මාධ්‍ය ජීවිතය තුළ ඇතැම් විට සත්‍යය සොයා යන ගමනේදී විවිධ අන්දමේ චරිත නිරූපණය කරමින් වෙස් ගැනීමට සිදුවූ අවස්ථාද නැතුවා නොවේ. එවැනි අතීත සිද්ධීන් අතරේ සක්මන් කරන විට ඒ සියල්ල සිදුකළේ ජනතාව ඉදිරියේ සත්‍ය හෙළිදරව් කිරීමට විනා වෙනත් පෞද්ගලික අවශ්‍යතාවක් මත නොවන බව සිහිපත් වේ. ඇත්ත ඇති සැටියෙන් සොයන්නට වෙහෙසෙන ඇතැම් අවස්ථාවලදී දුරකතන ජාලයන් හරහා විවිධ වේශ නිරූපණවල යෙදෙන්නට සිදුවූ අවස්ථා එමටය. එවැනි අවස්ථා හෙළිකර ‘දවස’ පත්තරයේ පුවත් පළවූ බොහෝ අවස්ථාවලදී ඒවා පොලිස් පරීක්ෂණවලට පිටිවහලක් වූ අන්දම ගැන ඊට පසු දිනම නිර්ලෝභීව අපට කතාකර කීවේ එවක අපරාධ පරීක්ෂණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ආර්. සුන්දරලිංගම්ය. ඇතැම් අවස්ථාවලදී දිවයිනේ පොලිසිවලට ලබාදෙන නියෝග කල්තියා ‘දවස’ පත්‍රයට ලබාදෙන ‘සුන්දා’ ඒ ගැන පසු දිනට අදාළ පොලිසිවලින් විමසූ විට ඔහු කියා සිටියේ ‘දවස’ පත්තරයේ පළකළ නියෝගය ක්‍රියාත්මක කරන ලෙසයි. ඒ තරමට ඔහු මාධ්‍ය සමග සමීපව ‘නිව්ස්’ මවා දෙන චරිතයක් බවට පත්ව සිටි අවංක පොලිස් නිලධාරියකු බව කිව යුතුය. සෑම විටම ඔහු මාධ්‍යයට කන් දුන්නේය. මාධ්‍ය නිසා හිටපු පොලිස්පති ආනා සෙනෙවිරත්නගෙන් ඔහු බැණුම් ඇසූ හැටි පවා අපට කියා සිටියේ සිනහසෙමිනි. Sri Lanka Latest News
මා, මාධ්‍ය ජීවිතයට අත්පොත් තැබූ 1974 යුගයේ එවක ‘ලංකාදීප’ පුවත්පතේ අත්තනගල්ල විශේෂ වාර්තාකරු තනතුර දරන අවස්ථාවේ මුල් වරට මා සම්බන්ධකම් පැවැත්වූයේද නිට්ටඹුව පොලිසිය සහ අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරිවරයා සමගය. පොලිසිය සිදුකිරීමට යන හදිසි වැටලීම්වලදී පවා නිට්ටඹුව පොලිසිය මා රැගෙන යෑමට මගේ නිවෙසට පැමිණි අවස්ථාද එමටය. ඒ, ඔවුන්ගේ වැටලීම ගැන පත්තරේ පළකරවා ගැනීමටය. පත්තරේ නම ගිය තරමට ඒ යුගයේ ඒවා ඔවුන්ගේ සේවා උසස්වීම්වලටද බලපෑවේය. දිවයිනේ සිදුවන පොලිස් ක්‍රියාකාරකම් පත්තරවල පළවූ විට පොලිස් මූලස්ථානයේ සිටින අදාළ ප්‍රදේශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙන් ලකුණු ලැබුණේය. ඒ අතරින් දක්ෂයන් තෝරා විශේෂ පොලිස් කණ්ඩායම්වල ප්‍රධානීන් ලෙස එදා පත්කිරීම සිදුකළේද දේශපාලන අතපෙවීම්වලින් නොව, පත්තරවල ලියැවෙන ඔවුන්ගේ දස්කම් දෙස බලමින්ය. එහෙත් ඒවා දේශපාලනීකරණය වූයේ 1970න් පසුවය. එය කොතරම් නරක අතට හැරුණේද යන්න ප්‍රදර්ශනය වූයේ එවක රට පාලනය කළ අයගේ හැරවුම් ලක්ෂ්‍යයන් දේශපාලන ලේබලය ගසාගත් පොලිස් නිලධාරීන් ගැන ඇතැම් අවස්ථාවලදී පාර්ලිමේන්තුවේදීද විවේනයට භාජනය වූ නිසාය. එවක අද මෙන් සංවිධානාත්මක අපරාධකරුවන් සෙවීමේ පසුබිමක් නොතිබුණු නිසා 1983 පමණ පිහිටුවන ලද පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් දියත් වූයේ දකුණේ ඝන කැලෑවල සිදුකරන ගංජා වගාවන් වැටලීම සඳහාය.
1984 මැද භාගයේ පමණ එවක පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු නියෝජ්‍ය පොලිස්පති, අණදෙන නිලධාරී ලයනල් කරුණාසේන මහතා දිනක් මා හට කතාකර කීවේ මොනරාගල ඝන කැලෑවක සිදුකරගෙන යන මහාපරිමාණ ගංජා හේන් වැටලීමකට තම කණ්ඩායම් 4ක් සහභාගි වන බවත්, ඊට එක්වීමට මගේ කැමැත්තක් ඇත්නම් දන්වන ලෙසත්ය. එම මෙහෙයුමේදී මා ඇතුළු මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව ඔහු විසින් තහවුරු කරන බවද හෙතෙම මා හට පවසා සිටියේය. කැලෑවදින විට වනසතුන් ගැන තරමක බියක් තිබුණද පොලිස් විශේෂ කාර්ය බළකාය ආයුධ සන්නද්ධව සිටින නිසා මම ඔහුගේ ඉල්ලීමට කැමැත්ත පළකළෙමි. ඒ අනුව ඡායාරූප ශිල්පී ගාමිණී වික්‍රමසිංහද සමග මා අදාළ දිනයේ ගංජා හේන් වැටලීම සඳහා යෑමට ඔවුන්ගේ ජීප් රථයට ගොඩවැදුණේ ‘දවස’ නිවස අසලදීය.
අලුයම 4.00ට පමණ මොනරාගල බලා යෑමට පිටත් වූ අප කණ්ඩායමට, පොලිස් විශේෂ කාර්ය බළකායේ 25 දෙනකුගෙන් සමන්විත කණ්ඩායම් හතරක් අයත් විය. එදින උදෑසන 9.00ට පමණ මොනරාගල නගරයට පැමිණි විශේෂ කාර්ය බළකායේ පෙරගමන් භට කණ්ඩායම වනයට ඇතුළු වූයේ දිගැති රිටි කිහිපයකින් ඉදිරි වනගත මාර්ගයේ පයට පෑගෙන පඳුරුවලට දුර තියා පහර දෙමින්ය. මමත්, ඡායාරූප ශිල්පී ගාමිණීත් පසුපසින් ගමන් ගත් භට කණ්ඩායමට මැදිව ගමන් කළෙමු. කැලය තුළට වැදුණු භට කණ්ඩායම් සතුව වනාන්තරයේ පිහිටීම දැක්වෙන සිතියම්ද, මාලිමා යන්ත්‍ර කිහිපයක්ද විය. ඉදිරියෙන් ගමන් ගන්නා පිරිස දුර තියා රිටිවලින් ඉදිරියට ගසමින් ගමන් ගත්තේ ඇයිදැයි මා එම භටයන්ගෙන් විමසා සිටියද එයට හේතුවක් කිසිවකු නොකීම ගැන මා තුළ හටගත්තේ තරමක සැකයකි. විටින් විට ඒ ගැන විමසූ විට ඔවුන් කීවේ ඒක දිග කතාවක්, පසුව කියන්නම් යනුවෙනි. ඒ අනුව, ඔවුන් අපෙන් කිසිවක් සඟවනවා වැනි හැඟීමක් මගේ සිත තුළ ඇතිවිය.
ගංජා හේන් යායට ළඟා වීමට පැය තුන හතරක කාලයක් ගතවනු ඇතැයි ඔවුනොවුන් පවසනු අපට ඇසිණි. මොනරාගල ඝන කැලෑවේ වන සතුන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන මගහැර ඉදිරියට ගමන් කළ විශේෂ කාර්ය බළකා භට පිරිස් ඉතා රහසිගතව ගංජා හේනට ළඟාවන විට මධ්‍යාහ්නයද පසුව තිබිණි. ඒ අනුව, අක්කර දෙකක පමණ විශාල එම ගංජා හේනක් වැටලීමට ඔවුන්ට හැකිවූ අතර, ඒ වනවිටත් එහි සිටි සැකකරුවන් පස්දෙනකු පමණ රහසිගත මාර්ගවලින් පලාගොස් තිබිණි. තවත් සැකකරුවෙකු බඳින තුවක්කුවක්ද සමග අත්අඩංගුවට ගත් අතර, ඔහුගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී පලාගිය පුද්ගලයන් ගැන තොරතුරු හෙළිදරව් විය. අත්අඩංගුවට ගත් පුද්ගලයා එම හේනේ ඉදිකර තිබූ වාඩියට දමා රැකවල් දැමූ භට පිරිස්, අක්කර දෙකක් පුරා සරුසාරව වගාකොට තිබූ ගංජා ගස් ගලවා එක තැනකට ගොඩගසා, ගිනි ඇවිලෙන සුළු දියරයක් ඉස ගිනිතැබීමට කටයුතු කළේය. ඒ අතර, නඩු භාණ්ඩ ලෙස තවත් ගංජා තොගයක් වෙන්කර ගැනීමටද ඔවුන් කටයුතු කළේය. පොලිස් විශේෂ කාර්ය බළකායට එම ගිනිතැබීම අවසන් කිරීමට පැය 4ක පමණ කාලයක් ගතවිය.
ගංජා තොගය ගිනිතැබූ ස්ථානයට මඳක් ඈතින් මා සහ ඡායාරූප ශිල්පියා රැඳී සිටියද, වනය සිසාරා හමාගිය සුළඟ නිසා ගංජා දුම අපට ආග්‍රහණය වීමට වැඩි වේලාවක් ගියේ නැත. කැලෑවත්, ගංජා හේනත් නුපුරුදු අපට ගංජා දුම ආග්‍රහණය වීම හේතුවෙන් ක්ලාන්ත ගතියක් දැනෙන්නට විය. ඒ නිසාම අප දෙදෙනා එතැනම බිම දිගාවීමු. එය දුටු විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරියා, තවත් භට පිරිසක් සමග පැමිණ මාවත්, ගාමිණීවත් ඔසවාගෙන ගොස් ගංජා හේනේ තනා තිබූ වාඩියේ මැසි දෙකක තැබීමට පියවර ගත්තේය. පසුව ඔවුන් විටින් විට ජලය ඉසිමින් ලබාදුන් ප්‍රථමාධාර නිසා පැයක් පමණ ගතවන විට අපට යළි පියවි තත්ත්වයට පැමිණීමට හැකියාව ලැබිණි.
ගංජා වැටලීම අවසන් කර, අල්ලාගත් සැකකරුද සමග සවස 4.00ට පමණ ගමන් ආරම්භ කළ අප රාත්‍රී 7.00 පමණ වනවිට වනාන්තරයෙන් එළියට පැමිණියෙමු. සැකකරු පොලිසියට කටඋත්තර ලබාදෙමින් කියා තිබුණේ එහි සිටි තවත් පුද්ගලයන් දෙදෙනකු ඊට පෙර දින රාත්‍රියේ වල් ඌරන්ට වෙඩි බැඳීමට ගොස් වෙනත් පුද්ගලයකු ඇටවූ මරුවැලක් පෑගී තුවාල ලබා මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවය. ඒ අනුව, එම සැකකරුවන් දෙදෙනාද සොයා පොලිසිය මොනරාගල රෝහලට ගියේය. එහි එක් වාට්ටුවක තුවාලකරුවන් රැසක් සිටි අතර ඔවුන්ගෙන් බහුතරයකගේ දණහිසට සහ පාදයේ වළලුකර දෙසට වෙඩි වැදී තිබිණි. ඒ, සතුන් දඩයම් කිරීමට ඇටවූ මරුවැල් පෑගීමෙන් බව පසුව දැනගන්නට ලැබිණි. ගංජා වැටලීමට වනාන්තරයට ඇතුළු වන විට ඉදිරියෙන් ගිය භට පිරිස දිග රිටකින් පඳුරුවලට පහර දෙමින් ගියේද මෙම මරුවැල්වලින් බේරීමට බව අපට වැටහුණේද ඉන් පසුවය. ගෝනුන් දඩයම් කිරීමට බඳින තුවක්කු අටවන දඩයක්කරුවන්, මිනිසුන්ගේ උකුල දක්වා වූ උසට තඹ කම්බියක් ඇද තුවක්කුව සවිකරයි. වල් ඌරන් සඳහා තුවක්කු අටවන්නේ මිනිසුන්ගේ වළලුකරට ඉහළින් තම කම්බියක් ඇදීමෙන් බවද දැනගත හැකි විය. එම කම්බිය අතරමග බැඳ ඇද්ද යන්න පරීක්ෂා කිරීම, පෙරගමන් ගිය භටයන්ට භාරදී තිබූ අතර, ඔවුන් දිග රිටකින් ඉදිරියට ගසමින් ගියේ එසේ තඹ කම්බි අටවා තිබුණහොත් දුර තියා බඳින තුවක්කු පුපුරුවා හැරීම සඳහාය. යම් හෙයකින් එසේ ඉදිරි ගමන් මාර්ගය ශුද්ධ නොකර ගියේනම් බඳින තුවක්කු පත්තු වීමෙන් අපගේ උකුල් ඇටයට වෙඩිවදින බව විශේෂ කාර්ය බළකාය හොඳින් දැන සිට තිබිණි. යම් හෙයකින් ඒ බව කලින් අපට කීවා නම් ඒ අවදානමට බියෙන් අපි ගංජා හේන කරා යන ගමන අතහැර දමනු ඇතැයි ඔවුන් සිතන්නට ඇත.
දකුණේ කැලෑබදව ගංජා හේන් වගාකිරීමට ඇතැම් දේශපාලනඥයන්ගේ අනුග්‍රහය ලැබී තිබුණද වැටලීම්වලදී නීතියේ රැහැනට හසුවන්නේ ගංජා හේනේ කුලියට වැඩකරන පුද්ගලයන්ය. දැනට වසර කීපයකට පෙර දකුණේ එක්තරා දේශපාලනඥයකුගේ නිල රථයේ ටයර් හතර වසාලන විශාල ප්‍රමාණයේ කප් ආවරණ තුළ ගංජා සඟවාගෙන කොළඹට එද්දී කළුතර පොලිස් මුරපොළකදී හසුවූ ආකාරය කාලයක් පුරා දේශපාලන වේදිකාවලද රැව්දෙමින් තිබුණු බව මගේ මතකයේ පවතී. එසේම, ගංජා හේන්වල සේවය කරමින් සිට කිසියම් හේතුවක් මත අමනාප වී එම සේවයෙන් ඉවත් වී ගෙදර යන ඇතැම් පුද්ගලයන්ට ගෙදර යෑම වෙනුවට අතරමගදී මළවුන් අතරට යෑමට සිදුවූ සිද්ධීන්ද මගේ අතීත මතකයන් අතරේ සැඟව ගිය රහස්ය.

ප්‍රේමලාල් විජේරත්න










