2025 මැයි 03 වැනි සෙනසුරාදා වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ‘ලොව වටා තානාපති කාර්යාල නැරඹීමේ’ අවස්ථාවේ කොටසක් වූ Passport DC වැඩසටහන සඳහා ඇමරිකානු නරඹන්නන් වෙනුවෙන් පෙරවරු 9.30 සිට සවස 5.00 දක්වා එහි දොරටු විවෘත කර තබන ලදී. තානාපති මහින්ද සමරසිංහ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට තානාපති කාර්යාලය මෙහිදී පුලුල් වැඩපිළිවෙළක් සංවිධානය කළේය. Passport DC වැඩසටහනෙහි සංවිධායකයින් විසින් නිල වශයෙන් කළ ගණනයට අනුව එක්සත් ජනපද ජාතිකයින් 4,200 කට අධික පිරිසක් මෙම උත්සවය නැරඹීම සඳහා තානාපති කාර්යාලයට පැමිණ ඇත.Sri Lanka Latest News
මෙම උත්සවයේ සුවිශේෂි අංගයක් ලෙස, පැරණි සංස්කෘතික උරුමයන්, ස්වභාවික සුන්දරත්වය, වන ජීවීන් සහ ශ්‍රී ලංකාවේ ජනතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් “ශ්‍රී ලංකාවේ සුන්දරත්වය” නමින්, වර්ණවත් ඡායාරූප 80 කට අධික සංඛ්‍යාවක් ඇතුලත් ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වන ලදී. ලොස් ඇන්ජලීස් හි ඇමරිකානු – ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයේ සූරිය පෙරේරා, ඇන්ඩි සමරසේන, ලක්ෂිත කරුණාරත්න, සමීර කොතලාවල සහ රිස්නඩ් හුසේන් යන මහතුන් විසින් මෙහෙයවන ලද මෙම ඡායාරූප ප්‍රදර්ශනය පැමිණ සිටි සියලු දෙනාගේ අවධානය දිනා ගත්තේය.
පැමිණි පිරිසට ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික ආගන්තුක සත්කාරවලින් සංග්‍රහ කරන අතරතුර, ශ්‍රී ලංකාවේ විවිධ ආහාර සහ සජීවීව කොත්තු රොටි සහ ආප්ප සකස් කරන ආකාරය දැකගැනීමටද බත් සහ ව්‍යංජන සහිත ආහාර වේලක රස බැලීමටද අවස්ථාව හිමි විය. තානාපති කාර්යාලය, පැමිණි අමුත්තන්ට “Basilur (Sri Lanka)” සහ “QTrade Teas & Herbs (California, USA)” විසින් අනුග්‍රහය දක්වන ලද නැවුම් ලෙස පෙරන ලද උණුසුම් හෝ අයිස් කළ ලංකා තේ කෝප්පයක් ද පිරිනමන ලදී. මෙම අවස්ථාව සාර්ථක කරගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මූල්‍යමය සහාය ලැබිණ.
ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමයේ විචිත්‍රත්වය විදහා දක්වමින් උඩරට, පහතරට සහ උතුරේ නැටුම් විලාසයන් සහ බෙර වාදන උත්සවය අතරතුර ඉදිරිපත් කරන ලදී. චතුරි වික්‍රමාරච්චි, ලංකා මුදන්නායක, අචිලා පෙරේරා, සහ ඉන්දික අත්තනායක යන මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ කලා ආයතනවල සිසු සිසුවියන් විසින් නියමිත කාල පරාසයන් තුළ මෙම ප්‍රසංග පැවැත්වූ අතර එය දවස පුරා අමුත්තන්ගේ සිත් ඇද බැඳගත් ප්‍රධාන ආකර්ෂණීය අංගයක් විය.
“Passport DC 2024” වැඩසටහනට සමගාමීව නියමිත කාල පරාසයන් තුළ සජීවී ලෙස ගීත ගායනා කරමින් කුටිල ඩයස් මහතා ප්‍රමුඛ “Serendib” සංගීත කණ්ඩායමේ සහභාගීත්වයෙන් ශ්‍රී ලාංකීය ගීතයේ රස වින්දනය සදහා තානාපති කාර්යාලය විශේෂ විධිවිධාන සලසා දෙන ලදී. දේශිය සංගීත කලාව ඉස්මතු කරමින් ඉදිරිපත් කළ මෙම වැඩසටහන පැමිණ සිටි පිරිසගේ සිත් ඇදගැනීමට සමත් විය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද තවත් විශේෂත්වයක් වූයේ නරඹන්නන්ට ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී ඡායාරූප ගැනීමේ අවස්ථාව ලබාදීමයි. බොහෝ ඇමරිකානු කාන්තාවන් උඩරට සාරි ඇඳ ඡායාරූප ගැනීමට පෝලිම් ගැසුනු අතර පිරිමි අය බතික් සරම් සහ කමිස ඇඳ ඡායාරූප ගන්නා ලදී. ශ්‍රී ලංකා-ඇමරිකානු වෙළෙන්දන්ගේ අනුග්‍රහය ඇතිව තානාපති කාර්යාල උද්‍යානයේ වෙනම කුටි තුනක ලී වෙස් මුහුණු, බෙර, බෑග්, බතික් ඇඳුම්, පිත්තල භාණ්ඩ, සිතුවම්, ලංකා කුළුබඩු සහ තේ ආදියෙන් සමන්විත ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික හස්ත කර්මාන්තද ප්‍රදර්ශනය කර තිබූ අතර එය අමුත්තන් සඳහා තවත් ප්‍රධාන ආකර්ෂණීය අවස්ථාවක් විය. ශ්‍රී ලාංකික-ඇමරිකානු සමාගමක් මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් සංචාරක පැකේජ ඉදිරිපත් කළ අතර එය ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා නරඹන්නන්ගේ උනන්දුව සහ අවධානයට වැඩිකිරීමට හේතු විය.
පැමිණි පිරිස සතුටට පත් කරමින්, “Basilur (Sri Lanka)” විසින් අනුග්‍රහය දක්වන ලද ලංකා තේ පැකට්ටුවක් තානාපති කාර්යාලය විසින් ඔවුන් සියලු දෙනා සඳහා පිරිනමන ලදී. එහි අරමුණ වූයේ අමුත්තන් අතර ශ්‍රී ලංකාවේ තේ ප්‍රවර්ධනය කිරීමයි.
තානාපති කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, වොෂින්ටන් ඩී.සී., මේරිලන්ඩ් සහ වර්ජිනියා යන ප්‍රාන්තවල ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් සැදුම්ලත් සංගම් හයක සාමාජිකයින් විසින් මෙම අවස්ථාව සඳහා සිය ස්වේච්ඡා සේවය ලබා දෙන ලදී. වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා සංගමය, ශ්‍රී ලංකා රංග කලා කවය, කලා ලංකා පදනම, අපේ කට්ටිය/ඇමරිකා ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම, බෙතස්ඩා අපි සහ වොෂින්ටන් බල ප්‍රදේශයේ රෝහල් සේවා කවුන්සිලය දවස පුරා පැවැති මෙම උත්සවය සඳහා විශාල නරඹන්නන් පිරිසක් ආකර්ශනය කරගැනීමට බෙහෙවින් ඉවහල් විය.
Events DC විසින් සංවිධානය කරන ලද මෙම “Passport DC” උත්සවයට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇතුළු වොෂින්ටන් ඩී.සී. හි පිහිටි විදේශ දූත මණ්ඩල 60කට අධික සංඛ්‍යාවක් එක්විය. මැයි මාසයේ මාසයක් පුරා පැවැත්වෙන මෙම උත්සවය වොෂින්ටන් ඩී.සී. හි සිටින ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට සහ විවිධ සංස්කෘතින්ට උපහාරයක් ලෙස පැවැත්වේ. මෙම උත්සවයේ කොටසක් ලෙස, මැයි මාසයේ පළමු සෙනසුරාදා, වොෂින්ටන් ඩී.සී. හි ‘ජාත්‍යන්තර සංස්කෘතික දැනුවත් කිරීමේ මාසය’ තානාපති කාර්යාල විවෘත කර තැබීම සඳහා වෙන් කර ඇත.
වාර්ෂිකව සංවිධානය කරනු ලබන Passport DC මගින් වොෂින්ටන් ඩී.සී. හි තානාපති කාර්යාල සහ සංස්කෘතික සංවිධාන තුළ පුළුල් පරාසයක ප්‍රසංග, සාකච්ඡා සහ ප්‍රදර්ශනයන් පවත්වනු ලබයි. එක් දිනක් තුළ විවිධ විදේශීය සංස්කෘතීන් සහ සම්ප්‍රදායන්හි බොහෝ අංගයන් භුක්ති විඳීමට ඉඩ ලබාදෙන දුර්ලභ අවස්ථාවක් වන මෙය වොෂින්ටන් බල ප්‍රදේශයේ (වොෂින්ටන් ඩී.සී., මේරිලන්ඩ් ප්‍රාන්තය, උතුරු වර්ජිනියා ප්‍රාන්තය සහ අවට නාගරික ප්‍රදේශය) ඇමරිකානුවන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
වොෂින්ටන් ඩී.සී.
2025 මැයි 06
























