මිනිහෙක් මනුස්ස ලෝකෙට එන්නේ සතෙකුට වඩා වෙනස් වෙන මොන මොනවා හරි විදිහේ ක්‍රියාකාරකම් ටිකක් කරන්න පුළුවන් හින්දා. ඇත්තටම සමහර සත්තුන්ට වඩා මිනිස්සුන්ට ගුණධර්ම, යහපත්කම්, මනුස්සකම් වගේ දේවල් පුරුදු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි සමහර මිනිස්සුන්ගේ මනුස්සකමට එහා ගිය තිරිසන් ලක්ෂණ මතු වෙන්න පටන් අරගන්නවා. ඒකට වයස, තරාතිරම, රස්සාව, මොකක්වත් වැදගත් නෑ. එහෙම මතු වුණාම, ඒ මිනිස්සු අතිශය අමානුෂික විදිහට වැඩකරන්න ගන්නවා. එහෙම අමානුෂික විදිහට වැඩ කරන්න ගන්න එවුන්ව තමයි කූඩුවල දාලා, මනුස්ස සමාජයෙන් ඈත් කරලා, වරප්‍රසාද අහිමි කරලා තියන්නේ. මොකද උන් මනුස්ස ලෝකෙට ආවට පස්සේ, මනුස්ස ලෝකෙට නොගැළපෙන වැඩ කරලා, මනුස්සකමට අගෞරව කරලා, මිනිස්සුන්ට හානි කරන හින්දා. දැන් මේ කතාව අයිති වෙන්නේ මනුස්සයෙකුටද සතෙකුටද කියන එක ඔබ තීරණය කරන්න. මේ කතාව ඇත්තද නැත්තද කියන එක අධිකරණය තීරණය කරයි. අධිකරණයට ලැබෙන සාක්ෂි මත, අධිකරණය තුළදී කතාබහ කරන දේවල් මත මේවා විසඳා ගනීවි. හැබැයි අපි මේ ලියන්නේ අධිකරණයට ලැබිච්ච, එහෙම නැත්නම් අගතියට පත් වෙච්ච මිනිස්සු ඇවිල්ලා කියපු කතන්දර මත. අපි උපකල්පනය කරනවා ඒ මිනිස්සු බොරු කියලා නැතුව ඇති කියලා. හැබැයි ලංකාවේ මීට කලින් සමහර දේවල්වලදී මිනිස්සු බොරු කියලත් තියෙනවා. Sri Lanka Latest News
මේ කාන්තාවගේ නම මහේෂි. සම්පූර්ණ නම කියන්නේ නැත්තේ, මේක බොරු වුණොත් ඒ මනුස්සයට අපිට නඩු දාන්න පුළුවන් හින්දා. ඇය ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥවරියක්. වැඩ කළේ ලංකාවේ තියෙන ප්‍රසිද්ධ රෝහලක. මේ මනුස්සයා ගැන මුල්ම ප්‍රශ්නේ එළියට එන්නේ ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතුවලට අවශ්‍ය කරන EVD සහ VPSHUNT කියන අයිතමය ගැන කතා කරද්දී. 2022දී මේක සාමාන්‍යයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ මිල වෙලා තියෙන්නේ 17,500යි. නමුත් මේක රුපියල් 46,500ක් විතර වෙනවා කියලා පසුව හොයලා බලද්දි අපිට දැනගන්න ලැබුණා. මේ මනුස්සයා අදාළ රෝහලට එන, මේ උපකරණය අවශ්‍ය වෙච්ච රෝගීන්ට මුලින්ම මේක තුළ වැඩකරන කට්ටියකුත් යොදාගෙන කරලා තියෙන වැඩේ තමයි, ඒක රෝහල තුළ නෑ කියලා කියන එක. ඇත්තටම ඇය රෝහලට මේවා ඇණවුම් කරලා නෑ. ඇගේ අධීක්ෂණය යටතේ තමයි මේවා ඇණවුම් විය යුත්තේ. හැබැයි ඇයට අයිති වෙලා තිබිච්ච පුද්ගලික ආයතනයක මේවා විකුණන්න තියෙනවා. 17,500ක් වෙච්ච එක රු. 120,000 ඉඳලා 250,000 දක්වා මිලකට ඇගේ ආයතනයෙන් මේවා අලෙවි කළා කියලා තමයි කියන්නේ. එහෙම අලෙවි කරලා, අහිංසක රෝගීන්ගෙන් ආසන්න වශයෙන් ගත්තම රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කරලා තියෙනවා එක්කෙනෙක්ගෙන්. මේ වෙනකොට 80 ගණනක් දෙනා තමන් මේ අගතියට පත්වෙච්ච අය කියලා කරුණු පැහැදිලි කරලා තියෙනවා. තව එහෙම නොකියපු අයත් ඇති. එතකොට එතනම ගත්තත් නිකන් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 80ක් විතර තියෙනවා.
සමහර අය කියනවා රු. 120,000ට, රු. 250,000ට මේක දුන්නේ නැහැ, ලක්ෂ අටයි, ලක්ෂ දහයයි කියලත් තැන් තැන්වල කියනවා අපි දැක්කා. විවිධ සමාජ මාධ්‍යවලත් මේවා පළවෙලා තිබුණා. මේ මනුස්සයා එහෙම විකුණලා තියෙනවා. ඔබට බලනකොට නම් ඉතින් පොඩි වංචාවක් වගේ නේද? ලංකාවේ අපිට වංචා හරි හුරුයිනේ. අපි දැක්කා අධිකරණයේදී කරුණු දක්වද්දිත් කියනවා මේක හරි අහිංසක වැඩක් වගේ අදහස් දක්වන පැහැදිලි කිරීම්. මොකද ඇත්තටම ඈ කරලා තියෙන්නේ රෝහලේ නැති අයිතමයක්, ඇගේ භාරයේ තියෙන ආයතනයකින් විකුණලා තියෙන එක. මේක ලංකාවේ වෙන දෙයක්. විශාල ලාභ ලබාගැනීම තමයි වරද. විශාල ලාභ ලබාගැනීම ලංකාවේ සාමාන්‍ය ස්වභාවයනේ. එතකොට ඇගේ ආයතනයක් හින්දා ඇයට ඒක අලෙවි කරන්න පුළුවන්, ඇයට හිතෙන මුදලකට. රුපියල් ලක්ෂයයි වැඩි. මිනිස්සු ජීවත් වෙන්න උත්සාහ කරනකොට තමන්ගේ පවුලේ කෙනෙක් මියයා යැයි බියෙන් ගේදොර ඉඩකඩම් උකස් තියලා හරි මේවා අරන් දෙනවා කියලා මේ නෝනා මහත්මයා දැනගෙන ඉන්න ඇති.
බරපතළ දේ ඒක නෙමෙයි. මොළේ මියගිය රෝගීන්ට, එහෙම නැත්නම් මැරුණු මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ හෘදය වස්තුව මැෂින් එකකින් වැඩ කරන බව ඒ පවුලේ අයට පෙන්නලා ඒ මිනිස්සුන්ටත් මේ ඔපරේෂන් එක කළාය කියලා අධිකරණයේදී කියන බව සමහර තැන්වල සඳහන් වෙලා තිබුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඉදිරියේ තමයි මේ නඩුව කැඳවලා තිබුණේ. ඒ අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නීති අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි විමර්ශනයෙන් අනාවරණ වූ වැඩිදුර කරුණු පිළිබඳ ඉදිරිපත් කරලා තිබුණා.
‘ස්වාමිනි, වෛද්‍ය උපකරණ ලබාගැනීමේ නියමිත ක්‍රමවේදයක් තියෙනවා. ඒක තමයි ස්වාමිනි, අදාළ වෛද්‍යවරුන් විසින් වාර්ෂික ඇස්තමේන්තුවට අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ ඇතුළත් කරලා තමයි රෝහලට ගන්නේ. නමුත් ස්වාමිනි, මේ නඩුවේ පළමු සැකකාරිය වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් කරන්නේ නැහැ. ඇය විසින් සිදුකරන්නේ තමන්ගේ වාට්ටුවට ඇතුළත් වන රෝගීන්ට අදාළ වෛද්‍ය උපකරණ දෙක ලබාගන්න කියලා.’
ඒක තමයි ඇගේ පළවෙනි ප්‍රශ්නය. ඒක හරි. හැබැයි මේ මොළේ මියගිය රෝගීන්ට මේ විදිහට කළා කියන එක නම් ඇත්තටම විශ්වාස කරන්නත් පුළුවන් දෙයක් නෙමෙයි. රෝගියා මැෂින් එකේ තියාගෙන දෙවැනි ශල්‍යකර්මය කළා කියලා කියන්නේ. අන්තිමට රෝගියාගේ පෝස්ට් මෝර්ටම් එකේදි අනාවරණ වෙනවා රෝගියා මියගිහිල්ලා දවස් පහක් කියලා. හිස් කබලේ කෑල්ලකුත් අඩුයි. ඒ කියන්නේ මැරිච්ච මනුස්සයාව තමයි මේ විදිහට ප්‍රතිකාර සඳහා යොමුකරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ රෝගියා මියගිය බව ඇත්තටම සාමාන්‍ය මිනිහෙක්ට තේරෙන්නේ නැහැ. එතකොට, මෙන්න මේ මැරිච්ච මිනිස්සුන්වත් මැෂින් එකට ගහලා, හදවත වැඩකරන බව පවුලේ මිනිස්සුන්ට පෙන්නලා, මැරිච්ච මිනිහගේ ඔළුව ඔපරේෂන් කරලා, ඒකට අවශ්‍ය කරන උපකරණත් විකුණුවා කියලා අධිකරණය ඇතුළේ කියන්න හම්බවෙනවා. ඉතින් ඔබ තීරණය කරන්න මේවා මනුස්සයෙකුට ගැළපෙන දේවල්ද කියලා.
මං හිතන්නේ මේ ලෝකේ මේ විදිහේ දේවල් කරපු වෛද්‍යවරු වෙන නැතුව ඇති. මිනිහෙක් මැරුණම ඒ මෘත ශරීරය භාරදෙනවා මිසක, ඒ මැරුණ එකාගෙනුත්, කීයක් හරි ගරාගන්න තැනට පහත් තැනට වැටිච්ච අය හිටියා නම්, ඈ ඇත්තටම එහෙම කළා නම්, අධිකරණය මගින් ඒ පිළිබඳ සනාථ කරගන්න පුළුවන් වුණොත්, මේ සාක්ෂි ඇත්ත නම්, මේ වගේ වෛද්‍යවරුන්ට දෙන්න ඕනෙ දඬුවම මොකක්ද කියලා ඔබ තීරණය කරන්න. අපි යෝජනා කරන්නේ නම් තුන්වේලටම සල්ලි කන්න දීලා කාමරයක් ඇතුළේ වහලා දාලා තියන්න ඕනේ වෙන කිසි කෑමක් බීමක් නොදී. ඒ තරම් මළ පෙරේතකමක් තියෙන්නේ සල්ලිවලට.
මිනිහෙක්ට මනුස්සකමක් ලැබුණම, මේ මනුස්සයට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් වුණාම, සමාජය විසින් ඉහළ පිළිගැනීමක් දුන්නම, මනුස්සකම පුරුදු කරන්න මේ මිනිස්සුන්ව වෙනම තැන්වලට දාන්න ඕනේ. අපි ඉල්ලනවා, ඈ ඇත්තටම මේ වගේ වරදක් කරලා තියෙනවා නම්, ඈව කිසිම මනුස්ස ඇසුරකට එවන්න එපා. ඈ මේ මනුස්ස ලෝකෙට ගැළපෙන්නේ නැහැ. ඈට මේ මහ පොළොවේ ජීවත් වෙන්න බෑ. ඈට වෛද්‍යවරියක් තියා, මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්නවත් අවම මානුෂීය සදාචාරයවත් නැහැ.
මැරිච්ච මිනිහගේ මළකඳ ඔපරේෂන් කරලා, ඒ මළ කඳෙන් සල්ලි හම්බ කළා කියලා කියන්නේ මේ වගේ කාන්තාවන් කිසිසේත්ම මනුස්ස ලෝකෙට ගැළපෙන්නේ නැහැ.

ජීවන පහන් තිළිණ










