හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් අනූ නව දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
තීරණය ප්‍රකාශයට පත් කරමින් කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ මෙවැනි වාරණ නියෝගයක් ඉල්ලුම් කිරීමේ දී පැමිණිලිකරු විසින් සත්‍ය කරුණු ඒ ආකාරයෙන්ම අධිකරණය හමුවේ හෙළිදරව් කිරීම අවශ්‍ය බවයි.
එහෙත් මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමේ දී පැමිණිලිකරු සිද්ධිමය කරුණු යටපත් කරමින් අදාළ වාරණ නියෝගය අයැද සිට ඇතැයි පෙන්වා දුන් දිසා විනිසුරුවරිය ඒ අනුව එම වාරණ නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවද සඳහන් කළාය.
කෙසේ වෙතත් නඩුව නැවත ජුලි මස 27 වනදා කැඳවීමට නියම කළ දිසා විනිසුරුවරිය අදාල පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ එහි උප නායක රවී කරුණානායක යන මහත්වරු වෙත නොතීසි නිකුත් කිරීමට ද නියෝග කළාය.
අද දින සිට සති දෙකක් ඇතුළත විරෝධතා තිබේ නම් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද එම පැමිණිල්ලේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට ද මෙහි දී අධිකරණය විසින් නියම කරනු ලැබීය.
පැමිණිලිකාර රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ල තුළින් සඳහන් කර තිබුණේ තමා ඇතුළු පිරිසක් සමගි ජන බලවේගය නැමැති සංධානයකින් නාමයෝජනා පත්‍ර භාරදීමෙන් පසුව සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගැනීමට වගඋත්තරකරුවන් තීරණය කළ බවයි.










