දිනෙන් දින උණුසුම් වන මැදපෙරදිග අර්බුදයේ යුද ගිනිදැල්වල රස්නය මේ වනවිට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවටද දැනෙන්නට පටන්ගෙන තිබේ. Sri Lanka Latest News
පසුගිය පාර්ලිමේන්තු සතියේ පාර්ලිමේන්තුව රැස්වූ දින 04 තුළදීම මැතිසබය බොහෝ අවස්ථාවලදී උණුසුම් වූයේ මැදපෙරදිග රස්නය පාර්ලිමේන්තුවට දැනෙන්නට වූ නිසාය.
ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇතිව තිබෙන යුද්ධයට දින කිහිපයක් මේ වනවිට ගතවී ඇති අතර මෙම ගැටුම අංශ කීපයකින්ම ශ්‍රී ලංකාවට එල්ල කරනුයේ දැනෙන බලපෑමකි. එම අංශවලට අමතරව දේශපාලනමය වශයෙන්ද යම් යම් බලපෑම් අප රටට සිදුවන බව පසුගිය සතියේ මැතිසබය දෙස බලන විට පෙනීයයි.
ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයන් 20,000ක් පමණ සිටින අතර, ඔවුන් සියලු දෙනා වාගේ විවිධ වෘත්තීන්වල නියැළී සිටිති. පසුගිය කාලයේදී කෘෂිකර්මාන්තයේ විවිධ රැකියා සඳහාද පිටත්ව ගිය පිරිස් මේ අතර සිටියි. ඔවුන්ගේ විදේශ විනිමයෙන් මෙරට ආර්ථිකයට ලැබුණේ විශාල ශක්තියකි.
තවත් ශ්‍රමිකයන් විශාල පිරිසක් ඊශ්‍රායලයට යෑමට සූදානමින් සිටින අවස්ථාවකදී මෙම ඊශ්‍රායල්-ඉරාන ගැටුම ඇතිවීම නිසා මේ වනවිට එම රැකියාවලට පිටත් කර යැවීම තාවකාලිකව නතර කර තිබේ.
මේ වනවිට නිවාඩුවට ඊශ්‍රායලයේ රැකියාවල නිරතව සිටි 300කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ සිටින අතර, ඔවුන්ටද නැවත ඊශ්‍රායලයට යෑමට නොහැකි වී තිබේ.
ඊශ්‍රායලයට සාපේක්ෂකව ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ඉතා අඩුය. එම ප්‍රමාණය 35කට ආසන්න වේ. ඉරානය සමග ප්‍රබල ශ්‍රමික සම්බන්ධයක් නොතිබුණාට ඉරානය සමග අප රටට ඇත්තේ දැඩි ආර්ථික බැඳීමකි.
වසර ගණනාවක් තිස්සේ අපගේ තේ අපනයනයෙන් වැඩිම පංගුවක් මිලදී ගන්නේ ඉරානයයි. ඊට අමතරව ඛනිජ තෙල් මිලදී ගැනීමේදී සැලකිය යුතු ප්‍රමාණයක් අප මිලදී ගන්නේද ඉරානයෙනි.
මෙම මැදපෙරදිග ගැටුම්කාරී අර්බුදය හේතුවෙන් මේ වනවිට ලෝක වෙළෙඳ පොළහි බොරතෙල් මිල ඉහළ ගොස් ඇත. මේ වනවිට එහි අගය 7%කින් පමණ ඉහළ ගොස් තිබේ.
මැදපෙරදිග යුද ගිනි සමග තෙල් අර්බුදයක් පැනනගී කියා සිතූ ඇතැම් පිරිස් පසුගිය දිනවල තෙල් පෝලිම්වල සිටි අතර, ආණ්ඩුව ඊට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කළේ කිසිදු තෙල් අර්බුදයක් නොමැති බවයි. අගෝස්තු මාසය වනතුරු ප්‍රමාණවත් තෙල් සංචිත රට සතු බවත්, ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
විදේශගත ශ්‍රමිකයන්ගෙන් පැමිණෙන විදේශ විනිමය, තේ අපනයනය, තෙල් ආනයනය ඇතුළු රටේ ආර්ථිකයට ඍජුවම බලපාන කාරණා රැසක් හේතුවෙන් මැදපෙරදිග අර්බුදය ශ්‍රී ලංකාවට ඍජුවම බලපායි. එය මෙරටට පමණක් නොව ආසියානු කලාපයේ රටවල් ඇතුළු තවත් බොහෝ රටවලට විශේෂයෙන්ම ඛනිජ තෙල් යන කාරණයේදී ප්‍රබල බලපෑමක් කරනු ඇත.
මෙම කාරණා සමග රත්වුණු මැදපෙරදිග අර්බුදය මෙරට පාර්ලිමේන්තුවට බලපෑවේ කොහොමද? එය මෙරට පාර්ලිමේන්තුව උණුසුම් කළේ කුමන ආකාරයකටද?
ඊශ්‍රායල-ඉරාන යුද්ධය මගින් මෙරටට සිදුවන බලපෑම පිළිබඳ හදිසි විවාදයක් සමගි ජන බලවේගය ප්රමුඛ විරුද්ධ පක්ෂය ඉල්ලා සිටීම නිසා පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ වූ අවස්ථාවේදී මැතිසබය දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගත්තේය.
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් විවාදයක් ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටි අතර, පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයාත්, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන දෙදෙනාම කියා සිටියේ ඊට පෙර දිනයේත් මේ ගැන සවස කල්තැබීමේ විවාදයේදී ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශ කළ බවයි.
එය ප්‍රමාණවත් නොමැති බව පැවැසූ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කියා සිටියේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20ක් නැගී සිටිමින් මෙම හදිසි විවාදය ඉල්ලා සිටින බවයි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇතුළු විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40කට ආසන්න සංඛ්‍යාවක් නැගීසිටිමින් මෙම විවාදය ලබාදෙන ලෙස පාර්ලිමේන්තුවේ කතානායක ජගත් වික්රමරත්නගෙන් ඉල්ලා සිටියහ.
18 වැනි දින මෙසේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වී කතානායකවරයාගෙන් මෙම විවාදය ඉල්ලා සිටියේ ඊට පෙර දින එනම් 17 වැනිදා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ කතානායකවරයා අතර ඇතිවූ යම් උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙනි.
මැදපෙරදිග ගැන යම් කාරණයක් මතුකිරීමට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා නැගීසිටි අතර, කතානායකවරයා එහිදී කියා සිටියේ පොයින්ට් එක කුමක්ද කියාය.
විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලකද එම අවස්ථාවේ නැගී සිටිමින් කියා සිටියේ එය ඉදිරිපත් කිරීමට විනාඩි එකහමාරක් ලබාදෙන ලෙසයි. එය ඉදිරිපත් කළ විට කතානායකතුමාට තේරුම්ගත හැකි වන බවද ගයන්ත කියා සිටියේය.
කතානායකවරයා දිගින් දිගටම කියා සිටියේ අදාළ රීති ප්රශ්නය හෝ පොයින්ට් එක කුමක්ද කියාය. එය වෙනම යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ හැකි බව ප්‍රකාශ කළ කතානායකවරයා කියා සිටියේ මේ අවස්ථාවේදී ඊට ඉඩක් ලබාදීමට නොහැකි බවයි. එම නිසා එදින න්‍යාය පත්‍රය අනුව පාර්ලිමේන්තුවේ වැඩකටයුතු සිදුකරගෙන යායුතු බවද කතානායකවරයා කියා සිටියේය.
කතානායකවරයාගේ එම තීරණයට එකඟ නොවූ විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැගිට කෑකෝ ගසමින් එම විවාදය සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉලලා සිටියහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, අජිත් පී. පෙරේරා, මුජිබර් රහුමාන්, දයාසිරි ජයසේකර, හෙක්ටර් අප්පුහාමි ඇතුළු මන්ත්‍රීවරු නැගීසිටිමින් කතානායකවරයාගේ එම තීරණයට විරෝධය පළකරමින් කෑකෝ ගසන්නට වූහ.
ඒ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ ඇතැම් ජනතා නියෝජිතයන්ද විරුද්ධ පක්ෂයට ප්‍රතිචාර දැක්වීම නිසා සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මෙහිදී නැගීසිටිමින් කියා සිටියේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම අනුමත කළ නොහැකි බවයි. කතානායකතුමාට මෙසේ අපහාස කිරීම අනුමත කළ නොහැකි බවත්, මැදපෙරදිග කරුණු ඉදිරිපත් කිරීමට විපක්ෂයට ලබාදී තිබෙන අවස්ථා ප්‍රයෝජනයට නොගෙන මෙසේ සභාවේ කටයුතුවලට බාධා කිරීම පිළිගත නොහැකි බවද නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.
කතානායකතුමා විපක්ෂයට අවස්ථාව ලබා නොදීම අසාධාරණ බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු තවත් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සභාව වර්ජනය කරමින් සභාවෙන් නික්ම ගියේ කතානායකවරයාට සිය විරෝධය පළකිරීම සඳහාය.
ඉන් අනතුරුව අජිත් පී. පෙරේරා, ගයන්ත කරුණාතිලක, රාමනාදන් අර්චුනා යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේදීම හදිසි මාධ්‍ය හමුවක් කැඳවූයේ මේ ගැන සාකච්ඡා කිරීමටය.
‘කාතානායකතුමා මේ ආකාරයට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කතාකිරීමට අවස්ථාවක් ලබා නොදීම බරපතළ තත්ත්වයක්. අපි දවස් කීපයක් මේ ගැන බැලුවා. අපි මයික් එකට අවස්ථාව ගන්නේ හරිම අඩුවෙන්. ඒක නිසා කතානායකතුමාට එරෙහිව අන්තර් පාර්ලිමේන්තු සංගමයටත්, පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයටත් පැමිණිලි කරනවා…’ යනුවෙන් අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළේය.
රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා කියා සිටියේ තමාට දින විශාල ගණනක් කතාකිරීමට කතානායකතුමා අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් තමන් ජිනීවා මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කරන බවයි.
ආණ්ඩු පක්ෂය කියන ආකාරයට එදින විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකතුමාට අපහාස නොකළ බවද අර්චුනා මන්ත්‍රීවරයා පෙන්වා දෙන ලදී.
කොහොම නමුත් 18 වැනිදා මන්ත්‍රීවරුන් නැගීසිටිමින් ඉල්ලා සිටි හදිසි විවාදය එදින සවස 3.30ට ලබාදීමට කතානායකවරයා තීරණය කළේ ආණ්ඩු පක්ෂයද ඒ සඳහා එකඟ වූ නිසාය.
නමුත් එදින සවස 3.30ට එම යෝජනාව ඉදිරිපත් කළ අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා සභාවේ නොමැති නිසා ඒ වෙනුවෙන් යෝජනාව ඉදිරිපත් කළ නිසාම් කාරියප්පර් මන්ත්‍රීවරයාගේ යෝජනාව පිළිගැනීමට ආණ්ඩු පක්ෂය එකඟ නොවීය.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සහ සම්ප්රදාය අනුව යෝජනාව ඉදිරිපත් කළ අදාළ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවයි.
ඒ අනුව පාර්ලිමේන්තුව ඊට පසු දින දක්වා කල්තැබීමට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක රිස්වි සාලි තීරණය කළේය.
ඒ සමගම මැතිසබය යළි උණුසුම් විය. කෙසේ නමුත් 19 වැනිදා සවස 3.30ට තමා පාර්ලිමේන්තුවට පැමිණෙන විට හදිසි අනතුරක් සිදුවූ බවත්, තමා පැමිණියේ විනාඩි 4ක් පසුවී බවත් අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් පසුගිය සතිය තුළ මැදපෙරදිග අර්බුදය ගැන විපක්ෂයේ මන්ත්‍රීවරුන් අසන ලද සෑම ප්‍රශ්නයකටම විස්තරාත්මක පිළිතුරක් ලබාදීමට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් කටයුතු කළේය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු










