හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය කාලයේ සිටියේ ඉතාම නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින්ය. නමුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ විවිධ කරුණු හෙළිදරව් වෙද්දී හිටිහැටියේම සිය නිහඬතාව බිඳිමින් මෛත්‍රිපාල පසුගිය සතියේ චණ්ඩියකු මෙන් අදහස් දැක්වීමට පටන්ගත් ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම විවිධ පුවත්පත්වලට හා යූටියුබ් නාළිකාවන්ට සාකච්ඡා ලබාදෙමින් මෛත්‍රිපාල රටේ අවධානය තමන් වෙතට ගැනීමට උත්සාහ දැරුවා පමණක් නොව පාස්කු ප්‍රහාරයෙන් එල්ලවන තොරතුරු වෙන අතකට පෙරළීමේ උත්සාහයක් දැරූ බවක්ද දැකගන්නට ලැබිණ. එහිදී මෛත්‍රි කියා තිබුණේ ‘ඔය මොන මොන කරුණු හෙළිදරව් වුවත් පාස්කු ප්‍රහාරය පසුපස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටි බවට තමන් තවමත් විශ්වාස කරනවා’ යැයි කියාය. ආණ්ඩුව පාස්කු ප්‍රහාරය ඔස්සේ පන්නමින් සිටියදී නින්දෙන් නැඟිට්ටාක් මෙන් මෛත්‍රි නැවැතත් කළ මෙම ප්‍රකාශය හරහා ආණ්ඩුව දියත් කරමින් සිටි ප්රචාරක ව්‍යාපාරයට කිසියම් හානියක් වූ ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
ආණ්ඩුව සිරිසේනට එරෙහිව ප්‍රහාරය අරඹයි

කෙසේ වෙතත් මෛත්රිගේ මේ ප්‍රහාරයත් සමඟ ආණ්ඩුව ඇතුළේ මෛත්‍රි විරෝධී කැරැල්ලක් දියත් වන ලකුණු පහළ කර ඇති බවක් දැකගන්නට ලැබිණ. ඒ සඳහා පියවර ගෙන තිබුණේ වෙන කවුරුවත් නොව ප්‍රසන්න රණතුංගය. ප්‍රසන්න යනු මෛත්‍රි 2015දී මහින්දගෙන් වෙන්වූදා සිටම මෛත්‍රිට එරෙහිව ප්‍රසිද්ධියේම අදහස් ප්‍රකාශ කළ ප්‍රධානම අයෙකි. මේ නිසාම මෛත්‍රි පසුගිය අවුරුදු 5 තුළ සිදුකළ යම් යම් වංචා දූෂණවල තොරතුරුද ෆයිල් පිටින් ප්‍රසන්නගේ අතට විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබී තිබිණ. ප්රසන්නත්, මෛත්‍රිට එරෙහිව අත දිගහැර පහර දුන්නේත්, නොබියව අදහස් ප්‍රකාශ කළේත් මෛත්රිගේ මේ ෆයිල් ප්‍රසන්න අතේ තිබූ නිසාය. ප්‍රසන්න ඒ සියල්ල තමන් අතේ තබාගෙන සිටියේ ඒවා එළියට දමන්නට හරි වෙලාව එන තෙක්ය. ඒ අනුව පසුගිය සතියේදී තම හිතවතුන් කිහිපදෙනකුම සමග ප්‍රසන්න කියා සිටියේ මෛත්‍රි ඔය කියන තරම් සුද්දවන්තයකු නොවන බවත්, මෛත්රිගේ රෙදි ගැලවිය හැකි සියලු තොරතුරු තමන් සන්තකයේ පවතින බවත්ය. ප්‍රසන්න කී මේ කතාව කණින් කොනින් ගොස් පසුගිය සතියේ මහින්දගේ කනටද වැටී තිබිණ. ඒ අනුව පසුගිය බදාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මහින්ද ප්‍රසන්නගෙන් මේ පිළිබඳව ප්‍රසිද්ධියේම විමසා සිටියේය.
සිරිසේනගේ හොරකම්වල රෙකෝඩින් ප්‍රසන්න ළග
“මගේ ළඟ මෛත්‍රි ජනාධිපති වෙලා ඉන්නකොට කරපු දේවල්වල රෙකෝඩින් තියෙනව සර්. මිනිහ ඔය කියන තරම් සුද්දවන්තයෙක් නෙවෙයි. මම වෙලාවට ඔය ටික සර්ට දෙන්නම්කො.” යනුවෙන් එහිදී ප්‍රසන්න කියද්දී මහින්ද ඊට එහා දෙයක් ප්‍රසන්නගෙන් අසන්නට ගියේ නැත.
ශ්‍රීලනිප බලකණු ගැලවෙන්න ගනී
එමෙන්ම මේ වන විට මෛත්‍රිට තමන් සභාපතිත්වය දරන ශ්රීලනිපය ඇතුළෙන්ද ප්‍රහාර එල්ල වන ලකුණු පහළ වෙමින් තිබේ. ඒ පසුගිය සතියේ ගාල්ලේ ශ්‍රීලනිප ප්‍රබලයකු වූ නිශාන්ත මුතුහෙට්ටිගම ශ්‍රීලනිප සාමාජිකත්වය අතහැර තමන්ව පොහොට්ටුවට බඳවා ගන්නා ලෙසට කළ ප්‍රසිද්ධ ඉල්ලීමත් සමඟය. ඒ අනුව මුතුහෙට්ටිගම මේ වන විට ගාල්ලේ ශ්‍රීලනිප බල මණ්ඩලයද විසුරුවා හැරීමට කටයුතු කර තිබේ. ඒ අයුරින් යමින් ඉදිරි සතියේදී තවත් ප්‍රබල ශ්‍රීලනිප නායකයන් ගණනාවක්ම ශ්‍රීලනිප බලමණ්ඩල විසුරුවා හැර පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීමට සැලැසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.
කපිල පුංචිමාන්නගේ










