සිත් පිත් නුහුළන මහා ඝාතන හා කඳුළු කතා වලින් පිරුණු ඉතිහාසයක් ඇති අපේ රාජ්‍ය වංශ කතාවේ තවත් අඳුරු පැතිකඩක් කියාපාන මහා අමානුෂික ඝාතන වැලක කඳුළු සඟවා ගත් තැනක් ලෙස ඇහැලේපොළ වලව්ව හැඳින්විය හැකිය.Sri Lanka Latest News
එම වලව්ව දැන් ඉටි රූප සහිත කෞතුකාගාරයකි.ශ්‍රි දළදා මාළිගාව යටතේ පාලනය කෙරෙන මෙම ගොඩනැගිලි නවීකරණය කිරීම සදහා මිලියන 300 ක මුදලක් වැය කර ඇත.
මෙම කෞතුකාගාරය නිර්මාණය කිරීමේදී ඉතිහාසයේ අතිශයින් වැදගත් බොහෝ කරුණු පිළිබඳව මතු පරපුරට වැරදි අවබෝධයක් ඇති වන ලෙස එම කටයුතු සිදු කර ඇති බවට පාර්ශව රැසකින් මේ වන විට චෝදනා එල්ල වෙමින් පවතී.ඉන් ප්‍රධාන වන්නේ ඇහැලේපොළ වලව්වේ ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගේ ඉටි පිළිරුවක් තැනීමයි.අපේ අවසන් රාජධානිය වූ මහනුවර 1815 දී ඉංග්‍රීසින්ට යටත් කරදෙමින් සිදු වූ ඝාතන, කුමන්ත්‍රණ ,රාජ්‍ය බිද දැමීම සදහා හතුරන් විසින් ඇටවූ උගුල් කේලාම්,රාජ්‍ය බලය තුල ලිංගිකත්වය ඇතුලු මෙකී නොකී බොහෝ දේ මෙන්ම ආක්‍රමණිකයින්ගෙන් රට බේරා ගැනීම සදහා නොබියව සටන් වැදුණු විරුවන් ඝාතනය වූ ඉතිරි පිරිස හිර කර තැබූ මේ ඇහැලේපොළ වලව්ව මෑතක් වන තුරුම මහනුවර ප්‍රසිද්ධ රිමාන්ඩ් බන්ධනාගාරයයි.
මේ තැන හරි හැටි අවබෝධ කර ගන්නේ නම් ලොව හොදම දේශපාලන විද්‍යාගාරය බව අපේ හැගීමයි. විදේශ ආක්‍රමණ හමුවේ රටක් අස්ථාවර කිරීම සදහා යොදා ගන්නා උපක්‍රම,අමාත්‍ය මණ්ඩලය අතර බල ලෝභය නිසා හට ගන්න ගැටුම් මෙන්ම රජුට මෙන්ම ඇමැති වරුන්ට සිය “බිසෝ වරුන්ගෙන්” එල්ල වන බලපෑම් පිළිබඳව හොද අධ්‍යයනයක් සිදු කිරීමටත් ඒ තුලින් සාර්ථක රාජ්‍ය පාලනයට යොමු වීමටත් හොදම තැන මෙම වලව්ව බව අපි කියමු.
මෙහි ඉටි රූප තැනීමේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රුව එහි තැනීමත් රට බේරා ගැනීමට එදා ඉංග්‍රීසින් සමඟ සටන් කළ විරුවන් අමතක කර දැමීමත් සංඝරාජ හිමි ඇතුලු මහා නාහිමිවරුන් වලව්වේ ප්‍රතිනිර්මාණය කිරීමත් බොහෝ පාර්ශව වල විවේචනයට ලක් වී ඇති අතර විශේෂයෙන් ඇහැලේපොළ කුමාරිහාමි ජීවතුන් අතර සිටියදී ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගේ උදහසට ලක් වී තිබීමත් එම උදහස නිසාම අමු අමුවේ ඇය ඇතුලු ඇගේ දරු පැටවුන් අමානුෂික ලෙස කෲර වද හිංසා පමුණුවා දියේ ගිල්වා මරා දැමීමත් සිදු වූ අතර ඒ නිසාම ශෝකයට පත් නුවර ජනී ජනයා සතියක් පුරා තමන්ගේ නිවෙස් වල ලිප ගිණි මෙලවූයේ නැති බව ඉතිහාසය ලියා ඇත.එම සිදු වීම් පෙළත් සමඟ උඩරට රාජධානියේ බිඳ වැටීම ආරම්භ වී ඇත.
“මහනුවර ඇහැලේපොල වලව්ව යනු ඇහැලේපොල මහ නිලමේ, කුමාරිහාමි, මද්දුම බණ්ඩාර ඇතුළු දරුවන් ජීවත්වු නිවසයි. එම නිවසේ බිත්තිවලට කතාකළ හැකිනම් ඒ අතීතය හැඬු කදුළින් පවසනු ඇත..
වලව්වේ රජවරු මහනායක හිමිවරු හා ඇහැලේපොල පවුලේ ඉටි රූ අඹා තිබේ.එය වලව්වකට කිසිසේත්ම නොගැලපෙන්නකි. ඇහැලේපොල කුමාරිහාමි කෙරෙහි ඇතිවු ප්‍රේමයක් නිසා වලව්වට රිංගන්නට ආ ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගේ ඉටි රූවක්ද වලව්වේ අඹා තිබේ. මද්දුම බණ්ඩාර ඇතුළු දරුවන් වනේ දමා කෙටීමට මෙන්ම හිස ගසා දැමිමට අණ කළේද එම රජුය. අද එම රජු වලව්වට රිංගා ඇත.
රජවරුන්ගේ ඉටි රූ තැන්පත් කිරිමට තිබුණේ රජ වාසලේය. එසේ කළානම් එය කිසිම ගැටලුවක් නොමැත. මහනායක හිමිවරුන්ගේ ඉටි රූ ජාත්‍යන්තර කෞතුකාගාරයේ හෝ දළදා මාලිගාවේම තැන්පත් කළානම් තවත් වටින්නේය.
ඉංග්‍රීසින්ගේ දං ගෙඩියට අභීතව මුහුණ දි අවසානයේදි හිස එංගලන්තයට රැගෙන ගොස් පරික්ෂණ පැවැත්වු කැප්පෙටිපොල වීරයා මෙම වලව්වේද විසුවේය. එතුමන් ඇතුළු ඇහැලේපොල පවුලේ ඉටි රූ නිර්මාණය කර මේ වලව්වේ තැන්පත්කිරිම වරදක් නැත.
එසේම රජ සමයේ මහනුවර පැැවැති වලව් 18 විස්තර හා එම අධිකාරම්වරුන්ගේ, නිලමේලාගේ ඉටිරූ මෙහි ඇඹුවානම් කොතරම් වටිනේද?

එසේම උඩරට ගිවිසුම අත්සන් කළ නිලමේවරුන්ගේ , අධිකාරම් වරුන්ගේ ඉටි රු හා විස්තර ඇතුළත් කර තිබුණේනම් තවත් වටින්නේය.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය මුගෙට්ටු වත්තේ සුමිත්ත හිමියෝ පවසති.
මහනුවර ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගේ මාළිගාව ඇමරිකානු ආධාර යටතේ ප්‍රතිසංස්කරණය කළේ පසුගියදාය.එහි රජුගේ පිළිරුවක් ජීවමානව ඇත.එසේ තිබියදී රජු එම රජ මැදුරින් ඇහැලේපොළ වලව්වට ගෙන ආවේ කුමන අරමුණකින්දැයි බොහෝ දෙනෙකු විමසති.ඇහැලේපොළ වලව්වේ ප්‍රතිනිර්මාණය විය යුත්තේ එම වලව්ව හා සබැඳි කතා වලිනි.උඩරටට ආවේනික ඇදුම් ආයිත්තම් වලින් සැරසුණු උඩරට එඩිතර කුල කාන්තාවන්ගේ තොරතුරු වලින් බව පවත් පාර්ශව පවසති.
1815 පෙර කාලයේ අපේ රටේ රාජ්‍ය බලය උදුරා ගැනිමට ඉංග්‍රීසින් දැරූ විවිධ කූඨ උපක්‍රම වල කූටප්ප්‍රාප්තිය සිදු වන්නේ 1815 දී මහනුවර මඟුල් මඩුවේදී අත්සන් කළ උඩරට ගිවිසුම නම් ඉංග්‍රීසින්ට රට භාර කිරීමේ ගිවිසුම මගිනි. අපේ අවසන් රාජධානිය වෙනුවෙන් ගිවිසුම අත්සන් තබන ලද අය නම් හෙළි කර ඇත. ඔවුන් නම් වශයෙන් මෙසේය.

ආණ්ඩුකාර බ්‍රවුන්රිග්, ඇහැළේපොල සහ දිසාවේවරු වන මොල්ලිගොඩ, වැඩිමහල් පිළිමතලාවේ, බාල පිළිමතලාවේ, මොණරවිල, බාල මොල්ලිගොඩ, දුල්ලෑව, රත්වත්තේ, මිල්ලෑව, ගල්ගම සහ ගලේගොඩ යන අයයි. අත්සන් සඳහා සාක්ෂීන් වූයේ ඩොයිලි, සහ ඔහුගේ පෞද්ගලික ලේකම් ජේම්ස් සදර්ලන්ඩ් යන අයයි.
ඉතිහාස සාක්ෂි වලට අනුව රට ඉංග්‍රීසින්ට භාරදීම දක්වා වූ බල අරගලය ආරම්භ වන්නේ ශ්‍රි වික්‍රම රාජසිංහ රජු හා ඇහැලේපොළ දිසාව අතර ඇති වන්නා වූ ගැටුමක අවසන් ප්‍රතිඵලයක් ලෙසය.තවත් පැතිකඩ රැසක් ඇතත් ආසන්තම සිදුවීම් පෙල නිර්මාණය වන්නේ ඒ මගින් බව පැවසේ.
ඉතිහාසය ලේඛන වලට අනුව ඇහැලේපොළ කුමාරිහාමි, ගොඩහෙළ කැප්පේටිපොළ නිළමේගේත් මොණරවිල කුමාරිහාමගේත් බාල දියණියයි.මොණරවිල කැප්පේටිපොළගේ නැගණියයි.ඇහැළේපොල අධිකාරම්ගේ බිරිද වේ.වීර මද්දුම බණ්ඩාරගේත් ලොකු බණ්ඩාරගෙත් මවයි.ශ්‍රි වික්‍රම රාජසිංහ රජු ඉතා ක්‍රෑර ලෙස මෙතුමිය මරා දැමූ බව වාර්තා ඇත.
මේ තොරතුරු සමගම ඇහැලේපොළ මහ නිලමේගේ තොරතුරු ද විමසා බැලීම වටී.
ඇහැලේපොළ නිලමේ කියන්නේ මහනුවර රාජධානියේ අවසන් කාලයේ සිටි විවාදාපන්න චරිතයක්. සමහර ඉතිහාසඥයන් ඔහුට චෝදනා කරන්නේ ලංකාව ඉංග්‍රීසින්ට පාවාදීමට ඔහු මුල් වූ බව යි. ඇහැලේපොළ චරිතයේ නොදන්නා පැතිකඩ කිහිපයක් විමසා බැලීමට ගත් උත්සාහයක් තමයි මේ.
මාතලේ දිස්ත්‍රික්කයේ ‘ඇහැලේපොළ ගමේ උපන් ඇහැලේපොළ මහ නිලමේගේ පියා වූයේ පඩිකාර නිලමේ යි. මව කොස්සින්නේ කුමාරිහාමි වුණා. ඇහැලේපොළ අදිකාරම ක්‍රිස්තු වර්ෂ 1773 දී උපන් බවට ඉතිහාසය සාක්ෂි දරනවා. ඔහු විවාහ වුණේ පසුකාලීනව හට ගත් 1818 ඌවේ කැරැල්ලේ නායකත්වය ගත් කැප්පෙටිපොළගේ දිසාවගේ නැගෙණිය වූ මොනරවිල කුමාරිහාමි සමඟ යි.
පිළිමතලව්වේ අදිකාරම ඔහුගේ මාමා වුණා. මේ නිසා උඩරට රදළයන් අතර ඔහුට ඉහළ තැනක් හිමි වුණා. මධ්‍යම ප්‍රමාණයේ සිරුරකින් හෙබි ඇහැලේපොළ සාමාන්‍ය උසින් යුත් පුද්ගලයෙක් බව ඉංග්‍රීසි වාර්තාවලින් පේනවා . එකල සිරිත අනුව ඔහු කොණ්ඩය පස්සට පීරා බැඳ තිබුණා. මුහුණ වසා සිටි තද පැහැ රැවුළ මනා සේ කොට කර කපා තිබුණා. ඇහැලේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර අමරකෝන් නමින් තමයි ඔහුගේ සම්පූර්ණ නම තිබුණේ.
ක්‍රිස්තු වර්ෂ 1806 දී මීගස්තැන්නේ අදිකාරම් මිය යාමෙන් පසුව උඩගම්පහ දිසාවේ හැටියට රජු පත් කළේ ඇහැලේපොළ නිලමේ යි. ඇහැලේපොළ දෙවැනි වුණේ මහ අදිකාරම තනතුර දැරූ පිළිමතලාවේ නිලමේට පමණ යි. පිළිමතලව්වේ රාජද්‍රෝහී විම නිසා මරණයට පත් කිරීමෙන් පසු ශ්‍රි වික්‍රම රාජසිංහ රජු මහා අදිකාරම් ධුරයට පත් කළේ ඇහැලේපොළ යි. ඒ ක්‍රිස්තු වර්ෂ 1812 දී යි. එම පදවිය ලැබීමෙන් පසු ඔහුගේ නමට දීර්ඝ අභිධානයක් එක්වුණා. එම අභිධානය ඇහැළේපොළ සන්නසේ මෙසේ සඳහන්ව තිබෙනවා:

පුවර දනකර තෙජතෙජහිරාම උතුම් ශ්‍රී වික්‍රම රාජසිංහ අප දෙව්රාජෝත්තමයාණන් වහන්සේ සකල නාගරාග සම්පූර්ණ සෙංඛඬ ශෛලාභිධාන ශ්‍රී වර්ධන පුරයෙහි නවරත්න වර වීර රාජකීය වදාරණ සමයෙහි ශ්‍රී ලංකාධිපති එම දෙවි මහා රාජෝත්තමයාණන් වහන්සේ අග්‍රාමාත්‍ය පද ප්‍රාප්ත වූ හෙවත් රන් ආවුද මංඩපේ ලේකම් ගිලීමලේ බඹරබොටුව සාරාමරුනින්ද විදන විහාර දේවාල ගබඩාගම් හා සබරගමු දිශාව ඇතුළුව මහනුවර අධිකාරම් නිළය කරවන විසුඬ වරවංශාභිජාත ඇහැලේපොළ විජසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න අමරකෝන් පණ්ඩිත මුදියන්සේ …
මෙම වර්ණනාත්මක හේතු පාඨයෙන් පැහැදිලි වන්නේ ඇහැලේපොළ නිලමේ මහා අදිකාරම් ධුරයට පත් කරන්නට තරම් දැඩි විශ්වාසයක් රජු තුළ පැවැති බව යි. නැතහොත් සියලු විශ්වාසවන්තයන් රජුගෙන් ඉවත් වෙද්දී ඇහැලේපොළට ප්‍රධාන තනතුර බාර දී ඔහුගේ හිතවත්කම වැඩි කර ගැනීමට රජු සිතුවා වන්නටත් පුළුවන්. උඩරට සිංහාසනය නායක්කාර් රජවරුන් සතු ව පැවැතීම ගැන රදළවරුන් කලක් සිට පසුවුණේ නොකැමැත්තෙන්. ඇහැලේපොළ අදිකාරම්ගේ අදිටන වුණේ ද යළිත් උඩරට සිහසුන සිංහලයන් අතට පමුණුවා ගැනීමයි.
ඇහැලේපොළ අදිකාරම්ගේ දෙවෙනි අදිකාරම ලෙස පත්ව සිටියේ උනම්බුව දිසාව යි. ක්‍රිස්තු වර්ෂ 1812 දී උනම්බුව මිය යෑමෙන් පසුව ඒ තනතුරට පත් කළේ අහැලේපොළගේ පරම හතුරකු වූ සත් කෝරළේ දිසාපති ධුරය හෙබ වූ මොල්ලිගොඩ යි. එය ඇහැලේපොළ අසතුටු කළ සිද්ධියක් බව නිසැක යි.
ඇහැලේපොළ සබරගමුවට
රජු, ඇහැලේපොළ අදිකාරම් සබරගමු දිසාව පාලනයට පාලනයට ඉන් පසු පිටත් කළා. සබරගමුව ඊට පෙර පැවතියේ හිටපු මහඅදිකාරම් පිළිමතලව්වේ යටතේ යි. ඇහැලේපොළ සබරගමුවට පත්කර එවීමට හේතු වූ විවිධ කරුණු පැවසුණත් ජනප්‍රවාදයක එන්නේ ඇහැලේපොළ කුමාරිහාමිට හිත ගිය රජු ඇහැලේපොළ සබරගමුවට පිටත් කර යැවූ බව යි. කුමාරිහාමි අනියම් ඇසුරට රජු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් කියවෙනවා.
සබරගමුවට පැමිණි ඇහැලේපොළ දිසාව පළාතේ කෘෂිකාර්මික කටයුතු දියුණු කරමින් සාමාන්‍ය ජනතාවගේ ශුභ සිද්ධිය උදෙසා කටයුතු රාශියක් කළා. ඔහු තාවකාලික ව පදිංචි ව සිටියේ රත්නපුර බටුගෙදර මුත්තෙට්ටුවෙගම යි. එය තල්අතු හෙවිල්ලූ තාවකාලික නවාතැනක් වුණා. ඒ නවාතැන අසල කොඩිතුවක්කු හතක් පිහිටුවා තිබුණු බවත් නිතිපතා මිනිසුන් 350ක් එහි ගැවසුණු බවත් ජෝන් ඩොයිලි සිය දිනපොතේ සඳහන් කරනවා. මේ අතර එම නවාතැන පිහිටි වත්තේ කම්හල් තනන ලෙසත් ඇහැලේපොළ උපදෙස් ලබාදී තිබෙනවා. ඉංග්‍රීසින් සිතා ඇත්තේ මේ කම්හල් තනන්නේ ආයුධ රැස්කිරීමට බව යි.
ඓතිහාසික ලේඛන අනුව, බටුගෙදරගම සබරගමුවේ දිසාපතිට අතිරේක ආදායමක් ලබා ගැනීම සඳහා නිල බලයෙන් ම අයත් නින්දගමක් වුණා. බටුගෙදර ග්‍රාමයේ අංගම්මන පිහිටි මිහිටිය කන්දේ පහත්බිමේ සිට අඩි 800 ක් ඉහළින් වැවක් තනා තිබෙනවා. එම වැවේ සිට ඇළකින් ජලය ගෙනවිත් ප්‍රදේශයේ අක්කර සිය දහස් ගණනක් වගා කරවූ බවත් පැවසෙනවා.
එම වැව් ජලය අදත් රත්නපුර ජනතාව ප්‍රයෝජනයට ලබාගන්නවා. තිරිවානාකැටිය බටුගෙදර ඔස්සේ ගලායන වේල්ල අදත් හඳුන්වන්නේ ”ඇහැලේපොළ වේල්ල’’ කියලයි. බටුගෙදර ගම්මානයේ සිටින අතර ඔහු අංගම්මන රජමහා විහාරයේ ගොඩනැඟිලි ඉදිකරවා එයට ඉඩම් ද පූජා කර තිබෙනවා.
වර්තමානයේ රත්නපුර පුරාවිද්‍යා කාර්යාලය පවත්වාගෙන යන දෙමහල් ගොඩනැඟිල්ල (ෆර්ගසන් විදුහලට යාබදව ඇති) ඇහැලේපොළ තම හිතගිය කාන්තාවන් ඇසුරු කිරීමට අන්තඃපුරයක් ලෙස භාවිත කළ බව පැවසෙනවා. ඉතා අලංකාර මේ ගොඩනැඟිල්ලේ ඉහළ මාලය දැව සොල්දරයකින් යුක්ත යි. සිංහල වාස්තු විද්‍යාව මෙන් ම ඉංග්‍රීසි වාස්තු විද්‍යා ලක්ෂණත් මෙහි දැකග හැකි යි.
මෙම ගොඩනැඟිල්ල පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසත් ප්‍රකාශ කර තිබෙනවා. සතුරු උවදුරු අවස්ථාවක දී පලා යාමට මේ වලව්වේ සිට කළුගඟට ආරක්ෂිත උමඟක් ඉදිකර තිබූ බවත් පැවසෙනවා. පසුගිය කාලයේ දී ඒඅසල ගොඩනැඟිලිවලට ගෙපල් කැපූ අවස්ථාවලදී උමං මාර්ගයක සලකුණු හමුව තිබීමෙන් එහි යම්කිසි සත්‍යතාවක් ඇති බව පේනවා.
රත්නපුර ජාතික කෞතුකාගාරය පිහිටුවා ඇති ඓතිහාසික ‘‘ඇහැලේපොළ වලව්ව’’ ඇහැලේපොළ අදිකාරම් බටුගෙදර නවාතැන් ගෙන සිටි කාලයේ තැනවූ බව ජනප්‍රවාදයේ පැවසෙනවා. ඊට පෙර සබරගමුව පාලනය කළ පිළිමතලව්වේ මහා අදිකාරම් එම ගොඩනැගිල්ල නිල කටයුතුවලට තැනවූ බවටත් විශ්වාසයක් පවතිනවා.
සබරගමුවේ සිටින අතර ඇහැලේපොළ දිසාව කන්ද උඩරට රාජ්‍යය නායක්කර් වංශිකයන්ගෙන් බේරා ගැනීමට ඉංග්‍රීසින් සමඟ සම්බන්ධතා ගොඩ නගමින් සාකච්ඡා කිරීම ආරම්භ කළා. ඉංග්‍රීසි නියෝජිත ජෝන් ඩොයිලි ඒ අතරින් ප්‍රධාන යි.
ඩොයිලිගේ ඔත්තුකරුවකු වන වත්තල අප්පු ඇහැලේපොළ වර්ෂ 1811 දී හමු වෙනවා. ඉන් පසු ඩොයිලි සහ ඇහැලේපොළ අතර හිතවත්කමක් ගොඩ නැඟෙනවා. ඇහැලේපොළ සබරගමුවේ රන්කරුවන් ලවා ඔටුන්නක් සහ රන් කඩුවක් තැනවීමට පටන් ගත් අතර ඔහු පැවසුවේ ඒවා හදන්නේ රජුට තෑගි කිරීමට බව යි. නමුත් රජුට එය ආරංචි වී තිබුණේ රජවීම සඳහා ඇහැලේපොළ කකුධ භාණ්ඩ තනවන බවයි. සතුරන්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට කේලාම් කියමින් ඇහැලේපොළ අමාරුවේ දමා ඒ තනතුර ලබා ගැනීමට උත්සාහ කළ අතර මොල්ලිගොඩ නිලමේ ඒ අතර මුල් තැනක සිටි රදළයෙක් බව ජනප්‍රවාදයේ පැවැසේ.
ඇහැලේපොළ හා රජු අතර ගැටුම්
1813 හා 1814 අවුරුදු ගෙවී ගියේ ඇහැලේපොළ හා රජු අතර අසමගිය තවත් වර්ධනය කරමින්. උඩරට රදලයන් රාශියක් ද රජුගෙන් ඒ වන විට ඈත්වෙමින් සිටියා. සබරගමුවේ ඇත්ගාල් පැවැත්වීමේ නියෝගය කඩ කිරීම, ඇලපාත නිලමේගේ දේපල ආරාවුල, ඉංග්‍රීසින් සමඟ රහසේ සම්බන්ධතා පැවැත්වීම වැනි කරුණු රාශියක් නිසා උරණ වූ රජු ඇහැලේපොළ අදිකාරම්ට රජ වාසලට එන ලෙස හසුන් පතක් එව්වා. ඒ වනවිට බදු බර නිසා සබරගමුවේ ජනතාව අතර නොසන්සුන් බවක් හටගෙන තිබුණා. තමා සුදානම් කළ තුටු පඬුරු නිමවා නොතිබු නිසාත් ඇහැලේපොළ දිසාව රජුට තල්පතක් යවමින් රජු හමුවීමට කල් ඉල්ලා සිටියා.
මේ තල්පත රැගෙන යන පණිවිඩකරු ගම්පොළ දී මොල්ලිගොඩ දිසාවට හමුවුණා. ඔහු කළේ එම හසුන්පත වෙනස් කර රජු කෝපවන පරිදි නැවත ලියා පණිවිඩකරු අත යැවීම යි. එය කියවූ රජුගේ කෝපය ඉහළ ගියා. මේ අතර සබරගමුමේ දිසාව තනතුරින් ඇහැලේපොළ ඉවත් කර මොල්ලිගොඩ දිසාව පත් කළ බව ඇහැලේපොළට ආරංචි වුණා.
එක්නැලිගොඩ නිලමේ ඇහැලේපොළගේ හසුන්පතක් රැගෙන ඩොයිලි 1814 දී හමුවුණා. රජුගේ අකටයුතුකම් නිසා වැසියන් විඳින පීඩාව ගැන යි එහි සඳහන් වුණේ. ඇහැලේපොළ තීරණය කර තිබුණේ රජු යළිත් තමන් කැඳවුවහොත් මහනුවරට නොයාමට යි. ඉංග්‍රිසින්ගේ උදව්වෙන් උඩරට රජු වීමේ අදහස මේ වනවිට ඔහු තුළ මතුවෙමින් පැවතුණා. ඇහැලේපොළ කටයුතු සංවිධානය කරමින් සිටියේ 1814 සිංහල අවුරුද්ද පසු වූ විගස ම රජු පන්නා දැමීමේ කැරැල්ල සබරගමුවෙන් ආරම්භ කර උඩරටට ව්‍යාප්ත කිරීමට යි.
සබරගමු කැරැල්ල
එම කැරැල්ල සබරගමුවෙන් ආරම්භ කළ අතර ඒ සඳහා ඇහැලේපොළට පක්ෂපාතී සිය ගණනක් එක්වුණත් කැරැල්ල උඩරටට ව්‍යාප්ත කිරීමට තරම් ප්‍රමාණවත් මිනිසුන් සහ තුවක්කු තිබුණේ නැහැ. බලාපොරොත්තු වූ සහාය ඉංග්‍රීසින්ගෙන් ලැබුණෙත් නැහැ. මේ නිසා රජුගේ නියෝග මත සබරගමුවට පැමිණි මොල්ලිගොඩ පහසුවෙන් කැරැල්ල මර්දනය කළා. සටනේ දී අල්ලා ගත් සබරගමුවේ වැසියන් 47 දෙනෙක් මහනුවරට රැගෙන ගොස් උල හිඳුවා මරණයට පත් කර තිබෙනවා.
මොල්ලිගොඩගේ ප්‍රධාන අරමුණ වුණේ ඇහැලේපොළ අත්අඩංගුවට ගැනීම යි.
නමුත් එය සාර්ථක වුණේ නැහැ. වෙස්වලා ගත් ඇහැලේපොළ අදිකාරම රත්නපුර සිට අඟුලක නැගී කළුගඟ ඔස්සේ යාත්‍රා කොට රයිගම් කෝරළයේ ගල්පාත තොටුපළෙන් ගොඩබැස බේරී පලා ගොස් තිබෙනවා. ඉංග්‍රීසි පාලන පෙදෙසට ගිය ඔහුට ඉංග්‍රීසින්ගේ රැකවරණය ලැබෙනවා. පසුව ඉංග්‍රීසි ආණ්ඩුකාර බ්‍රවුන්රිග් ඔහු හමු වී රැකරවණය ලබාදීමට පොරොන්දු වුණා. කෝපයට පත් රජු කළේ ඇහැලේපොළ කුමාරිහාමි සහ දරු තිදෙනා ම්ලේච්ඡ ලෙස මරණ දණ්ඩනයට පත් කිරීමට යි. නුවර කලාවියේ දිසාවේ තනතුර දැරූ පුස්සැල්ලේ නිලමේ ද ඇහැලේපොළ සමඟ ලිපි ගනුදෙනු කළ බවට චෝදනා කරමින් පවුල ද දරුවන් ද සමඟ මරා දැමුණා.
ඉංග්‍රීසින් 1815 දී උඩරට යටත්කර ගත් පසුවත් රජවීමේ සිහිනයක සිටි ඇහැලේපොළ පසුව ඉංග්‍රීසින්ගේ සැකයට භාජනය වීම නිසා මුරුසි දිවයිනට පිටුවහල් කළා. ඔහු මියගියේ 1829 දි යි.
මෙහි අනෙක් කතා නායකයා වූ ශ්‍රි වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොළ නිළමේ වරයාගේ සහාය ඇතුව උඩිස්පත්තුවේ දී ඉංග්‍රීසින් විසින් අල්ලා ගන්නා අතර ඔහුව ඉන්දියාවේ ගෝවේ ප්‍රදේශයට පිටුවහල් කිරීමට ඉංග්‍රීසින් කටයුතු කළේය.

සරත් සමරනායක -කැන්ඩි ප්‍රයිම්
අන්තර්ජාල මූලාශ්‍ර වලින් සමන්විත වේ.










