මේ ලිපියෙන් අපි විමසා බලන්නේ ශ්‍රී ලංකා මහබැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩුකිරීමත් එක්ක ස්ථාවර තැන්පතුවලට කුමක්ද වෙන්නේ කියන කාරණය පිළිබඳවයි. ඇත්තටම මෙහෙම කියන්න පුළුවන්. ‘ස්ථාවර තැන්පතු ඉවරෙටම ඉවරයි’ කියලා මෙහෙම කිව්වාම ඔබට කනගාටුවක් ඇතිවෙන්න පුළුවන්. මොකද එක යුගයක් තිබුණා ස්ථාවර තැන්පතු දාලා අතිවිශාල පොලී ආදායමක් උපයාගත්ත. ඒ උපයාගැනීම් තුළ ඔබගේ ආදායම වැඩිවුණා. වර්තමානය වනවිට මේ පොලී අනුපාත පහළටම ඇවිල්ලා තිබෙනවා. මිනී පෙට්ටියේ අවසාන ඇනයත් ගහලා භූමදානය කරන්න තමයි ඔන්න මෙන්න තියෙන්නේ දැන්. ශ්‍රී ලංකා මහබැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත පිළිබඳ දැනුම් දෙමින් සඳහන් කළා පදනම් අංක 25කින් 8% සිට 7.75%ක් දක්වා ප්‍රතිපත්ති පොලිය අඩුකරන බවට. මේ ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකිරීමත් එක්ක බොහෝ වෙලාවට බැංකු සහ මූල්‍ය ආයතන ස්ථාවර තැන්පතු පොලිය අඩුකරන්න පුළුවන්. මේ වෙනකොට දාලා තියෙන ස්ථාවර තැන්පතු පොලිය අඩුවෙන්නේ නෑ. අලුතෙන් ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරනවා නම් මේ පොලී අනුපාතය තවදුරටත් පහළ යනවා. ඒ කියන්නේ ස්ථාවර තැන්පතු දාලා වැඩක් නැති තත්ත්වයට පත්වෙනවා. ඒක නිසා තමයි අපි සඳහන් කළේ ස්ථාවර තැන්පතු ඉවරෙටම ඉවරයි කියලා.Sri Lanka Latest News
යම්කිසි රටක පොලී අනුපාතය වැඩිකරන්නේ මහබැංකුවත්, ඒ රටේ උද්ධමනය වැඩිවෙන විට. ඔබට මතක ඇති 60%ට 70%ට අපේ රටේ උද්ධමනය වැඩිවුණු කාලේ. ඒ කාලේ භාණ්ඩවල මිල අහස උසට වැඩිවුණා. රටේ ආර්ථිකය ඉදිරියට නෙවෙයි ගිය පසුපසට. මේ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් වැඩිවන විට ඒක පාලනය කරගන්න ඕනෙකමක් තිබුණා. ඒ නිසා තමයි මහබැංකුව තමන් සතු ටූල් එක විදියට මේ පොලී අනුපාතය වැඩිකළේ. ඒ පොලී අනුපාතය වැඩිකරපු නිසා තමයි 30%ක වගේ මට්ටමක් දක්වා පවා ස්ථාවර තැන්පතුවලට විශාල පොලියක් ඔබට ලැබුණේ. සමහරු ගෙවල් උකස් කරලා, විකුණලා පවා ස්ථාවර තැන්පතු දැම්මා. මොකද වැඩි පොලියක් ලබාගන්න පුළුවන්කම ලැබුණු නිසා. හැබැයි අනිත් පැත්තෙන් රට ආපස්සට ගිහින් තිබුණේ. ස්ථාවර තැන්පතු පොලිය දැන් අඩුවෙලා තිබෙන්නේ මේ උද්ධමනය පාලනය කරපු නිසා. මේ නිසා තමයි මේ පොලී අනුපාතය අඩුවෙලා තියෙන්නේ.
පොලී අනුපාතය අඩුවීම ඉතා වැදගත් රටක ඉදිරි ගමන සඳහා. එහෙම වෙන්නේ කොහොමද? පොලී අනුපාතය අඩුවෙනකොට ඒ බැංකු පද්ධතිය තුළ හිරවෙලා තියෙන මුදල් එළියට එනවා. ඒ කියන්නේ බැංකුවල සල්ලි දාගෙන ඉඳලා වැඩක් නෑ, මොකද ඒකට හේතුව වැඩි ප්‍රතිලාභයක් ලබාගන්න බෑ. මිනිස්සු ඒ සල්ලි එළියට අරගෙන ආර්ථික ක්‍රියාකාරකම් කරන්න උත්සාහ කරනවා. තේ කඩයක් හරි අඩුම ගානේ දාගන්න උත්සාහ කරනවා. තමන් ව්‍යාපාරයක් කරන්න උත්සාහ කරනවා. මොකද පොලී අනුපාතය පහළ මට්ටමක තිබෙන නිසා ස්ථාවර තැන්පතු හෝ අනෙක් තැන්පතුවලින් වැඩි ප්‍රතිලාභයක් ලබාගන්න බැරි නිසා මිනිස්සු මහන්සි වෙලා ආර්ථික කටයුත්තක් කරලා මේ ආදායම් ප්රතිලාභ ලබාගන්න උත්සාහ කරනවා. ඒ තුළ කුමක්ද සිදුවෙන්නේ? ඒ තුළ සිදුවෙන කාරණය තමයි අඩුම ගානේ රස්සාවක් දෙකක් හරි අලුතෙන් නිර්මාණය වෙන එක. ඒ තුළ තමයි රටේ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වෙන්නේ. එතකොට තමයි රැකියා උත්පාදනය වැඩිවෙන්නේ. ඒ තුළ තමයි රටක නිෂ්පාදනය වැඩිවෙන්නේ. නිෂ්පාදනය වැඩිවීම තුළ තමයි අපනයන කර්මාන්ත වර්ධනය වෙන්නේ. මෙන්න මේ ක්‍රියාවලිය තමයි මේ පොලී අනුපාතය අඩුවීම තුළ සිදුවෙන්නේ. ඒ නිසා ඔබට කනස්සල්ලක් ඇති පොලී අනුපාතය අඩුවීම නිසා මගේ ස්ථාවර තැන්පතුවට පොලිය අඩුයි, මගේ ආදායම අඩුවුණා කියන කාරණය සම්බන්ධයෙන්.
සමස්තයක් විදියට, රටක් විදියට බැලුවට පස්සේ ඒ ඇතිවන සමස්ත ධනාත්මක ආර්ථික කාරණාව පොලී අනුපාතය අඩුවීම නිසා ඔබටත් වක්‍රාකාරයෙන් ලැබෙනවා. ඒ කියන්නේ ඔබ වැඩි පොලියක් ලබාගත්තට ස්ථාවර තැන්පතුවකට, ඔබ කඩේට ගිහින් ලබාගන්න බඩුවල මිල වැඩි නම්, ඒ වගේම ඔබට වැයකරන්න සිදුවෙන මුදල වැඩි නම් අර වැඩි පොලී ආදායමක් ලබාගත්තා කියලා ඔබට ඒකෙන් ප්‍රතිලාභයක් නෑ ඇත්තටම බැලුවොත්. මේ නිසා රටක පොලී අනුපාතය අඩුවෙන් තිබීම ඉතා වැදගත්. හැබැයි ඔබ මේ ලිපිය කියවලා මට මෙන්න මෙහෙම චෝදනාවක් කරාවි. ‘ඔබ කොච්චර කිව්වත් අපේ රටේ භාණ්ඩ මිල අඩුවෙලා නෑ කියලා. භාණ්ඩවල මිල වැඩියි’ කියලා. ඒක ඇත්ත. මොකද උද්ධමනය කියන වචනය නිර්වචනය කරන්නේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටම යම් නිශ්චිත කාලයක් තුළ අඛණ්ඩව වර්ධනය වීම කියලා. ඒක අර වැඩිවුණු තැන ඉඳලා තමයි ඉදිරියට යන්නේ.
ඔබ දන්නවා සෑම භාණ්ඩයක හා සේවාවකම මිල ආසන්න වශයෙන් ආර්ථික අර්බුදයෙන් පස්සේ තුන්ගුණයක් විතර වැඩිවුණා. පෙට්‍රල් මිල තුන්ගුණයක් විතර වැඩිවෙලා. වාහන මිලත් තුන්ගුණයක් විතර වැඩිවෙලා. ඒ වගේම ශ්‍රමය සඳහා ගෙවන මිල තුන්ගුණක් විතර වැඩිවෙලා. ඒවා ආයෙත් අඩුවෙන්න තිබෙන අවස්ථාව ඉතා විරළයි. අවගමන තත්ත්වයන් දිගින් දිගටම පැවැතුණොත් තමයි එහෙම තත්ත්වයක් ඇතිවෙන්නේ. මේ වර්තමාන සමතුලිතය තුළ එතැනින් එහාට තමයි උද්ධමනය ගණනය කරන්නේ. එතකොට ඒ භාණ්ඩ හා සේවා පැවැති මට්ටමට යන්න තිබෙන අවකාශය ඇත්තටම ඉතා සුළුයි.
අපි බලමු මේ ස්ථාවර තැන්පතු පොලිය වර්තමානයේ මොන වගේ වෙනස් වෙයිද, මේ ආසන්නම කාලයේ තිබුණේ මොන වගේ මට්ටමකද කියලා. ශ්‍රී ලංකා මහබැංකුව මැයි 09 වැනිදා මූල්‍ය දර්ශක ඉදිරිපත් කරමින් සඳහන් කරලා තිබුණා Average weighted fixed deposit rate, ඒ කියන්නේ සාමාන්‍ය බර තැබූ ස්ථාවර තැන්පතු පොලී අනුපාතය 2025 පෙබරවාරි මාසේ තිබුණේ 8.84%ක මට්ටමක. ඒක මාර්තු මාසය වනවිට 8.99%ක් දක්වා සුළු වශයෙන් වර්ධනය වෙලා තිබුණා. ඒකට හේතුව තමයි උද්ධමන තත්ත්වය සුළු වශයෙන් ඉදිරියට පැමිණීම. හැබැයි මහබැංකුව කරපු මේ ප්‍රතිපත්ති පොලී අනුපාතය 0.25%කින් ප්‍රතිශතයක් වශයෙන් අඩුකිරීම, එහෙම නැත්නම් පදනම් අංක 25කින් අඩුකිරීම නිසා තවදුරටත් මේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත ඉදිරියේදී අඩුවෙනවා. ඒ අඩුවීමට හේතුවන ආර්ථික කාරණාව ගැනයි මේ ලිපියෙන් මම ඔබට අවබෝධය ලබාදුන්නේ.
Lanka Business TV යූටියුබ් නාලිකාවෙනි










