2025 පළාත් පාලන මැතිවරණය නිමාවුණා. ජාතික ජන බලවේගයට ජය ලැබුණා. නමුත් ඒක හිතපු තරම්ම දැවැන්ත නෑ. සමගි ජන බලවේගයට, එජාපයට, පොහොට්ටුවට විතරක් නෙමේ දිලිත් ජයවීරගේ සර්වජන බලයට පවා මේ ප්‍රතිඵලය මිත්‍රශීලී වෙලා තිබුණා. Sri Lanka Latest News
මහනගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275ක් ඇතුළු පළාත් පාලන ආයතන 339ක් සඳහා නියෝජිතයන් 8,000කට වැඩි ප්‍රමාණයක් තෝරාගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්වුණේ. කල්මුණේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර සෙසු පළාත් පාලන ආයතන සඳහා පමණක් මෙය වලංගු වුණා.
එහිදී ජාතික ජනබලවේගයෙන් සභික ධුර 3927ක්, සමගි ජන බලවේගයට සභික ධුර 1767ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 742ක්, එක්සත් ජාතික පක්ෂයට 381ක්, පොදුජන එකසත් පෙරමුණට 300ක්, ඉලංකෙයි තමිල් අර්සු කච්චි වෙත ආසන 277ක්, සර්වජන බලයට ආසන 226ක් හිමිවෙලා තිබුණා. ඒ අනුව එක් කණ්ඩායමකට බහුතර බලය හිමි පළාත් පාලන ආයතන ප්‍රධානියා පත්කිරීම ආරම්භ වුණා.
කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධුරය සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම දක්වාම සමගි ජනබලවේගය දිගින් දිගටම කියා සිටියේ කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමට ප්‍රමාණවත් ඡන්ද තමන් සතු බව. ඒ සඳහා විපක්ෂය නියෝජනය කරන සෙසු මන්ත්‍රීවරුන් රැසකගේ සහායද තමන්ට ඇතැයි, ඔවුන් හිතමින් උන්නා.
ජාතික ජන බලවේගයද, සමගි ජන බලවේගයද වෙනත් පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් නගරාධිපති ධුරය ලබාගැනීම සඳහා අවශ්‍ය බහුතරය සකස් කරගැනීමට මාසයකට වැඩි කාලය පුරාම උත්සාහ කරපු බව රහසක් නෙමේ.
නගරාධිපතිවරයා තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් වෙනුවට විවෘත ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලා සභිකයන් 60 දෙනකුගෙන් සමන්විත ලේඛනයක්ද සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කරනු ලබන්නෙ ඔය අස්සේ.
කෙසේවෙතත්, ජූනි 16 වැනිදා කොළඹ මහනගර සභාවේ පැවැති රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් ලබාගත්ත ව්‍රායි කැලී බල්තසාර් නගරාධිපති ධුරයට පත්වෙන්න සමත් වෙනවා.
යාපනය මහනගර සභාවෙත් මුල් පුටුවට මේ වතාවෙ එන්නෙ කාන්තාවක්. ඉලංකෙයි තමිල් අරසු කච්චි වෙතයි මේ බලය ලැබෙන්නේ. විවේකානන්ද රාජා මදිවදිනි මහත්මිය පත්වෙන්නෙ සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සහාය ලැබූ අපේක්ෂිකාව විදියට. යාපනයේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම ඡන්දය ලබාදීමෙන් වැළකී ඉන්න තීරණය කරනවා.
රත්නපුර, කල්පිටිය සහ දඹුල්ල පළාත් පාලන ආයතනවල සභාපතිවරයා තේරීම් අවස්ථා මුල්ම දිනයේදී ජයගැනීමට ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් සමත් වෙනවා. දඹුල්ල ප්‍රාදේශීය සභාවේදී සමගි ජනබලවේගය සහ පොදුජන පෙරමුණ වෙන වෙනම සභාපති ධුරය වෙනුවෙන් තරග කිරීම විශේෂත්වයක්.
එදිනම අනුරාධපුර දිස්ත්‍රික්කයට අයිති කැබිතිගොල්ලෑව ප්‍රදේශීය සභාවෙ බලය ලබාගන්න සමගි ජන බලවේගය සමත් වුණා.
පඬුවස්නුවර සහ මිනිපේ ප්‍රදේශීය සභාවල සභාපති ධුර සඳහා පත්වෙන්නෙ ජාතික ජන බලවේගය නියෝජනය කරන අපේක්ෂකයන්.
ඉන් පස්සෙ මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් පත්වුණු අපේක්ෂයෙක්ට සභාපති පුටුව ලැබෙද්දී කුලියාපිටිය පළාත් පාලන ආයතනයෙ බලය පොදුජන පෙරමුණට ලැබුණේ මාලිමාවට අයත්ව තිබූ දැවැන්ත බලය පරදවමින්.
ඒ අතර ගාල්ලෙන් ආවෙ අමුතු තාලෙ ප්‍රතිඵලයක්. සභාපතිවරයා ජාතික ජන බලවේගයෙන් පත්වෙනකොට උපසභාපති පුටුවට පොදුජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්දු පත්වෙලා තිබුණා. ඒ වෙලාව සමගි ජන බලවේගයේ අය බොහොම කලබල වුණු බවකුත් ආරංචියි.
තලවකැලේ ආගරපතනදී මාලිමාවෙ සහායත් ඇතිව තොණ්ඩමන්ලගෙ පිලේ සත්‍යමූර්ති රතිදේවි නෝනා සභාපති වෙද්දී මාලිමාවට ලැබුණෙ උපසභාපතිකම. කින්නියා සහ ගාල්ල නෙලුවෙ බලය ලැබුණෙ සජබයට.
17 වැනිදා වෙනකොට කුරුණෑගල මහනගර සභාවෙ බලය පිහිටුවන්න මාලිමාවට පුළුවන් වුණා. ලංකාවෙ තවත් තීරණාත්මක නගර සභාවක් වුණු කුරුණෑගල නගර සභාව කොහොමත් ඒ වෙනකොට ජයග්‍රහණය කරලා තිබුණේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම විසින්.
ගලේවෙල ප්‍රාදේශීය සභාවෙ බලය පහසුවෙන් ජාතික ජන බලවේගයට ලැබුණු අතරෙ, වව්නියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාවෙ උපසභාපතිවරයා පත්කරගැනීම සුවිශේෂ එකක්. මේ ප්‍රදේශීය සභාවේ සභාපති ධුරය ලැබුණේ ජාතික ජන බලවේගයට. ඡන්ද දොළහක් ගත්ත සුදර්ශන චාමර මේ ජයග්‍රහණය හිමිකර ගත්තා. උපසභාපති ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් ගුණපාලගේ සරත් මධු කියන නම යෝජනා කළා. විශේෂම දේ වුණේ ඒ නම ස්ථිර කළේ ජාතික ජන බලවේගයෙන් වීම. ඔහු නිතරගයෙන් තේරීපත් වුණා. තනතුරුවලට පොරකන අස්සෙ, සමගියෙන් බෙදාහදාගෙ වැඩ කරන එකට මේ අය අපූරු පාඩමක් රටටම ඉගැන්නුවා.
කොළොන්නාව නගර සභාවෙ තත්ත්වය මේකෙන් අනිත් පැත්ත. සජබෙ මන්ත්‍රීවරයෙක්ගෙ සහාය ඇතිව නගර සභාවෙ බලය මලිමාවට ලැබුණා. සජබෙ මන්ත්‍රීගෙ පක්ෂ සාමාජිකත්වය හැරෙන තැපෑලෙන් තහනම් කරන්න සජබය පියවර ගත්තා. මොන්ටි ධම්මික මහත්‍තයා මේ විදියට කොළොන්නාව නගර සභාවෙ නගරාධිපති ධුරයට පත්වුණා.
මේ අතර සීතාවකදී රහස් ඡන්දය ආන්දෝලනාත්මක වෙලා සභාපති පත්කිරීම නැවතුන බවයි වාර්තා වුණේ.
18 වැනිදා නුවරඑළිය මහනගර සභාවෙ බලය ජාතික ජන බලවේගය විසින් හිමි කරගන්න කොට එදාම කහවත්ත ප්‍රාදේශීය සභාවෙත්, කුලියාපිටිය නගර සභාවෙත් බලය සජබයට ලැබුණා.
ඒ අතර බේරුවල නගර සභාව පිහිටුවීම හදිසියෙම අත්හිටුවන්න වුණා. ඒකට හේතුව වුණේ සභාව රැස්වීමට අදාළ ලිපිය නිවැරදිව ලැබී නොතිබීම්.
හික්කඩුව, තලවකැලේ සහ ලිඳුල ප්‍රාදේශීය සභාවල බලය 19 වැනිදා ජාතික ජනබලවේගය විසින් හිමි කරගත්‍තා.
පහත හේවාහැට, වත්තල, මාබෝල, බිංගිරිය, වැලිගෙපොළ, පන්නල බලය තමන් සතුකරගන්න සජබයට හැකි වුණා.

ජීවන පහන් තිළිණ










