ඉන්දියාව ජේ.ආර්.ගේ ආණ්ඩුව සමග ප්‍රශ්න ඇතිකර ගත්තේ ජේ.ආර්.ගේ ආණ්ඩුව ත්‍රිකුණාමල තෙල් ටැංකි සිංගප්පූරු සමාගමකට බදු දීමට ගත් තීරණය නිසාය. ජේ.ආර්.ගේ ආණ්ඩුව පමණක් නොව ලංකාවේ ප්‍රථම අගමැති ඩී.ඇස්.ගේ ආණ්ඩුවද, ඩඩ්ලිගේ ආණ්ඩුවද, සර් ජෝන්ගේ ආණ්ඩුවද, ප්‍රේමදාසගේ ආණ්ඩුවද උත්සාහ ගත්තේ බටහිර රටවලින් ආයෝජන සහ ආධාර ගෙන ලංකාව දියුණු කරන්නටය. බණ්ඩාරනායක සහ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආණ්ඩු උත්සාහ ගත්තේ එවක සෝවියට් දේශය වූ වත්මන් රුසියාවේ ආධාර සහ ආයෝජන ගෙන ලංකාව දියුණු කරන්නටය. නමුත් කිසිම ආණ්ඩුවක් ඉන්දියාව සමග එක්වී ලංකාව දියුණු කරන්න උපක්‍රම සැලසුම් කරන්නේ කෙසේදැයි සිතුවේ නැත. 1994 ජනාධිපති ධුරයට පත් චන්ද්‍රිකාත්, 2005 ජනාධිපති ධුරයට පත් මහින්ද, මෛත්‍රීපාල හෝ ගෝඨාභයත් කල්පනා කළේ බටහිර රටවල් හෝ චීනය සමග එක්ව ලංකාව දියුණු කරන්නේ කොහොමද කියාය.
ලංකාව දියුණු කරන්න ලංකාවේ රාජ්‍ය නායකයන් බලාපොරොත්තු තබපු රටක් වූයේ ජපානයය. දක්ෂිණාංශික යූ.ඇන්.පී. ආණ්ඩු මෙන්ම වාමවාදී ශ්‍රීලනිප ආණ්ඩුද ජපාන ආධාර කෙරෙහි විශේෂ බලාපොරොත්තු තබාගෙන සිටියහ.
මෙම රාජ්‍ය නායකයෝ ඉන්දියාවත් සමග ගිවිසුම් අස්සන් කිරීමට ඉන්දීය ආයෝජන පිළිගැනීමට මැළිකමක් දැක්වූහ. එයට ප්‍රධාන හේතුව වූයේ රට තුළ තිබූ ඉන්දීය විරෝධයය. ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් තත්ත්වයට පත්වූ විට ලංකාවට ආ පළමු සහ එකම ආයෝජකයා වූ අදානිගේ සුළං බල ව්‍යාපෘතියද අනුර කුමාරගේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේය.
පසුගියදා අයි.එම්.එෆ්. දත්ත අනුව ඉන්දියාව ලොව හතරවැනි බලවත් ආර්ථිකය සහිත රට ලෙස ප්‍රකාශයට පත්ව ඇත. ලංකාව ආසන්නයේ ලොව ආර්ථික වශයෙන් 4 වැනි බලවත් රට පිහිටා තිබීම තරම් ලංකාවට වාසිදායක තත්ත්වයක් ඉතිහාසයේම තිබී නැත. ලංකාව ජපානයේ ආයෝජන සහ ආධාර බලාගෙන සිටියාට දැන් ලොව බලවත්ම ආර්ථික ලැයිස්තුවේ රටවල් අතර 4 වැනි තැනට සිටි ජපානය පසුකරගෙන ඉන්දියාව 4 වැනි තැනට පත්ව තිබේ. ඉන්දියාව බි්‍රතාන්‍යයද පසුකර ඇවිත් තිබේ. ලොව ආර්ථික බලවතුන්ගේ ලැයිස්තුවේ ඉන්දියාව බි්‍රතාන්‍යය පසුකර යන විටදීවත් ලංකාවේ ඇස් ඇරුණේ නැත. දැන්වත් ලංකාව ඇස් ඇර ඉන්දියාව සමග සම්බන්ධ වී ලංකාව ඉදිරියට යන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ලංකාව මාර්ග සිතියමක් සකස් කරගත යුතුය.










