යහපාලන ආණ්ඩු සමයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරද්දී තමන්ට එල්ල වූ විවිධ දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන උදය ආර්. සෙනෙවිරත්න මහතා සඳහන් කළා. නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් රචිත ‘පරිපාලන නීතිය හා රාජ්‍ය සේවය’ කෘතිය දොරට වැඩීමේ උත්සවයේදී සභාව අමතමින් ඒ මහතා පළකළ එම අදහස් දැක්වීම පහත සඳහන් වේ. Sri Lanka Latest News
‘මම හිතන්නේ මේක ඉතාමත්ම කාලෝචිත මාතෘකාවක් ඔස්සේ ලියපු කෘතියක් ජනගත කිරීමේ අවස්ථාවක්. විශේෂයෙන් රාජ්‍ය සේවයේ නියුක්තව සිටින සියලු දෙනාටම මෙහි අන්තර්ගතය ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි කියලා මම විශ්වාස කරනවා. මම තාම පොත දැක්කේ නැහැ, කියෙව්වෙත් නැහැ. නමුත් මම විශ්වාස කරනවා යම්කිසි මාර්ගෝපදේශයක් මේ තුළ තියෙයි කියලා.
ප්‍රභාත් චන්ද්‍රකීර්ති මැතිතුමා මට මුණගැහුණේ, මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ මම ලේකම් ධුරය දරනකොට එතුමා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් හිටියා. එතකොට මුහුණ දුන්න එක කාරණයක් මම හිතන්නේ මම කියන්න කැමැතියි. මේ රාජ්‍ය සේවයේ වැඩකරනකොට අපි මුහුණ දෙන කාරණා. මම අවුරුදු දහයකට වැඩි කාලයක් අමාත්‍යාංශ ලේකම්වරයෙක් වශයෙන් වැඩ කළා. මුදල් අමාත්‍යාංශයෙත් හිටියා. අවසානයේ ජනාධිපති ලේකම්වරයා වශයෙන් විශ්‍රාම ගත්තා.
මම එක උදාහරණයක් කියන්න කැමැතියි. පෝර්ට් සිටි ව්‍යාපෘතිය, ඒ කාලේ විපක්ෂය කිව්වා අපි බලයට ආවොත් පෝර්ට් සිටි ව්‍යාපෘතිය අවලංගු කරනවා කියලා. ඉතින් ඒ වගේම මේ විපක්ෂයේ හිටපු අය බලයට ආවා. ඒ වෙලාවේ මම මහාමාර්ග, උසස් අධ්‍යාපන, ආයෝජන ප්‍රවර්ධන, ඔය වගේ අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරයා. ඉතින් මට විශාල බලපෑමක් ආවා දැන් පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ගිවිසුම අවලංගු කරන්න කියලා. ඉතින් අපි රෑ දවල් නැතුව මේක අධ්‍යයනය කරලා හිටපු අගමැතිතුමාට අපි පැහැදිලි කළා, මේක අපි අවලංගු කරනවා වෙනුවට නැවත සාකච්ඡා කරලා මේ තියෙන ප්‍රශ්න ටික විසඳගෙන මේ ගිවිසුම අලුත් කරගමු, ඒක තමයි හොඳම ක්‍රමය කියලා. නමුත් මම හිතන්නේ එතුමා ජනතාවට දුන්න පොරොන්දුවක් නිසා මේක අවලංගු කරන්නට කීවා. ඉතින් විශාල සංවාදයකින් පස්සේ, විශාල බලපෑමකින් පස්සේ අපි ඒක අවලංගු කළා. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හැටියට මම ඒක අවලංගු කළා.
අවලංගු කරාපු දවසේ අපිට විශාල ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපිට මිලියන 80 ගානක් වන්දි හැටියට ගෙවන්නත් වුණා. අපි කැබිනට් අනුමැතිය අරගෙන ඒ චීන සමාගමට මිලියන 80 ගානක වන්දිත් ගෙව්වා. ඔය ජනාධිපතිවරණය දිනලා තමයි ඒක වුණේ. ඒ පාර සැප්තැම්බර් මාසේ වෙනකොට මහ ඡන්දෙන් දිනලා ඇවිල්ලා ඒ කණ්ඩායම බලයට ආවට පස්සේ දැන් එතකොට මම පරිසර අමාත්‍යාංශයේ ලේකම්. ඒ වෙනකොට පෝර්ට් සිටි ව්‍යාපෘතියට විරුද්ධව විරෝධතා 276ක් විතර ඉදිරිපත් වෙලා තිබුණා, නඩුත් තිබුණා. ඊට පස්සේ දැන් බලයට ආවට පස්සේ කියනවා ඒ කණ්ඩායම්ම, ඒ බලධාරීන්ම මේ ව්‍යාපෘතියට අවසර දෙන්න කියලා. දැන් බලන්න මේ එකම කණ්ඩායම ඉස්සෙල්ලා කිව්වා මේක අවලංගු කරපන් කියලා, ඊළඟට ඇවිල්ලා කියනවා මේක දීපන් කියලා. දැන් මේක දෙන්නේ නෑ කියලා පුදුමාකාර කරදරයක් කරන්න පටන් ගත්තා.
ඉතින් මේ අස්සේ 200 ගානක විරෝධතා. අපි විශාල අරගලයක් කරලා අන්තිමට ඉතින් කොහොම හරි බලහත්කාරයෙන් වගේ අවසරය දුන්නා ආපහු. දැන් බලන්න මේ එකම පිරිස අවස්ථා දෙකකදී එකම කාරණයක් සම්බන්ධයෙන් දෙවිදියක තීන්දුව ගන්නේ. එකිනෙකට පටහැනි තීන්දුව ගන්නවා. එතකොට රාජ්‍ය නිලධාරීන් හැටියට අපි මොන තරම් අපහසුතා කරදරවලට මුහුණ දෙනවද කියන එක තමුන්නාන්සේලාට හිතාගන්න පුළුවන්. දැන් අවලංගු කරෙත් මම, ආපහු දුන්නෙත් මමමයි. ඉතින් මේවා මහා පුදුමාකාර තත්ත්වයක් අපේ රටේ තියෙන්නේ. ඉතින් මේවා බොහොම සිහි බුද්ධියෙන් කරගත්තේ නැත්නම් අපි කරදරේ වැටෙනවා. පසු කාලෙක තව කෙනකුට කියන්න පුළුවන් මේවා වැරදියි කියලා. උසාවියක ගෙනිහිල්ලා කූඩුවල දාන්නත් පුළුවන්. නමුත් ඒ අවස්ථාවට මුහුණ දීමේ තිබෙන දුෂ්කරතාව මම හිතන්නේ රාජ්‍ය සේවයේ වැඩ කරනකොට ඔය වගේ අත්දැකීම් තියෙනවා.
මම තවත් උදාහරණයක් එකක් කියන්න කැමැතියි. රටේ ආන්දෝලනාත්මක යුගයක මම ජනාධිපති ලේකම් වෙලා හිටියෙත්. විශාල අර්බුද මධ්‍යයේ, විශාල අර්බුද රාශියක් පැවැති සමයක තමයි මට ඒ රාජකාරි කරන්න පුළුවන්කම තිබුණේ.
මට නොකියපුම කාරණයකට මගේ අතිරේක ලේකම් නීති වශයෙන් හිටපු මහත්මිය මට ඇවිල්ලා කිව්වා ජනාධිපතිතුමා අහවල් ලිපිගොනුව අරගෙන හම්බවෙන්න දැන් එන්න කියනවා කියලා. මම කිව්වා, මට මේ ගැන කවදාවත් කතා කරලත් නෑ. මට එන්න කියලත් නෑ. ඒ නිසා ඔය සම්බන්ධයෙන් මට යන්න බෑ. දැන් අර එතුමිය මා ළඟ යන්නේ නැතුව ඉන්නවා දැවටි දැවටී. ඔය අතුරතුර සිකියුරිටි එකේ අය දුවගෙන ඇවිල්ලා කිව්වා අන්න ජනාධිපතිතුමා ඔබතුමිය හොයනවා වහාම යන්න කිව්වා කියලා. දැන් ඉතින් එතුමිය අඬනවා, ‘මට නම් යන්න බෑ’ කියලා. ඊට පස්සේ ‘කමක් නෑ යංකො කියලා’ ගියා. ඇතුළට ගියාට පස්සේ අනිත් අය ඔක්කොටම යන්න කිව්වා. එතුමියගෙන් ඇහුවා මොකද මේක ගැන කියන්නේ කියලා. ඉතින් එතුමිය මොනවා හරි කාරණා ගානක් කිව්වා. මම මට මතක නෑ කිව්ව දේවල් මොනවද කියලා. බොහොම සැරෙන් ඇහුවා, ඒ කියන්නේ නොකෙරෙන්න නේ කියන්නේ කිව්වා.
ඊට පස්සේ මම ගත්තා ගොනුව, අරගෙන දුන්නා ජනාධිපතිතුමා අතට. ඔබතුමාගේ නියෝගය දෙන්න කිව්වා. එතුමා බොහොම ලොකු අකුරෙන් නියෝගය දුන්නා. මම ඒ මේස උඩ තියාගෙනම මම අනිත් අතට ලිව්වා සටහනක්. ‘අතිරේක ලේකම් නීති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැලසී ඇති විධිවිධාන සහ අනෙකුත් පරිපාලන නීතිරීතිවලට අනුකූලව අතිගරු ජනාධිපතිතුමාගේ ඉහත නියෝගය ක්‍රියාත්මක කිරීම මැනැවි’ කියලා ගහලා ෆයිල් එක දීලා නැගිටලා ගියා යන්න.
ඔය සම්බන්ධයෙන් මම හිතන්නේ පසුකාලයේ විශාල නඩුවක් ගිහිල්ලා, අවුරුදු තුනක් විතර නඩුවකින් පස්සේ පිටු 386ක විතර නඩු තීන්දුවේ අවසාන නිගමනය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අහවල් වගන්තියට අනුකූලව සහ අනෙකුත් පටිපාටි අනුගමනය නොකිරීමෙන් මේ වරද සිදුකර තිබෙනවාය කියලා. ඉතින් අර මගේ වාක්‍යයම තමයි අන්තිමේ නඩු තීන්දුවේ සාරාංශය.
කොහොම නමුත් මට නම් තාම කිසිම උසාවියකට යන්න වුණේ නෑ තාම. නමුත් මගේ කල්පනාවට ක්ෂණිකව ආව ඒ වාක්‍යය බොහොම ප්‍රබල වාක්‍යයක්. ඒ සටහන මගේ ෆෝන් එකේ තාමත් තියෙනවා. මම ඒක තියාගෙන ඉන්නේ. මොකද බැරිවෙලා හරි උසාවියකට ගියොත් පෙන්නන්නවත් තියෙන්න එපැයි අපි හරියට වැඩ කළා කියලා කියන්න. ඉතින් ඒ නිසා මම මේ කියන්න උත්සාහ කළේ, අපිට රාජ්‍ය නිලධාරීන් හැටියට නොයෙකුත් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි බුද්ධිමත්ව, වගකීමෙන්, හෘද සාක්ෂියට එකඟව, නිර්භයව අපි වැඩ කළොත් මම හිතන්නේ ඒ ගැටලුවලින් අපිට මිදෙන්න පුළුවන්. එහෙම කරන්න ගිහිල්ලා මටත් අවස්ථා දෙක තුනකදීම හිරිහැර විඳින්න සිද්ධ වුණා. පූල් එකට යන්න වුණා.
එක සැරයක් මට මහවැලියෙදී පරිසරය සම්බන්ධයෙන් අපි ගහපු ගැසට් එකක් තිබුණා. ජනාධිපතිතුමා යාපනේ ගිහිල්ලා ඇවිල්ලා මට කිව්වා එහෙ හරි ප්‍රශ්න. ගල් වැලි ප්‍රශ්න, ගොඩක් ප්‍රශ්න. ඒ හින්දා අර ගැසට් එක අවලංගු කරන්න කිව්වා. මම කිව්වා ජනාධිපතිතුමනි, කිසිම අදාළ බවක් නෑ ඒක ගැසට් එක අවලංගු කිරීමේ. හේතුව, යාපනයට ඒ ගැසට් එක අදාළ නැහැ. මේක අදාළ මහවැලි සහ මහවැලි කලාපවලට. ඒ නිසා ඒ ගැසට් එක අවලංගු කරන්න අවශ්‍යතාවයක් නෑ කියලා. ජනාධිපති ලේකම්තුමා මා ළඟ හිටියා, ඔහු මගේ කකුල පෑගුවා. ඒ කියන්නේ බැරිද කරන්න කියලා ඇහුවා. මම කිව්වා බෑ කියලා. ‘හරි එහෙනම්’ කිව්වා. ඊට පස්සේ එළියට ආවා. ඊට පස්සේ ජනාධිපති ලේකම්තුමා එතැන හිටපු අයට කියනවා ආයෙත් කරදරයක් කරගන්න හදන්නේ කියලා. මම කිව්වා කමක් නෑ ඉතින් මම ඇත්ත කියලා ආවේ, ප්‍රශ්නයක් නෑ කියලා.
ඉතින් ඒ වගේම ඊළඟ සතියේ මට එන්න කියලා, කිව්වා මේ අර සෞඛ්‍ය අමාත්‍යාංශය හරියට ප්‍රශ්න. ඒකේ නොයෙකුත් හොර මැරකම් ගොඩයි. ඔයා ටෙෂෙරියෙත් හිටියානේ, ඔයා දන්නවනේ ඕවා ගැන. ඒ හින්දා ඔයා එහෙනම් මේ සෞඛ්‍ය ලේකම් කියලා මට පත්වීමත් දුන්නා. ඒක ආරංචි වුණාම සෞඛ්‍ය ඇමැතිතුමා මම එනවට අකැමැතියි කියලා බොහොම ලොකු ආන්දෝලනයක් ඇතිවුණා. පස්සේ මම කිව්වා ජනාධිපතිතුමනි, මට එතැනට යන්න හැකියාවක් නෑ, ඇමැතිතුමාත් අකැමැතියි. ඔබතුමා කැමැති නම් මට වෙන අමාත්‍යාංශයක් දෙන්න, එහෙම නැත්නම් වෙන මොකක් හරි කරන්න කියලා. ඉතින් වෙන මොකද කරන්නේ.
දැන් ඔය සතිය ඇතුළත මම අවලංගු කරන්න බෑ කිව්ව ගැසට් එක ඊළඟට පත්කරපු ලේකම්තුමා ලව්වා වෙනස් කරලා එළියට ආවා. එතකොට මම දැනගත්තා මට යන්න වුණ හේතුව මොකක්ද කියන එක. ප්‍රශ්නයක් නෑ. ඉතින් මම ඊළඟ සතිය වෙනත් අමාත්‍යාංශයකට ගිහිල්ලා ගතකළා. නමුත් පසුකාලයේ ජනාධිපතිතුමා මට එන්න කියලා ආපහු ජනාධිපති ලේකම්කම දුන්නා.
ඉතින් මේ ඔය වගේ තමයි රාජ්‍ය සේවයේ වැඩ කරනකොට. මම මේ කියන්න උත්සාහ කළේ මේ රාජ්‍ය සේවකයන් හැටියට පවතින නීතිය පිළිබඳ අවබෝධය, දැනීම ඇතිව වැඩකිරීම අවශ්‍යයි. ඒ ඔක්කොටමත් වඩා හෘද සාක්ෂිය සහ නිවැරදි දේ තේරුම් බේරුම් කරගෙන කටයුතු කිරීම අවශ්‍යයි. කාට වුණත් තමන්ගේ ඒ නිවැරදි දේ නිවැරදිව, නිර්භයව ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙන්න ඕනේ, තමන්ට පුද්ගලිකව වෙන හානිය පිළිබඳ හිතන්නේ නැතුව. මම හිතන්නේ එහෙම කළොත් ඒකේ ප්‍රතිඵල තියෙනවා.
කොහොම නමුත් වර්තමානයේ මට නම් පේන්නේ මේ රාජ්‍ය පරිපාලන නීතියත්, රාජ්‍ය සේවයත් සම්පූර්ණයෙන්ම නවීකරණය විය යුතුයි කියන මතය තමයි මගේ තියෙන්නේ. දැන් මේ යල්පැන ගිය රාජ්‍ය සේවයත්, රාජ්‍ය නීතියත් මම හිතන්නේ නවීකරණය විය යුතුමයි. නැත්නම් අපේ රටට පැවැත්මක් නැහැ. ඉතින් එහෙම කරන්න නම් අපේ අලුත් මේ රාජ්‍ය සේවකයන්ගේ අලුත් චින්තනයකුත් අවශ්‍යයි. යල්පැන ගිය නීතිරීති සහ ක්‍රම පටිපාටිවලටම අනුගත වෙලා ඉන්නේ නැතුව, අලුතෙන් නිර්මාණශීලීව රටේ අභිවෘද්ධිය වෙනුවෙන් යමක් දැක, ක්‍රියාත්මක කිරීමේ ශක්තිය ඇති කරගැනීම තමයි මම හිතන්නේ කාලීනව අවශ්‍යම දේ. මම හිතන්නේ ඒ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය තමුන්නාන්සේලාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ මේ කෘතියෙන් ඒ සඳහා යම්කිසි මාර්ගෝපදේශයක් ලැබෙයි කියලත් විශ්වාස කරනවා.
තමන් අවංකව, නිවැරදිව, හෘද සාක්ෂියට එකඟව කරන කිසිම දේකින් මම හිතන්නේ රාජ්‍ය සේවකයන්ට අහිතක් වෙන්නේ නෑ. ඒ හින්දා තමුන්නාන්සේලා ඒක හොඳින් ධාරණය කරගෙන තමන්ගේ සේවය රටේ ජනතාව වෙනුවෙන්, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කියන එක මතක් කරන්න කැමැතියි. මොකද අපි අද මුහුණ දෙන අභියෝග ජයගැනීමට පුළුවන් වෙන්නේ හුදෙක්ම රජයක් හැටියට බලයට පත්වෙන දේශපාලනඥයන්ට පමණක් නොවෙයි, මේ සමස්ත රාජ්‍ය සේවයේ කැපවීම සහ ඒ නවීකරණය වීම සහ අලුතින් හිතා වැඩකිරීමේ ශක්තිය තුළ කියන එක මතක් කරන්න කැමැතියි.
ප්‍රභාත් චන්ද්‍රකීර්ති මැතිතුමා මේ ගත්ත උත්සාහය අගය කරනවා. එතුමා බොහොම දක්ෂ නිලධාරියෙක්. එතුමා බොහොම ප්‍රියමනාප කෙනෙක්. මොකද අපි රාජ්‍ය සේවයේ වැඩ කරනකොට සමහර නිලධාරීන් ගැන ප්‍රියමනාප බවක් ඇති වෙන්නේ නෑ. සමහර අය ගැන බොහොම ප්‍රියමනාපකමක් ඇති වෙනවා. එතුමා ඒ වගේ මගේ හිත් ගත්ත, අද දක්වාම දිනපතාම කතාබහ කරන, හිතවත්කම් පවත්වාගෙන යන නිලධාරියෙක් හැටියට මම අගය කරනවා. එතුමාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින්, අපේ රටේ ඉදිරි කාලයේ රාජ්‍ය සේවය ඉතාමත්ම ශක්තිමත්ව මේ රටේ යහපත වෙනුවෙන් විශිෂ්ට සේවයක් කිරීමට අපේ රාජ්‍ය සේවකයන්ට ශක්තිය, ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.’
The Life Traveler










