අපේ සුන්දර මාතෘ භූමිය ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් හා මනරම් පරිසර පද්ධතියකින් සමන්විත සුන්දර දිවයිනක්. එකී පරිසර පද්ධතිය හා ජෛව විවිධත්වය රැකගැනීමේ මූලික වගකීම පැවරිලා තියෙන්නේ පරිසර අමාත්‍යාංශයට. සෑම වසරකම ලෝක පරිසර දිනයට සමගාමීව විවිධ උත්සව හා වැඩසටහන් ක්‍රියාත්මක වුණත් ඒවා හුදු සංදර්ශන පමණක් බව ඉතිහාසය පිරික්සීමේදි මනාව පිළිබිඹු වෙනවා. දහසකුත් බලාපොරොත්තු තබාගෙන සිටියත් වර්තමානයේදීත් එහි කිසිදු වෙනසක් සිදු නොවී පෙර පරිදිම ක්‍රියාත්මක වෙමින් පවතින්නේ ඒ නිසයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන විශාල ප්‍රමාණයක් තිබුණත් වන ජීවීන්ට හා පරිසර සුරක්ෂිතතාවට මෙන්ම මහපොළොවට දැනෙන යමක් මෙතෙක් සිදු නොවීම අදටත් ප්‍රශ්නයක්. එකී ප්‍රශ්නය ගැන අද කැලෑ කොලමෙන් අපේ අවධානය යොමුකිරීමටයි මේ සූදානම. Sri Lanka Latest News

මෙරට ඉතිහාසයේ පළමු වතාවට පරිසරය කියන විෂය එක් කැබිනට් අමාත්‍යවරයකු යටතට පත්වීම ප්‍රශංසනීය කරුණක් වනවා. එහෙත් ඊට සබැඳි අනෙකුත් රාජ්‍ය ආයතන හා නිලධාරීන් කටයුතු කරනු ලබන්නේ පෙර පැවැති ක්‍රමයටම වීම කනගාටුවට කරුණක්. ඉන් සිදුවනු ලබන්නේ පරිසරයට හා සතාසිවුපාවන්ට කිසිදු සෙතක් අත් නොවීමයි. අපේ රටේ පරිසරයේ ඉතා වැදගත්ම කොටස අයත් වී තිබෙන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි. එය පාලනය කරනු ලබන්නේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු යටතේයි. ඒත් ඔහුගේ බලතල හා ක්‍රියාපටිපාටිය පෙර පැවැති ආකාරයටම සීමාසහිත වීම ගැන නැවතත් සිතාබැලිය යුතු කාලය එළැඹී තිබේ. Sri Lanka Latest News
පිදුරුතලාගල කඳු මුදුනේ සිට පානම්පත්තුවේ වෙරළ දක්වාද, ඉන් පරිබාහිර සාගරය දක්වාද සියලු වනජීවීන් සුරැකීම, සංරක්ෂණය කිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය වනවා. වනජීවී සංරක්ෂණය පසෙක තබා මුදල් ඉපැයීම ප්‍රධාන කාර්යය වීම තුළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගේ මූලික වගකීමෙන් බැහැරවී ඇත. ඔවුන් උපයන මුදලින් කොතරම් ප්‍රමාණයක් වනජීවී සංරක්ෂණය සඳහා වෙන්කර තිබෙනවාද, ඊට ඇති කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම් මොනවාද? ඇමැතිවරයාට පමණක් සෑම දෙයක්ම සොයාබැලිය නොහැකි බව අපි හැමෝම පිළිගන්නා කරුණකි. එසේනම් සිදුවිය යුත්තේ ඇමැතිවරයාව දැනුවත් කොට අවශ්‍ය ප්‍රතිපාදන හා නීතිරීති සකස් කොට ඔහුගේ උපකාරය ලබාගැනීමයි. ඊට වගකිව යුත්තේ පරිපාලනය භාර නිලධාරීන්ය. ඒවා නොකෙරෙන්නේ ඇයි?
මෙරට පරිසර ප්‍රශ්නයකදී වේවා වනජීවීන්ගේ ප්‍රශ්නයකදී වේවා අදාළ අමාත්‍යාංශය සෑම විටම සිටින්නේ නිද්‍රාශීලීවය. එසේ සිදුවන්නේ ඇයි? විල්පත්තු වන සංහාරය ගැනත් ඔවුන් මුනිවත රැක්කේ එසේමය. පරිසර සංවිධාන සහ පරිසරවේදීන් එම සටන ජය ගත්තා. අග්බෝ ඇතාගේ ප්‍රතිකාර සම්බන්ධයෙන්ද තත්ත්වය එසේමය. වනජීවී ලෝලීන් හා සංවිධාන නොවන්නට අග්බෝ ඇතා මියගොස් මේ වනවිට බොහෝ කාලයක් ගතවී අවසන්ය. ස්කෑන් යන්ත්‍රය පිළිබඳ කතාව ඊට හොඳම උදාහරණය වේ. ආසන්නම උදාහරණය වනුයේ භාතිය ඇතාගේ සිද්ධියයි. මුහුණු පොත, වනජීවී ඡායාරූප ශිල්පීන් හා වනජීවී සංවිධාන නොවන්නට වනජීවීය ක්‍රියාත්මක වූයේ ඇල්මැරුණු ස්වභාවයකිනි. ඊට එල්ලවූ දැඩි බලපෑම නිසා ඔවුන්ට ක්‍රියාත්මක වන්නට සිදුවිය. එහෙම සිදුවන්නේ ඇයි? වරද තිබෙන්නේ කොතැනද?අනෙකුත් වනජීවීන් හා පාරිසරික ප්‍රශ්න පිළිබඳවද මීට වඩා වෙනසක් නොවේ.
මෙරට වනජීවීන් හා ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම සඳහා වනජීවීයට බලය පැවරී ඇත්තේ 1937 අංක 2 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනත මගිනි. එකී පනත යාවත්කාලීන කොට අදාළ නීතිරීති මදි නම්, කාලයට ඔබින ලෙස සකස් කිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ පුටුවල වගකීම වේ. අමාත්‍යවරයාගේ ගුණ ගායනා කිරීම හෝ වන්දිභට්ටකම් කිරීමෙන් පරිසරයට හෝ වන ජීවීන්ට ඇතිවන සෙතක් නැත. ඒ පනතට එක්විය යුතු සංශෝධන ගැන සංවාදයක් මේ වනවිටද ඇතිවී තිබේ. වන සංරක්ෂණය, මධ්‍යම පරිසර අධිකාරිය හා වනජීවී දෙපාර්තමේන්තුව හා අනෙකුත් සබැඳි ආයතන එකට එක්කොට මෙරට පරිසරය සුරැකීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට මෙතෙක් නොහැකි වී ඇත්තේ ඇයි? එය කිරීමට වර්තමාන රජයට ස්වර්ණමය අවස්ථාවක් දැන් ලැබී ඇත. ඇමැතිවරයා, නිලධාරීන්, බලධාරීන් පරිසරයට සංවේදී විය යුතුය. නමුත් අද සිදු නොවන්නේද එයයි.
අලි – මිනිස් ගැටුමට සාධාරණ විසඳුම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කොට එම ගැටලුව විසඳීමට ක්‍රියාත්මක නොවන්නේ ඇයි? 2020 වසරේදී සකස් කළ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම, වන සංරක්ෂණය උදෙසා දිගුකාලීන හා මධ්‍යකාලීන වැඩපිළිවෙළක් සැකසීම මිනිසාට මෙන්ම සතා සිවුපාවාටද, ගහකොළවලටද මිහිතලයේ සමාන අයිතිවාසිකම් ඇති බව රාජ්‍ය ප්‍රතිපත්තිය වීම එහි මූලික කරුණු කාරණා බව අපි සඳහන් කළ යුතුය.
අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති, අවිධිමත් කෘෂි ව්‍යාපෘති, තාක්ෂණය මුල්කරගත් කෘෂිකර්මාන්ත ක්‍රමවේද හඳුන්වාදීම යෝජනා කීපයක් ලෙසද සඳහන් කළ හැකිය. ප්ලාස්ටික් හා පොලිස් භාවිතය අවම කිරීම හා ඒවා පරිසරයට මුදාහරින අයට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම අද වනවිට අත්‍යාවශ්‍ය ක්‍රියාමාර්ගයක් වී තිබේ. පරිසර සතියක් හඳුන්වා දීමෙන් පමණක් මෙරට පරිසර ප්‍රශ්න විසඳීමට පුළුවන් යැයි සිතීම රෑ වැටුණු වළේ දවල් වැටීමකි.
පසුගිය දශක තුන හතරක කාලය තුළ සිදුවූයේද සංදර්ශන පමණකි. උදාහරණයක් ලෙස මෙරට වන ගහන සංයුතිය දශක කීපයක් තුළ ඉතා ශීඝ්‍රයෙන් අඩුවී ඇත. වන සංරක්ෂණ ඊට යොදා ඇති වැඩපිළිවෙළ මොනවාද? වෙරළ සංරක්ෂණය, ගංගා, ඇළ දොළ පාරිසරික වශයෙන් දූෂණය වීම වැළැක්වීමට අදාළ රාජ්‍ය ආයතන ගෙන ඇති සාධනීය පියවර මොනවාද? පරිසරය තුළින් මුදල් ඉපැයීම වාගේම ඊට සාපේක්ෂව පරිසර සුරක්ෂිතතාව සඳහා කොපමණ මුදල් ප්‍රමාණයක් වෙන් කොට තිබේද? දියුණු පරිසර සුරක්ෂිතතාවක් සහිත රටක් වන්නට අපේ රට සූදානම්ද?
පරිසරය විනාශ වුවහොත් මෙරට සංචාරක ව්‍යාපාරයට කණකොකා හඬලනුයේ එක රැයකිනි. සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ අපේ රටේ පරිසරය රසවිඳීමට විනා සංචාරක හෝටල්වල ලැගුම් ගැනීමට නොවන බව සියලු දෙනා තරයේ මතක තබාගත යුතුය. ඉදිරි වසර 5ක කාලය තුළ මෙරට පරිසරය හා වනජීවීන් සංරක්ෂණය කිරීම හා පෝෂණය කිරීම වර්තමාන පරිසර අමාත්‍යාංශයේ මූලික වගකීම වන අතර, එය සිදුවන ආකාරය මත මෙරට පරිසරයේ අනාගතය තීරණය වනු ඇත.
කරුණු කාරණා ලබාදීම සම්බන්ධයෙන් පරිසරවේදී සුපුන් ලහිරු ප්‍රකාශ් සහෝදරයාට විශේෂ ස්තුතිය පළකරමු. උපනූපන් පරපුරට නිල්ල පිරුණු රටක හුස්ම ගන්නට හැකි සුන්දර පරිසරයක් මේ නිජබිම තුළ නිර්මාණය කිරීමට කැලෑ කොලමේ අපි සෑම විටම ඉදිරියෙන් සිටිමු. එය අපගේ ප්‍රාර්ථනය වේ.






සමන් හල්ලොලුව










