ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය මගින් ඉකුත් දශක 5 තුළ බිහිකළ විශිෂ්ටතම නායකයා ලෙස පිළිගැනෙන රංජිදන් ගුණරත්නම් කෑගල්ල අඟුරුවැල්ලේදී 1961 මාර්තු 23දා උපන්නේ මෙයට වසර 64ට පෙරය. මහේෂ් හෙවත් අර්ජුන ලෙසද හැඳින්වූ රංජිදන්ගේ උපන්දිනය පසුගිය 23දාට යෙදී තිබුණු අතර, එය මතකයට නැඟුණේ ඔහුගේ නැගණිය නිරන්ජනී ගුණරත්නම් තබා තිබූ සටහනක් නිසාය. අසූවේ දශකයේ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ නිරතවූ සරසවි සිසුන්ගෙන් අතිබහුතරයම වගේ මගේ වෘත්තීය මිත්‍රයන් වූ අතර, රංජිදන් සමගද මගේ හොඳ ඇසුරක් තිබිණි. රංජිදන් ප්‍රථම වරට ලේඛකයාට 1984 දී හමුවූ අතර, අවසන් වරට හමුවූයේ 1989 අගෝස්තු මස බත්තරමුල්ලේ ස්වාධීන රූපවාහිනිය අසලදීය. ඔහුගේ පියා යාපනයේ ද්‍රවිඩ ජාතිකයකු වූ ආදිමුලපිල්ලේ ගුණරත්නම්ය. මව වන වල්ලිඅම්මා රාජමුණි 1936 කෑගල්ල උදුගොඩදී උපන් ඉන්දීය ද්‍රවිඩ සම්භවයකින් යුත් කාන්තාවකි. Sri Lanka Latest News
රංජිදන් ගුණරත්නම්ගේ මවගේ පියා ඉඩම් හිමිකරුවෙක් වූ අතර, රංජිදන්ගේ මවට සොහොයුරන්ම පස්දෙනෙකි. ඇය 1941 ශාන්ත ජෝසප් විදුහලේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරූ අතර, ඇයගේ සොහොයුරන් කෑගල්ල ශාන්ත මරියා විදුහලේ අධ්‍යාපනය ලැබීය. අපොස උසස් පෙළ සමත්වීමෙන් පසු ගුරුවරියක් වශයෙන් ඇය කෑගල්ල ශාන්ත මරියා දෙමළ මහ විදුහලේද තවත් පාසල් කිහිපයකද සේවය කළාය. යාපනයේ සිට කෑගල්ලේ අඹන්පිටියට පැමිණ නාරම්මල සිංගර් ප්‍රදර්ශනාගාරයේ කළමනාකරුවකු වූ ආදිමුලපිල්ලේ ගුණරත්නම් සමග වල්ලිඅම්මා රාජමුණි විවාහය 1958 සිදුවිය. පදිංචියද කෑගල්ලේම විය. රාජමනී කෑගල්ලේ ප්‍රකට ඉංග්‍රීසි ගුරුවරියකි.
ගුණරත්නම් පවුලට දරුවන් පස්දෙනෙකි. තිදෙනකු පුතුන්ය. දෙදෙනකු දියණියන්ය. වැඩිමලා සරස්වතීය. විවාහයෙන් පසු සරස්වතී ඔස්ටේ්‍රලියාවේය. දෙවැන්නා රංජිදන් ගුණරත්නම්ය. තෙවැන්නාවූ ජයන්ත කුමාර් කුඩා කල ළිඳට වැටී මියගියේය. සිවුවැන්නා ප්‍රේමකුමාර්ය. පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසුවකුව සිටියදී එය අතහැර ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයට එක්වූ ප්‍රේමකුමාර් ජවිපෙ දෙවැනි කැරැල්ලේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සන්නද්ධ නායකයාය. වර්තමානයේ ප්‍රේමකුමාර් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකි. කලක් කෑගල්ල සහ වැලිසර රෝහල්වල සේවය කළ ඔහුගේ බිරිය වෛද්‍ය චම්පා හෙවත් මයුරි දරු දෙදෙනා සමගින් දැන් සිටින්නේ ඔස්ටේ්‍රලියාවේය. චම්පාටද දේශපාලන ජීවිතයේ ආරම්භක පන්ති පහ ඉගැන්වූයේ රංජිදම්ය. පවුලේ බාලයා සහ පස්වැන්නා වූ නිරංජනී ශාන්ත මේරි විදුහලේ ඉංග්‍රීසි ගුරුවරියක් වන අතර, ඇය සිය සැමියා, දරුවන් සහ මව සමගින් කෑගල්ල මහගෙදර පදිංචිව සිටින්නීය.
දෙමළ ජාතිකයන් වීම නිසා 1977 සහ 1983 කරදර රැසකට මුහුණ පෑමට ගුණරත්නම් පවුලටද සිදුවිය. කලක් නිවස අතහැර අනාථ කඳවුරුවලද තාවකාලිකව ලැගුම් ගත්තේය. හදිසි අනතුරකින් පසු ආබාධිත තත්ත්වයට පත්වූ රංජිදම්ගේ පියා 1994දී දිවියෙන් සමුගත්තේය. ලොකු පුතා රංජිදන් තැන්පත්, වගකීම්සහගත අයෙකි. පොඩි පුතා ප්‍රේමකුමාර් ක්‍රීඩාවට, සංගීතයට, චිත්‍රවලට දක්ෂ අතර, තරමක දඟයෙකි. ඒ, ගුණරත්නම් අම්මා කියන කතාවය. මෙයට වසර 15කට පමණ පෙර මා කෑගල්ලට ගොස් රංජිදන්ගේ මව හමුවී රංජිදන් පිළිබඳ වැඩි තොරතුරු විමසූ අයුරු මතකය.
කෑගල්ල ශාන්ත මරියා විදුහලේ ප්‍රාථමික අධ්‍යාපනය හදාරා පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ සිංහල භාෂාවෙන් උසස් පෙළ හැදෑරූ රංජිදන් පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයට 1981 මාර්තු මස ඇතුළු විය. ඒ වනවිටත් ශාන්ත බණ්ඩාර මගින් රංජිදන් ජවිපෙ දේශපාලනයට 1980 අවසාන භාගයේදී ඇතුළුවී තිබිණි. කෝට්ටේ පදිංචිකාරයකු වූ ශාන්ත බණ්ඩාරගේ මුල් ගම වූයේ කෑගල්ලය. ධවල පත්‍රිකාව 1981 ගෙන ආ අවස්ථාවේදී එයට එරෙහිව සරසවි සිසුන් සමග එක්ව කෑගල්ලේ ශිෂ්‍ය විරෝධතා සංවිධාන කරන්නට රංජිදන් පෙරමුණ ගත්තේය.
රංජිදන් 1985 අප්‍රේල් සිට 1985 නොවැම්බර් දක්වාද 1986 ඔක්තෝබර් 1987 මැයි දක්වාද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ (අන්තරේ) කැඳවුම්කරු වශයෙන් කටයුතු කළේය. අධ්‍යාපන ධවල පත්‍රිකාවේ යටගැසුණු ඇතැම් අංග ක්‍රියාත්මක කිරීමට එරෙහිව 1985 ඔක්තෝබර් 25 වැනිදා පාසල් 1000ක් සහභාගීත්වයෙන් පැවැති එක්දින ජාතික විරෝධතා ව්‍යාපාරයටද ඔහු නායකත්වය දුන්නේය. අන්තරේ දුෂ්කරම කාලපරිච්ඡේදයන්හි ඇතිවූ අභියෝගයන්ට මුහුණ දෙමින් ඒවා ජයගත් නායකයාද ඔහුය. ජාතික ගැටලුව සම්බන්ධයෙන් දෙමළ බෙදුම්වාදීන් වෙනුවෙන් පෙනීසිටි ඇතැම් සරසවි සිසු නායකයන්ගේ මතවාදයන් පරදවමින් දයා පතිරණ ඝාතනයෙන් පසු 1986 දෙසැම්බර් 15 වැනිදාට පසු සීසීකඩ විසිරී ගිය අන්තරේ රැකගැනීමටද ඔහු සමත්විය.
ලොව ප්‍රථම වරට සරසවියක් තුළ 1983 දෙසැම්බර් 27 වැනිදා පිහිටුවූ පේරාදෙණිය සරසවියේ පොලිසිය ඉවත් කිරීම, 1984 ජුනි 19 වැනිදා ඝාතනයට ලක්වූ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය තංගල්ලේ පත්මසිරි අබේසේකර සහ පසුව ජුනි 21 වැනිදා කොළඹ රෝහණ රත්නායක ඝාතනයන්ට රට පුරා විරෝධය පළකිරීම, 1984 කිංස්ලි සිල්වා ප්‍රතිසංස්කරණවලට එරෙහි අරගලය, සරසවි කැබලිවලට පත්කිරීමේ 1986 ආණ්ඩුවේ ප්‍රයත්නය පරාජයට පත්කිරීම, කැලණියේ 1987 නේවාසිකාගාර අරගලය තුළින් භික්ෂුන්ට නේවාසිකාගාර ලබාදීම ඇතුළු ජයග්‍රාහී සටන් ජයග්‍රාහී වූයේ රංජිදම්ගේ නායකත්වයෙනි. රංජිදන්ගේ දැක්ම වූයේ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ අරමුණුසහගත දැනුමත් උස් ගමන් මාර්ගයත් පීඩිත පන්තියේ දේශපාලන හා ආර්ථික විමුක්තිය සඳහා වන අරගලයේ ගමන් මාවතින් වෙන් නොවන එකක් බවය.
ලේඛකයාට රංජිදන් මුල්වරට හමුවූයේ 1984 මාර්තු මසදීය. ලලිත් විජේරත්න සමග පත්තර කන්තෝරුවට පැමිණි රංජිදන් ඉන් පසුව වෘත්තීය මිතුරකු බවට පත්විය. පේරාදෙණිය, කැලණිය සරසවි ඇතුළු ස්ථාන කිහිපයකම පසුව හමුවූ අතර, ඒ සෑම අවස්ථාවකදීම ඔහුගේ පෞරුෂය මනාව දැකගත හැකිවිය. ඔහු අවසාන වරට ප්‍රසිද්ධියේ සරසවි සිසුන් 1000කට අධික පිරිසක් 1987 නොවැම්බර් 12 වැනිදා කොළඹ මහජන පුස්තකාලයේ වීරසූරිය සමරු ප්‍රදර්ශනය විවෘත කරමින් ඇමතූ අයුරු එම අවස්ථාවට එක්වී සිටි මට කිසිදා අමතක නොවේ. කොළඹ සරසවිය තායිලන්තයේ තමාසාක් සරසවියක් කිරීමට ස්වාධීන ශිෂ්‍ය සංගමයට ඉඩ නොදෙන්නැයි ඔහු එහිදී පුටුවක් මත නැගී කළ කතාවෙන් ඉල්ලා සිටියේය. රංජිදන් අවසන් වරට ලේඛකයාට හමුවූයේ 1989 අගෝස්තු මස බත්තරමුල්ලේ ස්වාධීන රූපවාහිනිය අසලදීය. ඒ වනවිට ඔහු ජාතික තලයේ කටයුතු රැසකට උරදෙමින් සිටියේය.
පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ තෙවැනි වසරේ සිසුවෙකු වූ රංජිදන් ගුණරත්නම්ගේ ශිෂ්‍යභාවය සදාකාලිකව තහනම් වූයේ උදලාගම කොමිසමේ තීරණය අනුවය. එහි ඉතිහාසය නම් වසර 1982 පේරාදෙණියේ ශිෂ්‍ය සභා නිලවරණයෙන් ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය ජයගත් අතර උපකුලපති ලෙස්ලි පණ්ඩිතරත්න එජාප අනුබද්ධ සමවාදී ශිෂ්‍ය පෙරමුණට වක්‍රව සහාය දෙමින් ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය මැඬලීමට උත්සාහ ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස නිලවරණයෙන් පසු ජයග්‍රාහී පෙළපාළියට එජාපයේ සමජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයන් විසින් පහරදෙන අතර, ඉන් මහා ශිෂ්‍ය සංගමයේ නියෝජනය කරන ජවිපෙ සිසුන්ට තුවාල සිදුවිය. උපකුලපතිවරයා කැකිල්ලේ තීන්දුවක් දෙමින් ශිෂ්‍ය සභා සාමාජිකයන්ගේ ශිෂ්‍යභාවය තහනම් කළේය.
එයට එරෙහිව උද්ඝෝෂණයේදී පරිපාලනය මගින් ඒ පිළිබඳ සොයාබැලීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිශ්ශංක කුමාර උදලාගම යටතේ කොමිසමක් පත්කරන ලදී. (1941 දෙසැම්බර් 09 වැනිදා උපන් උදලාගම 2015 පෙබරවාරි 19 වියෝවිය). සිසුන් 06 දෙනෙකු ශිෂ්‍යභාවය එම උදලාගම කොමිසම මගින් 1983දී සදාකාලිකව අහෝසි කළ අතර, ඉන් තිදෙනකු වූයේ පේරාදෙණිය සරසවියේ විද්‍යා පීඨයේ සිසු දිවුලපිටියේ ලලිත් විජේරත්න, ඉංජිනේරු පීඨයේ සිසු බදුල්ලේ ආනන්ද ඉඩමේගම සහ කෑගල්ලේ රංජිදන් ගුණරත්නම්ය. එයට එරෙහිව 1983 මාරාන්තික උපවාසයක් දියත් විය. මහාචාර්ය ඩයස් පසුව ප්‍රාණඇපකරුවකු බවට පත්කර ගත්තේය. සරසවිය වසා දැමිණි. අනතුරුව සරසවිය නැවත ඇරඹූයේ සිසුන් 117කගේ පන්ති තහනමට ලක්කරමිනි. ඒ සමගම ශ්‍රි ලංකාවේ සරසවිවල එතෙක් පැවැති නීත්‍යනුකූල ශිෂ්‍ය සභා රජය මගින් තහනමට ලක්කළ අතර, සරසවි පොලිසියද පේරාදෙණිය සරසවි භූමියේදී ස්ථාපිත කළේය.
උදලාගම කොමිසමෙන් ශිෂ්‍යභාවය අහෝසි වූ ලලිත් විජේරත්න, ආනන්ද ඉඩමේගම, රංජිදන් ගුණරත්නම් පසුව පූර්ණකාලීනයන් බවට පත්වූහ. අන්තරේ පිළිගත් රීති අනුව රජය මගින් සරසවි ශිෂ්‍යයකුගේ ශිෂ්‍යභාවය අහෝසි කළද, එදින සිට වසර 04ක් දක්වා අන්තරේ නියෝජනය කළ හැකිය. සාමාජිකත්වය දැරිය හැකිය. එහෙත් විභාගවලට මුහුණ නොදී ශිෂ්‍යභාවය තමන්ම අහෝසි කරගත් අයකුට අන්තරේ සාමාජිකත්වය අහිමිය.
රංජිදන්ට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම චතුර ලෙස හැසිරවීමට හැකිය. ඔහු කවියෙකි. කලාකාමියෙකි. පේරාදෙණිය සරසවිය තුළ රංජිදන්ට හිතවත් මෙන්ම දේශපාලනිකව ඔහුට ප්‍රතිවාදී බොහෝ අය පවා ඔහු අගය කළහ. රංජිදන් ජනප්‍රිය සහ දැඩි කැපවීමෙන් යුතු ශිෂ්‍ය නායකයකු වූ අතර අධ්‍යාපනික සහ සුබසාධක ගැටලු හමුවේ ඔහු දැක්වූ කැපවීම නිසාම සිසුන් අතර ජනප්‍රිය චරිතයක් විය. පේරාදෙණිය සරසවියේ 1983 මැයි 11 ද්‍රවිඩ ජාතික සිසුන්ට එරෙහිව ඇතිවූ ගැටුමේදී එය ඔඩුදිවීම නතර කිරීමට හෙතෙම සමත් විය. එම ගැටුමට හේතුවූයේ ඉහළ සාමාර්ථ ලබාගැනීමට නොහැකිවූ සිංහල සිසුන් ඉතා සුළු පිරිසකගේ ප්‍රචණ්ඩකාරි මැදිහත්වීමය. විද්‍යා පීඨයේ සිසුන්වූ තුල්සි වික්‍රමසිංහ, ඒකනායක වැනි පිරිස් ඒ අතර වූ බවට චෝදනාවකි. පේරාදෙණියේ එම ගැටුමෙන් පසු ඉංජිනේරු පීඨයේ ද්‍රවිඩ සිසුන් 10 දෙනාගෙන් 4 දෙනෙක්ද විද්‍යා, පශු, කෘෂි පීඨයන්හි ද්‍රවිඩ සිසුන් 27 දෙනෙක්ද සදහටම සරසවියෙන් ඉවත්ව ගියහ. ඉන් කිහිප දෙනකු තමිල්නාඩුවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගිය අතර, ඇතැම්හු දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානයට එක් වූහ.
රංජිදන් 1985 මුල් කාලයේද 1986 ජනවාරි සිට 1986 සැප්තැම්බර් දක්වාද සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය. ජවිපෙ තහනමින් පසු සමාජවාදී ශිෂ්‍ය සංගමය සිය පළමු අධ්‍යාපන කඳවුර පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ 1986 මාර්තු මස මාතරදීය. එහිදී රංජිදන් අත්අඩංගුවට පත්වීමත් සමගම ජවිපෙ ශිෂ්‍ය අංශය වඩාත් මධ්‍යගත විය. එම අධ්‍යාපන කඳවුර 1986 ජුනි මස යළිත් ගම්පහදී පැවැත්වූ අතර, දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයේ ජාතික මතවාදය සඳහා කාඩර්වරුන් 32ක් බිහිවූයේ ඉන් අනතුරුවය.
එකල 1985 සිට 1989 දක්වා රට තුළ සිදුවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන සැකැස්ම, ඉන්දීය හමුදාවේ සම්ප්‍රාප්තිය, නිදහස් අධ්‍යාපන කප්පාදුව, පළාත් සභා ක්‍රමය වැනි ක්‍රියාදාමයන්ට එරෙහිව පේරාදෙණිය සරසවියේ සිසුහු අධ්‍යයන කටයුතුවලින් බැහැරව ජාතික තලයේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටිමින් පෙරමුණ ගෙන කටයුතු කළහ. ඉංජිනේරු පීඨයේ රංජිදන් ගුණරත්නම්ගේ ආකර්ෂණීය නායකත්වයද පසුව එම මග ගිය ඉංජිනේරු පීඨයේම එස්.එම්. නිෂ්මිගේ සුවිශේෂ සංවිධාන හැකියාවද එයට ප්‍රධාන හේතුවක් විය. ශ්‍රාවකයන් එක් මතවාදයක සිට එයට හාත්පසින් ප්‍රතිවිරුද්ධ මතවාදයක් දක්වා කැඳවාගෙන යෑමට මෙම දෙදෙනාටම අද්විතීය කථිකත්වයක් පිහිටා තිබුණේය.
ජවිපෙ මධ්‍යම කාරකසභාවට 1987 මුල්භාගයේදී රංජිදන් පත්විය. ජවිපෙ දෙවැනි කැරලි සමයේ කුරුණෑගල දිසා ලේකම් විය. පේරාදෙණිය සරසවි සිසුන් විශාල ප්‍රමාණයක් එකල කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ අන්තරේ, ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානය, ජාතික කම්කරු මධ්‍යස්ථානය, මානව හිමිකම් සංවිධාන සහ සන්නද්ධ අංශයට යොමුවී තිබිණි. රෝහණ විජේවීරගේ ඝාතනයෙන් පසු ජවිපෙ දෙවැනි නායකයා බවට පත්වූ සමන් පියසිරි ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් 1989 නොවැම්බර් 28 වැනිදා කුරුවිටදී පැවැති ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීමේදී රංජිදන් ගුණරත්නම් දේශපාලන මණ්ඩලයට පත්කරන ලදී. ඒ අනුව රංජිදන් බස්නාහිර සහ සබරගමු කලාපයේ නායකයා විය. එම කලාපයට අයත් දිස්ත්‍රික්කයන් වූයේ කොළඹ, ගම්පහ, රත්නපුර සහ පුත්තලමය. බිඳවැටී තිබුණු සබඳකම් යළි ඇතිකර ගනිමින් සහ ප්‍රාණවත් කරගනිමින් ජවිපෙට නැවත ජීවය ලබාදීමට හෙතෙම කැපවිය.
රංජිදන් 1989 දෙසැම්බර් 13 කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන වැහැර කඳවුරටද පසුව කොළඹ ගෙග්‍රරි මාවතේ පිහිටි කොළඹ අපරාධ විමර්ශන අංශයට (සී.ඩී.බී) ගෙන ගොස් ප්‍රශ්න කරන ලදී. ඔහු රඳවා සිටි ස්ථානයට මව සහ පවුලේ අයට 1989 දෙසැම්බර් 18 වැනිදා ගෙනවිත් පෙන්වන ලදී. එහෙත් විවිධ වධ බන්ධනවලට මුහුණ දුන්නද ඔහු කිසිවක් හෙළි නොකළේය. පසුව 1990 ජනවාරි මසදී රංජිදන් ගුණරත්නම් ඝාතනයට ලක්විය.
ඉංජිනේරු උපාධිය අතහැර දමා ශිෂ්‍ය ව්‍යාපාරය හරහා වාම රැඩිකල් දේශපාලනය තෝරාගත් රංජිදන් ගුණරත්නම් පසුව දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස ගම් නියම්ගම්වල සැරිසරමින් නිදහස් අධ්‍යාපනය සුරැකීමට සහ එජාප ආණ්ඩුවේ පාලනයට එරෙහිව සරසවි සිසුන් සහ ජනතාව සමග සංවාද කරමින් ඔවුන් එක පෙරමුණකට ගෙන ඒමට නායකත්වය දුන් අයෙකු ලෙස ප්‍රකටය.
ධර්මන් වික්‍රමරත්න










