ගෙවී ගිය වසර 30 තුළ ක්‍රමයෙන් මෙරට පිරිමි ජන අනුපාතය පහළ ගොස් කාන්තා ජන අනුපාතය ඉහළ යාම නිසා ඉදිරියේදී ශ්‍රී ලංකාවට අර්බුද රැසකට මුහුණ පෑමට සිදුවන බව හෙළිවී ඇතැයි වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා අනාවරණය කරයි.
මෙයට තිස් වසරකට පෙර 1995 වසරේදී මෙරට කාන්තාවන් සිය දෙනකුට පිරිමි පුද්ගලයන් 100.2ක්ව පැවැති වාර්තා මේ වනවිට කණපිට පෙරළී ඇතැයි පවසන මහාචාර්යවරයා, මේ කාලවකවානුව වනවිට කාන්තාවන් සියදෙනකුට පිරිමි පුද්ගලයන් සිටින්නේ 93.7ක් බවද පෙන්වා දෙයි.
විශ්වවිද්‍යාල පද්ධතියේ පවා ඉංජිනේරු සහ තාක්ෂණය යන විෂය ධාරා මත ඩිග්රි එක හෝ දෙකක් හැර, සෙසු විෂය ක්ෂේත්‍ර තුළ කාන්තා ප්‍රතිශතය ඉහළ නැග ඇතැයි පෙන්වා දෙන මහාචාර්යවරයා, මේ වනවිට පිරිමින්ට වඩා, මෙරට ශ්‍රම බළකායටද කාන්තාවන් බහුලව එක්වන ප්‍රවණතාවක් මතුවී ඇතැයිද පෙන්වා දෙයි.
කාන්තා ජනගහනය ඉහළ යාමෙන් පිරිමින්ට පමණක් කළ හැකි රැකියා ක්ෂේත්රවල පවා අනාගතයේදී ගැටලුකාරී තත්ත්වයක් පෙන්නුම් කළ හැකි බව පවසන මහාචාර්යවරයා, මේ වනවිට විශාල පිරිමි ශ්‍රම බළකායක් විදේශවලට සංක්‍රමණය වී ඇතැයිද කියයි.
කෙසේ වෙතත් මෙම තත්ත්වයට රටේ පවතින ආර්ථික තත්ත්වයන් පවා ඍජුව බලපෑම් ඇතිකර ඇතැයි පෙන්වා දෙන මහාචාර්ය මෙත්සිල මහතා, අනාගතයේදී උග්‍ර වියහැකි මෙකී අර්බුදය සමථයකට පත්කර ගැනීමට නම් රජයේ ප්‍රබල මැදිහත්වීමක් කඩිනමින් අවශ්‍යව ඇතැයි ද අවධාරණය කරයි.
නන්දන ශ්‍රී දොරකුඹුර










