතුයි.
සමහරුන් කිසිදු දෙයක් නොකර රජයෙන් ලබාදෙන සහනාධාර ලබාගෙන සැපවත් ජීවිත ගතකරනවා. ඒ නිසා බලධාරීන්ට පුළුවන් ඇත්තටම සහනාධාර අවශ්‍ය මෙවැනි පවුල් ගැන විශේෂයෙන් සොයා බලා ඔවුන්ට සහන සලසන්න.
මේ සිදුවීමට අදාළ වීඩියෝව දුටු බොහෝ දෙනෙක් පවසා තිබුණේ මේ දරුවා සමාජයටම ආදර්ශයක් ගෙන දෙන බවයි. මහජන ධනය සොරාකන දේශපාලකයන්ට පවා මේ දරුවා ආදර්ශයක් බවයි.
බොහෝ දෙනෙකු මේ දරුවාගේ ක්‍රියාවේ දෙපැත්තක් දකිනවා. බාල වයස්කාර දරුවන් වෙළෙඳාමේ යෙදවීම තහනම් ක්‍රියාවක් බව කියමින් පිරිසක් චෝදනා කරද්දී තවත් පිරිසක් මේ දරුවාගේ උත්සාහවන්තභාවය අගය කරනවා. දෙපැත්තකට බෙදී කෙලෙස තර්ක කළත් මේ දරුවා සමාජයට දෙන ආදර්ශය නම් අතිවිශාලයි.
මේ දරුවන්ගේ මවුපියන් වගේම තවත් බොහෝ මවුපියන් තමන්ගේ දරුවන් අසරණ කරනවා. එවැනි මවුපියන්ට කියන්න තියෙන්නේ අහිංසක පුංචි දරුවන්ව මේ වගේ අසරණ කරන්න එපා. දරුවන්ගේ ඉගෙන ගන්නා වයස උදුරා නොගෙන දරුවන්ට හොඳට උගන්වන්න. ඒ අවස්ථාව උදාකර දෙන්න. ඒ පුංචි දරුවන්ගේ අහිංසක ජීවිත අසරණ වෙනවා. ඔවුන්ගේ අනාගතයම අඳුරට පත්වෙනවා. මේ වගේ දාලා යන්න එපා.
මේ පුතාටත් කියන්න තියෙන්නේ හොඳට ඉගෙනගන්න. ඔයාගේ ජීවිතය වරදින්නේ නැහැ. කවදා හරි ආපහු හැරිලා බැලුවාම ඇහෙන් සතුටු කඳුලක් වැටෙන්න ඕනේ පුතේ. අපි හැම කෙනකුගෙන්ම ඉල්ලන්නේ සමාජයේ මෙවැනි ඉගෙන ගන්න ආස නමුත් ශක්තියක් නැති දරුවෝ බලලා ඔවුන් වෙනුවෙන් තමන්ට පුළුවන් උපකාරයක් කරන්න කියලයි. ඔවුන්ට තමන්ගේ දරුවෝ කියලා හිතලා උදව් කරන්න කියලයි. මේ පුතාට ජීවිතය ජයගෙන දියුණුවේ ඉහළටම යන්න හැකි වේවා කියලා ‘මව්රට’ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

නිලන්ති රේණුකා










