• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

ජවිපෙ-මාලිමා ගැටුම කොළඹින් යළි එළියට පනී! කොළඹ නගරාධිපතිකමට උගත්-අලුත් මුහුණක් ගේන්න හරිනි සාකච්ඡා කරද්දී ජවිපෙන් බල්තසාර් නම්කිරීමෙන් ලොකු අවුලක්! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

March 16, 2025
in Exclusive, Rajya Rahas
Reading Time: 14 mins read
A A
Share on WhatsAppShare on Facebook

අනේ අපිවත් ගන්න.. සාගලලා-රෝසිලා සජබය ඉදිරියේ බැගෑපත් වෙයි!

රනිල් ගහපු ඉරාන් තුරුම්පුවත් ආපිට කැරකෙයි!

අනුරගේ ජනප්‍රියත්වය නැගලාලු!

රනිල්ගේ අලුත්ම ගේම

පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු විය යුතු බවට දෙපාර්ශවයේම යම් යම් පිරිස් තැන් තැන්වල කසුකුසු ගාද්දී පළමු අදියරේදීම අප ඒ සම්බන්ධයෙන් අනතුරු අඟවමින් කියා සිටියේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ සැරසෙන්නේ සමගි ජන බලවේගයත්, එහි නායක සජිත් ප්‍රේමදාස මහතාත් විනාශ කිරීමට යැයි කියාය. එජාපයෙන් සජිත් ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායමක් ඉවත්ව සමගි ජන බලවේගය නිර්මාණය කළ දා සිටම රනිල්ගේ ඒකායන පරමාර්ථය වී තිබුණේ එජාපය කෙළින් කටින් සිටුවා එජාපය ශක්තිමත් කිරීමට හෝ එජාපය නැවත ජයග්‍රාහී පක්ෂයක් බවට පත්කිරීමට නොව කෙසේ හෝ සජිත්ව විනාශ කිරීමය. කුමන වැයක් හෝ දරා සජබය විනාශ කිරීමය. රනිල් රුවන් විජයවර්ධනාගේ කීමට සජබයේ සිට යළිත් එජාපයට එක්වූ තලතා අතුකෝරාල මහත්මිය හට එජාපයේ මහලේකම්කම භාරදුන්නේම සජබය විනාශ කිරීම ඔළුවේ තබාගෙනය. රනිල් සිතා සිටියේ සජබයේ ජ්‍යෙෂ්ඨයන් වන රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න වැන්නවුන් තලතා සමග සමීප හිතවත්කමක් පවත්වන නිසා අවශ්‍ය වෙලාවට මේ කණ්ඩායම හෝ ඉන් කිහිප දෙනෙක් එජාපයට ගෙන සජබය බිමටම වැට්ටවිය හැකි යැයි කියාය. නමුත් මුල් අවස්ථාවේ සිටම රනිල් ගහන මේ ගේම් එකින් එක ‘මව්රට’ ‘රාජ්‍ය රහස්’ තීරය මගින් හෙළිකිරීම නිසා සජබ ජ්‍යෙෂ්ඨයන් ඒ උගුලේ වැටුණේ නැත.
නමුත් අප කළ මේ හෙළිදරව් කිරීම නිසාම පසුගිය කාලයේදී සජබයේ ඇතැමුන් ‘මව්රට’ පුවත්පතට විවිධ චෝදනා එල්ල කළ ආකාරයක් දැකගන්නට ලැබිණ. එහිදී ඔවුන්ගේ ලොකුම චෝදනාව වූයේ එජාපය සහ සජබය අතර ඇතිවෙන්නට යන ගනුදෙනුවට ‘මව්රට’ අකුල් හෙළනවා යැයි කියාය. නමුත් ‘මව්රට’ මුල සිටම පෙන්වා දුන්නේ රනිල් මේ සියල්ල හරහා සජබය විනාශ කරන්නට ගහන ගේම් එක ගැනය. අප කළ ඒ අනාවරණයන් සියල්ලම පාහේ මේ වනවිට තහවුරු වී තිබීම හරහා සජබයේ ඇතැමුන් ‘මව්රට’ට කරන චෝදනා මේ වනවිට පුස්සක් බවට පත්ව තිබේ.
අවසානයේදී සජබ – එජාප සාකච්ඡා මේසය මැද්දට රනිල් බලහත්කාරයෙන් හරීන්ව එවනු ලැබුවේ සාම සාකච්ඡා කඩාකප්පල් කොට සජබයේ මිනී පෙට්ටියට අන්තිම ඇණයත් ගැසීම සඳහාය. නමුත් රනිල්ගේ මෙම සැලසුම ‘මව්රට’ පුවත්පත විසින් හෙළිකිරීමත් සමග හරීන්ගේ පිල්ලියද ආපස්සට එජාපයටම කැරකුණි. ඒ සමගම සාමසාකච්ඡාද අවසන් විය.Sri Lanka Latest News

කෙසේ වෙතත් අප මෙම තීරය ඔස්සේ රනිල් සමග පයුරුපාසානම් පවත්වන සජබ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු පිළිබඳවම වරින් වර අනාවරණ කළෙමු. රනිල් සමග එකම වේදිකාවට නැග ඉඩම් ඔප්පු බෙදූ මන්ත්‍රීවරුන් ගැන අප එහිදී අනාවරණ කළෙමු. බාර් ලයිසන් පමණක් නොව, බාර් කොම්පැනි පවා රනිල්ගෙන් ගත් මන්ත්‍රීවරුන් ගැන අපි හෙළිදරව් කළෙමු. මීට අමතරව රනිල්ගෙන් අරමුදල් ගත් ඩීල්කාරයන් හත්අට දෙනකු සම්බන්ධයෙන්ද, රනිල් නුවරඑළි යද්දී පවුල් පිටින් ගොස් රනිල් සමග එකට කෑ බී මන්ත්‍රීවරුන් පිළිබඳවද, විවිධ වුවමනාවන් ඉදිරියට දමාගෙන ජනාධිපති කාර්යාලයට හොර රහසේ රිංගූ මන්ත්‍රීවරුන් පිළිබඳවද අපි එහිදී පෙන්වා දුන්නෙමු. එජාපය සජබය එකතු විය යුතු බවට හඬ නගන්නේ රනිල්ගේ මේ ආකාරයට දොළපිදේනි ගත් සුළු පිරිසක් බවද අපි එහිදී කියා සිටියෙමු.

තරුණ කැරැල්ලක්

නමුත් සජබයේ සිටින අලුත් තරුණ මන්ත්‍රීවරුන් මෙන්ම බිම් මට්ටමේ සිටින සියලු ආසන සංවිධායකවරුන්ද සිටින්නේ මේ හත්අට දෙනා දරන මතයට හාත්පසින්ම වෙනස් මතයකය. ඔවුන් දිගින් දිගටම සජිත්ට පෙන්වා දෙමින් සිටින්නේ පාස්කු ප්‍රහාරය, බැඳුම්කර වංචාව, බටලන්ද චෝදනා ඇතුළු බරපතළ චෝදනා එල්ල වී ඇති රනිල් සිටින එජාපය සමග හෝ වජිර, රාජිත, හරින්, මනුෂ වැනි කිසිදු ජන පදනමක් නැති, ජනතාව ප්‍රතික්ෂේප කළ සහ බරපතළ චෝදනා එල්ල වී ඇති පිරිස් සිටින එජාපය සමග කිසිසේත්ම එකතු විය යුතු නැතැයි කියාය. සජබයේ මේ වනවිට සිටින්නේ පිරිසුදු කණ්ඩායමක් බවත්, එවැනි චෝදනා සහිත පිරිස් සමග එකතු වී ඒ චෝදනා සියල්ලට සජබය කරගැසිය යුතු නැති බවත් ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ. අප එයද මේ තීරයේ වරින් වර අනාවරණ කිරීමට කටයුතු කළෙමු.

එක් අවස්ථාවකදී මේ තරුණ මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරුන් පැමිණ සජිත්ට කෙළින්ම කියා සිටියේ තවදුරටත් සජබයට ඩීල්කාරයන් අවශ්‍ය නැති බවත්, ඩීල්කාරයන් සිටිනවා නම් ඔවුන්ට එජාපයට යෑමට ඉඩ දෙන ලෙසත්ය. ගම් මට්ටමේ බිම් මට්ටමේ පාක්ෂිකයන් සහ ආසන සංවිධාකවරුන් සජිත් සහ සජබය සමග හදවතින්ම සිටින බව සජිත්ට එහිදී දැනුම් දුන් මෙම මන්ත්‍රීවරු රනිල් සමග එකතු වීමට ඔවුන් කිසිදු කැමැත්තක් නොදක්වන බවද කියා සිටියහ. සජිත් සමග අවංකවම සිටගන්නේ දහ දෙනෙක්ද, ඒ දහදෙනා සමග හෝ මේ ගමන ඉදිරියට යා යුතු බවද ඔවුහු සජිත්ට පෙන්වා දුන්හ. ඒ සම්බන්ධයෙන් අප කළ මෙම හෙළිදරව්වත් සමග රනිල් සමග ඩීල් දැමූ ඩීල්කාරයන් සහ රනිල්ගෙන් බාර් ලයිසන්, අරමුදල් ගත් සජබ ඇතැමුන් දැඩිව කැලඹුණු ආකාරයක් දැකගත හැකි විය. නමුත් අප දිගටම අපගේ ස්ථාවරයේ රැඳී සිටීමට කටයුතු කළෙමු.

කෙසේ වෙතත් පසුගිය කාලයේ දිගින් දිගටම දේශපාලන වශයෙන් නාගත් රනිල් මීට සති දෙකකට ඉහතදී අල් ජසීරා නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවෙන් හොඳටම නාගත්තේය. ඒ නාගැනීම කෙතරම් දරුණු වූවාද කිවහොත් වසර 30ක් යටගසා තිබූ බටලන්ද චෝදනාව ඉතා දැඩිව සමාජය කලඹන මාතෘකාවක් බවට පත්වීමට පැය 24ක්වත් ගතවූයේ නැත. ඒ අනුව දැන් දේශීය වශයෙන් පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන් පවා රනිල් පත්ව ඇත්තේ අන්ත අසරණ තත්ත්වයකටය. බොහෝ පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටින්නේ බටලන්ද වධකාගාර චෝදනාව යළි විමර්ශනය කොට රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුවා පමණක් නොව, ඊටත් එහා ගිය බරපතළ දඬුවමක් රනිල්ට දිය යුතු යැයි කියාය.

මේ සිදුවීමත් සමග රනිල් සමග එකතු විය යුතු බවට පසුගිය කාලයේ තැන් තැන්වල හඬනැගූ එජාප ජ්‍යෙෂ්ඨයන්ම මේ වනවිට කියන්නේ රනිල් සමග එකතු නොවුණේ පූරුවේ වාසනාවකට යැයි කියාය. අඩුම තරමින් එකතු වෙනවා තබා ඉදිරියේදී එකතු වීමට සාකච්ඡාවක් හෝ නොපැවැත්විය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ. මේ තත්ත්වය යටතේ පළාත් පාලන මැතිවරණය කටමුල තියා එජාපය මේ වනවිට පත්ව ඇත්තේ අන්ත අසරණ තත්ත්වයකටය. ඔවුන්ට ගමෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂකයකු හෝ සොයාගැනීමට නොහැකි තරමට එජාපයේ මේ කඩාවැටීම උග්‍ර තත්ත්වයකට පත්ව තිබේ.

සාගලගෙන් ඇමතුම්

මේ නිසාමදෝ පසුගිය සතියේදී එජාපයේ ජ්‍යෙෂ්ඨයන් වන සාගල රත්නායක සහ රෝසි සේනානායක සජබ කොළඹ මන්ත්‍රීවරයකු වන මුජිබර් රහුමාන්ට කතාකොට ඉතා බැගෑපත්ව ඉල්ලීමක් කිරීමට පියවර ගත්හ. ඒ, කෙසේ හෝ කොළඹ මහ නගර සභාවටවත් එජාපය සහ සජබය එක්ව තරග කරමු යැයි කියාය. එහිදී සාගල මුජිබර්ට අන්තිමේදී කියා තිබුණේ සජබ දුරකතනය ලකුණ යටතේ හෝ එජාපයේ කිහිපදෙනකුට කොළඹට තරග වදින්නට අවස්ථාව දෙන්න යැයි කියාය. මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ මේ දිනවල කෝප් කමිටුවේදී රෝසි කොළඹ නගරාධිපතිනියව සිටි කාලයේදී නගර සභාවේ සිදුව ඇතැයි කියන බරපතළ වංචා දූෂණ එකින් එක හෙළිදරව් වෙමින් පවතින මොහොතක මෙම ඉල්ලීම ඉදිරිපත් වීමය. රෝසි මුජිබර්ට කතාකොට කෙසේ හෝ එකතු වෙමු යැයි කියා සිටියේද තනිවම ඉල්ලන්නට ගියහොත් ඇපත් නැතිවෙන බව වටහාගෙන විය යුතුය. එමෙන්ම රනිල් ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දෙතුන් දෙනකුට කතාකොට කෙසේ හෝ පක්ෂ දෙකේම අපේක්ෂකයන් පොදු ලකුණක් යටතේ තරග කිරීමට අවස්ථාව නිර්මාණය කරගන්නා ලෙස දැනුම් දීමක් කොට ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

නමුත් සජබය මේ වනවිට සිටින්නේ දුරකතනය ලකුණ යටතේ මුළු රටටම තරග වැදීමටය. මන්ද යත් කුමන ප්‍රතිඵලයක් ලැබුණද සජබයට දේශපාලන පක්ෂයක් වශයෙන් ස්ථාවරව ගම් මට්ටමෙන් ගොඩනැගීමට හැකි වන්නේ පුංචි ඡන්දයේ ප්‍රතිඵල මතය. දැනට පවතින තත්ත්වය යටතේ සෑම ප්‍රාදේශීය සභාවකින්ම සැලකිය යුතු සජබ මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් මුළු රටෙන්ම පත්කර ගැනීමට හැකියාව ඇති බැවින් සජබ පක්ෂ යාන්ත්‍රණය සකස් කරගැනීමේ පදනම වී ඇත්තේ මෙම පළාත් පාලන මැතිවරණයය. ඒ බව කල්තියාම දැන සිටි නිසා මුදල් නැතැයි කියමින් රනිල් පුංචි ඡන්දය කල්දැම්මේද සජිත් ජයග්‍රහණය කිරීම වැළැක්වීමටය. අන්තිමේදී සජබයේ සිටි තලතාද රනිල් යළි එජාපයට ගත්තේ කෙසේ හෝ සජිත්ව පරද්දා අනුරව ජයග්‍රහණය කරවීමේ අරමුණෙන් බව පැහැදිලිය. නමුත් සජිත්ව පරාජය කිරීම සඳහා ඒ සියලු දේ කොට දැන් අන්තිම මොහොතේ රනිල් පුංචි ඡන්දයේ පරාජය පෙනි පෙනී දියෙන් ගොඩදැමූ මාළුවකු සේ දඟලන්නට පන්ගෙන ඇති ආකාරයක් දැකගන්නට පුලුවන.

ඉරාන් තුරුම්පුව

ඒ අනුව රනිල් පුංචි ඡන්දය ඉලක්ක කොට පසුගිය සතියේදී අවසන් තුරුම්පුවද ගැසීමට පියවර ගත්තේය. ඒ, ඉරාන් වික්‍රමරත්න තුරුම්පුවය. ඒ අනුව හිටිහැටියේම වෙබ් අඩවිවල සහ රනිල්ට හිතවත් පුවත්පත්වල පළවූ පුවතකින් කියැවුණේ කොළඹ මහ නගරසභාවේ නගරාධිපති ධුරයට ඉරාන් තරග කිරීමට සූදානම් යැයි කියාය. රනිල් ගැසූ මේ තුරුම්පුව වැඩකරමින් සජබයේ ඇතැමුන්ද මෙම පුවත පළවීමත් සමග මාධ්‍යයට අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ කොළඹ නගරාධිපති ධුරයට සජබයේ සිටින සුදුස්සා ඉරාන් යැයි කියාය.

රනිල් ගැසූ මේ අන්තිම තුරුම්පුවට සජබයේ යම් යම් අය හසුවුවත් ‘මව්රට’ තම්බන්නට නම් රනිල්ගේ ඒ ගොරකා සෑහෙන මදි බව කිව යුතුය. ඒ අනුව අප කළ සොයාබැලීම්වලදී අනාවරණ වූයේ රනිල් මේ ගහන්නට යන්නේ ඡන්දය කටමුල තියා සජබය ඇතුළේ අර්බුදයක් නිර්මාණය කිරීමට බවය. ඒ බව හොඳටම පැහැදිලි වූයේ ඉරාන් කොළඹ නගරාධිපති ධුරයට තරග කරන්නේ එජාපය සහ සජබය එක්ව තරග කරනවා නම් පමණක් බව එම පුවතේ යටම කොටසේ සඳහන්ව තිබීම නිසාය. ඒ අනුව, අප සොයාගත් කරුණු අනුව රනිල්ගේ මෙම අලුත්ම තුරුම්පුව පිළිබඳ තොරතුරුද ‘මව්රට නිවුස්’ වෙබ් අඩවිය ඔස්සේ පළකිරීමට අපි කටයුතු කළෙමු.

සජිත් හීන්සීරුවේ ලොක වැඩක

රනිල්ගේ ගේම්වලින් හොඳින් තෙම්පරාදු වී සිටින සජිත්ද ඉරාන්ගේ නම යොදා මෙවැනි පුවතක් වෙබ් අඩවිවල පළවෙද්දීම සිදුවන්නට යන දේ ඉවෙන් මෙන් වටහාගෙන තිබිණි. බොහෝ දෙනා සජිත්ව දේශපාලන ළදරුවෙක් ලෙස හඳුන්වමින් කතා කළද ඔවුන් කියන පරිදි සජිත් දේශපාලන අතදරුවකු හෝ මෝඩයකු නොවන බව පෙනීගියේ කිසිවකුටත් නොකියා සජිත් කොළඹ මහ නගර සභාවට ඉතාම සුදුසු අපේක්ෂකයකු සෙවීමට මීට සති දෙක තුනකට ඉහත සිටම කටයුතු කර තිබීම නිසාය. එහිදී සජිත් ආවාට ගියාට හිතවත්කම් මත පුද්ගල චරිත තෝරන්නට ගියේ නැත. කොළඹ මහනගර සභා සීමාවේ ජන පදනම, ඒවායේ ඡන්ද ප්‍රතිශත, ඡන්දය බෙදීයන ආකාරය ආදිය පිළිබඳ දීර්ඝ විශ්ලේෂණයකින් පසු සජිත් සුවිශේෂ චරිත දෙකක් පසුපස කාලයක් තිස්සේ පන්නන්නට පටන්ගෙන තිබිණි. ඉරාන්ගේ නම කරළියට එන විට සජිත්ට විවිධ පාර්ශ්වවලින් පණිවුඩ එන්න පටන්ගත් අතර, ඒ පණිවුඩවලින් කියැවුණේ ඉරාන් ඡන්ද සටනට සූදානම් බවත්, එසේ පැමිණීමට නම් රෝසි සේනානායක නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙස නම් කළ යුතු බවත්, එජාප – සජබය එක්වී කොළඹට තරග කළ යුතු බවත්ය. නමුත් එහිදී දැකගන්නට ලැබුණු විශේෂත්වය වූයේද දූෂණ චෝදනා එල්ලවී ඇති එජාප පිරිස් වෙතින්ම මෙම යෝජනාවද ඉදිරිපත් වී තිබීමය. ඒ, සජබය විනාශ කිරීමේ තවත් එක් සැලසුමක් ලෙසටය.

කෙසේ වෙතත් ඉරාන් කොළඹ නගරාධිපති ධුරයට නුසුදුස්සකු නොවේ. නමුත්, මේ මොහොතේ ඉරාන් කොළඹ මහනගර සභාවට සුදුසුද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මතුව තිබේ. ඊට හේතුව ඉරාන් මේ වනවිට කොළඹ මහනගර සීමාව නියෝජනය නොකරන්නකු වීම නිසාය. මුලින්ම ඉරාන් නැගෙනහිර කොළඹ ආසනයට තරග කළද පසුව ඔහු කොළඹින් ඉවත්ව මොරටුවට යෑමට පියවර ගත්තේය. අනතුරුව 2020 මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආ ඉරාන්, 2024 මහ මැතිවරණයෙන් තරග කොට පරාජයට පත්විය. ඊට හේතුව වූයේ ඉරාන් කොළඹ ඉහළ පන්තිය නියෝජනය කිරීම නිසා ඔවුන්ගේ සහාය මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවගේ සහාය ඉරාන්ට ලැබුණද කොළඹ අතිබහුතරයක් වූ කොළඹ වතුවල සිටින අසරණ දුප්පත් ජනතාවට ඉරාන් සම්බන්ධයෙන් ඒ තරම් පැහැදීමක් නොතිබීමය. එමෙන්ම ඉරාන් එම ජනතාව සමග පවත්වාගෙන යන සම්බන්ධය පිළිබඳවද ගැටලු ගණනාවක් තිබේ. ඒ අනුව ඉරාන් අපේක්ෂකයකු වශයෙන් හොඳ අයකු වුවත්, කොළඹ නගර සභාව ජයග්‍රහණය කිරීමට තරම් ශක්තියක් ඇති අපේක්ෂකයකුද යන්න සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් තිබේ.

අනෙක් කරුණ වන්නේ වත්මන් දේශපාලන පසුබිම යටතේ පරාජිත අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සුදුසුද යන්න පිළිබඳවය. සාමාන්‍යයෙන් දේශපාලනයේදී ජනතාව නිතරම සොයන්නේ අපරාජිත දේශපාලන චරිතයකි. ඊට හොඳම උදාහරණය 1994දී කොළඹට කරුගේ පැමිණීමය. එදා කරු හිට් වූයේ අලුත් මුහුණක්, අපරාජිත චරිතයක්, සියලු ජන කොට්ඨාසවල පිළිගැනීමක් කරුට තිබුණු නිසාය. ඒ අනුව කොළඹ ජයග්‍රහණය කිරීමට නම් අද සජබයටද අවශ්‍ය වී ඇත්තේ කරු වැනි අලුත් අපරාජිත චරිතයකි.

කෙසේ වෙතත් එජාපය රනිල්ගේ පැත්තෙන් ඉරාන්ගේ නම උස්සාගෙන යද්දී සජබ කිහිප දෙනෙක්ද ඉරාන්ට පක්ෂව කතා කළත්, ඉරාන්ගේ නම නිල වශයෙන් සජිත්ට පැමිණ තිබුණේ නැත. නමුත් බදාදා දිනයේදී සජිත්ට නිල වශයෙන් මෙම ඉල්ලීම ඉදිරිපත් විය. එහිදී ඉරාන්ගේ සහ රෝසිගේ ඉල්ලීම නිල වශයෙන් පැමිණීමත් සමග සජිත් ඔවුන්ට කෙළින්ම කියා සිටියේ එජාපය සමග කිසිසේත්ම මේ මොහොතේ එකතු වීමක් සිදුවන්නේ නැතැයි කියාය. එසේ එකතු වන්නේ නම් බටලන්ද චෝදනා, මහබැංකු බැඳුම්කර වංචා චෝදනා ආදී සියල්ල සජබ කරේ දාගැනීමට සිදුවන බව මෙහිදී කියා සිටි සජිත්, සජබය ඊට එකඟ නොවන බවත්, කොළඹ මහනගර සභාවට සජබය තනිව තරග කරන බවත් දැනුම් දී සිටියේය.

විජේමාන්නගේ පැමිණීම

බදාදා දිනයේදීම එජාපයේ කළුතර ප්‍රබලයා වූ ලක්ෂ්මන් විජේමාන්න මහතාගේ සිද්ධිය පත්තු වූයේ ඒත් සමගමය. කළුතර ලක්ෂ්මන් විජේමාන්න යනු, ජේ.ආර්.ගේ කාලයේ සිටම කළුතර එජාප ලකුණ ඉදිරියට ගෙන ගිය ඔරිජිනල් යූ.ඇන්.පී.කාරයෙකි. දිගින් දිගටම රනිල්ගේ දේශපාලන පරාජයන් සමග එදා 2020දී සජිත් සජබය නිර්මාණය කරද්දී කළුතර සියලු එජාප මන්ත්‍රීවරුන් සජිත් සමග එකතු වුවත්, එජාපය අත්හැරීමට නොහැකි බව කියමින් ලක්ෂ්මන් නතර විය. එදා සිටම කුමන බාධක තිබුණද, කුමන කලකිරීම් තිබුණද ලක්ෂ්මන් එජාපය අත්හැරීයේ නැත.
නමුත් දේශපාලන ජීවිතයේ ආරම්භයේ සිටම විවිධ තැන්වලට පනිමින් පක්ෂ මාරුකළ රාජිත සේනාරත්න වැන්නකු නැවත වතාවක් කළුතරට ගැනීම සම්බන්ධයෙන් පසුගිය කාලසීමාව පුරා ලක්ෂ්මන් විජේමාන්න සිටියේ දැඩි කලකිරීමකින් යුතුවය. රාජිත කළුතරට පැමිණ තම හිතුමනාපයට වැඩ කරද්දී උපන්ගෙයි යූ.ඇන්.පී.කාරයන් කපා දමා රාජිතගේ හිතවතුන්ට එජාප ආසන සංවිධායකකම් ලබාදීමට දත කද්දී ලක්ෂ්මන් විජේමාන්න ඊට එරෙහිව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට අවස්ථා ගණනාවකදීම පැමිණිලි කිරීමට පියවර ගත්තද ඉන් කිසිද පලක් වූයේ නැත. ඒ අනුව, ලක්ෂ්මන් ඒ බව රනිල්ට කෙළින්ම දැනුම් දීමට තෝරාගත්තේ පසුගිය බදාදා දිනයේදී සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමය. එය සංවිධාන කොට තිබුණේ එජාපයේ කිහිප දෙනකුට නව ආසන සංවිධායක ධුර ලබාදීමටය. මෙහිදී ලක්ෂ්මන් විජේමාන්නව කපාදමා රාජිතට දිස්ත්‍රික් නායක තනතුර දීමටත්, රාජිතගේ තවත් කිහිප දෙනකුටම කළුතර ආසන සංවිධායකකම් ලබාදීමටත් රනිල් තීරණය කොට තිබිණි. ඒ අනුව ලක්ෂ්මන්ට ආසන සංවිධායකකම ලබාදීමට ආරාධනා කිරීමෙන් පසු රනිල් අසලට පැමිණි ලක්ෂ්මන් රාජිත සම්බන්ධයෙන් වන තම විරෝධය ප්‍රසිද්ධියේම රනිල්ට පළකිරීමට පියවර ගත්තේය. එහිදී රනිල් එම විරෝධය කනකට නොගෙන ලක්ෂ්මන්ව ගණන් නොගෙන සිටි ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම තවත් ආසන සංවිධායකවරු දෙදෙනකු රනිල්ට විරෝධය පළකරද්දී රනිල් ප්‍රසිද්ධියේම ඔවුන්ට කට වසාගන්නා ලෙසත්, වාඩිවෙන ලෙසටත් නියෝග කළ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ලක්ෂ්මන් සහ මෙම ආසන සංවිධායකවරුන් දෙදෙනා උත්සවය අතරමගදීම දැඩි කලකිරීමකින් යුතුව සභාවෙන් පිටව ගිය ආකාරයක් දැකගත හැකි විය.

කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමග එජාප සභාපති වජිර එක් ආසන සංවිධායකවරයකු ගෙන්වාගෙන ගැටුම සංසිඳවීමට උත්සාහ ගෙන තිබිණි. එහිදී වජිර කියා සිටියේ රාජිත ගෙනා පුද්ගලයන්ට ලබාදී තිබූ ආසන සංවිධායකකම් ඉවත් කිරීමට කටයුතු කරන බවත්, එම තනතුරු ඔවුන්ට ලබාදීමට කටයුතු කළ හැකි බවත්ය. වජිරට අමතරව තලතාද මෙම පිරිසට කතාකොට ප්‍රශ්නය සංසිඳවීමට විශාල උත්සාහයක් ගත් ආකාරයක් දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් ලක්ෂ්මන් ආපසු හැරෙන බවක් දැකගන්නට නොලැබුණේ බදාදා සවසම හිරු නාලිකාවට කතාකොට රනිල්ට එරෙහිව බරපතළ ප්‍රකාශයක් ලබාදීම හරහාය. එහිදී ඔහු කියා සිටියේ පසුගිය මහ මැතිවරණයේදී තමන් සජබයෙන් ඉල්ලුවා නම් තමන්ට නියත වශයෙන්ම මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට හැකියාව තිබුණා යැයි කියාය.

මේ තත්ත්වයත් සමග වහාම කළුතර සජබ දිස්ත`ික් නායකයා වූ අජිත් පෙරේරා ලක්ෂ්මන්ට කතා කොට සජබයට ක්වන ලෙසට ආරාධනා කිරීමට පියවර ගත් අතර ඊට ලක්ෂ්මන්ගේ කිසිදු විරෝධයක් නොවීය. නමුත් ලක්ෂ්මන් අජිත්ගෙන් ඉල්ලා සිටියේ තමන් අවසන් නශයෙන් රනිල් මුණගැහී තමන් ජාපයෙන් ඉවත්වන බව නිල වශයෙන් දැනුම් දී එනතෙක් එම පුවත රහසක් ලෙස තබාගන්නා ලෙසටය. ඒ අනුව අජිත් මේ පුවත සජිත්ට දැනුම් දී ලක්ෂ්මන්ව සජබයට එක්කර ගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කළේය.

ඒ අනුව ලක්ෂ්මන් අවසන් වතාවට රනිල් මුණගැසී තමන් එජාපයෙන් ඉවත් වන බව නිල වශයෙන් දැනුම් දීමට පියවර ගත්තේය. මුලින් මෙන් නොව රනිල් මේ අවස්ථාවේදී ඉතා බැගෑපත්ව ලක්ෂ්මන්ගෙන් ඉල්ලා සිටියේ හදිසි නොවන ලෙසත්, තවදුරටත් එජාපය සමග දේශපාලනය කිරීමට කටයුතු කරන ලෙසත්ය. නමුත් එය ප්‍රතික්ෂේප කළ ලක්ෂ්මන් තමන් දැන් තීන්දුව ගෙන අවසන් බව රනිල්ට දැනුම් දී එජාපයෙන් එළියට බැසීමට පියවර ගත්තේය.

බල්තසාර් අවුල

සජබය සහ එජාපය අතර මේ අයුරින් කොළඹ නගරාධිපති ධුරය මුල් කරගෙන සංවාද පැවැත්වෙද්දී මාලිමාව ඇතුළේද කොළඹ මහනගර සභාව මුල්කරගෙන විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ, ඉකුත් මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ අපේක්ෂිකාවක වන ව්‍රායි බල්තසාර් මාලිමාවේ කොළඹ නගරාධිපති අපේක්ෂිකාව ලෙස ප්‍රකාශයට පත්කිරීමය. මෙය මුලින්ම මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ජවිපෙ ප්‍රබලයකු වන සුනිල් වටගලය. පසුව ජවිපෙ මහලේකම්වරයා වන ටිල්වන්ද බල්තසාර්ගේ නාමයෝජනාව ස්ථිර කරමින් මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කොට තිබිණි. කිසිදු පක්ෂයක් තවමත් කොළඹ නගරාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියා ප්‍රකාශයට පත්කොට නොමැති පසුබිමක කාටත් කලින් හදිසියේම වාගේ ජවිපෙ මේ ආකාරයට කොළඹට අපේක්ෂිකාවක් නම් කළේ ඇයි? රාජ්‍ය රහස් තීරයට ඇති තොරතුරුවලින් කියවෙන්නේ ඒ පසුපස ලොකු දේශපාලන අර්බුදයක් ඇති බවය.

බල්තසාර් කොළඹට ජවිපෙන් නම් කරන අතරවාරයේ කොළඹට උගත්, වෘත්තිකයකු නම්කිරීම සඳහා කොළඹ නියෝජනය කරන මාලිමාවේ ප්‍රබල චරිතය වන අගමැතිනි හරිනි අමරසූරිය සාකච්ඡාවක් ආරම්භ කොට තිබිණි. ඒ සඳහා හරිනිට අත්හල නොහැකි අයිතියක්ද තිබේ. එක් අතකින් හරිනි වත්මන් මාලිමා ආණ්ඩුවේ අගමැතිනිය වන අතර, කොළඹ ප්‍රධානියා වන්නේද හරිනි වීම ඊට හේතුවය. ජවිපෙට කොළඹ නැති ඡන්ද ලක්ෂ ගණනක් මාලිමාව හරහා ජවිපෙට අරන් දුන්නේද වෙන කවුරුවත් නොව හරිනිය. ඉතිහාසය දෙස බැලූ විට ජවිපෙට කොළඹින් උපරිම ලෙස තේරී පත්වන්නේ මන්ත්‍රීවරු දෙතුන් දෙනෙකි.

අපට ඇති තොරතුරුවලට අනුව නම් කොළඹ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා මුලින් බල්තසාර්ගේ නම යෝජනා වී තිබුණේ නැත. අනෙක බල්තසාර් සහ හරිනි අතර පසුගිය කාලයේ යම් දේශපාලන ආරෝවක්ද තිබිණි. බොහෝ දෙනා කියන්නේ මහ මැතිවරණයෙන් කොළඹ බල්තසාර් පරාජයට පත්වීමටද හරිනි ප්‍රබල හේතුවක් වූවා යැයි කියාය. හරිනි කොළඹ ඉලක්ක කර දියත් කළ කැම්පේන් එක හේතුවෙන් බල්තසාර් එළියට වීසි වූ බව ඔවුන්ගේ අදහස වී තිබිණි. කොළඹ මහනගර සභාව හරහා යළිත් වතාවක් මේ එළියට පැන ඇත්තේද හරිනි සහ බල්තසාර් අතර ගැටුමට වඩා ජවිපෙ සහ මාලිමාව අතර ගැටුමක් යැයි බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

ගැටුම ආයෙමත්

මාලිමා ආණ්ඩුව පිහිටුවූ දින සිටම මෙම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප වරින් වර පෙන්වා දුන් කරුණක් වූයේ මාලිමාව සහ ජවිපෙ අතර සීතල ගැටුමක් හටගෙන ඇතැයි කියාය. මෙම ගැටුම ප්‍රසිද්ධියේ එළියට නොපෙනුණද තිරය පිටුපස එය බරපතළව තිබූ බවක් අප කළ අනාවරණයන්ගෙන් පැහැදිලි කෙරිණි. ඒ අනුව හරිනි පසුගිය දිනවල සිටියේ කොළඹ නගර සභාවට උගත්, අලුත්, තරුණ වෘත්තිකයෙක් ගෙන ඒමේ සාකච්ඡා වටයකය. එම සාකච්ඡා පැවැතියේද අවසන් අදියරේය. නමුත් මේ සාකච්ඡා පිළිබඳ ජවිපෙටද තොරතුරු වාර්තා වී තිබූ අතර, එම සාකච්ඡා අවසන් වීමට මත්තෙන් කොළඹ ලැයිස්තුව අතට ගත් ජවිපෙ හදිසියේම බල්තසාර්ව කොළඹ නගරාධිපති ධුරයට නම්කිරීමට තීන්දු කිරීම විශේෂ සිදුවීමකි.

මේ ආකාරයට කොළඹ මුල්කරගෙන මාලිමාව ඇතුළේ අර්බුදයක් මතුවෙද්දී අනුර සිටින්නේ කුමන ස්ථාවරයකද යන්න පිළිබඳ කාටත් ඇත්තේ බරපතළ ප්‍රශ්නකි. මන්ද අනුර මේ සම්බන්ධයෙන් දැඩි නිහඬ බවක ගිලී සිටින නිසාය. ඉකුත් ජනාධිපතිවරණ සමයේදීද මේ ආකාරයට මාලිමාව සහ ජවිපෙ අතර මතගැටුම් උග්‍ර වද්දී වරක් අනුර තදින් ජවිපෙට දැනුම් දී තිබුණේ මේ ආකාරයට මාලිමාවට ගහන්නට ගියහොත් තමන්ටද මාලිමාවේ පැත්ත ගැනීමට සිදුවනු ඇතැයි කියාය. ඒ, ජනාධිපතිවරණයට කලින්ය. නමුත් දැන් දැන් මෙවැනි ප්‍රශ්න මතුවෙද්දී අනුර එක පැත්තක් හෝ නොගෙන නිහඬව ප්‍රවේසමෙන් යුතුව එම මතගැටුම් කළමනාකරණය කරන ආකාරයක් දැකගන්නට පුළුවන.

කෙසේ වෙතත් මේ වනවිට ජවිපෙන් කොළඹට බල්තසාර් නම්කොට අවසානය. ඒ අනුව දැන් බැලිය යුත්තේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී කොළඹ මාලිමා ප්‍රබලයා වූ හරිනිගේ හැසිරීම කුමක් වනු ඇතිද කියාය. මන්ද යත් කොළඹ ප්‍රධානියා ලෙස මාලිමාවේ ලොකුම හයිය තියෙන්නේ වෙන කාටවත් නොව හරිනිටය. හරි නම් කොළඹ අපේක්ෂකයා කවුරුන්ද කියා ප්‍රකාශයට පත්කළ යුත්තේද හරිනිය. නමුත් දැන් හරිනිව පසෙකට දමා ජවිපෙ කල් තියාම බල්තසාර්ව කොළඹ සටනට නම්කිරීම හේතුවෙන් හරිනි ඡන්ද සටනට සහභාගි වනු ඇද්ද යන සැකය බොහෝ දෙනාට මතුව තිබේ. සාමාන්‍යයෙන් කොළඹ යනු එජාප – සජබ බළකොටුවක් නිසා එය ජයග්‍රහණය කිරීමම ජවිපෙට ලොකුම ලොකු හීනයකි. ඒ හීනය සැබෑ කරගැනීමට ජවිපෙට හරිනිගේ සහාය අවශ්‍ය නමුත්, දැනට මතුව ඇති ගැටුම හමුවේ මෙම ප්‍රශ්නය කොතැනින් කෙළවර වේදැයි දැන්ම තියා කිව නොහැක.

සජිත් තමයි කිව්වේ

පසුගිය සතියේ රට කැලඹූ ආන්දෝලනාත්මක සිදුවීම වූයේ අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිදුවීමය. ඉකුත් අඟහරුවාදා දිනයේදී මෙම සිදුවීම පිළිබඳ තොරතුරු ආණ්ඩුවට වාර්තා වූ නමුත් ඊට ලොකු ප්‍රචාරයක් දීමට ආණ්ඩුව පැත්තෙන් කටයුතු කර තිබුණේ නැත. එමෙන්ම මාධ්‍යයටද මේ සිදුවීම සම්බන්ධයෙන් කුමන පැත්තකින් හෝ තොරතුරු වාර්තා වූයේ නැත. නමුත්, බදාදා දිනයේදී සජිත් පාර්ලිමේන්තුවට පැමිණ, මතුව තිබූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් විවේක ගැනීමට කල්තියා නිවසට ගිය අවස්ථාවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එක්තරා වෛද්‍යවරයෙක් සජිත්ට දුරකතන ඇමතුමක් ගෙන එම සිදුවීම දැනුම් දීමට පියවර ගත්තේය. එහිදී එම වෛද්‍යවරයා කියා සිටියේ මෙම ප්‍රශ්නය ඉතා බරපතළ බවත්, තවමත් කිසිවකුත් මේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් රටට හෙළිකොට නොමැති බවත්ය. එම නිසා කෙසේ හෝ මෙය පාර්ලිමේන්තුවේදී ඉස්මතු කරන ලෙසත්, විපක්ෂ නායකවරයා මෙම ප්‍රශ්නය මතුකළ හොත් ඊට ආණ්ඩුවේ අවධානය යොමුවනු ඇති බවත් එම වෛද්‍යවරයා සජිත්ට කියා සිටියේය.

ඒ අනුව සිය අසනීප තත්ත්වයද පසෙක දැමූ සජිත්, නැවත වතාවක් හැඳපැලඳගෙන හනික පාර්ලිමේන්තුවට පැමිණියේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමටය. නමුත් ඊට වේලාව වෙන්කර ගැනීමට යෑමේදී මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු සජිත්ට කියා සිටියේ මෙය ඉතා සංවේදී ප්‍රශ්නයක් බැවින් ඒ සම්බන්ධයෙන් නිහඬව සිටින ලෙසය. නමුත් ඊට එරෙහිව අදහස් ප්‍රකාශ කළ සජිත් කියා සිටියේ කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙය බරපතළ තත්ත්වයක් නිසා එය යටගැසිය යුතු නැති බවත්, වහාම මෙම සිද්ධියට අදාළ වරදකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම ඉතා ඉක්මනින් කළ යුතු දෙයක් බවත්ය. ඒ අනුව සජිත් කළේ බලෙන්ම වෙලාව ලබාගෙන මෙම ප්‍රශ්නය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමය. එවැනි සිදුවීමක් සිදුව ඇති බව රටම දැනගත්තේ සජිත්ගේ මෙම අනාවරණයත් සමගය.

හරිනිට අමතක වූ හරිනි

මේ අතර, සජිත් මුල්කරගෙන සිදුවූ තවත් සිදුවීමක්ද පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී දැකගන්නට ලැබිණි. ඉකුත් කාලයේදී සජිත් කොළඹ දරුවන්ට පමණක් සීමාවී තිබූ පරිගණක පන්ති කාමර, පාසල් බස් රථ ආදිය ගමේ අතිදුෂ්කර පාසල්වලට ලබාදෙද්දී ඊට එරෙහිව බරපතළව හඬ නැගූ ප්‍රධාන පක්ෂයක් වූයේ ජනතා විමුක්ති පෙරමුණය. ඔවුන් එදා සජිත්ට චෝදනා කරමින් කියා සිටියේ පරිගණක පන්ති කාමර සහ බස් ලබාදීම හරහා සජිත් පාසල්වලට දේශපාලනය ගෙනගොස් ඇති බවත්, ඉදිරි මාලිමා රජයක් යටතේ වහාම එය නැවැත්වීමට ඔවුන් පියවර ගන්නා බවත්ය. ඒ අනුව කිව්වා වාගේම මාලිමාව ආණ්ඩුව බාරගත් සැණින් අධ්‍යාපන අමාත්‍යාංශය භාරවූ අගමැතිනි හරිනි, නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මහජන නියෝජිතයන් පාලස්වලට ගෙන්වා ගැනීම නතර කරන ලෙසය. 2024.09.25 වැනි දින අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක එය පැහැදිලිවම සටහන් වී තිබිණි. එමෙන්ම 2024.09.27 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී හරිනි සඳහන් කර සිටියේ මෙවැන්නකි.

‘පාසල්වල තියෙන උත්සවවලට අනවශ්‍ය විදියට දේශපාලනඥයන් මැදිහත් වෙන්න ඕනෙ නෑ. උදාහරණයක් වශයෙන් බිල්ඩිං විවෘත කරන්නයි, අරවටයි මේවටයි. ඒක අනවශ්‍ය වැඩක්. හැම එකටම දේශපාලනඥයන් එන එකෙන් වෙන්නේ එකක් වියදම වැඩිවෙනවා. නාස්තිය වැඩිවෙනවා…’ යනුවෙන් එහිදී හරිනි කියා සිටියාය. ඒ අනුව සජිත් පමණක් නොව විපක්ෂ මන්ත්‍රීවරුන්ද පාසල්වලට යාම පසුගිය කාලයේ සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගෙන තිබිණ. මේ හේතුවෙන් ළමයින්ට පරිඝනක පන්ති කාමර හා පාසල් බස් රථ ලබා දීමේ වැඩසටහනටද තිත වැටිණ.
කෙසේ වෙතත් පසුගිය සතියේ හිටපු කතානායක අශෝක රංවල හේනේගම විද්‍යාලයේ උත්සවයකට සහභාගි වී සිටි අතර, පොහොට්ටුවේ මන්ත්‍රී ඩී.වී. චානක ඒ සම්බන්ධයෙන් හරිනිගෙන් ප්‍රශ්න කරමින් විමසා සිටියේ මාලිමාවේ මන්ත්‍රීවරයෙක් පාසලක උත්සවයකට සහභාගී වී සිටි බවත්, ඒ හරහා ආණ්ඩුව දැමූ නීති ආණ්ඩුව විසින්ම කඩකර ඇති බවත්ය. චානක මේ අයුරින් කියද්දී තමන් දැමූ තහනම පිළිබඳ අමතක වීදෝ හරිනි ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ එවැනි නීතියක් නොමැති බවත්, තමන්ද එවැනි නීතියක් පනවා නොමැති බවත්ය. එම නිසා කාටවත් ඉස්කෝලෙ යන්න එපා කියා තහනමක් දමා නොමැති බවද හරිනි සඳහන් කොට සිටියාය. ඒ අනුව හරිනි දැමූ තහනම ජවිපෙ පහළ පෙළ මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ කඩකිරීම හරහා නැවත වතාවක් මාලිමා-ජවිපෙ ගැටුම මතුවී ඇද්ද යන්න බොහෝ දෙනාගේ සැකයට තුඩුදී තිබේ.

අනුර ඉහළටම ඇවිත්

මීට සති කිහිපයකට ඉහතදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනප්‍රියත්වය පිළිබඳ බටහිර රටක ප්‍රධාන පෙළේ තානාපති කාර්යාලයක් මගින් විශේෂ මත විමසුමක් සිදුකොට තිබිණි. අනුරට බලයට පැමිණීම සඳහා වක්‍රව උදව් කළ බව කියැවෙන මෙම තානාපති කාර්යාලය මගින් ඉතා රහසිගතව සිදුකොට තිබූ මෙම මත විමසුමට අනුව මේ මොහොතේ 50%කට වඩා වැඩි ජනතා අනුමැතියක් (ඇපෘවල් රේටින්) අනුරට ඇති බව අනාවරණ කොට තිබේ. නමුත් එය ආණ්ඩුවට නොව අනුරට බවද මෙහිදී පැහැදිලිවම සඳහන් කොට ඇති බවක් දැනගන්නට ඇත.

ඒ අනුව, මෙම ප්‍රතිඵලයත් සමග මතුවන ප්‍රශ්නය වන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට 50%ක ඡන්ද ප්‍රතිශතයක් ගැනීමට හැකිවනු ඇද්දැයි කියාය. ජනාධිපතිවරණයේදී අනුරට 50% ප්‍රතිශතය මුල් වටයේදී ලබාගැනීමට නොහැකි වුවත්, මහ මැතිවරණයේදී දැවැන්ත ජන රැල්ලකින් බලය තහවුරු කරගැනීමට අනුර සමත් විය. නමුත් ආණ්ඩුවේ ගමන් මග ජනතාව විසින් පිළිගන්නවාද නැද්ද යන්න තීන්දු කරන තීරණාත්මක මැතිවරණය බවට පත්ව ඇත්තේ ඉදිරි පළාත් පාලන මැතිවරණයය. මන්ද යත් එම මැතිවරණයේදී මාලිමාවට 50% ලබාගත නොහැකි වුවහොත් ඒ හරහා අනුරට 50% ඉක්මවූ බහුතරයක් නොමැති බව තහවුරු වන නිසාය.

එමෙන්ම පසුගිය මහ මැතිවරණයේදී ආණ්ඩුවට උතුරෙන්, නැගෙනහිරින් සහ වතුකරයෙන් දැවැන්ත බලයක් හිමිවිය. නමුත් ගෙවුණු මාස කිහිපය ඇතුළත ආණ්ඩුව මෙම ප්‍රදේශවලට සැලකිය යුතු යමක් නොකළ බවට ජනමතයක් මේ වනවිට එම ජන කොට්ඨාස අතර මතුව තිබේ. මධ්‍යස්ථ ආරංචිමාර්ගවලින් අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයේදී උතුරු නැගෙනහිර හා වතුකරයේ ප්‍රතිඵලය මහ මැතිවරණ ප්‍රතිඵලයට වඩා හාත්පසින්ම වෙනස් එකක් වනු ඇතැයි කියාය. එසේ වුවහොත් එය ආණ්ඩුවේ ඉදිරි අනාගතයට ඉතා අහිතකර ලෙස බලපානු ඇති බව අලුතෙන් කිව යුතු නැත. එම නිසා මෙවර පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව පැත්තෙන් ගත්විට ඉතා තීරණාත්මක එකක් බවට පත්ව තිබේ. ඳා

චමල් බලය අල්ලයිද?

මේ අතර, පසුගිය සතියේදී රාජපක්ෂ පවුලේ වැඩිමලා වූ චමල් රාජපක්ෂ මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. එහිදී චමල් කියා සිටියේ අවශ්‍ය නම් තමන් ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග වැදීමට සූදානම් යැයි කියාය. චමල් වැනි රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයකු මෙවැනි ප්‍රකාශයක් කරන විට ඒ සම්බන්ධයෙන් විමසා බැලීම පොහොට්ටු මහලේකම්වරයාගේ යුතුකම වුවත්, මාධ්‍ය ඒ සම්බන්ධයෙන් සාගර කාරියවසම්ගෙන් විමසද්දී සාගර කියා සිටියේ චමල් එවැන්නක් නිල වශයෙන් පක්ෂයට දැනුම් දී නැතැයි කියාය.

නමුත් ඇත්තටම චමල් ප්‍රාදේශීය ඡන්දයට තරග වදින බවක් කියා සිටියේ ඇයි?

ඒ පිටුපස කවුරුත් නොදන්නා විශාල කතාවක් තිබේ. ඒ, රාජපක්ෂ පවුල ඇතුළේ කාලයක් පුරා පැවැති බල අරගලයය. පසුගිය කාලයේදී පොහොට්ටුවේ ඊළඟ නායකයා ලෙස අභිෂේක ලැබිය යුත්තේ මහින්දගේ පුත් නාමල්ද, එසේත් නැත්නම් රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයා වූ චමල්ගේ පුත් ශෂීන්ද්‍රද යන්න පිළිබඳ ලොකු කතාබහක් තිබිණි. නාමල්ට කලින් ශෂීන්ද්‍ර දේශපාලනයට පැමිණ ඌවේ මහ ඇමැති ලෙස කටයුතු කිරීම නිසා බොහෝ දෙනා සිතා සිටියේ ශෂීන්ද්‍ර පොහොට්ටුවේ ඊළඟ නායකයා වනු ඇතැයි කියාය. තවත් සමහරුන් කී කතාවක් වූයේ රාජපක්ෂ පවුලේ රාජයෝගය ඇති ඊළඟ රාජපක්ෂවරයා ශෂීන්ද්‍ර රාජපක්ෂ යැයි කියාය. නමුත් මහින්ද ශෂීන්ද්‍රට කලින් නාමල්ව පාර්ලිමේන්තු ගෙනැවිත් දේශපාලන වශයෙන් ශෂීන්ද්‍රට වඩා ජ්‍යෙෂ්ඨත්වයට පත්කළේ පොහොට්ටුවේ ඉදිරි නායකත්වය නාමල්ට ලබාදීමේ අරමුණෙන්ය.

කෙසේ වෙතත් නාමල් මේ දිනවල පොහොට්ටුව යළි ඒකරාශී කරමින් රට වටේ ගියද ශෂීන්ද්‍ර ඒ ආකාරයට රට වටේ යන පාටක් පේන්නට නැත. නමුත් ශෂීන්ද්‍ර හීන්සීරුවේ සිය ඉදිරි දේශපාලන ගමන නිවසේ සිට ආරම්භ කොට ඇති බවක් පෙනී යන්නේ සෑම දිනකම පාහේ තෝරාගත් කණ්ඩායම් සහ ආසන සංවිධායකවරුන් සිය නිවෙසට කැඳවා ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශෂීන්ද්‍ර කටයුතු කිරීම නිසාය. එමෙන්ම පොහොට්ටුවෙන් පසුගිය කාලයේ ඉවත්ව සිටි කණ්ඩායම් සමගද මේ වනවිට ශෂීන්ද්‍ර වෙනම සාකච්ඡා වටයක් ආරම්භ කර ඇති බවක් වාර්තා වේ. මෙම සාකච්ඡාවන් බොහෝ දුරට අවසන් වී ඇත්තේ ශෂීන්ද්‍රද ඔවුන් සමග කාබී විහිළුතහලුවෙන් ගතකිරීමෙන්ය. නාමල් එසේ නොකිරීම නිසා ශෂීන්ද්‍රට මෙය අමතර වාසියක් වී ඇති බවක් දැකගන්නට පුළුවන.

කෙසේ වෙතත් මෙවර පළාත් පාලන මැතිවරණයේදී මහින්දටද මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට මතුව තිබේ. ඒ, ඉදිරි දින කීපයේදී පාදයේ සැත්කමකට භාජනය වීමට මහින්ද සූදානමින් සිටින නිසාය. ඒ අනුව පළාත් පාලන මැතිවරණ කාලසීමාවේදී මහින්දට විවේක සුවයෙන් සිටීමට සිදුවනු ඇත. අනෙක් අතට ගෝඨාභය රාජපක්ෂද මේ වනවිට සිටින්නේ දේශපාලන වශයෙන් අක්‍රීයවය. බැසිල් රාජපක්ෂ සිටින්නේ ඇමෙරිකාවේය. එම නිසා කල්යල් බලා චමල් යළිත් වතාවක් සක්‍රීය දේශපාලනයට පිවිස ඇත්තේ ශෂීන්ද්‍ර රජකරවීමේ අරමුණෙන් බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

පුබුදු.. දුමින්ද.. කුමාර් ගුණරත්නම් සමග දේශපාලන සංවාදයක් අද සවස 6ට! මේ ලින්ක් එකෙන් බලන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

35 වන සාක්ෂිකරු බටලන්දේදී විඳපු වද වේදනා ගැන පළමු වරට කතා කරයි! ඒ කියන කතා නම් අහගෙන ඉන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.