සොබාදහම දඬුවම් දෙනකොට ලොකුද පොඩිද කවුද කින්ද මන්ද කියලා නෑ. පහුගිය කාලේ අපි දැක්කා ලංකාවේ දේශපාලකයන්ටත් ඒ විදියටම සොබාදහම විසින් දඬුවම් දුන්න හැටි. තමන්ගේ බලය කොච්චර ලොකුයිද කියලා හිතාගෙන කිසි කෙනෙක්ට පරද්දන්න බැරි දේශපාලන බලයක් අතේ තියාගෙන කවදාවත් බිඳ නොවැටෙන බලකොටුවල රජ වෙලා හිටපු මිනිස්සු අද ඉන්නේ හිටපු දේශපාලකයෝ බවට පත්වෙලා ගෙදර ගිහිල්ලා. බොහෝ විට බොහෝ දෙනෙක්ගේ දේශපාලන ගමන එතැනින් ඉවරයි. අලුත් ආණ්ඩුව පත්වුණාට පස්සේ කරපු මරු වැඩක් තමයි පහුගිය දවස්වල දේශපාලකයෝ විදියට පොර ටෝක් දීලා ලොකු වැඩ කරලා තක්කඩි විදියට එළිපිටම පෙනීහිටපු චණ්ඩි බණ්ඩි අරුන් මුන් ටික කුදළාගෙන ඇවිල්ලා හිරේට දාපු එක. දැන් ඒ මිනිස්සු දැක්කම සංසාරේ කලකිරෙන මහල්ලො බවට පත්වෙලා, රැවුල් කොණ්ඩා වවාගෙන තැන් තැන්වල වැහැරිලා හිරගෙවල් ඇතුළේ කන කට්ට ගැන මේ මොහොතේ ලියන්නේ කොන්ද කෙළින් තියාගෙන මිනිහෙක් විදියට කතා කරන්න පුළුවන් යුගයක් නිර්මාණය කරපු මාලිමා ආණ්ඩුවටත් ස්තුතිවන්ත වෙනවා. හැබැයි අපි දන්නවා මේවායේ 100% අයිති වෙන්නේ මාලිමාවට නෙවෙයි. කුට්ටිය එහෙම පිටින්ම බදාගන්න හදන්න එපා. නමුත් යම් විදියකට ගත්තම මේ ක්‍රමය මේ විදියට මේ තැනට අරගෙන එන්න ඒගොල්ලෝ කරපු ලොකු දේවල් ටිකක් තියෙනවා. ඒවා ගැන කතාකරන්නම ඕනේ. Sri Lanka Latest News
දැන් මේ වෙලාවේ මම ලියන්නේ චරිත තුනක් ගැන. එක්කෙනෙක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල. බාල බෙහෙත් ගෙනල්ලා මිනිස්සු මැරෙනවා කිව්වම කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේ කිව්වා ඒකට තමයි ඉස්පිරිතාල ඉස්සරහා මල්ශාලා තියෙන්නේ කියලා. ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්න ගියාම කීප දෙනෙක් මැරෙනවා තමයි කියලා. ඒවා කියද්දී අපි කිව්වා කටේ ගෙඩි දායි කියලා. පුදුම තරම් තක්කඩි කතා. මිනිස්සුන්ට බාල බෙහෙත් දීලා ඒ බෙහෙත්වලින් මිනිස්සු මැරෙන බව දැන දැනත් පාර්ලිමේන්තුව ඇතුළේ කටමැත දෙඩෙව්වේ ඉස්පිරිතාලේ මැරෙන අම්මා තාත්තා දරුවා සහෝදරයා බිරිඳ ස්වාමිපුරුෂයා, ඉස්පිරිතාලෙට බේත් ටික අරගන්න ආදරෙන් වඩාගෙන ආපු දරුවාගේ මළ සිරුර ගෙදර අරන් යන්න සිද්ධ වෙච්ච, ඉස්පිරිතාලෙට බේත් ගන්න ආපු එවුන්ගේ ඇස් පේන්නේ නැති තැනට පත්කරපු තක්කඩියෙක් විදියට. හැබැයි ඒකා ලැජ්ජා බය නැතුව පාර්ලිමේන්තුවේදී කිව්වා මිනිස්සු ඉස්සරහදී කිව්වා රටට ලෝකෙට ඇහෙන්න කිව්වා මිනිස්සු මැරෙන හින්දා තමයි මල්ශාලා හදලා තියෙන්නේ කියලා. මේ තක්කඩි ප්‍රකාශවලට උත්තර දෙන්න ඒ වෙලාවේ බැරි වුණාට අද අපි කියනවා ඇමැතිතුමා දැන් පවුල් පිටින් ඔය විඳවන්නේ එදා කරපු දේවල් තමයි.
ඊළඟ කතාව මර්වින් සිල්වා. පුදුම චණ්ඩියෙක්. ජාතික රූපවාහිනියට පැනලා ගහලා, මිනිස්සු ගස් බැඳලා, හිතුණු හිතුණු විදියට දේශපාලනය කරලා, විශ්වවිද්‍යාලයට තක්කඩි අරගෙන ඇවිල්ලා ශිෂ්‍යයන්ට ගහලා පුදුම නාට්‍ය ටිකක් පෙන්නුවා. හිතුවේ දුටුගැමුණු රජ්ජුරුවෝ කියලා. ජනාධිපතිගේ ටෙලිෆෝන් එක ඕනේ ඕනේ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් විදියට මහ පුදුම බලයක් තිබුණු මිනිහෙක්. කරන්න බැරි දෙයක් තිබුණේ නෑ මර්වින් සිල්වාට. විශාල දේවාලයක් පවා මේ මනුස්සයා හැදුවා. සමහර වෙලාවට පල්ලි පන්සල් කෝවිල් එක්කත් හැප්පුණා. එහෙම හැප්පිලා අන්තිමට හොට බිම ඇනිලා දැන් කරකියා ගන්න දෙයක් නැතුව ඉන්නවා. අද ඔහු ඉන්නේ බන්ධනාගාරගත වෙලා. තවමත් ඔහුගේ නඩු ටික අහලා ඉවර නෑ. මේ නඩු අහලා ඉවර වෙනකොට කොහෙන් කොහොම කෙළවර වෙයිද, කොතැන නතර වෙයිද කියලා අපි දන්නේ නෑ. මිනිස්සු වුණාම තමන්ගේ දේශපාලන බලය යුතු අයුතු ලෙස භාවිත කිරීම කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මේගොල්ලෝ දේශපාලන බලය භාවිත කළේ අතිශය අයුතු ආකාරයට. ඒක අපි ඇස්පනාපිට දැක්කා.
අනිත් එක්කෙනා තමයි මහින්දානන්ද. මහත්තයෝ, ඔබතුමා එක වතාවක රජයේ රූපවාහිනී නාලිකාවකට ඇවිල්ලා අපිට මතකයි දාපු දර්ශනය. මුස්ලිම් මිනිස්සුන්ගේ මෘත ශරීර පුච්චන එක ගැන ඔබතුමා කියපු කතාව මුළු රටම අහගෙන හිටියා. සැලසුම් කරලා, කලින් හිතලා කරපු දෙයක්ද කියන්න අපි දන්නේ නෑ. කොහොම වුණත් ඔබතුමා ඒ කියපු කතාව හරිම වැරැදිසහගත ප්‍රකාශයක්. දේශපාලකයෙක් විදියට තමන්ට තිබුණු බලය කොච්චර නරක විදියට භාවිත කළාද, තමන්ගේ බිරිය පවා ඔහුට පවා අධිකරණයට යන තැනට පත්වුණා. එහෙම කරපු මහින්දානන්දත් අද ඉන්නේ හිරගෙදර.
සමහර දේශපාලකයන්ගේ කයිකතන්දර අපි දන්නේ නෑ. ඔවුන් දේශපාලනික වශයෙන් කොච්චර හොර වැඩ කළාද, ජඩ වැඩ කළාද කියන එක ගැන අපිට පැහැදිලි කරන්න බැහැ සහ ඒගොල්ලෝ කළා කියලා කියන්න පුළුවන් බොහෝ දේ ගැන අපිට සාක්ෂි සහතිව ඔප්පු කරන්න බෑ. හැබැයි අපි මේ කියන්නේ සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන් දන්න, සමහරු දැකපු, අහපු, ආරංචි වෙච්ච කතන්දර. රටක් විදියට මේ රට ඇතුළේ දේශපාලකයෝ විදියට තවත් ගේම් ගහපු මහත්තුරුන්ගේ නම්ගම් කීපයක් අපිට මේ මොහොතේ මතක් වෙනවා. ඒගොල්ලෝ ගැන මේ ලිපියේ ලියන්න බැරි ඒගොල්ලන්ගේ වැරැදි තාම ඔප්පු වෙලා, ඒගොල්ලන්ට හරි දඬුවමක් ලැබිලා නැති නිසා. මම බලාපොරොත්තු වෙනවා මේ වගේම ලිපියක් ලබන මාසෙත් මේ වගේ කාලෙක ලියන්න. එදාට මේ නම් ගොන්න තවත් වැඩිවෙලා තියෙයි කියලා අපිට විශ්වාසයි. සමහර මිනිස්සුන්ට සරණක් නැතිවේවි. සමහර මිනිස්සුන්ට අප්‍රසන්න ප්‍රතිඵල ලැබේවි. ඒගොල්ලෝ ගැනත් කියන්න හරිම ආශාවෙන් බලාගෙන ඉන්න බව දන්වන ගමන් මේ ලිපිය අවසන් කරන්නේ ‘කරන කලට පව් මිහිරිය මී සේ – විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ’ කියලා. මේක පරණ කතාවක් වුණාට, දැන් සමහර විට හිර ගේ ඇතුළේ කට්ට කනකොට මර්වින්ලට, කෙහෙළියට, මහින්දානන්දලට මතක් නොවෙනවා වෙන්න බෑ.

ජීවන පහන් තිළිණ










