• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

කැබිනට් සංශෝධනය නවතී! බිමල්ගේ ගේමට හඳුන්නෙත්ති හරහට හිටී! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

June 1, 2025
in Exclusive, Rajya Rahas
Reading Time: 16 mins read
A A
Share on WhatsAppShare on Facebook

හරිනිත් ගේමට බහී!

එජාප ප්‍රබලයන් සජිත් හමුවෙයි!

නාමල්ගෙන් ඩුබායි සිට සජබ ප්‍රබලයකුට කෝල් එකක්!

මාලිමාවත් ගෝඨාගේ රිවස් වැඩේ පටන් ගනී!

අපේ කතාව හරියටම හරි

පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අපි ජවිපෙ සහ මාලිමාව අතර ආණ්ඩුව ඇතුළේ මෝදුවෙමින් පවතින අර්බුදය පිළිබඳ තොරතුරු රැසක් සමග දීර්ඝ විස්තරයක් පළකිරීමට පියවර ගත්තෙමු. එහිදී අප මාලිමා ආණ්ඩුව ඇතුළේ අගමැතිවරිය ලෙස කටයුතු කරන හරිනි අමරසූරිය ඉලක්ක කරගෙන ජවිපෙ විසින් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් පාඨකයන් හමුවේ ගෙනහැර දැක්වීමට පියවර ගත්තෙමු. අප එම ලිපිය සකස් කළ බ්‍රහස්පතින්දා සවස් වරුව වනවිට වාර්තා වූ තවත් තොරතුරකින් කියැවුණේ ජවිපෙ ප්‍රබල අමාත්‍යවරයකු වන බිමල් රත්නායක මහතා විසින් අප පළමු වරට රටට අනාවරණ කළ මෙම අර්බුදය තවත් ආකාරයකින් තහවුරු කිරීමට කටයුතු කොට ඇති බවකි. ඒ, රාජ්‍ය මාධ්‍යයක් වන ස්වාධීන රූපවාහිනියේ මාධ්‍යවේදී සිසිර යාපා විසින් මෙහෙයවනු ලබන දේශපාලන වැඩසටහනකට එක්වෙමිනි. එහිදී හරිනි සම්බන්ධයෙන් අප කළ අනාවරණයන් තහවුරු කරමින් බිමල් රත්නායක ඉතා සංයමයකින් යුතු වචන හරඹයක යෙදෙමින් මෙම අර්බුදය ප්‍රසිද්ධියේ එළියට දැමීමට පියවර ගත්තේය. ඒ වනවිටත් අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හරිනි හට මිලින්ද මොරගොඩගේ පාත් ෆයින්ඩර් ආයතනය මගින් සංවිධාන කළ සමුළුවකට ආරාධනාවක් එවා තිබූ ආකාරයත්, හරිනි එම ඇරයුම පිළිගෙන තිබූ ආකාරයත්, පසුව කුමන හෝ හේතුවක් මත එම ආරාධනාව ප්‍රතික්ෂේප කොට තිබූ ආකාරයත්, ඒ අනුව පාත්ෆයින්ඩර් ආයතනය අදාළ සමුළුවේ ප්‍රධාන කතාව සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආරාධනා කොට තිබූ ආකාරයත් වාර්තා කර සිටියෙමු. එම තොරතුරු ඇතුළත් ‘රාජ්‍ය රහස්’ ලිපිය අවසන් කරනවාත් සමගම බිමල් ස්වාධීන රූපවාහිනියට පැමිණ සිසිර යාපා හට කියා සිටියේ මාලිමා ආණ්ඩුවේ එන්ජිම වෙනස් කිරීමේ කාලය පැමිණ ඇතැයි කියාය. එහිදී තමන්ගේද ඇතුළුව අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවීමට නියමිතව ඇති බවත්, ඇතැම් ඇමැතිවරුන්ගේ වගකීම් වෙනස් විය හැකි බවත් එහිදී බිමල් අවධාරණය කර සිටියේය. පහත පළවන්නේ බිමල් ඒ සම්මුඛ සාකච්ඡාවේදී අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් කර තිබූ ප්‍රකාශයය.Sri Lanka Latest News

බිමල් තහවුරු කළා

ප්‍රශ්නය
අමාත්‍යාංශ යටතේ තිබූ ආයතන ගණනාවක සභාපතිවරු ඉල්ලා අස්වුණා. ඇයි ඒ?

අපේ මේ සභාපතිවරු සියලු දෙනාම වගේ, 99%ක්ම වගේ පත්කළේ ඇමැතිවරු තුන්දෙනාගේ ආණ්ඩුව ඇතුළේ. අපිට තිබුණා ඒ වෙලාවේ රට අස්ථාවර නොවී පාලනය කරන්න. අපි 21ක විතර කණ්ඩායමක් එකතු වෙලා ඒවට විවිධ සභාපතිවරු නායකවරු පත්කළා. ඒ සමහර අය පත් වුණේම කෙටි කාලයකට. ඒ අයත් ඒක දන්නවා. සමහරු ස්වේච්ඡාවෙන්ම ඉවත් වෙලා ගියා. තවත් පිරිසක් ඡන්දේ ඉල්ලන්න ඒ තනතුරුවලින් ඉවත් වුණා.

රාජ්‍ය පාලනය කියන එක තේරුම් ගන්න වෙන්නේ ඒකට බැහැලම තමයි. ආයතනයක් පාලනය කරන්න දැනුම, විනය, කළමනාකරණය අවශ්‍යයි. අවස්ථාවෝචිත ප්‍රඥාව අවශ්‍යයි. තව ගොඩක් දේවල් අවශ්‍යයි. සමහර අයට හොඳ කොලිටීස් තිබුණට අර කොලිටීස් නැහැ. සමහර අය ඇත්තටම සුදුසු නැහැ. මම වුණත් අමාත්‍යාංශය භාරගනිද්දී කිව්වේ මමත් ඉන්නේ මාස හයයි, මට බැරිනම් මම ලියුම දීලා අයින් වෙනවා, මට මේක බදාගෙන ඉන්න අවශ්‍ය නෑ. අපිට තියෙනවා අවුරුදු 2000ක විතර වැඩ කරන්න. පළමු වතාවට තමයි පහළ පන්තියේ මිනිස්සුන්ගේ ආණ්ඩුවක් හැදුණේ. සුද්දෝ පාලනය කළත්, රජ්ජුරුවෝ පාලනය කළත් මේ රටේ දුප්පත් මිනිස්සු ගැන බැලුවේ නෑ. ඒ නිසා අවුරුදු 2000ක විතර ප්‍රශ්න තියෙනවා විසඳන්න. හැම කෙනාටම වගකීමක් තියෙනවා. අපිට පුළුවන් නම් කරනවා, බැරිනම් නිහතමානීව ඉවත් වෙලා යන්න ඕන. මේ මැෂින් එකේ දුවද්දී තමයි කාටත් තේරෙන්නේ මේ දේ අපිට කරන්න පුළුවන්ද බැරිද කියලා. ඒ නිසා අපි මේ පළමු මාස හයේ කළේ පුරුදු වෙන එක. අත්දැකීම් ගන්න එක. අපි නිලධාරීන්ව විශ්වාස කරන්නේ නෑ. ඒ අයගේ පොර ටෝක් අපි ගොඩක් අහලා තියෙනවා. අපිට තේරෙනවා මේ අය කියන දේ කරන්න පුළුවන්ද බැරිද කියලා. අපිටත් තේරෙනවා මේ අය යමක් කිව්වට ඒ අයගේ ඔළුවේ තව දෙයක් තියෙනවා කියලා. සමහරු කම්මැළියි. සමහරු දේශපාලන හෙංචයියෝ. අපි මේ මාස හයේ කළේ දෙගොල්ලන්වම තේරුම් ගැනීම. එහෙම නැතුව වෙන කිසිම ක්‍රමයක් නෑ මේ දෙගොල්ලන්ව තේරුම් ගන්න. දැන් අපි ඡන්ද සියල්ල අවසන් කරලයි ඉන්නේ. දැන් තියෙන්නේ ඊළඟ අවුරුදු හතරහමාර ඩ්‍රයිව් කරන්න. ඒකට අපිට එන්ජිමට හොඳ කොටස්, හොඳ මැෂින් අවශ්‍යයි.

ඒ අනුව ඉදිරි මාස කිහිපයේදී මමත් ඇතුළුව වගකීම් මාරුකරන්න බලාපොරොත්තු වෙනවා. සමහර විට අලුත් අය පත්කරනවා. ඒවා අපි ඉතා සුහදව සාකච්ඡා කරලා කරනවා. සමහර අය ගොඩක් ඉන්නවා ස්වේච්ඡාවෙන් ඇතුළට ඇවිල්ලා වැඩකරන්න කැමැති අය. අපි ජනවරමට වග කියන්න ඕනේ. ජනතාවට වග කියන්න ඕනේ. හැබැයි බොරු කියනකොට, අපිව රවට්ටන්න හදනකොට අපේ ඉවසීමේ සීමාව පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා….’ යැයි බිමල් එහිදී කියා සිටියේය.

කසකරුවන් එළියට ආවා

බිමල්ගේ මේ කතාවේ තිබූ බරපතළම ප්‍රකාශය ලෙස ගත හැක්කේ මාලිමා ආණ්ඩුවේ එන්ජිම අලුත් කළ යුතු බවට කළ ප්‍රකාශයය. ඒ හරහා පැහැදිලිවම බිමල් භාවිත කළ වචනවලින් අප මුල සිටම ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අනාවරණ කළ ආණ්ඩුව ඇතුළේ මෝදුවෙමින් තිබූ ජවිපෙ-මාලිමා ගැටුම තහවුරු කළ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව අප බිමල් කළ එම ආන්දෝලනාත්මක ප්‍රකාශය පසුගිය සතියේ ‘මව්රට’ ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස රටට අනාවරණ කිරීමටද කටයුතු කළෙමු. ඒ අනුව මෙතෙක් විවිධ සාකච්ඡා මේසයන්වලට පමණක් සීමා වී තිබූ ජවිපෙ-මාලිමා අභ්‍යන්තර ගැටුම රටම දන්නා ප්‍රසිද්ධ කාරණයක් බවට පත්වූයේ බිමල්ගේ මේ කතාවෙන් අනතුරුවය. ඒ අනුව අපට කීමට ඇත්තේ මේ එන්නේ ජවිපෙ-මාලිමා ගැටුමේ කසකරුවන් යැයි කියාය. පෙරහැර එන්නේ තව ටිකක් පමාවීය. ඒ අනුව එළියට පැන්න මේ මාලිමා-ජවිපෙ අර්බුදයේ හොඳ හොඳ සෙල්ලම් දැකගැනීමට හැකි වනුයේ ඉදිරි කාලවකවානුවේදීය.

බිමල් යනු මේ වනවිට ජවිපෙ තුළ සිටින ප්‍රබලතම පුද්ගලයකු ලෙස සැලකිය හැකිය. ඔහු ජවිපෙ ඇතුළේ දෙවැනි වන්නේ පක්ෂ මහලේකම් ටිල්වින් සිල්වාට පමණි. ජවිපෙ දැඩි මතධාරියකු ලෙස සැලකෙන බිමල් විප්ලවකාරී, රැඩිකල් චරිතයක් ලෙසද ප්‍රකටය. කෙසේ වෙතත් බලය කේන්ද්‍රගතව ඇති ජවිපෙ වැනි පක්ෂවලටද යම් යම් කාලවලදී පක්ෂ අභ්‍යන්තරයෙන්ම පැනනැගී එන බල අරගලවලට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. ජවිපෙ පමණක් නොව, දැඩි නීති සහිත ගරිල්ලා සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ.යේ පවා අවස්ථා කීපයකදීම අභ්‍යන්තර බල අරගල හේතුවෙන් දෙකඩ වී ගිය අවස්ථාවන්ට උදාහරණ බොහෝය. විශේෂයෙන්ම දැඩි නීතිරීති සමුදායකින් සමන්විත වූ එල්.ටී.ටී.ඊ.ය 2001 වසරේදී ආරම්භ වූ සාම සාකච්ඡා හේතුවෙන් දෙකඩ වී ගියේය. ඊට හේතු වූයේ තොප්පිගල කැලෑවේ ජීවත් වූ එල්.ටී.ටී.ඊ. සන්නද්ධ අංශ නායකයා වූ කරුණා අම්මාන්ට පළමු වතාවට කැලයෙන් එළියට පැමිණ සාම සාකච්ඡා පැවැත්වූ තායිලන්තය, යුරෝපය ඇතුළු ලොව රටවල් ගණනාවකට සංචාරය කිරීමට අවස්ථාව ලැබීමය. ඒ අනුව ලෝකය දැකබලා ගත් කරුණා අම්මාන් එල්.ටී.ටී.ඊ.යෙන් කැඩී වෙනම කණ්ඩායමක් ලෙස ආණ්ඩුවට සහාය දෙමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ කිරීමට ආරක්ෂක අංශ සමග එක්විය.

එමෙන්ම ජවිපෙද 2002 පරිවාස ආණ්ඩු සමයේදී චන්ද්‍රිකා සමග එක්ව ඇමැතිකම් ලබාගැනීමට පියවර ගත්තේය. නමුත් ජවිපෙ පරිවාස ආණ්ඩුවෙන් එළියට බැසීමට තීන්දු ගනිද්දී මේ ආකාරයටම ජවිපෙ ඇතුළේ බරපතළ මතගැටුමක් ඇති විය. මීට අමතරව යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී 2008 වසරේදී මහින්ද රාජපක්ෂගේ අයවැය පරාජයට පත්කිරීමට එජාපය සමග එක්ව ජවිපෙ කටයුතු කරද්දී විමල් වීරවංශ ඇතුළු ජවිපෙ ප්‍රබලයන් කණ්ඩායමක් ජවිපෙ දෙකඩ කරගෙන මහින්දගේ ආණ්ඩුවට සහාය දීමට කටයුතු කළහ. ඒ හේතුව මත ජවිපෙ දෙකඩ වී ඉතා අසීරු තත්ත්වයකට පත්වූ ආකාරයක් දැකගත හැකි විය.

එසේම 71 කැරැල්ලෙන් පරාජයට පත්වීමෙන් පසුද ජවිපෙට මෙවැනිම වාතාවරණයකට මුහුණ දීමට සිදුවිය. එහිදී ජවිපෙ ප්‍රබලයන් රැසක් සිරගත වූ අතර, තවත් නමගිය විශාල පිරිසක් ජවිපෙ දේශපාලනය අත්හැරීමට පියවර ගත්හ. තවත් කණ්ඩායමක් ජවිපෙ දැඩි ලෙස විවේචනය කරමින් ජවිපෙ විරෝධීන් බවට පත්වූහ. තවත් සමහරු සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් ඉවත්ව තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරගෙන ජීවත් වීමට පියවර ගත්හ. ඒ ආකාරයට දැඩි නීතිරීති සමග ක්‍රියාත්මක වූ දේශපාලන හා සන්නද්ධ ව්‍යාපාරයන් අභ්‍යන්තර බල අරගල හේතුවෙන් බිඳී ගිය ආකාරයට තවත් බොහෝ උදාහරණ ජාත්‍යන්තර දේශපාලනයේ පවා තිබේ.

හඳුන්නෙත්ති උත්තර දෙයි

ඒ අනුව දැන් බිමල්ද කතා කරන්නේ සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ අභ්‍යන්තර වෙනසක් සිදුකොට ජවිපෙ ප්‍රබල සාමාජිකයන්ට තැන ලබාදිය යුතු යැයි කියාය. නමුත් ප්‍රශ්නය ඇත්තේ ජවිපෙට ජනාධිපතිකම්, ඇමැතිකම් ඇතුළු සියල්ල ඉතිහාසයේ පළමු වතාවට හිමිව පැවැතියදී ඒවා අතහැර බිමල් පස්සේ යෑමට ජවිපෙ සාමාජිකයන් සූදානම් වනු ඇද්ද කියාය. යථාර්ථවාදී දේශපාලනයේ නම් එවැන්නක් කිසිසේත්ම සිදුවිය නොහැක. ඊට හොඳම උදාහරණය වන්නේ බිමල් රාජ්‍ය මාධ්‍යයට පැමිණ මෙම කතාව කියා දින දෙක තුනක් ඉක්ම යෑමට මත්තෙන් ආණ්ඩුවේ තවත් ප්‍රබල අමාත්‍යවරයකු වන සුනිල් හඳුන්නෙත්ති සියත නාලිකාවට පැමිණ බිමල්ගේ කතාවට හාත්පසින්ම වෙනස් කතාවක් සිදුකිරීමය. එහිදී සියත මාධ්‍යවේදියා සුනිල්ගෙන් ආණ්ඩුවේ එන්ජිම වෙනස් වන්නේදැයි ඇසූ විට හාස්‍යජනක ලෙස සිනාසෙමින් සුනිල් කීවේ මේ වනවිට ආණ්ඩුවේ එන්ජිම හොඳට දුවමින් තිබෙන බවත්, ඒ නිසා එහි කිසිදු වෙනසක් සිදුකළ යුතු නැති බවත්ය. එමෙන්ම අමාත්‍ය මණ්ඩලයේ පවා කිසිදු වෙනසක් සිදුකළ යුතු නැති බව කී සුනිල්, සියලුම ඇමැතිවරුන්ද මේ වනවිට තමන්ට පවරා ඇති රාජකාරි ඉතා හොඳින් සිදුකරගෙන යන බවද සඳහන් කළේය. මේ, පහත පළවන්නේ සුනිල් හඳුන්නෙත්ති සියත නාලිකාවට පැමිණ කී මේ කතාවට අදාළ කොටසය.

මාධ්‍යවේදියා
මේ දවස්වල වැඩිපුරම දේශපාලනයේ කතාකරන මාතෘකාවක් වෙලා තියෙනවා ඇමැති මණ්ඩලයේ වෙනස් කිරීමක් ගැන. ඇත්තටම ඇමැති මණ්ඩලයේ වෙනස් කිරීමක් සිදුවෙනවද?

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
ඇත්තටම එහෙම දෙයක් නෑ. මම ඔබ දැන් මේ කියනකොට තමයි මමත් මේ බැලුවේ මොකක්ද මේ කියලා. මේ රටේ ජනතාව ජාතික ජන බලවේගයේ අපිට බලය දුන්නේ අනුර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් තුනෙන් දෙකේ බලයක්. මන්ත්‍රීවරු 159 දෙනෙක්. ඒ බලය දුන්නේ සාමූහිකව වැඩකරන්න. අපි වැඩකරන්නේ සාමූහික කණ්ඩායමක් හැටියට. අපි මීට කලිනුත් මේක කියලා තියෙනවා. අපිට තනි තනි පුද්ගල ජයග්‍රහණ නෑ. පුද්ගලයන් හැටියට අපිට කපා කොටාගෙන යන ඉලක්ක අපිට නෑ. අපි ඇමැති මණ්ඩලයේ සංශෝධනයක් කරනවා නම්, වෙනත් ඕනෙම වගකීමක් අපි හුවමාරු කරනවා නම් ඒක කරන්නේ සාමූහික ක්‍රියාවලියක් හැටියට. ඒක කෙරෙන්නේ ඇත්තටම අවශ්‍යතාවකට අනුව. අපට එහෙම අවශ්‍යතාවක් නෑ දැන්. අපේ ඇමැති මණ්ඩලය වෙනස් කරන්න වෙන කාට හරි වුවමනාවක් තියෙනවද කියලා මට තේරෙන්නේ නෑ.

මාධ්‍යවේදියා
එන්ජිමේ කෑලි මාරුකරලා ආපහු එන්ජිම පොඩ්ඩක් ෆික්ස් කරන්න ඕනේ කියලා කතාවක් පහුගිය දවස්වල ඇතිවුණා?

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
එහෙම කතාවක් ඇතිවෙන්න හේතුවක් නෑනේ. මොකද අපි සාමූහිකව ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. මොකද මාස 7ක 8ක කාලයක් දැනට ගතවෙලා තියෙන්නේ. ඒ කාලය තුළ අපේ ඉලක්ක සම්පූර්ණ කරගෙන අපි යනවා.

ආර්ථිකය කඩාවැටිලා කිව්වා. නමුත් අද වාර්තා වෙනවා 2025 පළමු මාස 04දී අපේ අපනයන ආදායම බිලියන 5.59යි. ඒ කියන්නේ ගිය අවුරුද්දේ පළමු කාර්තුවට සාපේක්ෂව මේ අවුරුද්දේ ගත්තොත් අපනයන වර්ධනය වෙලා තියෙනවා 6.9%කින්. ඒ කියන්නේ රටක ආර්ථිකය මනින ප්‍රධාන නිර්ණායකයක්නේ අපනයන ආර්ථිකය දියුණු වීම. අපේ ඉලක්කය විදියට අපි කිව්වේ මොකක්ද? අපි මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දුව තමයි අපි නිෂ්පාදන ආර්ථිකයක් හදනවා, ඒ නිෂ්පාදන ආර්ථිකය ජනතාවගේ සහභාගිත්වය සහිතව, ජනතාවට ප්‍රතිලාභ ලැබෙන විශේෂයෙන්ම අපේ අපනයන ආදායම් වැඩිකරන්න. අපි අපේ අපනයන ආදායම වැඩිකරලා තියෙනවා. එතකොට කර්මාන්ත ඇමැති හරි වෙළෙඳ ඇමැති හරි කෘෂිකර්ම ඇමැති හරි වැවිලි කර්මාන්ත ඇමැති හරි ධීවර ඇමැති හරි වෙනස් කරන්න ඕනෙද? මොකද අපි කණ්ඩායමක්නේ. අපි කණ්ඩායමේ සාමූහික ප්‍රතිඵලයක් හැටියට අපනයන ආර්ථිකය දියුණු වෙලා තියෙනවා. මේ රටේ ඉන්න ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඔබ විශ්වාස කරන්නෙ, අකාර්යක්ෂමද? දූෂිතද? අපේ ඇමැති මණ්ඩලයේ කිසි කෙනකුට තියෙනවද එක රුපියලක්වත් හොරකම් කළා කියලා චෝදනාවක්? එහෙම නම් කවුරුත් කියන්න කලින් අපි වෙනස් වෙනවා. අපට මේක කරන්න බෑ කියලා කවුරු හරි කියලා තියෙනවද? මොකක්ද වෙනස් වෙන්න හේතුව?

කලින් නම් තිබුණා හොරකම් කරනවා. මට මතකයි රවී කරුණානායක එක වෙලාවක ඉල්ලා අස්වුණා. ගාමිණී මාරපන ඉල්ලා අස්වුණා. ඒගොල්ලන්ගේ ඇමැති මණ්ඩලයේ කට්ටිය අයින් වුණා. අයින් කළා. නායකයට කැරැල්ලක් ගහනවා. කුමන්ත්‍රණය කරනවා. කල්ලියක් හදනවා. එතකොට ඇමැති මණ්ඩලය මාරු කරනවා. ඉඟුරු කල්ලිය, මිරිස් කල්ලිය කියලා ඒ කාලේ හැදුවානේ ආණ්ඩුවල. අපිට එහෙම තියෙනවද? එතකොට මේක තියෙන්නේ දැන් අර මොකක්ද එක වැටෙයි වැටෙයි කියලා එක වෙලාවක නැකැත් කියනවා අප්‍රේල් වට්ටනවලු. මම දැක්කා එක්කෙනෙක් කියනවා ලබන අවුරුද්දේ මැයි 27 වට්ටනවලු. එහෙම කියලා, කියන කට්ටිය වැටෙනවා… යැයි හඳුන්නෙත්ති කී කතාව විය.

ජවිපෙ ඇතුළෙත් අවුලක්ද

බිමල්ගේ සහ සුනිල් හඳුන්නෙත්තිගේ මේ කතා දෙක ගෙන බලන කල හඳුන්නෙත්ති මේ අනියමින් උත්තර දෙන්නේ කෙළින්ම බිමල්ට බව අමුතුවෙන් කිවයුතු නැත. හඳුන්නෙත්තිගේ කතාවේ වචනයක් වචනයක් පාසා ගෙන බලන විට ඒ සියල්ලෙන්ම පිළිතුරු දී ඇත්තේ බිමල් ඊට දින දෙක තුනකට පෙර ස්වාධීන රූපවාහිනියට ගොස් කී කතාවට උත්තරය. ඒ අනුව මාලිමා ආණ්ඩුව ඇතුළේ මාලිමාව සහ ජවිපෙ ගැටුමක් පමණක් නොව, ජවිපෙ සහ ජවිපෙ අතරද මේ වනවිට විවිධ කරුණු මුල්කොට ගෙන බරපතළ මතගැටුමක් මතුවී ඇති බව මේ සිදුවීම හරහා පැහැදිලිය. මෙහිදී ජවිපෙ සියලු මැති ඇමැතිවරු බිමල්ගේ ස්ථාවරය සමග එකට සිටින බව බොහෝ දෙනා සිතා සිටියත් හඳුන්නෙත්තිගේ මේ ප්‍රකාශය හරහා බිමල් සමග ජවිපෙ මැති ඇමැතිවරුද 100%ක්ම නොසිටින බව දැකගන්නට පුළුවන.

හරිනි මොකද්ද කරන්නේ

මේ තත්ත්වය යටතේ හරිනි මේ වනවිට මෙම අර්බුදයට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳවද සොයා බැලිය යුතුව ඇත. මෙම ගැටුම පටන් ගනිද්දී බොහෝ අය සිතා සිටියේ හරිනි දේශපාලනයට අලුත් නිසා ජවිපෙ තර්ජන ගර්ජන මැද ඔළුව පහත් කරගෙන සිටිනු ඇතැයි කියාය. අනෙක් අතට බිමල්ගේ කතාවේදී බිමල් කී ආකාරයට අනුර පමණක් මාලිමා ආණ්ඩුවේ චරිතය බවට පත්කොට අනෙක් සියලු දෙනා දිය විය යුතු බවට කළ සඳහනට අනුව හරිනිද දියවී යනු ඇතැයි කියාය. නමුත් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ ජවිපෙ තර්ජන ගර්ජන මැද දියවී යෑමට හරිනි සූදානම් නැති බවකි. හරිනිද ජවිපෙ ගර්ජනවලට මුහුණ දෙමින් සටන් වැදීමට තීරණය කොට ඇති බවකි. පසුගිය කාලය පුරාම දැඩි නිහඬ බවක සිටි හරිනි ඒ අනුව මේ වනවිට තීන්දු කොට ඇත්තේ එම නිහඬ බව බිඳ ආණ්ඩුව ඇතුළේ සක්‍රීය චරිතයක් බවට පත්වීමටය. ඒ අනුව අපට කීමට ඇත්තේ හරිනි ගර්ජනවලට බියවී දියව යනු ඇති බවට ජවිපෙ සිතා සිටියා නම් එය 100%ක්ම වැරැදි යැයි කියාය. හරිනි යනු එසේ අභියෝග තර්ජන ගර්ජන මැද බියට පත්ව පලායන ජාතියේ චරිතයක් නොවේ. හරිනි යනු දේශපාලන වශයෙන් රැඩිකල් තීන්දු තීරණ ගැනීමට සූදානම් විප්ලවකාරී කාන්තා චරිතයකි. ජවිපෙ වැනි පක්ෂයක් සමග දේශපාලන වශයෙන් එකතු වීමට හරිනි වැනි කොළඹ ඉහළ පන්තිය නියෝජනය කරන චරිතයක් තීන්දු කරන්නේම ඇය සතුව ඇති එම රැඩිකල් දේශපාලන හයිය නිසාය. ඒ අනුව හරිනි මෙම ඇතුළෙන් ආ ප්‍රහාරය රාජ්‍යතාන්ත්‍රික ලෙස කළමනාකරණය කරමින් ඊට පිළිතුරු ලබාදීමට කටයුතු කළේ දේශපාලන උත්සව ගණනාවකට එක දිගට සහභාගි වීම හරහාය. එමෙන්ම අධ්‍යාපනය සම්බන්ධයෙන් පැවැති උත්සවයකදී ඇය රටේ දරුවන් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීමට පවා පියවර ගත්තාය. ඒ අනුව ඇය ජවිපෙට පෙන්වා තිබුණේ තමන් ජවිපෙ ගර්ජන හමුවේ බියවීමට සූදානම් නැති දේශපාලන චරිතයක් යැයි කියාය. ඒ ගර්ජනවලට මුහුණ දීමට තරම් ශක්තිමත් කශේරුකාවක් තමන්ට ඇතැයි කියාය.

අනුරගේ ස්ථාවරය

මෙම ජවිපෙ මාලිමා ගැටුමේදී ජනාධිපතිවරයාගේ ස්ථාවරය සම්බන්ධයෙන්ද සොයා බලනු වටී. ආණ්ඩුවේ අභ්‍යන්තර අරගලය පිළිබඳව බොහෝ දෙනා කතා නොකරන ලෙස දැනුම් දී තිබියදීත් ජවිපෙ 60 වැනි සංවත්සරයේදී පළමු ගල එල්ල කළේ වෙන කවුරුවත් නොව ජනාධිපතිවරයාය. එහිදී ජනාධිපතිවරයා භාවිත කළ වචනය වූයේ ආණ්ඩුව ඇතුළේ ඇතැම් ‘කවයන්‘ පවතිනවා යැයි කියාය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළත් පසුගිය සතියේදී හරිනි සහභාගි වී සිටි තවත් දේශපාලන වැඩසටහනකදී හරිනි ඉලක්ක කොට තවත් සියුම් ප්‍රහාරයක් එල්ල කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබිණි. පළමු කතාවේදී ඇතැම් ‘කව‘ යනුවෙන් සඳහන් කරමින් ජනාධිපතිවරයා හරිනි ඇතුළු කණ්ඩායම හැඳින්වුවත්, මේ කතාවේදී ජනාධිපතිවරයා ඊට භාවිත කොට තිබුණේ ‘අගතීන්’ යන වචනයය.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා විපක්ෂයේ කණ්ඩායම් ප්‍රසිද්ධියේ විවේචනය කරද්දී මෙවැනි වචන භාවිත කිරීමක් සිදුකරන්නේ නැත. ජනාධිපතිවරයාට සිය කතාවේදී සජිත්ට හෝ රනිල්ට හෝ මහින්දට හෝ නාමල්ට පහර දීමට අවශ්‍ය නම් ජනාධිපතිවරයා එම නම් ප්‍රසිද්ධියේම කියමින් විවේචනය කරන ආකාරයක් දැකගත හැකිය. නමුත් මෙවර කතාවේදී ජනාධිපතිවරයා සිය විවේචනය සිදුකළේ ‘අගතීන්’ යන වචනය භාවිත කරමිනි. ඒ හරහා බොහෝ දෙනා කියා සිටියේ අරලියගහ මැඳුරේ පැවැති මෙම කතාවේදී ජනාධිපතිවරයා හරිනිද වේදිකාවේ සිටියදී ‘අගතීන්’ යන වචනය භාවිත කළේ හරිනි ඇතුළු කණ්ඩායමට පොඩි ෂොට් එකක් දීම සඳහා යැයි කියාය.

ඒ අනුව බලන විට මේ වනවිට මේ ජවිපෙ-මාලිමා ගැටුම එක්තරා තීරණාත්මක තැනකට තල්ලු වී ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ හරහා හැකි වහාම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකළ යුතු බවට ජනාධිපතිවරයා වෙත දැඩි බලපෑම් පක්ෂය ඇතුළෙන් එල්ල වෙමින් තිබෙන බවද ආරංචිය. නමුත් තවත් පාර්ශ්වයන්ගෙන් එසේ නොකරන ලෙසටද ජනාධිපතිවරයා වෙත මේ වනවිට විශාල බලපෑමක් එල්ල වෙමින් තිබේ. ඒ අනුව මේ වනවිට බිමල් කී ආකාරයට ආණ්ඩුවේ එන්ජිම වෙනස් කොට දුවනවාද, එසේත් නැත්නම් හඳුන්නෙත්ති කී ආකාරයට කිසිදු ගැටලුවක් නැති නිසා මේ එන්ජිම තියෙන ආකාරයෙන්ම ඉදිරියට දුවනවාද යන බරපතළ උභතෝකෝටිකයට ආණ්ඩුව මුහුණ දී අති ආකාරයක් දැකගන්නට පුළුවන.

මෙම ප්‍රශ්නයට යම් පිළිතුරක් ජනාධිපතිවරයා විසින් සොයාගෙන ඇති ආකාරයේ සිදුවීමක් පසුගිය සතියේ හිටිහැටියේම දැකගන්නට හැකි විය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා සිය තීන්දු තීරණ ප්‍රසිද්ධ වේදිකාවේ පාක්ෂිකයන්ගේ අත්පොළසන් මැද රටට අනාවරණ කළත්, මෙවර ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සිය මතය සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයට පත්කිරීමට පියවර ගෙන තිබිණ. සාමාන්‍යයෙන් සිය ෆේස්බුක් පිටුවේ සාමාන්‍ය පණිවුඩයක් තබද්දී ජනාධිපතිවරයා පැහැදිලි ඡායාරූප පළකොට තිබුණද, මෙවර පළකොට තිබුණේ ඔහුගේ ඡායාරූපය අඳුරුව තිබෙන ආකාරයටය. එහි සඳහන්ව තිබුණේ ඉතා කුඩා වැකියකි. ඒ, සමාජ ප්‍රගමනය සඳහා තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැහැ..’ යන්නය.

සජබෙ අවුල

පළාත් පාලන ආයතනවල සභිකයන් තෝරා පත්කරගැනීම මුල්කොට ගෙන පසුගිය සතියේ සජබය ඇතුළේ යම් මතගැටුමක් නිර්මාණය වී තිබිණි. එහි කූටප්‍රාප්තිය වූයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් චමින්ද විජේසිරිත්, ගාල්ල ආසන සංවිධායක ධුරයෙන් බන්දුල බණ්ඩාරිගොඩත්, රත්තොට ආසන සංවිධායක ධුරයෙන් රංජිත් අලුවිහාරේත්, අනුර බුද්ධික හොරොව්පොතාන ආසන සංවිධායක ධුරයෙන් සහ අශෝක සේපාල නුවරඑළිය සම ආසන සංවිධායක ධුරයෙනුත් ඉල්ලා අස්වීමය. මෙම ඉල්ලා අස්වීම්වලට ආණ්ඩුව පැත්තෙන් පමණක් නොව, එජාපයේ යම් යම් පාර්ශ්වවලින්ද විශාල ප්‍රචාරයක් දුන් ආකාරයක් දැකගත හැකි විය. ඇතැම් තැන්වල විවිධ පුවත් පළකරමින් සහ සමාජ මාධ්‍යවල ප්‍රචාර යවමින් ඔවුන් කියා සිටියේ ‘සජබය ඉවරයි’ යැයි කියාය. ‘සජබය දියවෙමින් යනවා’ යැයි කියාය. ‘සජිත්ගේ නායකත්වය අවසන්’ යැයි කියාය.

මේ ආකාරයට යම් යම් කණ්ඩායම් සජබය ඇතුළේ ප්‍රශ්නය මාධ්‍ය මගින් උඩ දාගෙන ගැහුවත් සජිත් ඒ කිසිවකට කලබල වූයේ නැත. සත පහකට ගණන් ගත්තේවත් නැත. සජිත් උදේ දවල් රෑ වෙනසක් නැතුව ලොකු අවධානයක් යොමුකොට තිබුණේ ආණ්ඩුවට බහුතරය නොමැති පළාත් පාලන ආයතනවල සජබය ප්‍රධාන කොටගෙන බලය ඇල්ලීමේ තිරය පිටුපස මෙහෙයුමටය. මේ වනවිට ආණ්ඩුවට බහුතරය නොමැති පළාත් පාලන ආයතන 136ක් පවතින අතර, රටේම ජනතාව බලා සිටින්නේ මේ ආයතන 136 බලය කවර ආකාරයකින් විපක්ෂය පිහිටුවනු ඇද්දැයි කියාය. ඒ සියල්ල අතරවාරයේ මෙවැනි ඉල්ලා අස්වීම් සිදුවද්දී මේ සංවිධායකවරුන් සිතා සිටියේ තමන් සංවිධායක ධුරයෙන් ඉවත් වූ බවට මාධ්‍ය සාකච්ඡා තබා රටටම කියා සිටි පමණින් සජිත් ඔවුන්ගේ පස්සේ වැටී දණගහගෙන එනු ඇතැයි කියාය. නමුත් ඒ ආසන සංවිධායකවරුන්ගේ කන්කෙඳිරිලි තඹයකට මායිම් නොකළ සජිත්, පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට දැනුම් දී සිටියේ කිසිදු අයුරකින්වත් ලැයිස්තු මන්ත්‍රීවරුන් පත්කිරීමේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් සම්මත කළ නිර්ණායකයන්ට අනුව මිස ආසන සංවිධායකවරුන්ගේ අනිසි ඉල්ලීම්වලට යට නොවන්නැයි කියාය.

එජාප ප්‍රබලයන් හමුවෙයි

ඒ අතරවාරයේ සජිත් කළේ කිසිදු මාධ්‍ය ප්‍රසිද්ධියකින් තොරව විපක්ෂයේ අනකුත් පක්ෂ නායකයන් සහ නියෝජිතයන් හමුවෙමින් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමය. රනිල් පළමු වටයේදීම මෙම සාකච්ඡා සඳහා මාධ්‍ය ප්‍රචාරය දෙන්නට ගොස් ඇන ගැනීම නිසා සජිත් ඒ කිසිදු හමුවකට මාධ්‍ය ප්‍රචාරයක් දීමට පියවර ගත්තේ නැත. එසේ තිරය පිටුපස පැවැති ප්‍රධාන සාකච්ඡාවක් වූයේ සජිත් සහ එජාප ප්‍රබලයන් පිරිසක් අතර සිදුවූ හමුවය. පසුගිය සතියේ පැවැති එම සාකච්ඡාව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ නිවසේ පැවැති අතර, ඊට එජාපය පැත්තෙන් පක්ෂ මහලේකම් තලතා අතුකෝරල, සභාපති වජිර අබේවර්ධන සහ සාගල රත්නායක එක්ව සිටියහ. සජිත්, මද්දුමබණ්ඩාරට අමතරව නලින් බණ්ඩාර සහ මුජිබර් රහුමාන් සජබය පැත්තෙන් එක්ව සිටියහ. දීර්ඝ වේලාවක් පැවැති මෙම සාකච්ඡාවේදී පළාත් පාලන ආයතන 136ක බලය පිහිටුවීම සම්බන්ධයෙන් සුවිශේෂ එකඟතාවන් රැසකට පැමිණිමට දෙපිරිසට හැකි විය. සාකච්ඡාව අවසානයේදී මෙහි දෙවැනි පියවර සඳහා අනෙකුත් පක්ෂ නියෝජිතයන්ද එකතු කරගෙන කොළඹ අමාරි හෝටලයේ තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද සජිත් සහ තලතා එකඟතාවකට පැමිණියහ. එහිදී සජිත් කියා සිටියේ තමන්ද පෞද්ගලිකව මෙම සාකච්ඡාවට සහභාගි වන නමුත් කුමන හේතුවක් මත හෝ මාධ්‍යයට ඒ සම්බන්ධයෙන් කිසිදු ඉඟියක් ලබා නොදෙන ලෙසය. ඊට එජාප ප්‍රබලයන්ගේ ද එකඟතාව පළවිය.

ඔත්තුව දුන්නේ කව්ද?

ඒ අනුව විපක්ෂයේ සියලු පක්ෂ මහලේකම්වරුන්ට සහ නියෝජිතයන්ට කරනු ලැබූ දැනුම් දීමකින් අනතුරුව අමාරි හෝටලයේ සාකච්ඡාවද පසුගිය සතියේ පැවැත්වීමට පියවර ගැනිණි. ආරාධනා කොට තිබුණද ඊට පොහොට්ටුවෙන් කිසිදු නියෝජිතයකු සහභාගි වී නොසිටියේය. නමුත් අනෙකුත් සියලු විපක්ෂයේ පක්ෂ නියෝජිතයෝ ඊට සහභාගි වී සිටියහ. ඉතා ඵලදායී ලෙස පැවැති මෙම සාකච්ඡාව අවසන් අදියරට පැමිණි විට සජිත් ඇතුළු කණ්ඩායම එක්තරා විශේෂ තොරතුරක් වාර්තා විය. ඒ, මාධ්‍යයට කිසිදු ඉඟියක් නොදී රහසිගතව පැවැත්වීමට පියවර ගත්තද, මෙම සාකච්ඡාව පිළිබඳ යම්කිසි පාර්ශ්වයක් මාධ්‍යයට කරනු ලැබ තිබූ දැනුම් දීමකට අනුව ඒ වනවිටත් හෝටලය ඉදිරිපටට මාධ්‍ය කණ්ඩායම් පැමිණ ඇතැයි කියාය. ඒ අනුව සජිත් පිරිසට කියා සිටියේ කවුරුන් හෝ මෙම සාකච්ඡාව පිළිබඳ තොරතුර මාධ්‍යයට ලබාදී ඇති නමුත් කිසිදු නියෝජිතයකු මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍යයට කිසිදු ප්‍රකාශයක් නිකුත් කළ යුතු නැතැයි කියාය. සියලු පාර්ශ්වයන් අවසන් එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට නිල වශයෙන් ප්‍රකාශ නිකුත් කළ හැකි බවද සජිත් පිරිසට කියා සිටිද්දී සියලු දෙනාම ඊට සිය එකඟතාව පළ කර සිටියහ.

ඒ අනුව සියලු දෙනාම සොයා බලන්නට වූයේ මාධ්‍ය දැනුවත් නොකරන ලෙසට දැනුම් දී තිබියදීත් එම පුවත මාධ්‍යයට ලබාදුන්නේ කවුරුන්දැයි කියාය. ඒ අනුව ඔවුන්ට ඉතා කෙටි වේලාවකදී දැනගන්නට ලැබුණේ එජාප-සජබ එකතුවට සහාය නොදක්වන යම් සුළු කුමන්ත්‍රණකාරීන් පිරිසක් තවමත් එජාපයේ සිටින බැවින් ඔවුන් විසින් මෙම පුවත මාධ්‍ය වෙත ලබාදී ඇති බවකි.

කෙසේවෙතත් මෙහිදී විශේෂ යමක් සඳහන් කළ යුතුමය. අප එජාප-සජබ එකතු වීමට අකැමැති යම් කුමන්ත්‍රණකාරීන් පිරිසක් තවමත් සිටින බවට විශේෂයෙන් සඳහන් කළේ මේ පිරිස තිරය පිටුපස සිටිමින් මෙම එකඟතාවට අකුල් හෙළමින් සිටීම නිසාය. අපද මුල සිටම සිටි ස්ථාවරය වූයේ මෙම පක්ෂ දෙක එකතු විය යුතු වුවත්, එජාප නායක රනිල්ගේ න්‍යාය පත්‍රයට අනුව නොව, පොදු න්‍යාය පත්‍රයකට අනුව එම එකතු වීම සිදුවිය යුතු යැයි කියාය. මන්ද යත් මුල සිටම රනිල් සිටි ස්ථාවරය වූයේ සජබයත්, සජිත්වත් විනාශ කොට සහ සජබ නායකත්වයෙන් සජිත් ඉවත් කොට සිය නායකත්වය යටතේ එජාපය සහ සජබය සමග එක් කිරීමටය. ඒ සඳහා විවිධ කුමන්ත්‍රණ සහ උප්පරවැට්ටි රැසක් රනිල් විසින් ආරම්භයේ සිටම ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ සියලු උප්පරවැට්ටි අප විසින්ද වරින් වර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට අනාවරණ කරනු ලැබීය. නමුත් මේ වනවිට රනිල්ටද පක්ෂය ඇතුළෙන් විශාල බලපෑමක් එල්ල වී ඇත්තේ සජබය සමග මේ මොහොතේ හෝ එක්විය යුතු බවටය. මේ නිසා රනිල්ද මේ මොහොතේ සිටින්නේ කිසිවක් කරගත නොහැකි තත්ත්වයට පත්ව, කිසියම් හිරවිමකය. එසේ වුවත් සජබය දෙකඩ කිරීම සඳහා රනිල් විසින් දියත් කොට ඇති කුමන්ත්‍රණද තවමත් අවසන් වී නැත.

රනිල් අලුත් ගේමක

එහි තවත් පියවරක් පසුගිය සතියේද රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී රනිල් විපක්ෂයේ පක්ෂ නියෝජිතයන් කීප දෙනකුටම සාකච්ඡාවක් සඳහා ආරාධනා කොට තිබූ අතර, ඊට පොහොට්ටුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක්ද, ශ්‍රීලනිපයේ නියෝජිත කණ්ඩායමක්ද එක්ව සිටියහ. සජිත් සහ විපක්ෂ නියෝජිතයන් අතර එක්තරා ආකාරයකින් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා එකඟතාවන් මතුවෙමින් තිබූ පසුබිමක මෙම සාකච්ඡාවේදී රනිල් කළේ එම එකඟතාවන් බිඳවට්ටන ආකාරයේ අලුත් තියරියක් විපක්ෂයේ නියෝජිතයන්ට ඉදිරිපත් කිරීමය. මෙහිදී ඉතා සූක්ෂ්මව සිය සැලසුම ඉදිරිපත් කරමින් රනිල් කියා සිටියේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ඒ ඒ විපක්ෂයේ පක්ෂ ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතයට අනුව තනතුරු හිමිවිය යුතු යැයි කියාය. ඒ අනුව විපක්ෂයේ සියලු පක්ෂ අතර සභාපතිකම් සහ උපසභාපතිකම් බෙදීයා යුතු බව රනිල්ගේ තියරිය විය. එය සාධාරණීකරණය කරමින් රනිල් කියා සිටියේ සජබය හැරුණු විට අනෙකුත් විපක්ෂයේ සියලු පක්ෂ එක්ව බලද්දී සජබයට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇති බවත්, එම නිසා සියලු පළාත් පාලන ආයතනවල සභාපති ධුරයන් සජබයට පමණක් ලබාදිය නොහැකි බවත්ය. මෙහිදී සජබය 55%ක් ගනිද්දී 23%ක් පොහොට්ටුවත්, 13%ක් එජාපයත්, 10%ක් ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදුජන පෙරමුණත් ලබාගෙන ඇති බව පෙන්වා දුන් රනිල්, ඒ සම්බන්ධයෙන් සජිත් සමග සාකච්ඡා කොට විපක්ෂයේ අනෙකුත් පක්ෂවලටද සභාපති ධුර හිමිවිය යුතු බව දැනුම් දෙන ලෙස කියා සිටියේය.
රනිල් මේ ගේම ගැහුවේ වෙන මොකකටවත් නොව, අනෙකුත් පක්ෂවලට මෙම තියරිය දැමූ විට ඔවුන් ඒ තියරියේ එල්ලෙන නමුත් සජබය ඊට එකඟ නොවන බව හොඳහැටි දැනගෙනය. ඒ හරහා විපක්ෂයේ පක්ෂ අතර ඇතිවීමට යන එකඟතාව කඩාකප්පල් කිරීම මෙහිදී රනිල්ගේ සැලසුම වී තිබිණි. ඒ හරහා සජිත් අසාර්ථක බව රටට පෙන්වීම රනිල්ගේ තවත් අරමුණ වී තිබිණි.

නාමල්ට ගන්න

මේ බව තහවුරු කිරීම සඳහා රනිල් මේ දිනවල තවත් ගේමක් ගසමින් සිටී. ඒ, නිරතුරුවම නාමල්ට කතාකරමින් නාමල් සමග තමන්ට ලොකු හිතවත්කමක් ඇති බව අවට සිටින අයට පෙන්වීමය. ඒ අනුව කිසියම් දේශපාලන සාකච්ඡාවක් අවසන් වූ වහාම රනිල් කාටත් ඇසෙන පරිදි සිය ආරක්ෂකයන්ට උපදෙස් දෙන්නේ ‘මට නාමල්ව අරන් දෙන්න’ යැයි කියාය. ඇතැම් අවස්ථාවලදී නාමල් රනිල්ගේ මෙම ඇමතුම්වලට පිළිතුරු ලබාදෙන නමුත්, බොහෝ අවස්ථාවලදී නාමල්ට එම ඇමතුම් මඟහැරෙන බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. සජිත් සහ විපක්ෂයේ නියෝජිතයන් අතර අමාරි හෝටලයේ සාකච්ඡාව පැවැත්වුණේත්, ඊට පොහොට්ටුව සහභාගි නොවූයේත් රනිල් හා විපක්ෂයේ පක්ෂ නියෝජිතයන් අතර පැවැති එකී සාකච්ඡාවෙන් අනතුරුව වීම විශේෂ සිදුවීමකි.

සජිත් පොහොට්ටුව හමුවේ

කෙසේවෙතත් අමාරි හෝටලයේ පැවැති සාකච්ඡාවට පොහොට්ටු නියෝජිතයන් නොපැමිණීම නිසා සජිත් කළේ අදාළ සාකච්ඡාව අවසන් වීමත් සමග පොහොට්ටුවේ නියෝජිතයන්ට කතාකොට වෙනම හමුවක් සංවිධාන කරන ලෙස මද්දුමබණ්ඩාරට දැනුම් දීමය. ඒ අනුව මද්දුමබණ්ඩාරද සාගර කාරියවසම්ට කතාකොට සජිත් සමග වෙනම හමුවක් සංවිධාන කිරීමට පියවර ගත්තේය. නමුත් මෙහිදී කොන්දේසියක් ඉදිරිපත් කරමින් පොහොට්ටු නියෝජිතයන් කියා සිටියේ අදාළ සාකච්ඡා පැවැත්වීම සඳහා විපක්ෂ නායක කාර්යාලයට පැමිණිය නොහැකි යැයි කියාය. එය සජිත්ට දැනුම් දීමෙන් පසු සජිත් කියා සිටියේ තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, පොහොට්ටුව කියන ස්ථානයකට තමන් පැමිණීමට සූදානම් බවත්ය. නමුත් ඒ වනවිටත් රනිල් කෝටා ක්‍රමයක් අනුව සභාපති ධුර බෙදීයා යුතු බවට පොහොට්ටුවට යෝජනා කොට තිබීමක් සම්බන්ධයෙන් සජිත් අංශු මාත්‍රයක් හෝ දැන සිටියේ නැත.
ඒ අනුව, සජිත් සහ පොහොට්ටුවේ නියෝජිතයන් අතර පැවැති විශේෂ හමුවට පොහොට්ටු මහලේකම් සාගර ඇතුළු පිරිසක් එක්ව සිටියහ. සාකච්ඡාව ආරම්භ වීමෙන් පසු සාගර කලින් රනිල් යෝජනා කළ කෝටා තියරිය ඉදිරිපත් කරමින් පොහොට්ටුවටද පළාත් පාලන ආයතනවල තනතුරු හිමිවිය යුතු බවට සජිත්ට දැනුම් දී සිටියේය. මෙහිදී පොහොට්ටුව පැත්තෙන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ තියරියක් ඉදිරිපත් වීමත් සමග සජිත් යම් තිගැස්සීමකට ලක්වුවද, ඒ කිසිවක් නොපෙන්වා ඒ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු සාකචඡා කිරීමට සජිත් පියවර ගත්තේය. ඒ අනුව සජිත් කියා සිටියේ එකී යෝජනාව පිළිබඳ තමන්ට මේ මොහොතේ තනි තීන්දුවක් ගත නොහැකි බවත්, පක්ෂය සමග සාකච්ඡා කොට ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට කටයුතු කරන බවත්ය.

කළමනාකරණ කමිටුව රැස්වෙයි

ඒ අනුව සාකච්ඡාව අවසන් වූ වහා පක්ෂයේ ප්‍රධානීන්ට පොහොට්ටුවේ ඉල්ලීම දැනුම් දුන් සජිත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂයේ ඉහළම ආයතනය ලෙස සැලකෙන කළමනාකරණ කමිටුව රැස්කිරීමට පියවර ගත්තේය. එහිදී පොහොට්ටුවේ යෝජනාව ඉදිරිපත් කළ සජිත්, ඒ යෝජනාවට අනුව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්නට නම් සජබයට විශාල කැපකිරීමක් කිරීමට සිදුවනු ඇති බවද සඳහන් කර සිටියේය. ඒ අනුව තමන්ට ඒ සම්බන්ධයෙන් තනි තීන්දුවක් ගත නොහැකි බවත්, පක්ෂය ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගතයුතු බවත් කී සජිත්, කළමනාකරණ කමිටු සාමාජිකයන්ගේ අදහස් විමසීමට පියවර ගත්තේය. ඒ අනුව දීර්ඝ සාකච්ඡාවකින් පසු අවසානයේ සියල්ලන්ම සජිත්ට කියා සිටියේ මෙහිදී සජබයට විශාල අවාසියක් වන නමුත්, රටේ සහ පාක්ෂිකයන්ගේ මතය නියෝජනය කරමින් විපක්ෂය මෙම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම අවශ්‍ය නිසා පොහොට්ටුවේ ඉල්ලීමට අවස්ථාවක් ලබාදිය යුතු බවකි. එම නිසා පොහොට්ටුවේ යෝජනාවට සජබය එකඟ බව දැනුම් දෙන ලෙසටද සජබ කළමනාකරණ කමිටුව සජිත්ට දැනුම් දී සිටියේය.

ඒ අනුව, මෙම තියරිය විපක්ෂයට දැමීම හරහා රනිල් විපක්ෂයේ එකමුතුභාවය කඩන්නට සැලසුම් කළද, අවසානයේ සජිත් කළේ ඌරාගේ ඇඟේ මාළු ඌරාගේ ඇඟේම තියා කපමින් එම යෝජනාවට එකඟතාව පළකොට රනිල්ගේ ගේම ආපසු හරවා විපක්ෂය යළිත් එකමුතු කිරීමය. සජබ කළමනාකරණ කමිටුවේදී ගත් එම තීන්දුව මද්දුමබණ්ඩාර හරහා නාමල්ට දැනුම් දීමටද සජබය පියවර ගත්තේය. නාමල් එම දුරකතන ඇමතුම එද්දී සිටියේ ඩුබායිහි පෞද්ගලික සංචාරයක නිරත වෙමිනි.

එම ඇමතුම ලැබීමත් සමග නාමල්ගෙන් සජබයේ තවත් ඉහළම ප්‍රධානියකුට ඩුබායිහි සිටම තවත් විශේෂ ඇමතුමක් ලැබිණි. එහිදී නාමල් මෙම සජබ ප්‍රධානියා සමග දීර්ඝ දුරකතන සාකච්ඡාවක නිරත වූ අතර, බොහෝ දේශපාලන එකඟතාවන්ද එහිදී ඇතිකර ගැනීමට දෙදෙනා සමත්ව ඇති බව ආරංචිය. ඒ අනුව එම එකඟතා මොනවාද යන්න ඉදිරියේදී ජනතාවට දැකබලාගත හැකි වන බව පමණක් කියමින් එම මාතෘකාව අවසන් කිරීමට අපි කටයුතු කරමු. එමෙන්ම කෝටා තියරිය දැමීම හරහා රනිල් බලාපොරොත්තු වූ විපක්ෂයේ බිඳවැටීම සිදු නොවන බවද මෙහිදී සඳහන් කළ යුතුව තිබේ.

සංවිධායකවරුන්ට මොකද වුණේ?

මෙම පසුබිම යටතේ සජබ සංවිධායකවරුන්ට මුහුණ දීමට සිදුව ඇති සිදුවීම් දෙසද බැලිය යුතුය. එහිදී මුල් අදියරේදී සංවිධායක ධුරයෙන් ඉවත් වූ රංජිත් අලුවිහාරේ හැරෙන තැපෑලෙන් නැවතත් පක්ෂ මහලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී සිටියේ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දෙමින් කලින් එවා තිබූ ලිපිය තමන් ඉල්ලා අස්කර ගන්නා බවය. නමුත් කලින් දී තිබූ ඉල්ලා අස්වීමට ලබාදුන් මාධ්‍ය ප්‍රචාරය ඊට ලැබී තිබුණේ නැත.

ගාල්ලේ බණ්ඩාරිගොඩත්, තලවාකැලේ අශෝක සේපාලත් නැවත වතාවක් සජිත්ට කතාකොට තමන් සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වන බවට කර තිබූ ප්‍රකාශ ඉවත් කරගන්නා බව දැනුම් දී සිටියේය. බණ්ඩාරිගොඩ අවස්ථා කීපයකදීම සජිත්ව අල්ලා ගැනීමට පණිවුඩ පිට පණිවුඩ එවා තිබූ නමුත්, එම උත්සාහය සාර්ථක වී තිබුණේ දින කීපයක් ගතවීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් චමින්ද විජේසිරි පමණක් මාධ්‍ය හමුවේ නැවත වතාවක් ප්‍රකාශයක් කරමින් සජබයේ ක්‍රියාකලාපය විවේචනය කිරීමට පියවර ගෙන තිබිණි. ඊට මාධ්‍යයෙන්ද විශාල ප්‍රචාරයක් ලැබිණි. නමුත් පසුව ‘ලංකා සී නිවුස්’ වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් විශේෂ පුවතක් පළකරමින් කියා තිබුණේ සිය සහෝදරයා වූ ලක්ෂ්මන් විජේසිරි හට මන්ත්‍රී ධුරය ලබාගැනීමට නොහැකි වීමේ හිත් අමනාපය මත චමින්ද විජේසිරි ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කොට ඇති බවකි. එය තවත් සමාජ මාධ්‍ය කීපයක්ම වාර්තා කොට තිබූ ආකාරයද දැකගත හැකි විය.

සජිත් තද තීන්දුවක

කෙසේ වෙතත් මෙම සිදුවීම් සියල්ල මුල්කරගෙන සජිත් මේ වනවිට දැඩි තීන්දුවක් ගෙන තිබේ. ඒ, ලබන දෙවැනිදා පළාත් පාලන ආයතන පිහිටුවීමෙන් අනතුරුව පක්ෂය ඇතුළට විශාල තරුණ, දක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් පැමිණ ඇති බැවින්, ඔවුන්ට තැන දී උඩට ගැනීමටය. ඒ අනුව ඉදිරියේදී දැනට සිටින ආසන සංවිධායකවරුන් අසාධාරණ ලෙස ඉල්ලීම් කරන්නේ නම් හෝ ආසන සංවිධායකකම්වලින් ඉල්ලා අස්වීමට කටයුතු කරන්නේ නම්, ඒ මොහොතේම තරාතිරම කවුරුන් වුවත් එම ඉල්ලා අස්වීම පිළිගෙන දෙවැනි පෙළ දක්ෂයන්ට අදාළ ආසන සංවිධායකකම් ලබාදීමට සජිත් තීන්දු කොට තිබේ. එමෙන්ම ලබන 02 වැනිදාට පසු මාධ්‍ය හමුවේ මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද සජිත් දැඩි තීන්දුවක් ගෙන තිබේ. එහිදී පක්ෂ ප්‍රතිපත්තියට හානි වන ආකාරයෙන් හෝ පක්ෂයේ විනය කඩවන ආකාරයෙන් යම් මන්ත්‍රීවරයකු කටයුතු කරන්නේ නම්, තරාතිරම නොබලා එම මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටත්, අවශ්‍ය නම් පක්ෂයෙන් ඉවත් කිරීමටත් සජිත් මේ වනවිට තීන්දු කොට අවසන්ය. පසුගිය කාලය පුරාම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මේ ආකාරයට පක්ෂ තීන්දුවට පිටින් යන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරයන් අහෝසි කරමින් සුවිශේෂ නඩු තීන්දු ගණනාවක් ලබාදී තිබීම නිසා, සජිත් මේ වනවිට සැලසුම් කොට ඇත්තේ ලබන 02 වැනිදායින් පසු පක්ෂ විනය දැඩිව ක්‍රියාත්මක කිරීමටය.

එමෙන්ම පසුගිය සතියේදී මේ සම්බන්ධයෙන් කටයුතු කරන සජබ නීතිඥ කණ්ඩායම කැඳවා ඔවුන්ට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමටද සජිත් පියවර ගත්තේය.
මේ අතර, පසුගිය සතියේ සජිත් සහ රනිල් අතරද විශේෂ හමුවක්ද පැවැත්විණි. ඒ, පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැති ‘බහුචිතවාදියා’ සිනමා පටය එළිදැක්වීමේ අවස්ථාවේදීය. එහිදී උත්සව සංවිධායකවරුන් විසින් රනිල්ටත්, සජිත්ටත් ඊට ආරාධනා කර තිබූ නමුත්, දෙදෙනා අතර මෙහිදී කිසිදු කතාබහක් සිදු නොවීමද විශේෂ සිදුවීමකි.

උතුරෙන් ආ විරෝධය

යුද විනාශය නිසා ඉඩම් අයිතිය ඔප්පු කිරීම අසීරු වී ඇති උතුරේ ජනතාව සතු මුහුදුබඩ දිස්ත්‍රික් හතරක ඉඩම් අක්කර හයදහසකට ආසන්න ප්‍රමාණයක් අත්පත් කරගැනීම අරමුණු කරගෙන දෙමාසයකට ඉහතදී නිකුත් කළ ගැසට් නිවේදනයක් උතුරු නැගෙනහිර මන්ත්‍රීවරුන් ඇතුළු ඉඩම් හිමිකම් ක්‍රියාධාරීන් නැගු විරෝධය හමුවේ අකුලා ගන්නට රජයට පසුගිය සතියේදී සිදුවිය.
මෙහිදී උතුරු නැගෙනහිර මන්ත්‍රීවරුන්ට අමතරව හිටපු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාද මෙ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවීමට පියවර ගත්තේය. එහිදී සිය ලිපිය මගින් සුමන්තිරන් කියා සිටියේ මෙම තීන්දු හකුලා ගැනීමට කටයුතු නොකළහොත් උතුරේ ජනතාව පාරට බැස්සවීමට කටයුතු කිරීමෙන් නොනැවතී සිවිල් නීති පවා කඩකිරීමට කටයුතු කරන බවකි.

ඒ අනුව විරෝධය පළකළ මන්ත්‍රීවරුන් කොළඹට කැඳවා අගමැතිනිය හා ඉඩම් අමාත්‍යවරයා පැවැත්වූ හදිසි සාකච්ඡාවකදී උතුරු නැගෙනහිර මහජන නියෝජිතයන් දැඩි ලෙස බලකර තිබුණේ 2025 මාර්තු 28 වැනි සිකුරාදා නිකුත් කරන ලද අංක 2430 දරන ගැසට් පත්‍රය අවලංගු කරන ලෙසයි. නැගුණු දැඩි විරෝධය හේතුකොටගෙන එම ගැසට් නිවේදනය අවලංගු කිරීමට ආණ්ඩුව පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය.

එම ගැසට් නිවේදනය අවලංගු කිරීම සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි (ෂඕණ) ලේකම් ජනාධිපති නීතිඥ එම්. ඒ සුමන්තිරන් මැයි 27 වැනිදා සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපති අනුර කුමාර දිසානායකට සිය ස්තුතිය පුදකර තිබේ.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

සජබය ඉවරද? සංවිධායකයන් හැර ගියාද! Sri Lanka Latest News

Next Post

එදා සිංගප්පූරුවේ වගේ ප්‍රේමදාස මරදානේ හදපු ලක්ෂ ගාණක් එහෙට මෙහෙට යන ගුවන් පාලම කඩාවැටෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.