වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය 11 වැනිදා 5 වැනි දිනටත් පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ පෙනීසිටියා. අනතුරුව 24 වැනි සාක්ෂිකරු ලෙස නම්කර ඇති වැඩතහනමට ලක්ව සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා මහතාගෙන් සාක්ෂි ලබාගැනීම සහ හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළා. එහිදී දිලීප පීරිස් මහතා ඇන්ස්ලම් ද සිල්වා මහතාගෙන් විමසා සිටියේ හරක් කටා ගැන කිසියම් විශේෂ විමර්ශනයක් කිරීමට තමන්ට උපදෙස් ලැබුණාද යන්නයි. ඇන්ස්ලම් ද සිල්වා ඊට පිළිතුරු ලබාදුන්නා. Sri Lanka Latest News
‘ඔව් ස්වාමිනි, 30 වැනිදා මට එන්න කිව්වා නිලධාරීන් කණ්ඩායමක් එක්ක වැලිගමට යන්න…’
එහිදී දිලීප පීරිස් මහතා විමසා සිටියේ එලෙස ප්‍රකාශ කළේ කවුරුන්ද යන්නයි.
‘ස්වාමිනි, කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා 31 වැනිදා කිව්වා වැලිගම ඩබ්ලිව් 15 හෝටලයේ පාතාලයට සම්බන්ධ සාදයක් යනවා කියලා. ඒ නිසා එහෙ ගිහිල්ලා වැලිගම මේ හෝටලයේ තාප්පයට සහ බෝඩ් එකට වෙඩිතියලා එන්න කියලා කිව්වා…’
එම කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ කවුරුන්ද යනුවෙන් දිලීප පීරිස් මහතා විමසා සිටි අතර, තමන් ඊට නායකත්වය ලබාදුන් බවයි ඇන්ස්ලම් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ. එය ඔබ වෙත පැවරුණු නීත්‍යනුකූල රාජකාරියක්දැයි දිලීප පීරිස් මහතා එහිදී පෙරළා ප්‍රශ්න කර සිටියා. එහිදී ඔහු ප්‍රකාශ කළේ එය නීත්‍යනුකූල රාජකාරියක් නොවන බවයි.
ඉන් පසු දිලීප පීරිස් මහතා ප්‍රශ්න කර සිටියේ අදාළ ගමන සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට අලුතෙන් ගෙන ආ වාහනයක් වෙනස් කළේද යන්නයි. ඊට ඇන්ස්ලම් ද සිල්වා මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
‘ඔව් ස්වාමිනි, වාහනය වෙනස් කළා. සුදු වාහනයට නිල් වගේ පාට ස්ටිකර් එකක් ඇලෙව්වා. හඳුනාගන්නේ නැති විදියට.’
ඉන් පසු ප්‍රීති පද්මන් සූරසේන මහතා විමසා සිටියේ එය පොලිස් වාහනයක් බවට හඳුනාගත නොහැකි බවට වෙනස් කළේද යන්නයි. එහිදී ඔහු ‘ඔව්’ යනුවෙන් පිළිතුරු ලබාදුන්නා.
අනතුරුව දිලීප පීරිස් මහතා විමසා සිටියේ අදාළ වාහනයේ තිබූ ආයුධ මොනවාද යන්නයි. ටී. 56 ගිනි අවි 2ක් සහ පිස්තෝල 2ක් තිබූ බව එහිදී ඔහු ප්‍රකාශ කළා. එමෙන්ම හොර ගමනක් යන නිසා හොර අංකයක් ඒ සඳහා යොදාගත් බවත්, වාහනය තුළ හෙල්මට් 2ක් තිබූ බවත් ඔහු ප්‍රකාශ කළා.
ප්‍රීති පද්මන් සූරසේන මහතා එහිදී විමසා සිටියේ හෙල්මට් 2ක් රැගෙන යෑමට හේතුව කුමක්ද යන්නයි.
‘මම ඒ ගැන ඇහුවේ නෑ. මම හිතුවා පෞද්ගලික හෙල්මට් කියලා. පසුව තමයි දැනගත්තේ වෙඩි තියද්දී අඳුනගන්න බැරිවෙන්න ඒ හෙල්මට් දෙක අරගෙන ඇවිල්ලා තියෙනවා කියලා…’
හෝටලය ළඟට ගොස් සිදුකළේ කුමක්දැයි අනතුරුව දිලීප පීරිස් මහතා විමසා සිටියා.
ඇන්ස්ලම් ද සිල්වා මහතා ඊට පිළිතුරු ලබාදුන්නා.
‘ස්වාමිනි, හෝටලය ළඟට ගිහින් අපි වෙඩිතිබ්බා. මදුරංග නමැත්තා හෝටලය පැත්තට වෙඩි තිබ්බා. වාහනේ ඔටෝ දොරක් තිබුණේ. හෙමින් ඇරුණා. ඊට පස්සේ තමයි වෙඩි තිබ්බේ. හෝටලයේ බිත්තිය සහ බෝඩ් එක ඉලක්ක කරගෙන තමයි වෙඩි තිබ්බේ…’
වෙඩිතැබීම සඳහා මදුරංග නමැත්තාව තෝරාගත්තේ කවුරුන්දැයි දිලීප පීරිස් මහතා විමසා සිටි අතර, ඊට පිළිතුරු දෙමින් ඇන්ස්ලම් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ නෙවිල් ද සිල්වා සමග සිදුකළ සාකච්ඡාවකදී මදුරංග නමැත්තා, තමන් වෙඩිතැබීම සිදුකරන්නම් ලෙස ප්‍රකාශ කළ බවයි. අදාළ වෙඩිතැබීමේදී වෙඩිතැබීම් 10ක් පමණ සිදුකළ බවත්, වෙඩිතැබීම සිදුවූ අවස්ථාවේ අධික ශබ්දයක් පිටවූ බවත්, තමන් ඔළුව නවාගෙන, කන්දෙක වසාගෙන වාහනය තුළ සිටි බවත් ඔහු ප්‍රකාශ කළා. අනතුරුව ඇන්ස්ලම් ද සිල්වා මහතා වැඩිදුරටත් කරුණු දැක්වූවා.
‘ස්වාමිනි, අපි වෙඩිතියලා පොඩ්ඩක් ඉස්සරහට එද්දී එක පාරම තවත් වෙඩි සද්දයක් ඇහුණා. මම කිව්වා ඉක්මනට යන්න කියලා. ඒ වෙලාවේ තමයි උපුල් නිලධාරියාට වෙඩි වැදුණේ…’
එහිදී දිලීප පීරිස් මහතා විමසා සිටියේ වැලිගම පොලිසියේ ජීප් රථයකින් අදාළ වෙඩිතැබීම සිදුකළ බවට තමන් දැන සිටියාද යන්නයි. ඇන්ස්ලම් ද සිල්වා මහතා එහිදී ප්‍රකාශ කළේ වෙඩිවැදීම සිදුවීමෙන් අනතුරුව තමන් ඒ බව දැනගත් බවයි.
‘ස්වාමිනි, දෙන්නටම තුවාල වෙලා හිටියේ. අපි ඉක්මනට එම ස්ථානයෙන් පිටව ගියා. වාහනේ ඒ වෙද්දී තිබුණේ හොර අංකයක්. ඒ හොර අංකය ගලවලා අපි හරි අංකය දාගත්තා. වාහනේ පිටිපස්සේ කණ්ණාඩිය කැඩිලා තිබුණේ. ඒ වෙඩිවැදීමෙන්. අපි වේගයෙන් එද්දී ඒ වේගයට වාහනේ කණ්ණාඩි බිම වැටුණා. අපි ඉමදූවෙන් නැවැත්තුවා. අපි කිව්වා ලෙඩ්ඩු දෙන්නෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ අපි එතැන ඉඳලා ලෙඩ්ඩු දෙන්නව රෝහල්ගත කළා. නෙවිල් ද සිල්වා අපිට කිව්වා මේ ඩබ්ලිව් 15 හෝටලයට අපි සිදුකරන්න යන වෙඩිතැබීම ගැන අදාළ ප්‍රදේශයේ ආරක්ෂක අංශ නිලධාරීන් දැනුවත් කර ඇති බව. නමුත් ස්වාමිනි ඔහු එවැනි දැනුවත් කිරීමක් කර නැහැ. ඔහු අපිට බොරු කියලා තියෙන්නේ. අදාළ සිදුවීම වෙනකොට එතැන එස්.ටී.එෆ්. එකේ 20ක් විතර ඉඳලා තියෙනවා බස් එකක. ඔවුන්ගේ බස් එක ස්ටාර්ට් වෙන්න පරක්කු වෙලා. ඒක අපේ හොඳ වෙලාව. මොකද ඒ බස් එක හරි වෙලාවට ස්ටාර්ට් වුණා නම් අද සාක්ෂි දෙන්න අපිවත් මෙතැන නෑ…’
අනතුරුව දිලීප පීරිස් මහතා විමසා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් තමන්ගෙන් විමසීමක් කළාද යන්නයි. ඊට ‘නැත’ යනුවෙන් ඔහු පිළිතුරු ලබාදුන්නා.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී ඔහුගෙන් යළිත් ප්‍රශ්න කළා.
‘වැලිගම පොලිසියට මේ පිළිබඳ ප්‍රකාශ ලබාදෙද්දී තුන්වැනි පාර්ශ්වයක් විසින් ඔබ ඇතුළු කණ්ඩායමට වෙඩි තැබුවා කියලා කතාව නිර්මාණය කළේ කවුද?’
‘ස්වාමිනි, අදාළ සිදුවීමෙන් පසු නෙවිල් ද සිල්වා ආවා. ඇවිල්ලා කිව්වා අපි මේක තුන්වැනි පාර්ශ්වයක් විසින් කළා කියලා එකම විදියට ප්‍රකාශ දෙමු, එතකොට අවුලක් වෙන්නේ නැති වෙයි කියලා. ඒ අනුව ස්වාමිනි, වැලිගම පොලිසියට අපි ඒ පිළිබඳ දැනුවත් කළා. ඒ වගේම මාතර මහෙස්ත්‍රාත් අධිකරණයටත් ඒ විදියටම කිව්වා…’
තමන් අදාළ සිදුවීමෙන් පසු මරණ පරීක්ෂණයේදී සහ මහෙස්ත්‍රාත් අධිකරණයේදී මෙන්ම පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදීත් අසත්‍ය තොරතුරු ප්‍රකාශ කළ බවයි ඇන්ස්ලම් ද සිල්වා මහතා කමිටුව හමුවේ ප්‍රකාශ කළේ. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉහළ නිලධාරීන් තමන්ට ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක කිරීමට යෑම නිසා තමන් මේ වනවිට වැඩ තහනමකට ලක්ව විශ්‍රාම වැටුපක්වත් ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.
‘මේක අනිත් අයටත් හොඳ ආදාර්ශයක්. ඉහළ නිලධාරීන්ගේ නියෝග ක්‍රියාත්මක කරන්න බැරි නම් අදාළ තැනින් ස්ථාන මාරුවක් අරගෙන යන එක හොඳයි කියලා දැන් තමයි මට හිතෙන්නේ…’
අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා සාක්ෂිකරු වෙත දිගින් දිගටම ප්‍රශ්න යොමු කළ අතර, එහිදී සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රකාශ කර සිටියේ සාක්ෂිකරුවන්ට උත්තර ලබාදීමට අවස්ථාවක් ලබාදෙන ලෙසයි.
මෙම නඩුවට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් 8 දෙනෙක් එක්වී අභියාචනාධිකරණයට රිට් ආඥාවක් යොමුකිරීමේදී ඇන්ස්ලම් ද සිල්වා අදාළ රිට් ආඥාවට එම 7 දෙනා වෙනුවෙන්ම අස්සන් කළේදැයි වීරවික්‍රම මහතා විමසා සිටි අතර, ඊට ඔහු, ‘ඔව්’ යනුවෙන් පිළිතුරු ලබාදුන්නා.
අභියාචනාධිකරණයට ප්‍රකාශ කළේ ඇත්තක්ද බොරුවක්ද යන්න දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා එහිදී විමසා සිටියා. එහිදී ඇන්ස්ලම් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ තමන් සාමූහිකව එකතු වී එම ප්‍රකාශය සිදුකළ අතර, නෙවිල් ද සිල්වා ඊට මූලිකත්වය ගත් බවයි.
නීති විරෝධී නියෝගයක් ලබාදුන් පසු එය සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුවත් කළේදැයි වීරවික්‍රම මහතා නැවත ප්‍රශ්න කළා. ඊටද ‘නැත’ යනුවෙන් ඇන්ස්ලම් ද සිල්වා මහතා පිළිතුරු ලබාදුන්නා.
Hiru News ෆේස්බුක් පිටුවෙනි











