රජයේ රෝහල්වලට බලපාන ඖෂධ හිඟයක් ඇති නොවීම සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචිය ශක්තිමත් කර ඒ සඳහා වූ විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුව ඇති බව රජයට පෙන්වා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘මව්රට’ට පැවැසීය.
ඒ සඳහා ඩිජිටල් ක්‍රමවේදයද විමධ්‍යගත කළයුතු බවත්, ගුණාත්මක ඖෂධ මෙරටට ගෙන ඒමේදී මාස නවයත් එකොළහත් අතර කාලයක් ගතවීමට ඉඩ නොතබා ඒවා කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කළ යුතුව ඇති බවද එම සංගමය රජයට පෙන්වා දී තිබේ.
ඇතැම් ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීමට ඉදිරිපත් වන දේශීය සැපයුම්කරුවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම කෙරෙහිද රජයේ අවධානය යොමුවිය යුතු බවද පෙන්වා දී ඇති බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවැසීය.
මේ අතර මහජනයා පවසන්නේ රෝහල් කරා යන රෝගීන්ට තවමත් ඖෂධ හිඟය බලපා ඇති බවයි.
එසේම ඇතැම් අක්ෂි රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ගවල මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ.
ප්‍රේමලාල් විජේරත්න










