කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට තරග වදින අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (21) දිනයේදී කුරුණෑගල සිය පක්ෂ නායක කාර්යාලය විවෘත කළේය.
ඊට ප්‍රදේශයේ මැති ඇමැතිවරුන් මෙන්ම පාක්ෂීකයන් විශාල පිරිසක්ද එක්ව සිටියහ.
කුරුණෑගල – පුත්තලම පාරේ යන්තම්පළාව හන්දියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය පිහිටුවා ඇති අතර කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව එහිදී ආගමික වතාවත් ඉටු කෙරිණි.
කාර්යාලය විවෘත කර සමරු සටහනක් ද තැබූ අග්‍රාමාත්‍යවරයා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සමඟ සුහද සාකච්ඡාවකද නිරත විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
මෙම මැතිවරණ කාර්යාලය විවෘත කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මේ මහ මැතිවරණය රටට ඉතාම වැදගත් මැතිවරණයක්. ඇත්තටම මේක දිස්ත්‍රික් මැතිවරණයක් විතරක් නෙවෙයි. මුළු රටේම පවත්වන මැතිවරණයක්. අපි දිස්ත්‍රික්කයක් වශයෙන් කටයුතු කළත් මුළු රටම සහ මුළු ලොවම බලාගෙන ඉන්න මැතිවරණයක්. ඒ නිසා මෙම මැතිවරණයෙන් පොහොට්ටුව ජයග්‍රහණය කරවීම ඉතාම වැදගත්.
රටේ සංවර්ධනයට ජනාධිපතිවරයා කරගෙන යන වැඩපිළිවෙල වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ජනාධිපතිවරයා එක පක්ෂයක, අගමැතිවරයා තවත් පක්ෂයක සිටින විට ඇතිවෙන තත්ත්වය පහුගිය කාලයේ අපි දැක්කා.
එදා ජනාධිපතිවරයා එක පක්ෂයක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තවත් පක්ෂයක. රනිල් කියන දේ ජනාධිපතිවරයා කරන්නේ නැහැ. ජනාධිපතිවරයා කියන දේ රනිල් කරන්නේ නැහැ. මේ ගැටුම නිසා ගුටි කෑවේ කවුද? අවසානයේ අවාසිය සිද්ධ වුණේ රටේ ජනතාවට. අද අපි සියලු දෙනා සන්ධානයකට එකතු වෙලා සිටිනවා. මෙම මැතිවරණය ජයග්‍රහණය කරවීම, ජනාධිපතිවරයා ශක්තිමත් කිරීමක්. ජනාධිපතිවරයා ගේ දෑත් ශක්තිමත් කර ඔහුගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඔබේ සක්‍රීිය දායකත්වය ලබා දෙන්න. මෙම කාර්යාලය විවෘත කරන්න අවස්ථාව දුන්න සියලු දෙනාට අපේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම සඳහා මේ කාර්යාලය දිගටම පවත්වාගෙන යන්නත් බලාපොරොත්තු වෙනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයෝ 18 දෙනෙක් මෙවර මහා මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඉන්නවා. ඒ 18 දෙනාම මේ පළාත පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන අය. රට ගැන අවබෝධයක් තියෙන අය. ප්‍රදේශ අවශ්‍යතාවයන් පිළිබඳ හොදින් අවබෝධයක් තියෙන අය. මේ සියලු දෙනාම ශක්තිමත් හොඳ අපේක්ෂකයෝ කියලා අපිට කියන්න පුළුවන්. ඔබ සියලු දෙනාටම සුභ අනාගතයක්.













