පාත්ෆයින්ඩර් එකෙන් ආ යෝජනාව!
කොළඹ ලොකු දේශපාලන පන්සලකටත් ගිහින්!
හරිනිට ලොකු චෝදනාවක්
තුනෙන් දෙකක බලයක් සහිත මාලිමා ආණ්ඩුව ඇතුළේ හරිනි අමරසූරිය අගමැතිවරිය, මාලිමාවෙන් පැමිණි මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ප්‍රතිපත්තිමය වශයෙන් යම් නොගැළපීමක්, ගැටුමක්, අර්බුදයක්, මතභේදයක් මෝදුවෙමින් පවතින බව මෙම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප අනාවරණ කළේ ජනාධිපතිවරණය අවසන් වී සති දෙකක් ඉක්ම යෑමට පෙරාතුවය. කිසිදු මාධ්‍යයක් මේ සම්බන්ධයෙන් වචනයක් හෝ නොකියද්දී, කිසිදු මාධ්‍යයකට ඒ පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවී තිබියදී ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වූ සුවිශේෂ තොරතුරු රැසක් මුල්කොට ගෙන ඒ අවස්ථාවේදී නොබියව අප එම අනාවරණය සිදුකිරීමට පියවර ගත්තෙමු. ඊට අමතරව පසුගිය කාලය පුරාම මේ දෙපාර්ශ්වය අතර වරින් වර ඇතිවූ මතගැටුම්ද ඒ ඒ අවස්ථාවලදී මෙම තීරයෙන් වාර්තා කිරීමට අපි කටයුතු කළෙමු. අවසන් වශයෙන් පසුගිය සතියේද මේ සම්බන්ධයෙන්ම තවත් අනාවරණයක් කරමින් අප කියා සිටියේ ජවිපෙ 60 වැනි සංවත්සර වේදිකාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කටින් මේ ගැටුම එළියට පැන්න බවය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ආණ්ඩුව ඇතුළේ සිටින ඇතැම් කවයන් සම්බන්ධයෙන් තමන්ට විවිධ තොරතුරු වාර්තා වෙමින් ඇති බවකි. හරිනි අගමැතිවරියද ජවිපෙ වේදිකාවේ අසුන් ගෙන සිටියදීම ජනාධිපතිවරයා කියා සිටියේ ‘මේක ඇතුළේ සිටින ඇතැම් කවයන් විවිධ තැන්වල කියනවා කියලා ආරංචියි. ජවිපෙ ඉතිහාසය අමතක කරලා මේ ගමන යන්න ඕනේ කියලා. නමුත් ඒ ඉතිහාසය අමතක කරලා ඉදිරි ගමනක් යන්න අපි සූදානම් නෑ’ යැයි කියාය. ජනාධිපතිවරයා එහිදී නොකියා කීවේ ජවිපෙ මතයට අඩංගු නම් පමණක් ආණ්ඩුව සමග සිටිය හැකි බවත්, එසේ නොවන්නේ නම් ආණ්ඩුව ඇතුළේ සිටිය නොහැකි බවත් විය යුතුය. කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ මේ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසු බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් සිය විග්‍රහයන් ඉදිරිපත් කරමින් කියා සිටියේ අප මුල සිටම මේ තීරයෙන් වාර්තා කළ ජවිපෙ – මාලිමා ගැටුම මේ වනවිට ප්‍රසිද්ධියේ එළියට පැමිණ ඇති බවකි. ජනාධිපතිවරයාගේ කටින් ප්‍රසිද්ධ වේදිකාවේදී එළියට පැනීමට තරම් එම ගැටුම මේ වනවිට තීව්‍ර වී ඇති බවද එහිදී බොහෝ දෙනාගේ අදහස විය.Sri Lanka Latest News
මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ තවදුරටත් වාර්තා කර සිටින්නේ අප විසින් විටින් විට වාර්තා කළ අභ්‍යන්තර ගැටුම්, ප්‍රතිපත්තිමය වෙනස්කම්, අර්බුදයන් මේ වනවිට ඉතා ප්‍රබල ආකාරයට මාලිමා ආණ්ඩුව ඇතුළේ මෝදුවෙමින් පවතින බවකි. විශේෂයෙන් කොළඹ මහ නගර සභාව පිහිටුවීම මුල්කරගෙන මේ වනවිට හරිනිට ජවිපෙ පැත්තෙන් විශාල විරෝධයක් එල්ල වෙමින් පවතින බවක් ආරංචිය. කොළඹ මහනගර සභා මැතිවරණය ආරම්භයේ සිටම හරිනි හා ජවිපෙ අතර යම් මතගැටුමක් මතුව තිබිණි. කොළඹ දිස්ත්‍රික්කයේ මාලිමා නායිකාව ලෙසත්, අගමැතිවරිය ලෙසත් කොළඹ මහනගර සභාවට උගත් බුද්ධිමත් වෘත්තිකයෙක් නගරාධිපති අපේක්ෂකයා වශයෙන් නම්කිරීම සඳහා හරිනි විවිධ කොටස් සමග සාකච්ඡා පවත්වමින් සිටියදී ටිල්වින්, සුනිල් වටගල ඇතුළු ජවිපෙ කොළඹ කණ්ඩායම හරිනිව කිසිදු දැනුවත් කිරීමකින් තොරව මහමැතිවරණයෙන් පරාජයට පත්වූ ව්‍රායි බල්තසාර්ව ඒ සඳහා නම්කිරීමට පියවර ගත්හ. මේ සිදුවීම පළමු වරට ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කරමින් එවක අප කියා සිටියේ මෙම සිදුවීමෙන් යමි කලකිරීමකට පත්ව සිටි හරිනි බොහෝ දුරට කොළඹ මහනගර සභාවේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලින් ඉවත්ව සිටීමට ඉඩ ඇතැයි කියාය. අප කළ අනාවරණය තහවුරු කරමින් හරිනි කොළඹ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයෙන් ඉවත්ව සිටි අතර, අපගේ අනාවරණයෙන් පසු ඇපෙන් ගැළවෙන්නට මෙන් ඇය කොළඹ රැස්වීම් එකක් හෝ දෙකක් ආමන්ත්‍රණය කිරීමට පියවර ගත්තාය.
හැරෙව්වේ හරිනි
ඇත්ත වශයෙන්ම කියනවා නම් ජවිපෙට පසුගිය කාලවකවානුව පුරාම කොළඹ ලොකු දේශපාලන හයියක් තිබුණේ නැත. කොළඹ මධ්‍යම පන්තිය හෝ නාගරික පන්තිය හෝ ඉහළ පන්තිය හෝ කිසිදු දිනෙක ජවිපෙට සිය ඡන්දය භාවිත කළේ නැත. නමුත් ජවිපෙට ඒ සියල්ල වෙනස් කර දුන්නේ මාලිමාව හරහා කොළඹට පැමිණි හරිනිය. හරිනිගේ කොළඹ සම්ප්‍රාප්තියෙන් පසු ඇය හරහා ජවිපෙට විශාල හයියක් ලැබිණි. ඇය නියෝජනය කළේ කොළඹ උගත්, මධ්‍යම පන්තිය හා ඉහළ පන්තියය. වෙනදා මේ පන්ති දෙකම එජාපයට ඡන්දය භාවිත කළත්, හරිනිගේ පැමිණීමත් සමග ඒ සියලු ඡන්ද හරිනි වටා ගොනුවන්නට විය. හරිනිගේ පෙනුමට යූ.ඇන්.පී.යෙන් හා සජබයෙන් කැඩුණු විශාල පිරිසක් හරිනිට ඡන්දය දුන්හ. මේ නිසාම පසුගිය ජනාධිපතිවරණයේදීත්, පසුගිය මහ මැතිවරණයේදීත් කොළඹින් දැවැන්ත ජයග්‍රහණයක් ලැබීමට මාලිමාවට හැකි විය.
එවැනි තත්ත්වයක් තිබුණු මාලිමාව මාස හයක් ඉක්ම යෑමටත් ප්‍රථම කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයේදී මාලිමාව දරුණු පසුබෑමකට ලක්ව තිබේ. නමුත් බොහෝ දෙනා දේශපාලන කුහකත්වය මත පදනම්ව මාලිමාවේ මේ පසුබෑම සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් කියන්නේ සජබය කොළඹ දිනා නැති බවය. එජාපය කොළඹින් හේදී ගොස් ඇති බවය. නමුත් හරිනි කොළඹ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයෙන් ඈත්ව සිටීම නිසා මාලිමාවෙන් අහිමි වූ විශාල ඡන්ද ප්‍රමාණය ගැන අද කවුරුත් කතා කරන්නේ නැත.
මෙහිදී ජවිපෙ චෝදනා කරන්නේ කොළඹ මේ කඩාවැටීමට ප්‍රධාන හේතුව කොළඹ ජයග්‍රහණය කිරීමට හරිනි කිසිවක් නොකිරීම යැයි කියාය. හරිනි පසුගිය කාලයේදී මෙන් කොළඹට අවශ්‍ය දේශපාලන ශක්තිය ලබාදුන්නා නම් මාලිමාවට කොළඹ මහනගර සභාව තනිව පිහිටුවීමට හැකියාවක් තිබූ බව ජවිපෙ ඇතැමුන්ගේ අදහස වී තිබේ. මේ චෝදනාව එල්ල වීමත් සමග අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙතෙක් අළු යට පැවැති මාලිමා-ජවිපෙ ගැටුමේ ගිනි පුපුරු එළියට විසිවෙමින් ඇති බවකි.
හරිනි වෙන පාරකට
මීට අමතරව මෙවර මැතිවරණ ප්‍රතිඵලවලින් මාලිමාවේ කඩාවැටීම කොතෙක්ද කියනවා නම් බොහෝ පාර්ශ්වයන්, විශේෂයෙන්ම මාලිමාවට සහාය දක්වන සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්, යූටියුබ් මාධ්‍යවේදීන් කියා සිටින්නේ මේ කඩාවැටීමත් සමග වහාම කැබිනට් මණ්ඩල සංශෝධනයක් ගෙන ආ යුතු යැයි කියාය. අගමැති තනතුරද ඒ සමගම වෙනස් විය යුතු බවට ඔවුන් තැන් තැන්වල අදහස් දක්වමින් සිටී. එමෙන්ම මේ වනවිට මාලිමා ආණ්ඩුව ඇතුළේත්, සමාජ මාධ්‍යයේත් ඇතැම් අය විග්‍රහ කරමින් සිටින්නේ මාලිමා නොවන යම් යම් දේශපාලන කඳවුරුවල විවිධ පාර්ශ්වයන් සමගද හරිනි ඇයිහොඳයියක් පටන්ගෙන ඇති බවට ජවිපෙ තුළ සැකයක් මතුව ඇති බවකි. ඇතැම් තැන්වල සාකච්ඡා වන්නේ වෙනත් ප්‍රබල දේශපාලනඥයන් සමගද මේ වනවිට හරිනි විශේෂ ඇයිහොඳයියක් ආරම්භ කොට ඇති බවකි.
මීට පෙර සතියකදී අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ලිබරල් මතවාදය දරන ප්‍රබල රටවල්, තානාපති කාර්යාල, ලිබරල් අදහස් ඇති හරිනි සම්බන්ධයෙන් විශේෂ උනන්දුවකින් පසුවන බවකි. හරිනිගේ දේශපාලන සම්ප්‍රාප්තිය සහ හරිනිගේ දේශපාලන ගමන සම්බන්ධයෙන් ඔවුන් කිසියම් උත්තේජනයකින් යුතුව පසුවන බවකි. විශේෂයෙන්ම ඇමෙරිකාව සහ හරිනි උසස් අධ්‍යාපනය ලැබූ ඉන්දියාව වැනි රටවල් ඇය සම්බන්ධයෙන් මේ වනවිට දක්වන්නේ විශේෂ උනන්දුවකි. මාලිමාව ඇතුළේ හරිනි සම්බන්ධයෙන් යට කී සැකය මතුවීමට එම තත්ත්වයද බලපා ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
මිලින්දගෙන් ආරාධනාවක්
මේ පිළිබඳ මාලිමා ආණ්ඩුව ඇතුළේ යම් යම් අදහස් හුවමාරු වෙමින් පැවැතියදී පසුගිය සතියේ හරිනිට එක්තරා රාජ්‍ය නොවන සංවිධානයකින් ආරාධනාවක් ලැබී ඇති බවට වාර්තා වීමත් සමග තත්ත්වය තරමක් උග්‍ර අතට පත්වී ඇති බවක් දැනගන්නට ඇත. එම රාජ්‍ය නොවන ආයතනය ‘පාත් ෆයින්ඩර්’ නමින් යුතු වූවකි. දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බොහෝ ආන්දෝලනාත්මක පෞද්ගලික රාජ්‍ය නොවන ආයතනයක් වන මෙම ‘පාත් ෆයින්ඩර්’ ආයතනය මෙහෙයවනු ලබන්නේ දශක ගණනාවක් පුරා මෙරට දේශපාලනයේ නමගිය චරිතයක් ලෙස සැලකෙන මිලින්ද මොරගොඩය. මිලින්ද යනු මුල් අවධියේදී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සමීපයේ සිටි අයෙකි. නමුත් මිලින්ද ප්‍රසිද්ධ දේශපාලනයට රැගෙන ආවේ එජාප නායක රනිල් වික්‍රමසිංහය. රනිල්ගේ ආණ්ඩු කාලයේ විවිධ තනතුරු දැරූ මිලින්ද හොඳ දේශපාලන ගේම්කාරයකු ලෙසද ප්‍රසිද්ධය. එවකදී එජාපය විපක්ෂයේ සිටියදී එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් 17 දෙනකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ගෙන යෑමේ දේශපාලන කපුකම සිදුකළේද මේ කියන මිලින්දය. ඉන් පසුව මහින්ද සමගත්, අනතුරුව ගෝඨා සමගත් දේශපාලනය කළ මිලින්ද ගෝඨා යටතේ කැබිනට් වරප්‍රසාද සහිතව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත්වීම් ගැනීමටද කටයුතු කළේය. එමෙන්ම මිලින්ද සැලකෙන්නේ ජාත්‍යන්තරය සමග හොඳ හොඳ දේශපාලන කෙළි කළ අයකු ලෙසටය. මිලින්දට ඉන්දියාව සමග මෙන්ම ඇමෙරිකාව සමගද, නෝර්වේ සමගද විශාල සබඳතා ඇති බව කියැවේ.
ඒ අනුව, මේ කියන මිලින්දගේ මෙහෙයවීම යටතේ ඇති ‘පාත්ෆයින්ඩර්’ ආයතනය පසුගිය සතියේ කොළඹ විශේෂ උත්සවයක් සංවිධාන කළේය. එය නම් කොට තිබුණේ ‘පස්වන බෙංගාල බොක්කේ සංවාදය’ ලෙසටය. පසුගිය වසර කීපය පුරාම මෙම වැඩමුළුව සංවිධාන කෙරුණු අතර, ඒ සඳහා කලාපීය රටවල දේශපාලන නායකයන්, ආරක්ෂක අංශවල ප්‍රධානීන් ගෙන්වා ගැනීමට මේ පාත්ෆයින්ඩර් ආයතනය කටයුතු කොට තිබිණි. විශේෂයෙන්ම මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ හිටපු කීර්තිමත් සිවිල් සේවකයකු වන බර්නාඩ් ගුණතිලකය. මෙවර එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වී සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහය. ඒ අනුව උත්සවයට සහභාගි වූ රනිල් එහි කතාවක් කළ බවට මාධ්‍යද වාර්තා කොට තිබිණි.
බලපෑමක් ආවාද?
මේ සියල්ල පෙනෙන්නට තිබූ සහ මාධ්‍ය වාර්තා කළ කතා වුවද මේ පසුපස මාධ්‍ය වාර්තා නොකළ තවත් ප්‍රබල කතාවක්ද තිබේ. එම කතාව වන්නේ මෙකී සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් රනිල් සහභාගි වීමට නොසිටි බවය. එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණීමට නියමිතව තිබුණේ මාලිමා ආණ්ඩුවේ අගමැතිනි හරිනි අමරසූරියය.
නමුත් ප්‍රශ්නය පැනනැගුණේ හිටිහැටියේම හරිනි මෙම උත්සවයට සහභාගි නොවන බව ‘පාත්ෆයින්ඩර්’ ආයතනයේ ප්‍රධානීන්ට වාර්තා වීමත් සමගය. හරිනි වෙනුවට රනිල්ට ඊට ආරාධනා කිරීමට මිලින්ද ඇතුළු ‘පාත්ෆයින්ඩර්’ ආයතනය තීරණය කළේ ඒ අනුවය.
ඒ අනුව මුලින් ආරාධනාව භාරගෙන අන්තිම මොහොතේදී එය ප්‍රතික්ෂේප කිරීමට හරිනි තීරණය කළේ ඇයි? එසේ කරන ලෙස කොහෙන් හෝ බලපෑමක් පැමිණියාද? මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් සියලු දෙනාටම ඇත්තේ බරපතළ ප්‍රහේළිකාවකි. එහිදී හරිනි මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා ඇයට ඊට සහභාගි නොවන ලෙසට උපදෙස් දුන් බව ඇතැමුන්ට සිතිය හැකිය. තවත් සමහරුන්ට වෙනත් පාර්ශ්වයක් විසින් එම අවස්ථාවට සහභාගි නොවන ලෙසට හරිනිට බලපෑම් කළා යැයිද සිතිය හැකිය. බොහෝ දුරට දේශපාලන ක්ෂේත්‍රයේ යම් යම් කවයන්වල, ඇතැම් සමාජ මාධ්‍ය ජාලවල හරිනි සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට යම් සැකයක් මතුව ඇති බවට කසුකුසුවක් යන්නේ මේ නිසා විය හැකිය.
කෙසේ වෙතත් මෙම සම්මන්ත්‍රණයට සහභාගි වූ රනිල්ව පිළිගැනීම සඳහා මිලින්දම පැමිණ සිටි ආකාරයක් දැකගත හැකි විය. පසුගිය වසර දෙක තුනේදී මිලින්ද මෙම අවස්ථාවන්ට සහභාගි නොවී සිටියත්, මෙවර ඊට සහභාගි වූ මිලින්ද උත්සවය අවසන් වන තෙක්ම එහි සිටීමට පියවර ගත්තේය. නමුත් බොහෝ දෙනාට මේ වනවිට මතුව ඇති සැකයක් වන්නේ ‘පාත් ෆයින්ඩර්’ ආයතනය මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් හරිනි ගෙන්වීමට කටයුතු කිරීම හරහා ඇය හා යම් යම් පාර්ශ්වයන් අතර කිසියම් හිතවත්කමක් ගොඩනැගීමට කටයුතු කළාදැයි කියාය. ඒ හේතුව මත හරිනිගේ මෙම ගමන වැළැක්වීමට මාලිමා ප්‍රධානීන් කටයුතු කළාදැයි කියාය.
ඒ අනුව මේ වනවිට බොහෝ සමාජ මාධ්‍ය ජාලවල මෙන්ම ආණ්ඩුවට පක්ෂපාතීව දේශපාලන විග්‍රහයන් සිදුකළ ප්‍රකට යූටියුබ්කරුවන්ද ප්‍රසිද්ධියේ අදහස් දක්වමින් ඉඟිකර සිටින්නේ හරිනිව සෑම පැත්තකින්ම හිර කිරීමට මාලිමාවේ ප්‍රධානීන් කටයුතු කර ඇතැයි කියාය. මේ හරහා මාලිමාවේ ඇතුළෙන්ම හරිනිට යම් අසාධාරණයක් සිදුවන බවක්ද ඔවුන් සඳහන් කොට ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. නමුත් තවමත් හරිනි මේ සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ පිළිතුරු ලබාදීමක් සිදුකොට නැත. එක් අවස්ථාවකදී පමණක් ඇය මාලිමාව ඇතුළේ ඇතැමුන් ප්‍රශ්න ඇතිකිරීමට කටයුතු කරන බවක් කියා සිටියද ඒ සම්බන්ධයෙන් දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් ඇය මෙතෙක් සිදුකොට නැත.
46ක් එක්ක ස්වාධීන වෙයිද?
මීට අමතරව තවත් බරපතළ කතාවක්ද මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල ඇතැමුන් වාර්තා කරමින් තිබේ. ඒ හරිනිත් සමග කෙළින්ම මාලිමාවේ තවත් මන්ත්‍රීවරුන් 46 දෙනකු සිටින බවත්, යම් හෙයකින් හරිනි අගමැති ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළහොත් හරිනිත් සමග ස්වාධීන වීමට මේ මන්ත්‍රීවරුන් 46 දෙනාම තීන්දු කොට ඇති බවත්ය. ඔවුන්ගේ අදහස වී ඇත්තේ වත්මන් ආණ්ඩුව බිහිවූයේ ජවිපෙ නිසා නොව, මාලිමාව නිසා බවකි. විවිධ ක්ෂේත්‍රවල සිටින ප්‍රවීණයන් මාලිමාව හරහා ඉදිරියට පැමිණීමත් සමග රටේම ජනතා බලය මාලිමාවට ලබාගැනීමට හැකි වූ බව ඔවුන්ගේ අදහස වී තිබේ. ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබුණද, හයෙන් පහක බලයක් තිබුණද ඒ සියල්ල වෙනස් වීමට යන්නේ ඉතා කෙටි කාලසීමාවක් බවත්, අරගලයේදී ඒ බව පැහැදිලිවම දකින්නට ලැබුණු බවත් ඔවුන්ගේ අදහස වී තිබේ.
මෙවැනි පසුබිමක් යටතේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී හරිනි තවත් ආන්දෝලනාත්මක හමුවීමක නිරත විය. ඒ, අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය පාර්ලිමේන්තුවේදී හමුවීමය. පසුගියකාලයේදී අරගලය පසුපස සිටියේ ජුලි චන්ග් බවට විවිධ පාර්ශ්වයන් ප්‍රසිද්ධියේම චෝදනා කර තිබූ පසුබිමක හරිනි හා චන්ග් අතර හමුව පිළිබඳ බොහෝ දෙනාගේ විශේෂ අවධානයක් යොමුව තිබිණ. පවතින තත්ත්වය යටතේ ජවිපෙද ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබුණාට සැක නැත.
අප හරිනි සම්බන්ධයෙන් ‘රාජ්‍ය රහස්’ තීරයේ මෙම තොරතුරු සඳහන් කරන අතරවාරයේ ජවිපෙ හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු දේශපාලන මණ්ඩල සභිකයකුද වන වරුණ දීප්ත රාජපක්ෂ මහතා සිය සමාජ මාධ්‍ය ජාලයන්හි හරිනි සම්බන්ධයෙන් විශේෂ පුවතක් පළකිරීමට පියවර ගෙන තිබිණි. එහිදී වරුණ කියා තිබුණේ කොළඹ දේශපාලන කපුකම්වලට ප්‍රසිද්ධ සුවිශේෂ පන්සලකට යෑමට හරිනි කටයුතු කරමින් සිටින බවකි. හරිනිට මේ පන්සල සමග සම්බන්ධතාව ඇතිකර දුන් පුද්ගලයකු පිළිබඳවද මෙහිදී වරුණ සිය සමාජ මාධ්‍ය ජාලයේ සඳහන් කොට තිබේ. ඒ අනුව හරිනි මෙම පන්සලට ගොස් හමුවුණේ කවුරුන්ද, එහිදී සාකච්ඡා කර තිබුණේ මොනවාද යන්න පිළිබඳ බොහෝ දෙනාට ප්‍රශ්න රැසක් මතුව ඇති බවක්ද ආරංචිය.
ඉඟිය තේරුම් ගන්න
එම නිසා අද අප මෙම තීරයෙන් වාර්තා කොට සිටින්නේ අද අප කරන මෙම විශේෂ අනාවරණය පිළිබඳ විශේෂ අවධානයකින් පසුවන ලෙස පමණි. අද මාලිමා ආණ්ඩුව ඇතුළේ සිදුවන බොහෝ සිදුවීම් සම්බන්ධයෙන් අප මීට මාස ගණනාවකට ප්‍රථම යම් යම් ඉඟි ලබාදී ඇති බවක් මෙම ‘රාජ්‍ය රහස්’ තීරය කියවන ඕනෑම අයකුට පහසුවෙන්ම වටහා ගැනීමට පුළුවන. අප මෙම තීරයෙන් වාර්තා කරන්නේ ඉතා නිවැරැදි, තිරය පිටුපස දේශපාලන තොරතුරුය. ‘ඉතාම නිවැරැදි’ යනුවෙන් අප කියා සිටින්නේ එක් අයකු කී පමණින් නොව, තවත් පාර්ශ්ව කීපයකින්ම තහවුරු කරගැනීමෙන් පමණක් අප එම තොරතුරු මෙම දේශපාලන තීරයේ වාර්තා කරන නිසාය. සමාජ මාධ්‍ය ජාලවල මෙන් පුවත්පතක හිතට එන සියලු කරුණු හෝ වාර්තා වන සියලු තොරතුරු සඳහන් කළ නොහැක. ඒවා අපට වාර්තා කිරීමට හැක්කේ පුවත්පත් ආචාරධර්මවලට සහ මාධ්‍ය සදාචාරයට යටත්ව සීමාසහිතවය. එම නිසා ඇතැම් අතිශය වැදගත් දේශපාලන කරුණු අමුවෙන්ම පළ නොකොට ඒ සම්බන්ධයෙන් යම් යම් ඉඟි පමණක් ලබාදීමට අප කටයුතු කරන්නේ ඒ නිසාය. අප අනාවරණ කළ එම ඉඟි සියල්ලම පාහේ මේ වනවිට මහපොළොවේ යථාර්ථයක් බවට පත්ව තිබේ. ඒ අනුව, අද අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේද වාර්තා කළේ එවැනි බරපතළ දේශපාලන ඉඟියකි. එය බොහෝ තීරණාත්මක ඉඟියක් වනු ඇත්තේ ඉදිරි කාලවකවානුවේදීය. ඒ අනුව අප කළ මෙම කතාව පසුපස ඇති ඉඟිය පැහැදිලිව තේරුම් ගන්නා ලෙස අප අපේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.
චීන නැවක් ඇවිත්
මේ සියල්ල අතරවාරයේ ජාත්‍යන්තර බල අරගලයේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත්වන ලකුණුද මේ වනවිට පහළ වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ, චීන පර්යේෂණ නෞකාවන් සම්බන්ධ සිද්ධියක් මුල්කර ගෙනය. මෙම චීන පර්යේෂණ නෞකාවන් මුල්කරගෙන ලංකාව බරපතළ භූ දේශපාලන අර්බුදයක පැටලුනේ අද ඊයේ නොව, දශක ගණනාවකට පෙරාතුව සිටමය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ මෙම චීන පර්යේෂණ නෞකාවන්ට ශ්‍රී ලංකා මුහුදු සීමා දොරටු විවෘත කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබුණේ ඉන්දියාවේ දැඩි විරෝධය නොතකාය. මහින්දගෙන් පසු බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මෙම ප්‍රතිපත්තිය දිගටම පවත්වාගෙන ගියේය. අනතුරුව බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාද මුල් කාලයේ මෙම චීන පර්යේෂණ නෞකාවන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාව විවෘත කළද, ඉන්දියාවේ දැඩි විරෝධය හේතුකොට ගෙන වසරක් දක්වා ඒ සඳහා තහනමක් පැනවීමට රනිල් කටයුතු කළේය. රනිල්ගෙන් පසු බලයට පත්වූ අනුරගේ චීන සංචාරය අතරතුරදී චීන බලධාරීන් මේ සම්බන්ධයෙන් අනුර සමග සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්තේය. එහිදී ඔවුන් අනුරට දැනුම් දී සිටියේ මෙය චීන රජයේ අභිමානය සම්බන්ධයෙන් වන ප්‍රශ්නයක් නිසා, අදාළ ගිවිසුම් සංශෝධනය කොට හෝ චීන පර්යේෂණ නෞකාවන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ලබාදිය යුතු යැයි කියාය. එකල ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අප වාර්තා කර සිටියේ අදාළ ගිවිසුම වෙනස් කොට ඒ සඳහා අවසර ලබාදීමට අනුර චීන රජයට එකඟතාව පළකොට තිබූ බවකි. ඒ අනුව, චීන සංචාරයේදී අනුරට චීනයෙන් දැවැන්ත ආයෝජන කීපයක් සහ විශාල මූල්‍යාධාරයක්ද ලබාගැනීමට හැකිව තිබිණි. ඒ සඳහා ආණ්ඩුව පැත්තෙන් විශාල ප්‍රචාරයක්ද ලබාදී තිබූ ආකාරයක් දැකගත හැකි විය. නමුත් තවමත් ජනාධිපතිවරයා චීනයට පොරොන්දු වූ ආකාරයට අදාළ ගිවිසුම් වෙනස් කොට චීන පර්යේෂණ නෞකාවන්ට ලංකා මුහුදු සීමාවන් විවෘත නොකිරීම හේතුවෙන් චීනය සිටින්නේ ලංකාවට දීමට පොරොන්දු වූ සියලු ආයෝජන හා ආධාර අත්හිටුවාය.
කරපු බොරුව හෙළිවෙයි
මේ පසුබිම යටතේ මීට දින කීපයකට ඉහතදී චීනයේ ප්‍රබල නියෝජිතයෙක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. එහිදී මෙරට ආරක්ෂක අංශ ප්‍රධානීන් මුණගැසී ඇති මෙම චීන නියෝජිතයා ඔවුන්ගෙන් ඍජුව විමසා ඇත්තේ චීන පර්යේෂණ නෞකාවන්ට මෙරට මුහුදු සීමාවට පැමිණීමට හැකි වන පරිදි සංශෝධනය කරන බව කී ගිවිසුමට සිදුවූයේ කුමක්දැයි කියාය. එමෙන්ම ඊට අවසර දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් ඍජුව විමසීමටද මෙම චීන බලධාරියා කටයුතු කොට තිබිණි.
චීනය පැත්තෙන් අපට ලැබෙමින් පවතින තොරතුරුවලින් කියැවෙන්නේ අදාළ ගිවිසුම මේ වනවිට සංශෝධනය කොට ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී චීන පර්යේෂණ නෞකාවලට ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවශ්‍ය අවසරය ලබාදීමට නියමිත බවත් මෙම ප්‍රධානීන් චීන නියෝජිතයාට දැනුම් දී තිබූ බවය.
කෙසේ වෙතත් මෙරට ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් ලැබුණු මේ පිළිතුරෙන් වැඩි සෑහීමකට පත්ව නොමැති චීනය, මෙරට සිය ජාලය යොදවා එම කතාව සත්‍යයක්ද අසත්‍යයක්ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීමට කටයුතු කොට තිබේ. එහිදී චීන බලධාරීන්ට අනාවරණ වී ඇත්තේ ලංකාව පැත්තෙන් ලබාදී ඇතැයි කියන එම සහතිකය සම්පූර්ණ බොරුවක් යැයි කියාය. ඒ සම්බන්ධ අවසන් තීන්දු තීරණ ගෙන නොමැති බව පමණක් නොව, අදාළ අංශ සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බවට සැකයක්ද මේ වනවිට චීන බලධාරීන්ට මතුව ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේත් චීනයෙන් ලැබීමට නියමිත සියලු ආධාර සහ ආයෝජන තවදුරටත් අත්හිටුවා තිබීමය.
නැවක් හොරෙන්ම ඇවිත්
මේ අතර, චීනය සම්බන්ධයෙන් පසුගිය සතියේදී මෙරට ආරක්ෂක අංශවල ඇස් නළලේ රන්දන සිදුවීමක්ද වාර්තා විය. ඒ, ජාත්‍යන්තර මාධ්‍ය විසින් චීන පර්යේෂණ නෞකාවක් ලංකා මුහුදු සීමාවට ඇතුළුවී එහි නැංගුරම්ලා ඇති බවට වාර්තා කොට තිබීමත් සමගය. එම මාධ්‍ය වාර්තා කොට තිබුණේ පාකිස්තානයට එරෙහිව ඉන්දියාව දියත් කළ ‘සින්දූර්’ නමැති යුද මෙහෙයුම අතරවාරයේදී ‘ඩා යැන්ග් යී හාඕ’ නමැති මෙම චීන පර්යේෂණ නෞකාව ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වී ඇති බවකි. මෙම චීන පර්යේෂණ නෞකාව මුහුදු පතුල නිරීක්ෂණය කිරීම සඳහා නාවික පහසුකම් සහිතව නිර්මාණය කොට ඇති එකකි. එය බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ පර්යේෂණ නෞකාවකට එහා ගිය පාවෙන විද්‍යාගාරයක් ලෙසටය. එමෙන්ම විවිධ පර්යේෂණ උපකරණවලට අමතරව ශක්තිමත් යුද ආම්පන්නද, යුද සබ්මැරීනයන්ද, මුහුද යට ගමන් කළ හැකි යානාද මෙම පර්යේෂණ නෞකාව සතුව ඇති බව මාධ්‍ය වාර්තා කොට ඇත. 2019 වසරේදී පළමු මුහුදු ගමන ආරම්භ කොට ඇති මෙම පර්යේෂණ නෞකාව ලොව ප්‍රකට සාගර කලාපයන් රැසක පර්යේෂණවල නිරත වී ඇති බවක් දැකගන්නට පුළුවන. මේ වනවිට එම නෞකාව ඉන්දීය සාගර කලාපයට ඇතුළු වී ඇති අතර, එය ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමේ ඉඩක් ඇති බවද අදාළ වාර්තාවේ සඳහන් කොට තිබේ.
කෙසේ වෙතත් මෙම තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිරීමත් සමග ඉන්දියාව දැඩි ලෙස කලබලයට පත්වූ ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම පාකිස්තානය සමග යුද්ධයක පැටලී සිටීම හේතුවෙන් ඉන්දියාව මුලින් සැක කොට තිබුණේ ශ්‍රී ලංකාව විසින් මෙම චීන පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ලබාදී ඇතැයි කියාය. ඒ අනුව වහාම මුළු ඉන්දීය සාගර කලාපයේම ආරක්ෂාව දැඩි කිරීමට ඉන්දියාව කටයුතු කළේය. නමුත් පසුව ඔවුන්ට වාර්තා වී තිබුණේ මෙම චීන පර්යේෂණ නෞකාව කිසිදු අවසරයකින් තොරව ඉන්දීය සාගර කලාපයට ඇතුළු වී ලංකාව දෙසට ගමන් කිරීම ආරම්භ කොට ඇතැයි කියාය. මේ වනවිට එම පර්යේෂණ නෞකාව ලංකා මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති බවත්, පසුව එය අරාබි මුහුද දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බවත් මාධ්‍ය වාර්තා කොට තිබේ.
ඒ අනුව මතුවෙමින් පවතින මෙම තත්ත්වය බරපතළ බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙහිදී චීනය පැත්තෙන් ලංකාවට ලබාදී ඇති පණිවුඩයද බරපතළය. ඒ, ලංකාවේ අවසරයක් තිබුණද නැතද තමන්ට අවශ්‍ය අවස්ථාවක සිය පර්යේෂණ නෞකාවන්ට ලංකා මුහුදු සීමාවට ඇතුළු විය හැකි බවට චීනය ලබාදී ඇති පණිවුඩයය. එමෙන්ම ඉන්දියාවද ඊට ප්‍රතිචාර දක්වීම සඳහා වහ වහා යුද ගුවන් යානා පවා නවතාලිය හැකි දැවැන්ත යුද නෞකා කීපයක්ම ඉන්දීය සාගර කලාපයේ ස්ථානගත කිරීමට කටයුතු කොට ඇති බවක්ද ආරංචිය. මේ හරහා ඉන්දියාවද ලංකාවට බරපතළ අනතුරු ඇඟවීමක් කර ඇත්තේ යම් හෙයකින් චීන පර්යේෂණ නෞකාවන්ට ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට ඉඩ දුනහොත් එහි අනිසි ප්‍රතිඵලයන්ට ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇතැයි කියාය. ඒ අනුව ඉන්දු – චීන ගැටුම් මුල්කරගෙන මේ වනවිට ලංකාව සිටින්නේ ගිරයට හසුවූ පුවක් ගෙඩිය මෙන් බරපතළ අර්බුදකාරී තත්ත්වයකය.
විපක්ෂය එකතු වෙයි
පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාව පැවැත්වීමට හේතුපාදක වූයේ මේ වනවිට විපක්ෂයේ මන්ත්‍රීවරුන් කීප දෙනකුටම මරණ තර්ජන එල්ල වීම හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න මතුව තිබීමය. විශේෂයෙන්ම උතුරේ මන්ත්‍රීවරුන් කීප දෙනකුම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දී තිබුණේ තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න ගණනාවක් මතුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වහාම ආණ්ඩුව සමග සාකච්ඡා කළ යුතු බවත්ය. දිගින් දිගටම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ලැබුණු මෙම පැමිණිලි හේතුවෙන් විපක්ෂ නායකවරයාද විපක්ෂයේ සියලු පක්ෂ නායකයන්ට විශේෂ සාකච්ඡාවක් සඳහා ආරාධනා කිරීමට පියවර ගත්තේය. සජිත්ගේ ආරාධනාව පිළිගත් ඒ සියලු පක්ෂ නායකයෝ පසුගිය සතියේ සජිත්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී හමුවී සාකච්ඡා කිරීමට කටයුතු කළහ.
මෙම සාකච්ඡාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්ම ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ට මතුව ඇති ගැටලු පෙන්වා දී ඒ පිළිබඳ කතානායකවරයාගේ අවධානය යොමුකළ යුතු බව සජිත්ට දැනුම් දී සිටීම නිසා සජිත්ද තීන්දු කළේ විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් සමග ගොස් කතානායකවරයා හමුවී මෙම අවනඩුව දැනුම් දීමටය. එහිදී රැස්ව සිටි මන්ත්‍රීවරුන්ද තමන්ටද ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති නිසා එම හමුවට පැමිණීමට අවශ්‍ය බව දැනුම් දීම මත ඔවුන්ද ඊට එක්කර ගැනීමට සජිත් කටයුතු කළේය.
කතානායකතුමාට කේන්ති ගිහින්
කෙසේ වෙතත් මේ සියලු පිරිස සමග සජිත් කතානායකවරයා මුණගැසීමට යද්දී කතානායකවරයාගෙන් එල්ල වූයේ කිසිවකුත් නොසිතූ ප්‍රතිචාරයකි. එහිදී කතානායකවරයා උස් ස්වරයෙන් යුතුව කියා සිටියේ පක්ෂ නායකයන්ට පමණක් සාකච්ඡාව සඳහා අවස්ථාව ලබාදී තිබියදී මන්ත්‍රීවරුන් කැටුව පැමිණීම පිළිගත නොහැකි බවත්, ඒ නිසා සියලු මන්ත්‍රීවරුන් සිය කාර්යාලයෙන් පිටව යායුතු බවත්ය. මෙවැනි අත්දැකීමකට කිසිදු කාලයක මන්ත්‍රීවරුන් මුහුණ දී නොතිබීම නිසා කතානායකවරයා දැක්වූ මෙම ප්‍රතිචාරයෙන් මන්ත්‍රීවරු සියල්ලන්ම පාහේ මහත් අසීරුතාවකට පත්වූ ආකාරයක් දැකගත හැකි විය. නමුත් කළ හැකි කිසිවක් නොවූ තැන මන්ත්‍රීවරු සියලු දෙනාම කතානායකවරයාගේ කාර්යාලයෙන් ඉවත්ව යෑමට පියවර ගත්හ.
කෙසේ වෙතත් මේ අයුරින් යම් ගැටුම්කාරී සිදුවීමකින් ආරම්භ වූ සාකච්ඡාවේ ඉදිරියද එතරම් ප්‍රසන්න වූයේ නැත. එහිදී සජිත් ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් මන්ත්‍රීවරුන් මුහුණ දෙන ආරක්ෂක ගැටලු ගැන දීර්ඝව කතානායකවරයා වෙත පැහැදිලි කිරීමට කටයුතු කළහ. මතුව ඇති තත්ත්වය ඉතා භයානක බවත්, වහාම වැඩබලන පොලිස්පතිවරයා සහ මන්ත්‍රී ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා පාර්ලිමේන්තුවට කැඳවා මේ සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කළ යුතු බවත් පක්ෂ නායකයෝ එහිදී කතානායකවරයාට දැනුම් දී සිටියහ. නමුත් එම අවස්ථාවේදී කතානායකවරයාගෙන් ඊට නිසි පිළිතුරක් ලැබුණේ නැත.
තමන්ට මුහුණ දීමට සිදුව ඇති ආරක්ෂක ප්‍රශ්නවලට කතානායකවරයාගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණු තැන සජබ මන්ත්‍රී කණ්ඩායම බදාදා දිනයේදී සජිත් සමග මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එහිදී සජිත් කතානායකවරයාගේ කාමරයේ සිදුවූ සියලු සිදුවීම් සවිස්තරාත්මකව මන්ත්‍රීවරුන්ට පැහැදිලි කිරීමට පියවර ගත්තේය. සජිත්ගේ පැහැදිලි කිරීමෙන් පසු මන්ත්‍රිවරු කතානායකවරයාටද විරෝධය පළකරමින් ඔහුගේ හැසිරීමට එරෙහිවද දැඩි ක්‍රියාමාර්ගවලට එළඹිය යුතු බව සජිත්ට පෙන්වා දුන්හ. එහිදී සජිත් මන්ත්‍රීවරුන්ට කියා සිටියේ එම විරෝධය පසුව පළ කළ හැකි බවත්, මෙ අවස්ථාවේ මූලික ගැටලුව වන මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවත්ය. කෙසේ වෙතත් කතානායකවරයා පසුව විපක්ෂයේ පක්ෂ නායකයන්ට දැනුම් දී තිබුණේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෙනසුරාදා දිනයේදී වැඩබලන පොලිස්පතිවරයා සහ මන්ත්‍රී ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇති බවකි.
ගම්මන්පිල වෙනුවට වෙන නමක්
විධායක ජනාධිපති ධුරය සහ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුව පාර්ලිමේන්තුව ඇතුළේ පළමු වරට පරාජයට පත්කිරීමට පසුගිය සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමට හැකි විය. ඒ, දින 43ක් තිස්සේ හිස්ව පවතින විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ව්‍යවස්ථාදායක සභාවට එවා තිබූ නම වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප කිරීම හරහාය. මෙහිදී ආණ්ඩුවට එරෙහි පළමු වෙඩිමුරය පත්තු කරමින් ව්‍යවස්ථාදායක සභාවේ සිටින ස්වාධීන නියෝජිතයන්ගේ සහායද ගෙන අදාළ නාමයෝජනාව පරාජයට පත්කිරීමට සජිත්ට හැකියාව ලැබී තිබිණි.
මෙහිදී හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම ගොස් දින 45ක් ගතව තිබුණත් ආණ්ඩුව පැත්තෙන් ඒ සඳහා අලුත් නමක් යෝජනා වී තිබුණේ නැත. සාමාන්‍යයෙන් සම්ප්‍රදාය වී ඇත්තේ රජයේ ගණන් හිලව් සම්බන්ධයෙන් සොයාබලන ඉහළම තැන ලෙස සැලකෙන විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විශ්‍රාම ගිය පසු ලෙස එම දෙපාර්තමේන්තුවේම සේවය කරන ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා එම තනතුරට පත්කිරීමය. ඒ අනුව, වසර ගණනාවක අත්දැකීම් සහිත ධර්මපාල ගම්මන්පිල මහතා විගණකාධිපති ධුරය සඳහා සියලු සුදුසුකම් සපුරා තිබූ ජ්‍යෙෂ්ඨයා ලෙස සියල්ලන්ම හඳුනාගෙන තිබිණි. ඒ අනුව විනිවිද බව, පිරිසිදු බව අගයන, දේශපාලන ඇඟිලි ගැසීම් කිසිසේත්ම නොකරන පක්ෂයක් ලෙසට තමන්ම හඳුන්වා ගන්නා ජවිපෙ, එම සම්ප්‍රදායට අනුව යමින් ගම්මන්පිල මහතා ඊළඟ විගණකාධිපතිවරයා ලෙස පත්කරනු ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබිණි.
නමුත් බොහෝ දෙනා පුදුමයට පත්කරමින් ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට පෙර දින එච්.ඩී.පී. චන්දන නමැත්තකුගේ නමද ව්‍යවස්ථාදායක සභාවට නම්කර එවීමට පියවර ගෙන තිබිණි. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන් සිටියදී හිටිහැටියේම ජනාධිපතිවරයා නම්කළ මේ චන්දන නැමැත්තා කවුරුන්ද යන්න සොයාබැලීමට ඒ අනුව බොහෝ දෙනා උත්සුක වූහ. එහිදී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියේ මේ චන්දන නමැත්තා ඛනිජ තෙල් සංස්ථාවේ විගණන අංශයේ සිටින, එතරම් අත්දැකීම් නැති අධ්‍යක්ෂවරයකු යැයි කියාය. එමෙන්ම හෙතෙම ජනාධිපතිවරයා ඉගෙනුම ලැබූ කැලණිය විශ්වවිද්‍යාලයේ ඔහුගේ සමකාලීන මිත්‍රයකු බවද මුජිබර් කියා සිටියේය.
මුජිබර්ගේ මේ හෙළිදරව්වෙන් පසු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද ඉතිහාසයේ පළමු වතාවට මාධ්‍ය හමුවකට පැමිණ ජනාධිපතිවරයාගේ මේ නාමයෝජනාවට එරෙහිව අදහස් පළකිරීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව එදින සවස රැස්වූ ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයාගේ මේ නම වැඩි ඡන්දයෙන් පරාජයට පත්කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් දෙවැනි වතාවට එම නම ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිවරයා එවා තිබූ නිසා එවරද එය ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාව කටයුතු කළේය. එහි ප්‍රතිඵලය වූයේ බ්‍රහස්පතින්දා දිනයේදී චන්දන නමැත්තාගේ නම වෙනුවට ගම්මන්පිල මහතාගේ නම වැඩබලන විගණකාධිපතිවරයා ලෙස නම්කොට එවීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමය. ඊට ව්‍යවස්ථාදායක සභාව සිය එකඟතාව පළකිරීම විශේෂ සිදුවීමක් විය.
සජිත්ගේ කකුලෙන් අදින්නෝ
කෙසේ වෙතත් පසුගිය කාලයේදී බොහෝ දෙනා සජිත්ට චෝදනා කරමින් කියා සිටියේ විපක්ෂය හැසිරවීමේදී සජිත්ට අත්දැකීම් නැතැයි කියාය. සජිත්ගේ කොන්ද පණ නැතැයි කියාය. ආණ්ඩුවේ සිටින යම් යම් පිරිස් සහ විපක්ෂයේ සිටින යම් යම් කුහකයන් සජිත්ට මේ චෝදනාව එල්ල කරන්නේ සජිත් සිය පාර්ලිමේන්තු භූමිකාව නිවැරැදිව ඉටුකිරීමට කටයුතු කොට ඇති පසුබිමක වීම විශේෂය. නමුත් සජබයට සිදුව ඇති කනගාටුදායකම සිදුවීම වන්නේ එහි සිටින ජ්‍යෙෂ්ඨ කුමන්ත්‍රණකරුවන් කිහිප දෙනකු සජිත්ගේ මෙම විපක්ෂ නායක භූමිකාව නිවැරැදිව මාර්කට් කිරීමට කටයුතු නොකිරීමය. මෙම ජ්‍යෙෂ්ඨ කුමන්ත්‍රණකරුවන් සජිත්ගේ වැඩපිළිවෙළ ගමට ගෙන යනවා වෙනුවට කරන්නේ ඇතුළේ සිටම සජිත්ගේ කකුලෙන් ඇදීමය. සාකච්ඡාවලදී රනිල්ගේ ගේම් ගැන කිය කියා සජිත්ට පහර ගැසීමය. සජිත් අඳින පලඳින විදියට හිනාවීමය. අද සජබය ඇතුළේ සුදු ඇඳගෙන සිටින ඇතැමුන් පවා පසුගිය කාලයේ සිටියේ රනිල්ගේ වේදිකාවල ප්‍රසිද්ධියේම නැග රනිල් සමග හිනා වෙමින්ය.
නමුත් සජිත් මේ කිසිවකුත් සමග තර්ක කරන්නට ගියේ නැත. වාද කරන්නට ගියේ නැත. සජිත් තමන්ගේ පාඩුවේ සජබය ගොඩනගන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියේය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සජිත් මාස 5ක් ඇතුළත ලක්ෂ 3කට වඩා සිය ඡන්ද ප්‍රමාණය ඉහළ නංවා ගත්තේ රට වටේ රැස්වීම් 109කට ගොස්ය. නමුත් සජිත්ගේ මේ කකුලෙන් අදින ඇතැම් සජබ ජ්‍යෙෂ්ඨයන් තමන්ගේ ආසනවලවත් හරි හමන් මැතිවරණ ප්‍රචාරණයක් සිදු නොකළේය. ඔවුන් බලා සිටියේ මේ ඡන්දයෙන්ද සජිත් සහ සජබය පරාජයට පත්වන තෙක්ය. ඉන් පසු සජබයේ නායකත්වය වෙනස් කොට සජබය ගෙන ගොස් රනිල්ගේ දෙපතුල ළඟ තැබීමටය.
මීට කලිනුත් කළා
සජිත් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව හරහා ජනාධිපතිවරුන් ආණ්ඩු මට්ටු කළ පළමු අවස්ථාව මෙය නොවේ. ඉකුත් රනිල් වික්‍රමසිංහ පාලන සමයේදීද මේ ආකාරයටම සජිත් ව්‍යවස්ථාදායක සභාව හරහා රනිල්ගේ අත්තනෝමතික ක්‍රියා පාලනය කිරීමට සමත් විය. ඊට හොඳම උදාහරණය වූයේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට නම්කරමින් රනිල් ව්‍යවස්ථාදායක සභාවට නම එවූ අවස්ථාවේදී සජිත්ගේ මූලිකත්වයෙන් එම යෝජනාව පරාජයට පත්කිරීමට පියවර ගැනීමය. රනිල් දෙවැනි අවස්ථාවේදීත් දේශබන්දුගේ නම ව්‍යවස්ථාදායක සභාවට එවීමට කටයුතු කළ අතර, ඒ අවස්ථාවේදීද එය පරාජයට පත්කිරීමට සජිත් පියවර ගත්තේය. නමුත් එහිදී කතානායකවරයා සහ රනිල් එක්ව සිදුකළ යටිකූට්ටු වැඩක් මුල්කරගෙන දේශබන්දුව පොලිස්පති ධුරයට පත්කිරීමට රනිල් කටයුතු කළේය. මේ හේතුවෙන් පසු අවස්ථාවක කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පවා ගොනුකිරීමට විපක්ෂය පියවර ගත්තේය. අද දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු කීපයක්ම පැවැත්වෙන අතර, ඉදිරියේදී ඔහුගේ පත්වීම සම්බන්ධයෙන්ද අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමක් සිදුවීමට නියමිත බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව එදත් සජිත් විපක්ෂ නායක ධුරයේ සිය වගකීම නිවැරැදිව ඉටුකර තිබූ බව අද වනවිට තහවුරු වී තිබේ.
මීට අමතරව රනිල්ට හිතවත් විනිසුරුවරයකු ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීමට එවකදී ව්‍යවස්ථාදායක සභාවට නාමයෝජනාවක් ලැබුණු අවස්ථාවේදී එම නාමයෝජනාවද පරාජයට පත්කිරීමට සජිත් ඇතුළු ව්‍යවස්ථාදායක සභාවේ බහුතරයක් කටයුතු කළහ. රනිල්ගේ සිත ඇතුළේ තිබූ ඒකාධිපති වියරුව සජිත් පරාජයට පත්කිරීමට කටයුතු කළේ ඒ ආකාරයටය. රනිල් යෑමට හැදූ ඒකාධිපති ගමන කඩන් වැටුණේද සජිත් මේ ආකාරයට කොන්ද කෙළින් තියාගෙන ව්‍යවස්ථාදායක සභාවේදී නිවැරදි තැන සිටගැනීම නිසාය.
ඒ අනුව අප මෙවර පැහැදිලිව කියා සිටින්නේ සජිත් මේ ආකාරයට ව්‍යවස්ථාදායක සභාවේදී කොන්ද කෙළින් තියාගෙන නිවැරැදි අයුරින් කටයුතු කරන්නේ යහපත් සහ පිරිසිදු රාජ්‍ය පාලනයකට පාර කැපීමට සජිත්ගේ ඇති දැඩි අවශ්‍යතාව නිසාය. සජබයේ සිටින ඇතැම් කුමන්ත්‍රණකාරයන්ට සජිත්ගේ මේ සටන මාර්කට් කිරීමට නොහැකි වුවද, අප එය ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වරින් වර වාර්තා කරන්නේ සජිත්ගේ ඒ සටනට සහාය දැක්වීමට අප සූදානම් නිසාය.
සජබ එජාප එකතු වෙයි
එජාපය සහ සජබය එක්විය යුතු බවට ජනාධිපතිවරණයට පෙර සිටම දෙපැත්තේම තැන් තැන්වල සහ අහුමුලුවල කතාබහට ලක් වුවත්, එය ක්‍රියාත්මක තැනකට පත් නොවුණේ එම එක්වීම හරහා සජබය සහ සජිත් විනාශ කිරීමට රනිල් සටකපට උපක්‍රමයක් ක්‍රියාත්මක කොට තිබූ බවට බොහෝ දෙනාට වැටහී තිබීම නිසාය. විශේෂයෙන්ම ‘මව්රට’ රාජ්‍ය රහස් තීරය මේ එක්වීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවල යටි අරමුණු එකිනෙක පැහැදිලි කරමින් පෙන්වා දුන්නේ එම එක්වීම හරහා නියත වශයෙන්ම සජිත් සහ සජබය විනාශ කොට එහි බලය ඇල්ලීමට රනිල් කුමන්ත්‍රණ කරමින් සිටි නිසාය. එසේ අප කළ අනාවරණයන් සජබයේ සිටින බහුතරයක් පිළිගෙන තිබූ නමුත්, ජ්‍යෙෂ්ඨ යැයි කියාගන්නා කිහිප දෙනකු පමණක් රනිල්ගේ ගැටයට හසුවී නිතරම කියා සිටියේ එජාපය සහ රනිල් සමග සජබය එකතු විය යුතු යැයි කියාය.
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කරද්දීද දෙපාර්ශ්වයේම බොහෝ දෙනා කියා සිටියේ එජාපය සහ සජබය එක්ව ඊට තරග වැදිය යුතු යැයි කියාය. නමුත් ‘මව්රට’ එහිදී පැහැදිලිවම කියා සිටියේ රනිල් මේ සූදානම් වන්නේ කිසිදු කොට්ඨාසයක් දිනාගත නොහැකි එජාප අපේක්ෂකයන් සජබ ලැයිස්තුවෙන් මැතිවරණයට දමා ගමේ විශාල එජාප මන්ත්‍රීවරුන් කණ්ඩායමක් බිහිකර ගැනීමට යැයි කියාය. සජබය පක්ෂයක් ලෙස තනිව ගොඩනැගීමට නම් නියත වශයෙන්ම පළාත් පාලන මැතිවරණයට නියත වශයෙන්ම තනිවම තරග වැදිය යුතු බවද අපි එහිදී කියා සිටියෙමු. අප සිටි එම ස්ථාවරය අද 100%ක් තහවුරු වී ඇති බව පෙනී යන්නේ සජබය සහ එජාපය තනිව තරග කොට ගෙන ඇති මන්ත්‍රීවරු සංඛ්‍යාව දෙස බලන විටය. සජබය 1600කට අධික මන්ත්‍රීවරු සංඛ්‍යාවක් රට වටා බිහිකරද්දී එජාපයට දිනාගත හැකිව ඇත්තේ මන්ත්‍රීවරුන් දෙසිය ගණනක් පමණි.
තලතා ලොකු වැඩක
කෙසේ වෙතත් පසුගිය සතියේ කිසිවකුත් නොසිතූ සිදුවීමක් සිදුවිය. ඒ, එජාපය සහ සජබය පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා එකතු වන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්වීමය. තිරය පිටුපස ඉතා රහසිගත අයුරින් සිදුවූ සාකච්ඡා ගණනාවක ප්‍රතිඵලයක් ලෙස පසුගිය සඳුදා පෙරවරුවේම විපක්ෂ නායක කාර්යාලයට පැමිණි එජාප ප්‍රබලයන් වන සභාපති වජිර අබේවර්ධනත්, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනත්, පක්ෂ මහලේකම් තලතා අතුකෝරාලත්, සාගල රත්නායකත් සජිත් සමග සාකච්ඡා කොට මේ එකඟතාවන් ඇතිකර ගැනීමට කටයුතු කළහ. මෙහිදී සජිත් එජාප නියෝජිතයන්ට ප්‍රබල පණිවුඩයක් දීමට කටයුතු කළේය. ඒ, මෙම සාකච්ඡාව සම්බන්ධ කිසිවක් ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ ප්‍රකාශයට පත්කළ යුතු නැතැයි කියාය. තනි තනිව මාධ්‍ය නිවේදන නිකුත් කළ නොහැකි යැයි කියාය. ඒ වෙනුවට ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළ යුතු බව සජිත් කියද්දී ඊට එජාප ප්‍රබලයන්ගේ එකඟතාව පළවිය.
මෙහිදී මෙම සාකච්ඡාව සූදානම් කිරීම සඳහා මූලිකත්වය ගත් පිරිස සම්බන්ධයෙන්ද විශේෂ යමක් සඳහන් කළ යුතුය. එහි ප්‍රධාන චරිතයක් වූයේ පක්ෂ මහලේකම් තලතා අතුකෝරාලය. පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් එජාපය සමග සාකච්ඡා කළ යුතු බවට සජිත් ආරාධනා කරද්දී ඒ පිළිබඳ රනිල් සමග ගොස් මුහුණට මුහුණ සාකච්ඡා කළේ තලතාය. එහිදී තලතා දැඩිව රනිල්ට දැනුම් දී තිබුණේ එම ආරාධනාව සජිත් විසින් සිදුකර ඇති නිසා ඊට අනිවාර්යයෙන්ම සහභාගි විය යුතු බවය. සාකච්ඡාව සඳහා රනිල් අනුමැතිය ලබාදීමට තලතාගේ මේ දැඩි පෙරැත්තය හේතුවක් වී තිබිණ.
මීට අමතරව රුවන් විජේවර්ධන සහ සාගල රත්නායකද මෙහිදී විශාල කාර්යභාරයක් සිදුකළහ. පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් පැවැති මුල්ම එජාප සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවේ ඉතා ප්‍රවේශම්සහගතව අදහස් දැක්වූ රුවන් කියා සිටියේ සජබය සමග එක්ව බහුතරයක් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට එජාපය සූදානම් යැයි කියාය. එමෙන්ම සාගලද එක් අවස්ථාවකදී මාධ්‍ය හමුවේ කියා සිටියේ සජබය සමග එක්ව පළාත් පාලන ආයතනවල බලය තහවුරු කිරීමට අවශ්‍ය සහාය ලබාදීමට එජාපය සූදානම් බවකි.
මේ ආකාරයට පළාත් පාලන ආයතනවල බලය තහවුරු කිරීම සඳහා එජාපයද එක්කර ගත් සජිත් පසුගිය සතියේදී විපක්ෂයේ අනකුත් පක්ෂ නායකයන් හමුවී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදී පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා හමුවීමටද සජිත් කටයුතු කළේය. එමෙන්ම තලවතුගොඩ මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේදී ස්වාධීන පක්ෂවල ලේකම්වරුන් හමුවීමටද සජිත් පියවර ගත්තේය. නමුත් මේ කිසිවකටත් කිසිදු මාධ්‍ය ප්‍රචාරයක් ලබා නොදීමට සජිත් පියවර ගෙන තිබීම විශේෂත්වයක් විය.










