• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

සජිත් හොල්මන් කරද්දී ජිනීවා මහකොමසාරිස් ඉදිරිපිට අර්චුනායි-බිමලුයි ලොකු ගැටුමක! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

June 29, 2025
in Exclusive, Rajya Rahas
Reading Time: 15 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජිනීවා උගුල තවත් තද වෙන ලකුණු!

අවුරුදු 18කට පසු තමිල්සෙල්වම්ගේ දුව එළියට ඇවිත්!

ටිල්වින් චීනෙත් එක්ක ලංකාව ගැටගහයිද?

ටර්ක් ටකේ ගහයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා ලබන සැප්තැම්බරයේදී ලංකාවට එරෙහිව සිදුකිරීමට නියමිත දැවැන්ත මෙහෙයුම පිළිබඳ අප මෙම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ නිරන්තරයෙන්ම තොරතුරු ගෙනහැර දැක්වූයෙමු. ජිනීවා මහකොමසාරිස්වරයාගේ මෙම සූදානම පිළිබඳ පළමු වාර්තා කිරීම අප සිදුකළේ පසුගිය මාර්තු මාසයේ ජිනීවාහි පැවැති මානව හිමිකම් කොමිසමේ සැසිවාරය අවසන් වීමත් සමගය. එම සැසිවාරයේදී ලංකාවේ විදේශ අමාත්‍යවරයා වශයෙන් ඊට සහභාගි වූ විජිත හේරත් මහතා මානව හිමිකම් කොමිසම ගෙන ආ යෝජනාවට විරෝධය පළකරමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ හැරුණු විට මෙම සැප්තැම්බරයේ ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වීමට නියමිතව ඇති මෙම අතිභයානක යෝජනාව සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ පූර්ව සූදානමක් ආණ්ඩුව පැත්තෙන් මේ තාක් සිදුකෙරෙමින් පවතින බවක් දැකගන්නට නොලැබීම විශේෂ සිදුවීමකි.Sri Lanka Latest News

සාමාන්‍යයෙන් ඕනෑම රටකට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමට යෝජනාවක් ඉදිරිපත් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී එම රට නියෝජනය කරමින් එහි නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කරන අදාළ රටේ නියෝජිතයාට විශාල වගකීමක් පැවරේ. ඒ අනුව කොමිසමේ ප්‍රධානියා සමග සහ කොමිසම නියෝජනය කරන අනෙකුත් සාමාජික රටවල් සමග හොඳ සබඳතාවක් පවත්වාගෙන යමින් සිය රටට වාසිදායක තත්ත්වයක් ගොඩනගා ගැනීම ඒ නිත්‍ය නියෝජිතයාගේ කාර්යභාරයය. උදාහරණයක් වශයෙන් 2009 වසරේ ශ්‍රී ලංකාවේ සිදුවූ යුද ජයග්‍රහණයෙන් අනතුරුව ජිනීවා මානව හිමිකම් කොමිසමට ලංකාවට එරෙහිව චෝදනා රැසක් ඉදිරිපත් වූ ආකාරයක් දැකගත හැකි විය. එවක පැවැති මහින්ද රාජපක්ෂ රජය එම චෝදනාවන්ට මුහුණ දීම සඳහා විශේෂ නියෝජිත කණ්ඩායමක් පත්කෙරුණු අතර, එහි නායකත්වය මහින්ද සමරසිංහ මහතා හට පැවරීය. ඒ අනුව එදා මහින්ද සමරසිංහ මහතා සිය රාජකාරිය කෙතරම් හොඳින් ඉටුකළාද කියනවා නම්, ලංකාවට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීමේදී සියලු රටවල් එක්කොට ගෙන එම යෝජනාව පරාජයට පත්කිරීමට පවා එදා මහින්ද සමරසිංහ පියවර ගත්තේය.

මහින්ද රාජපක්ෂ රජය එසේ කළද ඉන් අනතුරුව බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂගේ රජය එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියේ නැත. තමන්ට හිතවත් අයකු අවසානයේදී ගෝඨා විසින් ජිනීවා නුවරට යැවීම හේතුකොට ගෙන එහිදී ලංකාවට එරෙහිව එල්ල වූ ප්‍රශ්න කළමනාකරණය කරගැනීමට ගෝඨාගේ රජයට අපහසු විය. එහි ප්‍රතිඵලය වූයේ ගෝඨාගේ සමයේදී ලංකාව තවදුරටත් ජිනීවා මානව හිමිකම් උගුලේ සිරවීමය.

එමෙන්ම මේ වනවිට ජිනීවාහි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය වශයෙන් කටයුතු කරන හිමාලි අරුණතිලක මහත්මිය ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් වීමට නියමිත මේ අවස්ථාවේදී සිය කාර්යභාරය නිසි අයුරින් ඉටුකරන්නේද යන්න පිළිබඳ බොහෝ දෙනකුට ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි. විශේෂයෙන්ම ඇය ඕස්ටේ්‍රලියාවේ මහකොමසාරිස්වරිය වශයෙන් කටයුතු කරද්දී සිදු කරන ලද ක්‍රියාවක් සම්බන්ධයෙන් ඕස්ටේ්‍රලියා අධිකරණය හමුවේ විභාග වූ නඩුවකදී ඇයට දඩයක්ද පැනවීමට පියවර ගෙන තිබේ. ඒ, ඇගේ නිවෙසේ කටයුතු කළ මෙහෙකාරියක විසින් සිදුකළ පැමිණිල්ලක් අනුවය. ඒ අනුව ජිනීවා නිත්‍ය නියෝජිතවරියගේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටලු රැසක් පැනනැගී ඇති පසුබිමක අවම වශයෙන් මේ මොහොතේ තාවකාලිව හෝ ඇය වෙනුවට වෙනත් පිළිගත හැකි අයකු එම තනතුරට පත්කොට මෙම ගැටලුව විසඳා ගැනීමට ආණ්ඩුවට හැකියාව තිබිණි. නමුත් අවම වශයෙන් ආණ්ඩුව එවැනි ක්‍රියාමාර්ගයක් හෝ නොගැනීම විශේෂ සිදුවීමක් ලෙස බොහෝ දෙනා පෙන්වා දී තිබේ.

මෙම පසුබිම යටතේ අප පසුගිය සතියේත් මෙම තීරය ඔස්සේ කියා සිටියේ ජිනීවා මහකොමසාරිස් ටර්ක්ගේ හදිසි ලංකා ගමන අතිශය තීරණාත්මක එකක් වනු ඇතැයි කියාය. එහිදී අප වැඩිදුරටත් තොරතුරු වාර්තා කරමින් කියා සිටියේ මෙම සංචාරය අවසානයේදී ටර්ක් විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමට ලබාදීමට නියමිත වාර්තාව ලංකාව සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක එකක් වනු ඇති බවකි.

මාධ්‍ය නොකියපු කතාව

කෙසේ වෙතත් ටර්ක් ලංකාවට පැමිණීමෙන් පසු මෙරට මාධ්‍ය අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය සමගත්, විදේශ ඇමැති විජිත හේරත් සමගත් පැවැත්වූ සාකච්ඡා මහත් ඉහළින් වාර්තා කිරීමට පියවර ගෙන තිබිණි. එමෙන්ම පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ ප්‍රධානීන් සහ විරුද්ධ පක්ෂයේ පක්ෂ නායකයන් සියලු දෙනා හමුවී සාකච්ඡා කරන ඡායාරූපද මෙරට මාධ්‍ය මහත් ඉහළින් වාර්තා කොට තිබිණි. ඒවා දකින බොහෝ දෙනාට නිතැතින්ම ඔළුවට ආ කාරණාවක් වූයේ ටර්ක් සමග පැවැති සාකච්ඡා ඉතා සාර්ථක යැයි කියාය. නමුත් අද අප මේ තීරයෙන් කියන්න යන්නේ ඒ කිසිදු මාධ්‍යයක් වාර්තා නොකළ තොරතුරු රැසකි. එම තොරතුරුවලට අනුව නම් අපට පෙනෙන්නේ ටර්ක්ගේ ලංකා ගමන අතිශය භයානක අතට පෙරළෙන ආකාරයකි.

මෙහිදී තවත් විශේෂ කාරණාවක් සඳහන් කළ යුතුව තිබේ. ඒ, මෑතක සිට ආණ්ඩුව පැත්තෙන් දක්නට ලැබෙන කාරණාවකි. වෙනදා නම් රාජ්‍ය නායකයන් හෝ විදෙස් දූත කණ්ඩායම් රටට පැමිණි පසු ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් හමුවීමෙන් අනතුරුව විපක්ෂ නියෝජිතයන් වෙනම හමුවීම සාමාන්‍ය සම්ප්‍රදායක් වුවද, මෑතක සිට එම සම්ප්‍රදාය කිසියම් වෙනසකට ලක්වී ඇති ආකාරයක් දැකගන්නට ඇත්තේ විපක්ෂයේ නායකයන් තනිව හමුවීම වැළැක්වීමට ආණ්ඩුව පැත්තෙන් යම් යම් ක්‍රියාමාර්ගයන් දියත් වී තිබීම නිසාය. විශේෂයෙන්ම මීට සති කීපයකට ඉහතදී මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලංකාවට පැමිණි විට පළමුවරට ඔවුන් හා විපක්ෂ නියෝජිතයන් සමග හමුවක් නොපැවැත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙවරත් ජිනීවා මහකොමසාරිස් ටර්ක් ලංකාවට පැමිණි පසු එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දීමක් කර තිබුණේ ආණ්ඩුවේ නායකයන් සමග විපක්ෂයේ සියලු පක්ෂ නායකයන්ද එකවර හමුවීමට මහකොමසාරිස්වරයා සූදානමින් සිටිනවා යැයි කියාය. ඒ අනුව පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය වන කුෂානි රෝහණධීර මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමුකරමින් දැනුම් දීමක් කොට තිබුණේ විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් එක්කොට ගෙන ටර්ක් සමග සාකච්ඡාවට පැමිණෙන්න යැයි කියාය. එය අඟහරුවාදා දින පස්වරුවේ පාර්ලිමේන්තු කමිටු අංක 2හි පැවැත්වීමට නියමිත බවද එම ලිපියේ සඳහන්ව තිබිණි.

සජිත් වෙන අදහසක

මෙම ලිපිය ලැබීමත් සමග නිල නොවන ආකාරයට වගකිවයුත්තන් කීප දෙනකුට කතාකළ සජිත් ඔවුන්ට දැනුම් දුන්නේ මේ ආකාරයෙන් ආණ්ඩුවේ සහ විපක්ෂයේ නියෝජිතයන් එකවර හමුවීමෙන් යම් යම් ප්‍රශ්න මතුවීමේ ඉඩකඩක් ඇති බවකි. විශේෂයෙන්ම විපක්ෂ නියෝජිතයන් එහිදී අදහස් දක්වද්දී ආණ්ඩු පක්ෂ නියෝජිතයන් සමග මතගැටුමක් මතුවීමේ ඉඩකඩක්ද එහිදී ඇතිවිය හැකි බව සජිත් එහිදී අනතුරු ඇඟවීමක් කොට තිබිණි. එසේ වුවහොත් ලංකාව සම්බන්ධ ජාතික ගැටලුවලදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයට එක මතයක් නොමැති බවට වූ හැඟීමක් ජිනීවා මහකොමසාරිස්වරයාට ඇතිවිය හැකි බවද මෙහිදී සජිත් පෙන්වා දී තිබිණි. ඒ හරහා ජිනීවා යෝජනාව පසුපස සිටින ඩයස්පෝරාවට වාසිසහගත වන තීන්දුවක් ලැබීමේ ඉඩකඩ පවතින බවද සජිත් මෙහිදී අනතුරු අඟවා තිබිණි.

නමුත් සජිත් මේ දුරදිග බලා කළ අනතුරු ඇඟවීම බලධාරීන් කනකට ගත් ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. වෙනදා මෙන් උද්දච්ච ආකාරයට හැසිරෙමින් තමන්ගේ මතයේම ඒ බලධාරීන් සිටින බවද දැකගන්නට ලැබිණි. සජිත්ටද මේ බව වාර්තා වීම නිසා සජිත් කළේ සිය මාධ්‍ය ඒකකය හරහා මෙම සාකච්ඡාව පිළිබඳ නිල වශයෙන් දුරකතනය ඔස්සේ සියලු පක්ෂ නායකයන් දැනුවත් කිරීමය. කෙසේ වෙතත් පසුව සජිත් තම මාධ්‍ය ඒකකයට මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබාදෙන ලෙස පාර්ලිමේන්තු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය. නමුත් පාර්ලිමේන්තු බලධාරීන් සජිත්ට දැනුම් දුන්නේ පාර්ලිමේන්තුවේ මාධ්‍ය ඒකකය මගින් එම අවස්ථාව ආවරණය කරන නිසා විපක්ෂ නායක මාධ්‍ය ඒකකයට ඊට අවසර ලබාදිය නොහැකි යැයි කියාය. මේ ආකාරයට විවිධ නීතිරීති, තහංචි දමමින් විපක්ෂයේ පක්ෂ නායකයන් හා ආණ්ඩුවේ බලධාරීන් සමග ජිනීවා මහකොමසාරිස්වරයා පැවැත්වූ සාකච්ඡාවේදී සිදුවූයේ කුමක්ද?

මෙම සාකච්ඡාවේදී ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් බලා සිටියදීම සජිත් ජිනීවා මහකොමසාරිස්වරයාට පෙන්වා දුන්නේ ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට ආණ්ඩුව වහාම පියවර ගතයුතු යැයි කියාය. ආණ්ඩුවේ නියෝජිතයන් පසුගිය මැතිවරණ සමයේදී මෙම පනත අහෝසි කරන බවට රටට පොරොන්දුවක් දුන්නද, මේ දක්වා එය ඉටුකර නොමැති බව සජිත් ටර්ක්ට පෙන්වා දුන්නේය. මීට අමතරව මාධ්‍ය ඉලක්ක කොට සිදුකරන තර්ජනයන් මෙන්ම ඔන්ලයින් පනත සම්බන්ධයෙන්ද සජිත් මෙහිදී අදහස් දක්වා සිටියේය. මීට අමතරව තවත් සුවිශේෂ කාරණාවක් සම්බන්ධයෙන්ද සජිත් ටර්ක්ගේ අවධානය යොමු කළේය. ඒ, මූල්‍ය අරමුදල මගින් ලංකාවට ඉදිරිපත් කොට ඇති කොන්දේසි ක්‍රියාත්මක කිරීමේදී ජනතාවගේ මානව හිමිකම් විශාල වශයෙන් උල්ලංඝනය වීමක් සිදුවන නිසා වහාම එම කොන්දේසි වෙනස් කිරීමට මැදිහත් වන ලෙස ටර්ක්ගෙන් ඉල්ලා සිටීමය. තම රජයක් බලයට පැමිණියේ නම් නියත වශයෙන්ම මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමග සාකච්ඡා කොට ජනතාවට අහිතකර එම කොන්දේසි වෙනස් කර ගන්නා බව පෙන්වා දුන් සජිත්, මාලිමා ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් පැවැතියදී පවා ඊට අවධානය යොමුකොට නොතිබීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ප්‍රබල ලෙස උල්ලංඝනය වන ආකාරයක් දැකගන්නට තිබෙන බවද සජිත් මෙහිදී ටර්ක්ට පෙන්වා දුන්නේය. සජිත්ගේ මේ ප්‍රකාශයත් සමග ආණ්ඩුවේ නියෝජිතයන් මෙන්ම විපක්ෂයේ නියෝජිතයන්ද හොල්මන් වී ගිය අකාරයක් දැකගන්නට ලැබිණ.

කෙසේවෙතත් සජිත් මෙම අමුතු ඉල්ලීම කළේ නිකන් ආවාට ගියා නොවේ. ඒ සම්බන්ධයෙන් ඇති ව්‍යවස්ථාමය තත්ත්වයන් පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකිරීමෙන් අනතුරුවය. විශේෂයෙන්ම දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත්තේ ආර්ථික වශයෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වන්නේ නම් එය ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වශයෙන් සලකනවා යැයි කියාය. සජිත් ටර්ක් හමුවේ කරුණු ඉදිරිපත් කළේ දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාවේ පවතින මෙම නීතිය පාදක කරගනිමිනි. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සජිත් ඉදිරිපත් කළ අදහස ටර්ක් විසින් හිස්මුදුනින් පිළිගැනීමය.

අර්චුනා යක්ෂාරූඩ වෙයි

මේ ආකාරයට සජිත් කරුණු දක්වා අවසන් වීමත් සමග සාකච්ඡාව මහත් ආන්දෝලනාත්මක තැනකට අරන් ගියේ වෙන කවුරුවත් නොව, උතුරේ මන්ත්‍රී අර්චුනා රාමනාදන්ය. උතුරු-නැගෙනහිර දෙමළ, මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් වෙනදා හඬ නගන රවුෆ් හකීම්, රෂාඩ් බදියුදීන්, ගජේන්ද්‍ර පොන්නම්බලම් ආදී මන්ත්‍රීවරුන් එම පළාත්වල පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ මෙහෙයුම්වල නිරත වී සිටි නිසා එදින ඔවුන්ට මෙම සාකච්ඡාවට සහභාගි වීමට හැකියාව ලැබී තිබුණේ නැත. ඒ අනුව උතුරේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අර්චුනා කියා සිටියේ උතුරේ යුද අපරාධ සිදුව ඇති බවත්, දෙමළ ජනතාව සමූල ඝාතනයකට ලක්කිරීමට කටයුතු කොට ඇති බවත්ය.

මේ ආකාරයට පාර්ලිමේන්තුවේදී අදහස් දක්වන ආකාරයටම ටර්ක් ඉදිරියේද අර්චුනා ආන්දෝලනාත්මක අයුරින් අදහස් දැක්වීමත් සමග ඔහු හා වාදයක පැටලීමට සභානායක බිමල් රත්නායක මහතා කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය. මෙම වාදය කෙතරම් බරපතළව ගියා ද කියනවා නම්, ඇතැම් අවස්ථාවලදී අර්චුනා දරුණු වචන භාවිත කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. මේ ආකාරයට බිමල් සහ අර්චුනා එකිනෙකා සමග උස් හඬින් වාද කරගනිද්දී ටර්ක් නිහඬවම ඒ දෙස බලා සිටියද අර්චුනා කළ යම් යම් ප්‍රකාශ ටර්ක් විසින් සටහන් කරගත් ආකාරයක් පැහැදිලිවම දැකගන්නට ලැබිණි. නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මෙවැනි ප්‍රශ්නයක් උද්ගත විය හැකි බව සජිත් කල්තියා කළ අනතුරු ඇඟවීම පිළිනොගැනීම හේතුවෙන් ආණ්ඩුව සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර බරපතළ බෙදීමක් පවතින බව ජිනීවා මහ කොමසාරිස්වරයා ඉදිරියේදීම තහවුරු වීමය.

මෙහිදී අර්චුනා සඳහන් කළ ඇතැම් බරපතළ කරුණු ජිනීවා මහකොමසාරිස්වරයා ඔළුවට ගත් ආකාරයක් පැහැදිලිවම තහවුරු වූයේ එම හමුවන් පසුව පැවැති මාණ්ඩලික සාකච්ඡාවකදී ජිනීවා මහකොමසාරිස්වරයා දැක්වූ අදහස් හේතුකොට ගෙනය. එහිදී ටර්ක් කළ ප්‍රකාශයේ සම්පූර්ණයෙන්ම අන්තර්ගත වී තිබුණේ අර්චුනා පාර්ලිමේන්තුවේදී අනාවරණ කළ කරුණුය. ඒ අනුව එම චෝදනාවන් සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම විමර්ශනයක් සිදුකළ යුතු බවද ටර්ක් මෙහිදී සඳහන් කොට තිබිණි. ඒ අනුව, ටර්ක් කළ මෙම කතාව හරහා ආණ්ඩුව සහ විපක්ෂය එකට තබා ටර්ක් සමග සාකච්ඡා කිරීම අත්වැරැද්දක් බව ආණ්ඩුවේ බලධාරීන් පසුව හෝ තේරුම් නොගත්තා නම් එය බරපතළ තත්ත්වයකි.

උතුර ඇවිළෙයි

ටර්ක්ගේ ලංකා ගමන ඉලක්ක කොට ගෙන දකුණේ මේ ආකාරයෙන් සාකච්ඡා සංවිධාන වෙද්දී උතුරේද උත්සව රැසක් සංවිධාන වී තිබිණි. ඉන් එකක් වූයේ ත්‍රිකුණාමලයට ටර්ක්ගේ පැමිණීම මුල්කරගෙන යුද්ධයෙන් හානියට පත්වූ පිරිස් විසින් තමන්ට සිදුව ඇති අසාධාරණය පිළිබඳ සාමකාමී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබීමය. මෙහිදී මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් වන ඡායාරූප ප්‍රදර්ශනයක්ද පැවැත්වීමට ඔවුන් පියවර ගෙන තිබිණි. යාපනයේ නම් ප්‍රධාන සිදුවීම් දෙකක් දැකගන්නට ලැබිණි. ඉන් පළමුවැන්න වූයේ යාපනය විශ්වවිද්‍යාලයේ දැවැන්ත පෝස්ටර් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් ලංකා ආණ්ඩුව මානව හිමිකම් කඩවී ඇති බව සඳහන් කොට තිබීමය. දෙවැන්න වූයේ චෙම්මනි සමූහ මිනී වළ ආසන්නයේ මියගියවුන් සමරමින් දින කිහිපයක අඛණ්ඩ උත්සවයක් සංවිධාන කර තිබීමය. බරපතළම සිදුවීම දැකගන්නට ලැබුණේ මෙම චෙම්මනි සමූහ මිනී වළ ආසන්නයේ පැවැති සැමරුම් උත්සවයේදීය. මෙහිදී ආණ්ඩුවට අවශ්‍ය වී තිබුණේ පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී උතුරේ ජනතාව මාලිමාව සමග සිටි නිසා තවදුරටත් ඔවුන් මාලිමාව සමග සිටින බව ටර්ක්ට පෙන්වීමටය. ඒ අනුව උතුරේ කැබිනට් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සිය හිතවතුන් කණ්ඩායමක් සමග මෙම චෙම්මනි මිනී වළ ආසන්නයේ ආරම්භ කොට තිබූ සැමරුම් උත්සවයට පැමිණ මියගියවුන්ට උපහාර දැක්වීමට පියවර ගෙන තිබිණි. නමුත් එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි එහි රැස්ව සිටි තරුණ පිරිස් ධීවර කැබිනට් අමාත්‍යවරයාට බරපතළ විරෝධයක් පළකිරීමය. මෙම විරෝධය කෙතරම් දරුණු වූවාද කියනවා නම් ආරක්ෂකයන් විසින් වහ වහා ආරක්ෂා සහිතව අමාත්‍යවරයා එතැනින් ඉවත කරගැනීමට කටයුතු නොකළේ නම් ඇතැම් විට එම සිදුවීම පහරදීමක් කරා දුරදිග යන තරමට තත්ත්වය දරුණු වී තිබිණි. ඒ අනුව අවසානයේදී අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් එම ස්ථානයෙන් පිටව ගියේ තමන් දමාගෙන පැමිණි සපත්තු දෙක හෝ නැවත පැලඳගැනීමෙන් තොරවය.

ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයාට අමතරව උතුර නියෝජනය කරන තවත් මාලිමා මන්ත්‍රීවරයෙක්ද පසුව එම ස්ථානයට පැමිණ සිටියේ මියගියවුන් සිහිකිරීම සඳහාය. නමුත් ඔහුටද අත්වූයේ අමාත්‍ය රාමලිංගම්ට අත්වූ ඉරණමමය. එහි සිටි පිරිස් අමාත්‍ය රාමලිංගම් එළවා දැමූ ආකාරයටම මේ මාලිමා මන්ත්‍රීවරයාද එළවා දැමීම විශේෂ සිදුවීමක් විය.

මීට අමතරව බරපතළම සංඥාව නිකුත් වුණේ යාපනයේ ප්‍රබලම පක්ෂය වන තමිල් අරසු කච්චි පක්ෂයේ නියෝජිත සිවඥානම් එම ස්ථානයට පැමිණි පසුය. එහිදීද මෙම ජනතාව ඔහුටද දැඩිව සිය විරෝධය පළකරමින් ඔහුවද එම ස්ථානයෙන් පිටමං කිරීමට කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය. එහිදී උතුරේ දෙමළ ජනතාවගෙන් ප්‍රකට වූයේ වෙන කිසිවක් නොව, පසුගිය කාලයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවෙන් දේශපාලන අල්ලස් වශයෙන් බාර් ලයිසන් ලබාගත් බවට උතුරේ දෙමළ නායකයන්ට එල්ල වී තිබූ චෝදනාවල වෛරයය.

උතුරේ වීරයා

මේ ආකාරයට උතුරේ දෙමළ මන්ත්‍රීවරුන්ට සහ ප්‍රභූ පුද්ගලයන්ට සාමාන්‍ය ජනතාවගේ විරෝධය එල්ල වෙද්දී මේ වනවිට උතුරේ ජනප්‍රියතම දේශපාලනඥයා බවට පත්ව සිටින්නේ කවුරුන්ද? ඒ, වෙන කවුරුවත් නොව, ටර්ක් ඉදිරියේ බිමල් සමග උණුසුම් වාදයක පැටලුනු අර්චුනා රාමනාදන්ය. දකුණේ බොහෝ මාධ්‍ය දැන හෝ නොදැන අර්චුනා ජෝකර් කෙනකු, විහිළුකාරයකු වශයෙන් හංවඩු ගැසීමට පියවර ගෙන තිබුණද උතුරේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. දකුණේ ජෝකර් කෙනකු ලෙස පෙන්වන අර්චුනා උතුරේ වැසියන් මේ වනවිට දකින්නේ මහා වීරයකු ලෙසටය. තමන් වෙනුවෙන් නොබියව අදහස් දක්වන දේශපාලඥයකු ලෙසය.

මීට මාස කීපයකට ඉහතදී ‘මව්රට’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු යාපනයේ සංචාරය කරමින් උතුරේ දේශපාලනය පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකර තිබිණි. එහිදී උතුරේ ජනතාව කිසිදු පැකිලීමකින් තොරව කියා සිටි එකම කාරණාව වූයේ මේ වනවිට ඔවුන්ගේ දේශපාලන වීරයා බවට අර්චුනා පත්ව ඇතැයි කියාය. ඒ අනුව, අපට සඳහන් කිරීමට ඇත්තේ ආණ්ඩුව අර්චුනා සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්නට යන්නේ නම් එය ඉතා පරිස්සමෙන් සිදුකළ යුතුව ඇතැයි කියාය. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී උතුරේ ජනතාව තුළ පමණක් නොව, දෙමළ ඩයස්පෝරාව තුළ පවා අර්චුනා වීරයෙක් බවට පත්ව ඇති මොහොතක ඔහු ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගසා කොන් කිරීමෙන් මෙම ප්‍රශ්නය වෙනත් අතකට තල්ලු විය හැකි බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

අනෙක් අතට දැනටමත් අර්චුනාගේ මන්ත්‍රී ධුරයට අභියෝග කරමින් නඩුවක්ද අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී. ඒ අනුව යම් හෙයකින් අර්චුනාගේ මන්ත්‍රී ධුරය හදිසියේ හෝ අහෝසි වුවහොත් ටර්ක්ගේ ලංකා ගමනෙන් පසු අර්චුනා ජනතාව ඉදිරියට යනු ඇත්තේ වීරයකු ආකාරයටය. අනෙක් අතට අර්චුනා යනු තනි මන්ත්‍රීවරයකු ලෙස සිතා ඔහුව අවතක්සේරු කිරීමද සිදු නොකළ යුත්තකි. ඔහු පසුපස උතුරේ දෙමළ ජනතාව පමණක් නොව, දෙමළ ඩයස්පෝරාවද සිටින බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. අර්චුනා පාර්ලිමේන්තුවේදී දෙමළ ඩයස්පෝරාව සිය ඡන්ද ව්‍යාපාරයට මුදල් දුන් බව නොබියව ප්‍රකාශ කරන්නේ ඒ නිසා විය යුතුය. කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ රතු ලේබල් ගැසූ කන්ටේනර්වල ප්‍රභාකරන්ට අයත් අවි ආයුධ පැවැති බවට අර්චුනා පාර්ලිමේන්තුවේදී ඉතා ආන්දෝලනාත්ක ප්‍රකාශයක්ද කළේ ඒ නිසා විය යුතුය. ඒ හරහා තහවුරු වන්නේ අර්චුනා යම් තැනකින් මෙහෙයවෙන පුද්ගලයෙක් බවය. එමෙන්ම අර්චුනා මේ වනවිට ප්‍රසිද්ධියේම කියා ඇත්තේ තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වුවද තමන්ට පාඩුවක් නැති බවත්, ඉදිරි පළාත් සභා මැතිවරණයේදී තමන් උතුරේ මහ ඇමැතිවරයා වශයෙන් සටනට එන බවත්ය. තමන්ගෙන් හිස්වන මන්ත්‍රී ධූරය සඳහා සිය පක්ෂයෙන් පාර්ලිමේන්තු එන්නේ සිය ඥාති නැගනියක බවද අර්චුනා මේ වනවිට ප්‍රසිද්ධියේ කියන කරුණකි.

මේ යන විදියට නම් ඒ සඳහා ලොකු ඉඩක්ද නැතුවා නොවේ. මන්ද යත් ආණ්ඩුව මේ වනවිට ප්‍රසිද්ධියේම රටට කියා ඇත්තේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ඉතා ඉක්මනින් පළාත් සභා මැතිවරණයද පැවැත්වීමට කටයුතු කරනවා යැයි කියාය. විශේෂයෙන්ම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී පවා ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් යම් පොරොන්දුවක්ද මෝදිට ලබා දුන්නේය. නමුත්, මහ මැතිවරණය පවත්වා තුනෙන් දෙකක බහුතරයක් ලබාගත්තද, ගෙවුණු මාස පහ ඇතුළත පැවැති පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව ලක්ෂ 23ක විශාල ඡන්ද ප්‍රමාණයක් අහිමි කරගැනීමත් සමග පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි සිතිය නොහැක. නමුත් මෝදිට දුන් පොරොන්දුව කඩකිරීමටද ආණ්ඩුවට හැකියාවක් නොමැත. ඒ අනුව බොහෝ දුරට ලබන සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත ජිනීවා සැසිවාරය අවසන් වීමෙන් අනතුරුව ආණ්ඩුව පළත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

කවුද මේ දුව?

පසුගියදා පැවැති පියවරුන්ගේ දිනයේදී කලක් මෙරට හොල්ලාගෙන සිටි චරිතයක දියණියක් හදිසියේම කලඑළි බැස්සාය. එම කලඑළි බැසීමේ විශේෂත්වය වන්නේ මීට පෙර කිසිදු දිනෙක එම තරුණිය සිය පියා සම්බන්ධයෙන් කොතැනක හෝ වචනයක්වත් කතා කර නොතිබීම නිසාය. අඩුම තරමින් එම රටම දැන සිටි පුද්ගලයාට දියණියක සිටියාද යන්න කියා හෝ කිසිවකුටත් හැඟීමක් තිබුණේ නැත. ඒ රටම දන්නා චරිතය වෙන කවුරුවත් නොව එස්.පී. තමිල් සෙල්වම්ය. වර්තමානයේ බොහෝ දෙනාට මේ නම නුහුරු නුපුරුදු වුවද එල්.ටී.ටී.ඊ. යුද්ධය පැවැති වසර 30ක කාලය ගැන දන්නා කියන අයෙකුට නම් ඒ නම නහුරු නුපුරුදු එකක් නොවේ. මේ කියන තමිල් සෙල්වම් යනු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශ නායකයාව සිටි පුද්ගලයාය. නැතහොත් කොටි නායක ප්‍රභාකරන්ගේ දකුණු අත මෙන් සිට තැනැත්තාය. 2007 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් තමිල් සෙල්වම් මියගිය අතර, 2009 යුද ජයග්‍රහණයෙන් පසුව ඔහු සම්බන්ධයෙන් කතා නොකෙරුණු තරම්ය.

නමුත් මේ කියන තමිල් සෙල්වම් පිළිබඳ හිටිහැටියේම තොරතුරු එළියට ආවේ ඔහුගේ දියණියක වන ටී. අලෙයිමගල් විසින් සිය ටික්ටොක් ගිණුමේ පළකොට තිබූ කෙටි වීඩියෝවක් හේතුකොට ගෙනය. පියවරුන්ගේ දිනයට සමගාමීව පළකොට තිබූ එම වීඩියෝවේ දැක්වුණේ තමිල් සෙල්වම් කුඩා දැරියක සුරතල් කරන ආකාරයේ ඡායාරූප කීපයකි. එම වීඩියෝ පසුතලයේ ‘මයි ඩැඩ්’ යනුවෙන් සටහන්ව තිබීම නිසා මේ අලෙයිමගල් නමැති තරුණිය තමිල් සෙල්වම්ගේ දියණිය බව වටහා ගැනීමට පුළුවන. ඒ අනුව අප මේ තැනැත්තියගේ ටික්ටොක් ගිණුමට ගොස් දීර්ඝ සොයා බැලීමක් කළද කෙදිනකවත් ඇය සිය පියා වූ තමිල් සෙල්වම්ගේ ඡායාරූපයක් පළකිරීමට කටයුතු කොට තිබුණේ නැත. එමෙන්ම ඇය විදෙස්ගතව ජීවත් වන බවට සාක්ෂි ඇගේ ටික්ටොක් ගිණුමේ ඡායාරූපවලින් තහවුරු කරගැනීමට හැකිය. ඒ අනුව ඇය සිය පියා මියගොස් වසර 18කට පසු පියා සහ ඇය සිටින ඡායාරූපයක් පළමු වරට ප්‍රසිද්ධියට පත්කොට තිබීම විශේෂ සිදුවීමකි.

ටිල්වින්ගේ රහස්

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සිදුකළ දින 10ක දීර්ඝ චීන සංචාරය පිළිබඳ විශේෂ තොරතුරු රැසක් වාර්තා කිරීමට අප පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ ටිල්වින්ගේ චීන ගමනට පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද 26 වැනිදා හදිසි චීන සංචාරයක නිරත වීමට සැලසුම් කරමින් සිටින බවට නිල නොවන ආකාරයේ තොරතුරු වාර්තා වෙමින් තිබෙන බවකි. කෙසේ වෙතත් මේ වනවිට අපට දැනගන්නට ඇත්තේ අනුරගේ එම හදිසි චීන ගමන අවසන් මොහොතේ අත්හැර දැමීමට තිරණය කොට ඇති බවය. මේ මොහොතේ එම චීන සංචාරය සිදු නොවන නමුත්, පසු අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට ජනාධිපතිවරයාගේ පැත්තෙන් තීරණය කර ඇති බවක්ද මේ වනවිට ආරංචිය. එම පණිවුඩය දැනටමත් චීන බලධාරීන්ට ලැබී තිබෙන බවක්ද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් ටිල්වින්ගේ චීන සංචාරය හදිසියේම සිදුවූ නිකන්ම නිකන් එකක් නම් නොවේ. අනුරගේ චීන සංචාරයට පසුව ටිල්වින් චීනය බලා පිටත්ව ගියේ අනුරට චීනයෙන් පොරොන්දු වූ ආධාර සහ සහන මල්ල සම්බන්ධයෙන් යළිත් සාකච්ඡා කිරීම සඳහාය. අනුරගේ චීන සංචාරයේදී හම්බන්තොටට පිරිපහදුවක් ඉදිකිරීම, මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටස ගොඩනැගීම, ඉදිකිරීම් ප්‍රමාද වීම හේතුවෙන් ගෙවීමට තිබූ හානිපූර්ණ මුදල් කපාදැමීම, පෝර්ට් සිටියේ ආයෝජන සිදුකිරීම ආදිය සිදුකිරීමට චීනය පොරොන්දු වුවද, චීන පර්යේෂණ නෞකාවන්ට ලංකා මුහුදු තීරයට ඇතුළු නොවීමට ඉඩ ප්‍රස්ථා ලබාදී නොතිබීම හේතුවෙන් අදාළ සහන පැකේජය ලබාදීම අත්හිටුවීමට චීනය කටයුතු කොට තිබිණ. මන්ද යත් චීනය සිය පර්යේෂණ නෞකාවන්ට ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට ඉඩ ලබා නොදීම දැක තිබුණේ ඔවුන්ගේ අභිමානයට එල්ල කළ ප්‍රහාරයක් ලෙසටය. ආණ්ඩුව පැත්තෙන් කියැවෙන්නේ තවමත් ඊට අදාළ නිර්ණායකයන් ඇතුළත් සංශෝධනයන් සිදුකර නොමැති බවය.

කෙසේවෙතත් චීනය සමග ඉදිරි ගමනක් යෑම සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුව ඇතුළේ මත දෙකක් පවතින ආකාරයක්ද දැකගන්නට තිබේ. දැඩි චීන හිතවාදී ස්ථාවරයක සිටින ටිල්වින්, බිමල් කණ්ඩායම චීනය සමග ඉදිරියට යායුතු බවට වූ මතයේ සිටිද්දී හරිනි ඇතුළු ලිබරල් කණ්ඩායම සිටින්නේ බටහිර රටවල් සමග ඉදිරියට යායුතු බවට වූ ස්ථාවරයකය. ජනාධිපතිවරයා වශයෙන් අනුර සිටින්නේ මේ මත දෙකටම මැද තැනකය. ආණ්ඩුව ඇතුළේ චීනය සම්බන්ධයෙන් මෙවැනි කඹ ඇදිල්ලක් පවතිද්දී ටිල්වින් හදිසියේම චීනය බලා පිටත්ව ගොස් තිබුණේ ලොකු වැඩකටයුත්තකට බව මේ වනවිට චීනය පැත්තෙන් අපට ලැබෙමින් පවතින ආරංචිවලින් දැනගන්නට තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයන් සමග ටිල්වින් පැවැත්වූ සාකච්ඡාවලදී දැඩි වශයෙන් අවධානයට යොමුකර ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ඍජු සබඳතාවක් ගොඩනැගීම සම්බන්ධයෙන්ය. ඊට කළ යුතු කාර්යයන්, අනුගමනය කළ යුතු උපක්‍රමයන් සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවක් දැනගන්නට තිබේ. එහිදී ආරම්භයක් ලෙසට චීනය විසින් දියත් කොට ඇති ‘බෙල්ට් ඇන්ඩ් රෝඩ්’ හෙවත් ‘එක් තීරයක් – එක් මාවතක්’ ප්‍රතිපත්තියට අනුගතව කටයුතු කිරීමට ටිල්වින්ගේ පැත්තෙන් කොළ එළිය දැල්වී ඇති බවක් දැනගන්නට ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීද දැඩි චීන හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කෙරුණු අතර, එවකදී ඊට විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වූ ආකාරයක් දැකගත හැකි විය. නමුත් ටිල්වින්ගේ චීන සංචාරයේදී නැවත වතාවක් මෙම බෙල්ට් ඇන්ඩ් රෝඩ් හෙවත් එක් තීරයක් එක් මාවතක් චීන ප්‍රතිපත්තිය යළි පණගැන්වීමට යෝජනා වී තිබීම විශේෂිතය. ජින්පින් සහ ජනාධිපති අනුර අතර සබඳතාව ගොඩනැගීමේ පළමු පියවර ලෙස ඊට අනුගත වීමට ලංකාව පැත්තෙන් එකඟතාව පළවී ඇති බවක් දැනගන්නට ඇත.

මීට අමතරව චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජවිපෙ අතර හුවමාරු වැඩසටහන් රැසක්ද ආරම්භ කිරීමට මෙහිදී සාකච්ඡා වී ඇති බව පැවැසේ. එහිදී ජවිපෙ සාමාජිකයන් හට චීනයේදී විශේෂ පුහුණුවක් ලබාදීමට අමතරව රාජ්‍ය නිලධාරීන්ටද චීනය හරහා විශේෂ පුහුණුවක් ලබාදීමට යෝජනා වී ඇති බවක් දැනගන්නට ඇත. ඒ අනුව දෙරට අතර කිසියම් සහයෝගිතාවක් ගොඩනැගීම දෙපාර්ශ්වයේ බලාපොරොත්තුව වී තිබේ. එහි අවසන් අරමුණ වී ඇත්තේ ඒකාබද්ධ අරමුණක් වෙනුවෙන් දෙරට අතර ප්‍රජාවක් නිර්මාණය කිරීමේ ඉලක්කයය. ඒ හරහා දෙරටේ නායකයන් අතර සමීප සබඳතාවක් ඇතිකිරීම, චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජවිපෙ අතර සමීප සබඳතාවක් ඇතිකිරීම පමණක් නොව, දෙරටේ රාජ්‍යතන්ත්‍රයන් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන්ද ටිල්වින් සහ චීන බලධාරීන් අතර යම් එකඟතාවක් ඇතිවී ඇති බවද දැනගන්නට තිබේ. මෙම එකඟතාව හරහා ජනාධිපති අනුරගේ හදිසි චීන සංචාරය සැලසුම් වුණත් යම් යම් හේතු මත එය මේ වනවිට කල්ගොස් ඇති බවක් දැනගන්නට ඇත. නමුත් ජනාධිපතිවරයාගේ චීන සංචාරය අනිවාර්යයෙන්ම ඉදිරි කාලයේදී සිදුවීමට නියමිතව ඇති බවද ආරංචිය. එමෙන්ම ඉදිරි කාලසීමාවේදී ජවිපෙ මන්ත්‍රීවරුන් විශාල වශයෙන් චීන වැඩමුළුවලට සහ චීන සම්මන්ත්‍රණවලට සහභාගි වීමේ වාතාවරණයක්ද මේ වනවිට ගොඩනැගී තිබේ.

බදු වාසියක්

කෙසේ වෙතත් ජනාධිපතිවරයා හදිසියේම චීන සංචාරයක නිරත වීමට සැලසුම් කොට තිබුණද එය හිටිහැටියේම වෙනස් වූයේ ඇයි? ඇතැම් පාර්ශ්වයන් නම් කියන්නේ ලබන 03 වැනි දින ඇමෙරිකානු රජය විසින් ශ්‍රී ලංකාවට පනවනු ලබන තීරුබදු ප්‍රතිශතයන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති නිසා ඊට පෙර ජනාධිපතිවරයා චීන සංචාරයක නිරත වීම සුදුසු නොවන බවට සලකා එම සංචාරය කල්දමා ඇති බවකි. ට්‍රම්ප් ඉරානයට පහරදීම, ලොව සියලු රටවලට ඉහළ තීරුබදු පැනවීම ආදිය සිදුකළේ චීනය ආර්ථිකමය වශයෙන් බිඳහෙළීමේ මෙහෙයුමේ කොටසක් ලෙස බව බොහෝ දෙනාගේ ස්ථාවරය වී තිබේ. එම නිසා යම් හෙයකින් ජනාධිපතිවරයා හිටිහැටියේම චීනය දෙසට හැරුණහොත් ඇමෙරිකානු තීරුබදුවලට එය අහිතකර ලෙස බලපානු ඇති බවක් අනුමාන කොට එම චීන සංචාරය කල්දමා ඇති බවක්ද දැනගන්නට තිබේ. ඒ කොයිහැටි වෙතත් ලබන සතියේ ප්‍රකාශයට පත්කිරීමට නියමිත ට්‍රම්ප්ගේ ලංකාව සම්බන්ධ තීරුබදු ප්‍රතිශතයන් බොහෝ දුරට ලංකාවට වාසිසහගත අයුරින් සංශෝධනය වනු ඇති බව අපට ඇති ආරංචිවලින් වාර්තා වී තිබේ.

නැවට කොළ එළියක්

මේ ආකාරයට චීනය හා ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා අතර විවිධ එකඟතාවන් ඇතිවෙද්දී චීන පර්යේෂණ නෞකා සම්බන්ධයෙන්ද කිසියම් එකඟතාවක් මතුව ඇති බවක් බොහෝ දෙනාගේ අදහස වී ඇත. නමුත් ඒ සම්බන්ධයෙන් තහවුරු කළ පුවත් තවමත් කිසිදු පාර්ශ්වයකින් අප වෙත ලැබී නැත. චීනයෙන් ලැබුණු ඉල්ලීම්වලට අනුව තවමත් ආණ්ඩුව සඳහන් කොට ඇත්තේ එම නෞකා ලංකා මුහුදු සීමාවට ඇතුළු කිරීම සම්බන්ධයෙන් වූ නිර්ණායකයන් සහ ගිවිසුම් සංශෝධනය කරමින් ඇති බවකි. ඊට අදාළ ගිවිසුම ප්‍රකාශයට පත්කිරීම තවත් කල් යනු ඇති බවක්ද එහිදී කියැවිණි.

මේ අතරවාරයේ මීට සති කීපයකට ඉහතදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කාර්යාලය හරහා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කොට තිබුණේ ඔවුන්ට අයත් පර්යේෂණ නෞකාවකට ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වීම සඳහා අවසර ලබාදෙන ලෙසය. එම නෞකාව සැලකෙන්නේ චීන පර්යේෂණ නෞකාවන් හා සමාන තත්ත්වයේ පර්යේෂණ නෞකාවක් ලෙසය. නමුත් මෙම ඉල්ලීම ඉදිරිපත් වූ වහා ලංකාව පාර්ශ්වයෙන් දැනුම් දී තිබුණේ පර්යේෂණ නෞකාවන්ට මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම සඳහා අවසර ලබාදීම සඳහා නිර්ණායක ඇතුළත් ගිවිසුම මෙතෙක් සකස් කර නොමැති නිසා ඊට අවසර ලබාදිය නොහැකි යැයි කියාය. නමුත් ඒ වනවිටත් අදාළ නැව මොරිෂස් දක්වා පැමිණ තිබූ අතර, ඊළඟ නවාතැන්පළ ලෙස වාර්තා වී තිබුණේ ශ්‍රී ලංකා මුහුදු සීමාවය. එමෙන්ම ඒ වනවිටද ශ්‍රී ලංකාවේ නාවික ප්‍රවීණයන් මොරිෂස් බලා පිටත්ව ගොස් අදාළ නැවට ගොඩවී එය පරීක්ෂා කර බැලීමටද පියවර ගෙන තිබිණි. ලංකා මුහුදු සීමාවේ ගතකරන කාලසීමාවේදී මෙරට මුහුදු සීමාවේ මත්ස්‍ය අස්වැන්න නීර්ණය කිරීම, ජෛව විවිධත්වය අධ්‍යයනය කිරීම සහ සිතියම්ගත කිරීම යනාදිය සිදුකිරීමට නියමිත බව ඔවුන් මෙරටට දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත් ලංකාව පැත්තෙන් මෙම එක්සත් ජාතීන්ගේ නෞකාවට මෙරට මුහුදු සීමාවට පැමිණීමට ඉඩ ලබාදීමට නොහැකි බවට දැනුම් දීමත් සමග එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉතා දැඩි ප්‍රතිචාරයක් මෙරට බලධාරීන්ට ලැබිණි. එහිදී ඔවුන් කියා සිටියේ අදාළ නෞකාවට ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ශ්‍රී ලංකාව අස්සන් තැබූ හරිත කාලගුණික අරමුදල් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඩොලර් මිලියනයක ආධාර මුදලක් අහිමි වනු ඇති බවත්, අදාළ නෞකාව පැමිණෙන්නේ එම ගිවිසුම යටතේ බවත්ය.

බංග්ලාදේශයෙන් ලියුමක්

මෙ අතර එක්සත් ජාතීන්ගේ මෙම නෞකාවට ලංකා මුහුදු තීරයට ඇතුළත් වීමට ඉඩ නොදෙන බවට වූ තොරතුර බංග්ලාදේශයටද වාර්තා වී තිබිණි. ඒ අනුව බංග්ලාදේශය වහාම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් යොමුකරමින් දැනුම් දී තිබුණේ ශ්‍රී ලංකාව ඊට අනුමැතිය ලබා නොදෙන්නේ නම් තම රට ඒ සඳහා අනුමැතිය ලබාදීමට සූදානම් බවත්, එක්සත් ජාතීන්ගේ පර්යේෂණ නෞකාව සඳහා බංග්ලාදේශ මුහුදු සීමාව විවෘත බවත්ය.

මේ ආකාරයට මෙම නෞකාවේ අර්බුදය දරුණුවට යද්දී බංග්ලාදේශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් යොමුකර ඇති බවක් ආණ්ඩුවටද වාර්තා වී තිබිණි. ඒ අනුව එම ලිපිය යවා දින කීපයක් ඇතුළත ආණ්ඩුවෙන් යැවූ ලිපියක සඳහන්ව තිබුණේ අදාළ නෞකාවට ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට ඉඩ ලබාදිය හැකි යැයි කියාය. දින 05ක කාලයක් සඳහා අදාළ නෞකාවට ලංකාවට පැමිණීමට හැකි බවත්, එම කාලය අගෝස්තු 15 වැනිදා සිට 20 වැනිදා දක්වා වෙන්කළ හැකි බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව තිබිණි.

මේ අයුරින් ලංකා ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂි වැඩසටහනට අයත් පර්යේෂණ නෞකාවකට ලංකා මුහුදු සීමාවට අවසර ලබාදීමත් සමග ආණ්ඩුවට යළිත් වතාවක් බරපතළ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව තිබේ. ඒ, චීන ගමනේදී ජනාධිපතිවරයාත් එකඟ වූ, ටිල්විනුත් එකඟ වූ චීන පර්යේෂණ නෞකාවන්ට ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන්ය. ලංකාව එක්සත් ජාතීන්ගේ නෞකාවට මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට ඉඩ ලබාදිය යුත්තේ අනිවාර්යයෙන්ම ඊට අදාළව සංශෝධනය කළ ගිවිසුමට අනුකූලව විය යුතුය. ඒ අනුව, අදාළ ගිවිසුම මේ වනවිට සකසා අවසන්ව තිබිය යුතුය. එම නිසා දැන් ආණ්ඩුවට චීන පර්යේෂණ නෞකාවන්ටද මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම සඳහා අදාළ නිර්ණායකයන්ට අනුව ඉඩ ලබාදීමට සිදුව තිබේ. එමෙන්ම ඇතැමුන් සැක පළකරන්නේ චීන පර්යේෂණ නෞකාවන්ට ලංකාවට ඇතුළු වීමට ආරම්භයක් ලබාගැනීම සඳහා ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ පර්යේෂණ නෞකාට ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට පළමුව ඉඩ ලබාදුන්නා යැයි කියාය. ඒ අනුව චීන පර්යේෂණ නෞකාවන්ට තිබූ තහනම බොහෝ දුරට ඉදිරි සති කීපය ඇතුළත අහෝසි වී යනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

යම් හෙයකින් ඒ අයුරින් චීන පර්යේෂණ නෞකාවන්ට ශ්‍රී ලංකා මුහුදු තීරය විවෘත වුවහොත් අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ චීනය හා ලංකාව අතරත්, අනුර සහ ජින්පින් අතරත්, ජවිපෙ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතරත් කිසිදා බිඳලිය නොහැකි සුවිශේෂ සබඳතාවක් ගොඩනැගෙනු ඇතැයි කියාය. එසේ වුවහොත් චීන ආධාර දිගින් දිගටම ලංකාවට ලැබෙනවා පමණක් නොව, චීනය පොරොන්දු වී තිබූ සහන මල්ලද ලංකාවට ලැබෙනු ඇත. එය ආණ්ඩුවේ අනාගතයට සහ ලංකාවේ ආර්ථිකයට අතිවිශාල දායකත්වයක් සැපයීමේ ඉඩකඩක් ඇති නමුත්, මෙසේ චීන පර්යේෂණ නෞකාවන්ට ලංකාවේ දොරටු විවෘත කිරීම හරහා තවත් ගැටලු ගණනාවක් මතුවනු ඇද්ද යන ගැටලුවද ආණ්ඩුව හමුවේ නැතුවා නොවේ.

හිටපු ලොක්කන් ගල්ගැහිලා

ආණ්ඩුව මේ දිනවල හොරු අල්ලන වැඩේට ජයටම සෙට් වී ඇත්තේ ඒ හරහා පසුගිය කාලයේ ආණ්ඩුවෙන් ගිලිහී යමින් පැවැති ජනප්‍රසාදය යළිත් වතාවක් ගොඩනැගෙන බවක් දැකගන්නට ලැබීම නිසාය. ඒ අනුව පසුගිය සති කීපයේදී අල්ලස් කොමිසම මගින් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද හිටපු දේශපාලනඥයන්, ඔවුන්ගේ ඥාති පුතුන් සහ නිලධාරීන් රැසක්ම අත්අඩංගුවට ගත් ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී බොහෝ දුරට විමර්ශන සිදුකරනු ලබන්නේ අදාළ පුද්ගලයන් වත්කම් උපයාගත් ආකාරය පිළිබඳවය. එහිදී විමර්ශන අංශවලින් ලැබෙන තොරතුරුවලින් කියැවෙන්නේ බොහෝ දෙනකුට තමන් වත්කම් උපයාගත් ආකාරය පිළිබඳ හෙළිකිරීමට අපොහොසත් වී ඇති බවකි.

කෙසේ වෙතත් මේ ආකාරයට හිටපු දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වීමෙන් අනතුරුව එජාපයේ, පොහොට්ටුවේ සහ ශ්‍රීලනිපයේ හිටපු ප්‍රබලයන් විශාල පිරිසක් මේ වනවිට තක්කු මුක්කු වී සිටින ආකාරයක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. විශේෂයෙන්ම මේ පිරිස් අතර වසර ගණනාවක් තිස්සේ කොළඹින් කෝටි ප්‍රකෝටි ගණන් වටිනා ඉඩම්, නිවාස, සුඛෝපභෝගී මහල් නිවාස (අපාර්ට්මන්ට්) මිලදී ගත් විශාල පිරිසක් සිටින බව කියැවේ. මුලින් මේ පිළිබඳ විමර්ශන ආරම්භ වෙද්දී එය 40ක පමණ පිරිසක් වනු ඇති බව සඳහන් වුවද මේ වනවිට එම ප්‍රමාණය 300 ඉක්මවා ඉහළ ගොස් ඇති බවක්ද දැනගන්නට ඇත.

මෙම විමර්ශනයන්ට අමතරව මේ වනවිට තවත් අලුත් විමර්ශනයක්ද ආණ්ඩුව පැත්තෙන් ආරම්භ කොට තිබේ. ඒ, පසුගිය වසර ගණනාව තුළ ආණ්ඩුවේ ඉතා වටිනා ඉඩම් අක්කර සිය ගණනක් ලබාගෙන ඇති හිටපු දේශපාලනඥයන් සම්බන්ධයෙන්ය. මෙම හිටපු දේශපාලනඥයන් කෝටි ගණන් වටිනා මෙම ඉඩම් ආණ්ඩුවෙන් වගාකිරීමේ පදනම මත ලබාගෙන ඇත්තේ අක්කරය රුපියල් 1000ක් වැනි ඉතා අඩු මිලකට බව මේ වනවිට අනාවරණ වී තිබේ. කෘෂිකාර්මික පදනම මත ලබාගෙන ඇති මෙම ඇතැම් ඉඩම් මේ වනවිට අධික මිල ගණන් යටතේ විකුණා දමා ඇති බවත්, ඒවායේ කිසිදු වගාවක් සිදු නොකරන බවත් අනාවරණ වී ඇති අතර, සංචාරක වටිනාකමක් ඇති ප්‍රදේශවල ලබාගෙන ඇති ඉඩම් කෝටි ගණන්වලට වෙනත් පුද්ගලයන්ට විකුණා දමා ඇති බවක්ද අනාවරණ වී ඇත. ඒ අනුව මේ වනවිට මෙම රජයේ ඉඩම් ලබාගත් හිටපු දේශපාලනඥයන් සම්බන්ධයෙන් අලුත් විමර්ශනයක් ආරම්භ වී ඇති අතර, ඉදිරි කාලයේදී ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව සූදානමින් සිටින බවක්ද ආරංචිය.

මේ අතර, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙරාතුව සිටම අප මෙම තීරයෙන් අවස්ථා ගණනාවකදී රටට හෙළිකළ කාරණාවක් වූයේ මැති ඇමැතිවරුන් විශාල ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ රජයෙන් අල්ලස් වශයෙන් මත්පැන් බලපත්‍ර ලබාගෙන ඇතැයි කියාය. ඒවා වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් ලබාගෙන ඇති බවත්, සජබ, පොහොට්ටු, ශ්‍රීලනිප සහ දෙමළ සන්ධානයේ හිටපු මැති ඇමැතිවරුන් පවා මෙසේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් මත්පැන් බලපත්‍ර ලබාගෙන තිබූ බවත් අප අනාවරණ කර සිටියෙමු. ඒ අනුව මේ වනවිට වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් එසේ මත්පැන් බලපත්‍ර ලබාගත් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්ද, අදාළ මත්පැන් බලපත්‍ර ලබාගත් පුද්ගලයන්ගේ ආදායම් වියදම් සම්බන්ධයෙන්ද විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇති බවක්ද දැනගන්නට තිබේ. ඔවුන් මුදල් උපයාගත් ආකාරය කෙසේද, එම මුදල්වල ලාභාංශ බෙදීගොස් ඇත්තේ කෙසේද යනාදී සියලු කරුණු මේ වනවිට විමර්ශනය වෙමින් පවතින බවක්ද ආරංචිය. ඒ අනුව බොහෝ දුරට මේ විමර්ශනයන්වල ප්‍රතිඵල ඊළඟ මහ මැතිවරණය ආසන්නයේදී එළියට එනු ඇති බවත්, ඒ වනවිට හොඳ හොඳ තොරතුරු රටට අනාවරණ වනු ඇති බවත් බොහෝ දෙනාගේ මතය වී තිබේ.

මීට අමතරව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සමයේදී සිදුව ඇතැයි කියන තවත් විශේෂ සිදුවීමක් සම්බන්ධයෙන්ද මේ වනවිට විමර්ශනයක් ආරම්භ වී තිබේ. ඒ, රනිල් ජනාධිපතිවරයාව සිටියදී රනිල්ගේ බිරිය වූ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග ලන්ඩනයට ගිය සංචාරයකි. මෙම සංචාරය සම්බන්ධයෙන් ඒ කාලයේදී රනිල්ට කඩේ ගිය ඇතැමුන් පුවත්පත්වල, සිය ෆේස්බුක් පිටුවල කවි ගීතිකා ලියමින් කියා සිටියේ රනිල්ගේ බිරිය ඉතා සරළ, දූෂණයෙන් තොර පිරිසුදු කාන්තාවක් යැයි කියාය. සියලු කාන්තාවන්ට ආදර්ශයක් යැයි කියාය. සිය සැමියා ජනාධිපතිවරයා වුවත් කිසිදු ලොකුකමක් නැති කාන්තාවක් යැයි කියාය.

නමුත් මේ වනවිට චෝදනා එල්ලවෙමින් ඇත්තේ මෛත්‍රී වික්‍රමසිංහ රනිල් සමග ලන්ඩන් සංචාරයක නිරත වී ඇත්තේ ඇගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වීමට බවත්, ඒ සඳහා වැයි කොට ඇත්තේ මහජන මුදල් බවත්ය. මේ වනවිට ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්ද ආරම්භ වී තිබේ.

කෙසේ වෙතත් මෙරට සියලු මාධ්‍ය මේ සම්බන්ධයෙන් වාර්තා කරද්දී පසුගිය සිකුරාදා දිනයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය මගින් මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි. එහි සඳහන්ව තිබුණේ මෙවැන්නකි.

‘වර්ෂ 2023 සැප්තැම්බර් මාසයේදී 08 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කළ සංචාරය සම්බන්ධයෙන් පොලිසියට ආරෝපණය කරන ලද වාර්තා මාධ්‍ය විසින් පළකර ඇත.

එම සියලු චෝදනා වැරදිය. සත්‍යයෙන් තොරය. මේ අසත්‍ය චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන අතර ඉදිරියේදී නීති උපදෙස් අනුව වැඩිදුර පැහැදිලි කිරීම් කරනු ලැබේ.’
මේ අතර, මීට සති දෙකකට ඉහතදී අප මෙම තීරයෙන් විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ අගමැති හරිනි අමරසූරිය මහත්මිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත් තුන්වැනි පාර්ලිමේන්තු සතියේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටියා යැයි කියාය. නමුත් කුමන හෝ හේතුවක් මත ජනාධිපතිවරයා එම සතියේ පාර්ලිමේන්තුවට පැමිණියද ඒ විශේෂ ප්‍රකාශය සිදුකිරීමට පියවර ගෙන තිබුණේ නැත. නමුත් මේ වනවිට අපට දැනගැනීමට ලැබී ඇත්තේ ලබන සඳුදා දිනයේ පැවැත්වීමට නියමිත විශේෂ පාර්ලිමේන්තු දිනයේදී ජනාධිපතිවරයා විසින් ඒ විශේෂ ප්‍රකාශය සිදුකිරීමට සූදානමින් සිටිනවා යැයි කියාය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

මළ මිනියටත් සැත්කම් කළාද? සල්ලි කන මැෂිමක්ද? Sri Lanka Latest News

Next Post

එදත් මගේ හිත අද මෙන් කැපවී මේ අයුරින් පුද දෙන්න ඇතී…! Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.