රේල් හයික් කියන්නේ සුන්දර අත්දැකීමක්. ඉතින් ඒ සුන්දරත්වය විඳීමට අපිටත් පුදුම ආසාවක් තිබුණා. ඒ නිසා මේ ගමන යොදා ගත්තේ ඉදල්ගස්හින්න සිට හපුතලේට පා ගමනින් යෑමටයි. කොහොමෙන් කොහොම හරි කොළඹ කොටුව සිට බදුල්ල බලා යන රාත්‍රි තැපැල් දුම්රියට ගොඩවුණු අප හතර දෙනා ඉදල්ගස්හින්න පාරාදීසයට යන්න පිටත් වුණා. සුපුරුදු M6 රිද්මයට යන මෙය මාගේ පළමු බදුලු රාත්‍රි තැපැල් දුම්රිය අත්දැකීමයි. කෙමෙන් කෙමෙන් රඹුක්කන පේරාදෙණිය, ගම්පොළ, නාවලපිටිය, හැටන් පසු කරමින් දුම්රිය නානුඔය වෙත ළඟා විය.
සමාජ ජාල ඔස්සේ මම දැක තිබූ පට්ටිපොළ ජර්මන් හාදුව හෙවත් engine couple කිරීමට දැක ගැනීමට තිබුණේ ඉමහත් ආසාවකි. දුම්රිය කෙමෙන් කෙමෙන් අඹේවෙල පසු කරමින් ඊළඟ නැවතුම වන පට්ටිපොළට දුම්රිය ළඟා වන්නේ අධික සීතල සමඟිනි. අලුයම හතර හමාර පමණ දුම්රිය පට්ටිපොළට ළඟා විය. පුදුමයකි. මා වගේ තවත් දුම්රිය ලෝලීන් සිටින බව දැන ගත්තේ පට්ටිපොදී මෙම එන්ජින් කපල් ක්‍රියාවලිය ඡායාරූප ගැනීමට පට්ටිපොළ දුම්රිය ස්ථානය බැස ගත් තරුණියන් දුටු විටයි. “සීතලයි නේද මචන්.” මුළු ඇඟම වේවලමින් මිතුරෙකු මාගෙන් ඇසුවේ සීතලේ ගැසෙමිනි. කොහොම නමුත් මෙම එන්ජින් කපල් ක්‍රියාවලිය ඡායාරූප ගත් පසු අප දුම්රියට ගොඩවුණේ අපේ ගමන්නාන්තය වන සුන්දර ඉදල්ගස්හින්නටයි. අලුයම පහට පමණ දුම්රිය ඉදල්ගස්හින්නට ළඟා වුණු පසු අපි දුම්රියෙන් බැස්සේ සිහිනයක් සැබෑ වූවා මෙනි. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ තියෙන පොඩි විවේක කාමරයට ගොඩවුණේ එළියේ තියෙන සීතල නිසාවෙනි. මන්ද තවම හිරු එළිය නොවැටී නොතිබුණ නිසා. අප හතර දෙනාට අමතරව තවත් දෙදෙනකු එම විවේක කාමරය තුළ සිටියහ. පුදුමයකි. මා සමඟ සුහදව පට්ටිපොළදී හමුවුණු මිතුරාත් හා ඔහුගේ තවත් යහළුවෙකුත් බැස ඇත්තේ මෙම දුම්රිය ස්ථානයෙනි. මේ මිතුරන් දෙදෙනා දැන් මාගේ හොඳම මිතුරන් වන අනුෂ්ක හා ලක්සිත මන්දාරයි.
සුහද කතාබහක නිරත වුණු අප හිරු උදාව සමඟ අප ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ විවේක කාමරයෙන් එළියට පැමිණියේ වචනවලින් විස්තර කර නොහැකි තරමට සුන්දර පරිසරයක්. එක් පසෙකින් මීදුමෙන් වැහුනු කඳු. මල්. සීතල සුළං. මෙම චමත්කාරය වචනවලට පෙරළිය නොහැකි තරම් සුන්දර අත්දැකීමකි. දුම්රිය ස්ථානයේ සුන්දර පරිසරය ඡායාරූප ගෙන පසුව අපට හමු වුණු යහළුවන් දෙදෙනාට සමු දුන්නේ “ආයේත් සෙට් වෙමු” යන වචන කිහිපයෙනි.

අප ගමන්නාන්තය වුණු හපුතලේට පා ගමනින් යෑමට ආරම්භ කළේ උදෑසන හය හමාරට පමණයි. වටේටම පයිනස් ගස් මැදින් වැටී තියෙන රේල්පාර වැටී ඇත්තේ දිව්‍ය ලෝකේට පාරක් මෙනි. අප ටික දුරක් ගමන් කරද්දී අපට හමුවුණේ උඩරට දුම්රිය මාර්ගයේ අංක 36 බිංගෙ යයි. අපේ තීරණය වුණේ උඩරට මැණිකේගේ සම්ප්‍රාප්තිය සඳහා එතැන සිටීමයි. ඊළඟට කෝච්චි පිස්සෙක්ගේ ඉවසීම තීරණය කරන මොහොතක්. අපිට පැය 1 1/2ක් එතැන සිටීමට සිදු වුණා. පසුව උඩරට මැණිකේ දුම්රිය අපව පසු කර ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය පැත්තට ගමන් කළේ මීදුමත් සමඟයි. නැවතත් ගමන ආරම්භ කළ අප හපුතලේ බලා ඇදුණේ තංගමලේ අභය භූමිය මැදිනි. මන්ද උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න සිට හපුතලේට දුම්රිය මාර්ග වැටී ඇත්තේ මෙම අභය භූමිය හරහා නිසාවෙනි. විටෙන් විට වෙනස් වන පරිසරය ගැන නම් වචනයෙන් විස්තර කිරීමට නොහැකි තරම් සුන්දරය. මීදුම. පොද වැස්ස. අව්ව. මඳ සිතල. මෙම දුම්රිය මාර්ගයේ ගමන් කරන කොට වෙනස් වෙනවා. කෙමෙන් කෙමෙන් හපුතලේට ළඟා වුණු අප පැය හතරකට වඩා කාලයක් පා ගමනින් පැමිණි හපුතලේ දුම්රිය ස්ථානයට ළඟා විය. පසුව හපුතලේ නගරයට ගොස් හපුතලේ නගරයට ආවේණික තෝසවල රස බැලිමට අමතක කළේ නැත. පසුව හපුතලේ දුම්රිය ස්ථානයට පැමිණ අප කොළඹ බලා ගමන් ඇරඹුවේ මතකයන් හා අලුත් යහළුවන් සමඟයි. අවට පරිසරයේ සුන්දරත්වය නරඹමින් රාත්‍රි 9ට පමණ කොළඹට ළඟා වුණේ තවත් මෙබඳු සංචාරයක් යන බලාපොරොත්තුවෙනි. ඔබත් මෙම සුන්දරත්වය විදීමට යා යුතු අතර මා මතක් කර සිටිනවා පරිසරය විනාශ නොකර මෙම අත්දැකීම් හා සුන්දරත්වය නරඹන්නට කියා.
මලිදු කවිෂ්ක











