වැලිකඩ පොලිසියේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය සතියේ තවත් බොහෝ කරුණු කාරණා අප විසින් සොයාගත්තා. ඒ ගැන අප හොයාබැලූ කාරණය සහ එහිදී අප විසින් කරන ලද යම් චෝදනා සම්බන්ධයෙන් අප යළි යළිත් කනගාටුවට පත්වෙනවා. මොකද ඒකට හේතුව තමයි අපි පහුගිය සතියේ ලිපියෙන් පොලිස් මාධ්ය ප්රකාශකවරයාට ඍජුව චෝදනා එල්ල කරලා තිබුණා. නමුත් ඇත්ත කතාව තමයි පොලිස් මාධ්ය ප්රකාශක විසින් සිදුකරන කාර්යය ඔහුගේ කාර්යභාරය ලෙස අප විසින් පැහැහදිලි කරගත යුතුයි. ඒ වගේම ඔහු විසින් යම් කාරණා සම්බන්ධයෙන් කරන ලද පැහැදිලි කිරීම් අප විසින් සොයාබැලුවා. ඔහු විසින් සිද්ධ කරලා තියෙන්නේ තමන්ගේ රාජකාරි වපසරිය තුළ සිදුකරන කාර්යභාරයක් බව අපට එහිදී පැහැදිලි වෙනවා. ඒ වගේම පොලිස් මාධ්ය ප්රකාශක විසින් මතුකරන සමහර කාරණාවල තියෙන තර්කානුකූල බව මේ සිද්ධිය පිළිබඳ අප විසින් සොයා බලද්දී යම් යම් අවස්ථාවලදී මතු වෙනවා. නමුත් අප මේ ලිපියේදී කිසිසේත්ම උත්සාහ කරන්නේ නෑ වැලිකඩ පොලිසිය නිවැරැදි යැයි තහවුරු කරන්න. වැලිකඩ පොලිසිය නිවැරැදිද වැරැදිද යන්න පිළිබඳ තහවුරු කිරීම අපගේ රාජකාරියක් නෙවෙයි. ඒ පිළිබඳ කාර්යභාරය වන්නේ පොලිසිය සහ ඊට අදාළ ආයතන විසින් ගන්නා ලද නිසි පරීක්ෂණයකින් පසුව සිදුකරන පැහැදිලි කිරීම්. විශේෂයෙන්ම අපි දන්නවා මේ සම්බන්ධයෙන් අධිකරණයේ කාර්යයක් සිද්ධ වෙනවා. ඒ නිසා තවම අපට පූර්ව නිගමනවලට පැමිණෙන්න බැහැ. පූර්ව නිගමනවලට පැමිණියත් පූර්ණ නිගමනවලට පැමිණීමේ හැකියාව අපිට නෑ. ඒ නිසා අපි හිතනවා ඔප්පු වීමට පෙර සියලු වැරැදිකරුවන්, සැකකරුවන් පමණක් නිසා මෙය සැකකරුවන් යැයි අපට පොලිසිය ගැන අභිමතයකට පැමිණිය හැකි නමුත්, ඔවුන් වැරැදි යැයි සම්මත කරගත නොහැකි තත්ත්වයක් බව.
මේ කාරණයේදී මේ තරුණයා පාරේ ගමන් කරන වීඩියෝවක කොටස් අපිට දකින්න ලැබුණා. ඔහු ගමන් කරන ආකාරය දෙස බලන විට ඔහු සාමාන්ය පුද්ගලයෙක්ගේ තත්ත්වයකින් නෙවෙයි ඒ වීඩියෝවේ ගමන් කරන්නේ. යම්කිසි ව්යාකූල තත්ත්වයක් ඔහු තුළ තියෙනවා. එක්කෝ ඔහු මත්ද්රව්යයක් භාවිත කරලා වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔහුගේ සිහිය විසඥ වෙලා වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔහුට යම් බරපතළ රෝගාබාධයක් තියෙන්න ඕනේ. ඒ කුමන හෝ ආකාරයකින් ඔහුගේ මාර්ගයේ ගමන් කිරීම සම්බන්ධයෙන් අප මේ වීඩියෝව දැක්කා. ඒ වගේම ඔහුගේ කාමරයේ තිබී සොයාගන්නා ලද යම් යම් දේවල් සම්බන්ධව පොලිසිය සහ වෙනත් අංශ විසින් කරන ලද යම් යම් පැහැදිලි කිරීම් අපට හඳුනාගන්න ලැබුණා. ඒ පැහැදිලි කිරීම්වලින් අපට පැහැදිලි වෙන්නේ ඔහුගේ යම් තත්ත්වයන් පිළිබඳ. අපට ඔහුගේ අතිශය පෞද්ගලික කාරණා පිළිබඳ මෙහිදී කතා කරන්න බැහැ. මොකද තාමත් මෙය අධිකරණ ක්රියාදාමයක් තුළ තියෙන දෙයක් නිසා සහ මේ පුද්ගලයාට අපහාස කිරීමට කිසිසේත් අවශ්යතාවක් නැති නිසා. Sri Lanka Latest News
මේ ලිපිය තුළ අපි කිසිසේත් බලාපොරොත්තු වෙන්නේ නෑ වැලිකඩ පොලිසියේ ක්රියාදාමය අතිශය සාධාරණීකරණය කරන්න. ඔවුන් විසින් සිද්ධ කරන ලද ඉතා අහිංසක ක්රියාකලාපයක් මෙහි ඇතැයි අපි විශ්වාස කරන්නෙත් නැහැ. සාමාන්යයෙන් ශ්රී ලංකාවේ පොලිසිය සම්බන්ධයෙන් රට ඇතුළේ ඇතිවෙලා තියෙන අවිශ්වාසය අප තවදුරටත් ඒ ආකාරයෙන්ම ඉදිරියට රැගෙන යනවා. නමුත් පොලිසිය හෝ කුමන හෝ ආයතනයක් සම්බන්ධව අපට දරන්න සිද්ධ වෙන ඇතැම් මත නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය අභිභවා යානම් එය වැරැදි බව අප මෙහිදී විශ්වාස කරනවා. සෑම විටකම පුද්ගලයෙක් නිර්දෝෂී යැයි පූර්ව නිගමනය කළ යුතු වනවා සේම, සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වෙනතුරු එය අපරාධයක් යැයි පිළිගන්න පුළුවන්කමක් නැහැ. නමුත් මේ පුද්ගලයාව රෝහල්ගත කිරීම සහ රෝගල්ගත කිරීමේදී ඔහු රෝහලට රෝගියකු ලෙස ඇතුළත් කරගත් බවට රෝහල විසින් ලබාදීලා තියෙන ඇඳ ඉහපත් අංකය සහ ඔහු රෝහලට ඇතුළත් කරගත්ත බවට ලබාදෙන වාර්තාව අපට මෙහිදී විශ්වාස කරන්න සිද්ධ වෙනවා. යම් හෙයකින් එම වාර්තාව සකස් කරන ලද්දක් නම් එහි වරද පැවරෙන්නේ පොලිසියටත් වඩා රෝහලට. අප රෝහල වැරැදි යැයි පූර්ව නිගමනය කරනවා නෙවෙයි. එහෙම දෙයක් වෙලා නම් සම්භාවිතාවක් තියෙනවා එම සම්භාවිතාව මත එවැන්නක් වෙලා නම් ඔවුන් වැරැදිකරුවන් බව පිළිගන්න සිද්ධ වෙනවා. එවිට මේ වරදට ඔවුන් හවුල්යැයි අපට හිතන්න පුළුවන්.
කෙසේ වෙතත් රෝහලකින් එවැන්නක් සිදුවේ යැයි අපට හිතන්න බැහැ. නමුත් නොසිදුවේ යැයි හිතන්නත් අපි එච්චර කලබල වෙන්නේ නෑ. ඒ අනුව මෙවැනි කාරණයකට ඔහු මුහුණ දුන්නේ ඇයි කියන එක ගැන අපට කතාකරන්න සිද්ධ වෙන්නේ ඒ වෙලාවේ කූඩුවේ හිටපු අයත් එක්ක. ඒ වෙලාවේ කූඩුවේ හිටපු අයට සල්ලි දීලා, බය කරලා, නම්මවාගෙන, ඔවුන්ගේ වැරැදිවලින් ඔවුන් නිදහස් කරන බව කියලා පොලිසියට අවශ්ය නම් මේ කතන්දරය ඇතුළේ ඔවුන්ව මෙහෙයවන්න පුළුවන්. අපි දැඩි පරිශ්රමයක් දරලා ඔවුන් කීප දෙනෙක්ව හොයාගත්තා. ඒ හොයාගත්තේ මේ කාරණාව ගැන අපට අවශ්ය කරන පැහැදිලි කිරීම කරගන්න. නමුත් අපට අවශ්ය කරන පැහැදිලි කිරීම රටට අවශ්ය කරන පැහැදිලි කිරීමද නැද්ද කියන එක අපි දන්නේ නෑ. අපි විශ්වාස කරනවා මෙහිදී මේ පුද්ගලයාට සිද්ධ වුණු අසාධාරණයක් තිබේ නම් එයට සාධාරණය ඉෂ්ට කිරීම සියලු නිලධාරීන්ගේ සියලු කාර්යමණ්ඩලවල සියලු පුද්ගලයන්ගේ වගකීමක් යුතුකමක් බව.
ඔහු බදුල්ලේ සිට කොළඹ එන්නේ හිරගෙදර බිත්තියේ ඔළුව ගහගෙන රෝහල්ගත වෙලා මියයන්න බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඔහු බදුල්ලේ සිට කොළඹ එන්නේ වරදක් කරන බලාපොරොත්තුවෙන් නෙවෙයි. කාගෙවත් වත්තකට පනින බලාපොරොත්තුවෙන් නෙවෙයි. කාගෙවත් දේවල් හොරකම් කරන බලාපොරාත්තුවෙන් නෙවෙයි. ආයෙත් ගෙදර නොයන බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඔහු ආපහු ගෙදර යන්නේ මෘත ශරීරයක් විදියට නම් එයට සාධාරණය ඉෂ්ට විය යුතුයි. අපි ගිය සතියේ ලිපියෙනුත් මේ ගැන පැහැදිලි කිරීම් කළා. අඟුලාන පොලිසියේ සිදුවීම ගැන අපි ඔබට කිව්වා. නමුත් දැන් මේ කාරණාවේදී අප විසින් කරපු ඇතැම් චෝදනා සම්බන්ධව අපට යම් කනස්සල්ලක් ඇතිවෙනවා මේ පිළිබඳ හොයලා බලද්දී.
ඔහු 100%ක් නිර්දෝෂීද, ඔහු නිර්දෝෂී නම් ඔහු මේ වීඩියෝව සම්බන්ධයෙන් දරන මතය අපට ඔහුගෙන් අහන්න විදියක් නෑ. නමුත් වීඩියෝව සම්බන්ධයෙන් දරන මතයක් ගැන අපට හොයා බලන්න සිද්ධ වෙනවා. රෝහල තුළදී සිදුවූ ක්රියාදාමය පිළිබඳ රෝහල හරහා පැහැදිලි කිරීමක් අවශ්යයි. මොකද මෘත ශරීරයක් නම් ඔවුන් වාට්ටුවකට යොමුකරන්නේ නෑ. මෘත ශරීරයක් නම් ඔවුන් යොමුකරන්නේ මෝචරියට. පුද්ගලයාව රෝහල්ගත කරගැනීමෙන් අපට පැහැදිලි වෙන එක කාරණයක් වෙන්නේ ඔහු මේ රෝහලට ඇතුළත් වෙන්නේ ජීව පුද්ගලයෙක් විදියට. ඔහුගේ මරණය සිද්ධ වෙන්නේ රෝහල තුළදී කියන එක. නමුත් අප මෙහිදී යම් කාරණයක් ගැන උපකල්පිත කාරණයක් ඔබට කියනවා. පුද්ගලයකුට පහරදීමක් සිද්ධ වෙලා ඔහු රෝහලට අසාධ්ය තත්ත්වයෙන් ඇතුළත් කරලා එහිදී මියයෑමක් සිදු නොවේ යැයි කිසි විටෙක අපට හිතන්නට බැහැ. ඒ වගේම පුද්ගලයෙක්ට පහර දුන්නාට පසු ඔහුට යම් අපහසුතාවක් දැනෙනවා නම් ඒ පුද්ගලයාව රෝහල්ගත කිරීම හැර වෙන දෙයක් පොලිසියට කරන්නත් බෑ. ඒ වගේම මේ පුද්ගලයාව රෝහල්ගත කරන්න පෙර ඔහු සිටි තත්ත්වය ගැන සැකසංකා මතු නොවනවා නම් එය ගැටලුවක් නෑ. මොකද ඒකට හේතුව සමහර වෙලාවට පුද්ගලයකුට පහර දීමෙන් පස්සේ ඔහු මියයන්නේ ඔළුව හෝදලා, දවස් ගානක් ගතවෙලා ඉන්න අතරතුරදී. රෝහලට ඇතුළත් කරන පුද්ගලයාගේ කලිසම කුණු කූඩයේ තිබිලා හමුවුණා කියන කාරණාව රෝහලට ඇතුළත් කරන පුද්ගලයා සම්බන්ධයෙන් ඔහු ඉතා නිර්දෝෂී පුද්ගලයෙක් බවට කියන සමහර කාරණා මෙහිදී ඇති පරස්පරතා නිර්මාණය වෙන කාරණා. නමුත් පුද්ගලයෙක්ගේ නිවැරැදිභාවය ගැන මේ තරම් අනුමාන කරන්නට කොළඹ ඉන්න කෙනෙක් සම්බන්ධයෙන් බදුල්ලේ ඉන්න කෙනකුට එහෙම මත දරන්න බෑ. අපි දන්නවා මිනිස්සු වැරැදි කරන්නේ කිය කියා නෙවෙයි. අපි මේ නිමේෂ් කිසිසේත්ම වැරැදි බවට කියන්නේ නෑ. අපිට එහෙම කියන්න අයිතියක් නෑ. ඔහු රෝහල තුළදී හෝ පොලිසිය තුළදී හෝ පොලිසිය භාරයේ සිටියදී මියයෑම පොලිසියට ගැළවෙන්න පුළුවන් කාරණයක් නෙවෙයි. නමුත් මේ පිළිබඳ අප දරන සමහර මත මේ කාරණාව ගැන හොයද්දී බලද්දී වෙනස් කරගන්න සිද්ධ වෙන බව ඔබට කිව යුතුයි.

ජීවන පහන් තිළිණ










