ඔහු ලියූ සම්පූර්ණ පොත් ප්‍රමාණය එක්දහස් අටසියයකි. පොතක් සම්පූර්ණයෙන්ම ලියා අවසන් කිරීමට ඔහුට ගතවන්නේ එක් රැයක් පමණි. රැයකින් ලියා නිමකරන පොතක් එළිදුටු විට එය මිලදී ගන්නා පාඨකයා පැය කිහිපයක් තුළදී එය කියවා හමාර කරන්නේ පිපාසිතයකු එක හුස්මට දිය බඳුනක් හිස් කරන්නාක් මෙනි. Sri Lanka Latest News
මේ ලේඛකයා 1960 දශකයේ සිරි ලක පුරා සුළි සුළඟක් සේ හමාගිය උන්මාදනීය මාරක කතා රැල්ලේ සක්විතිය. ඔහු නමින් ඩීමන් ආනන්ද වේ.
මළවුන්ගේ ලෝකයේ අද්භූත තොරතුරු එක්කොට, භීතිය, ත්‍රාසය එකට මුසුකොට දස වසරක් මුළුල්ලේ ලොමුදැහැ ගැන්වෙන මාරක කතා පාඨකයන්ට තිළිණ කළ ඔහුට කිසි දිනක කිසිවකු උපහාර පිදුවේ නැත. උපහාර වෙනුවට විචාරකයන්ගෙන් ඔහු වෙත එල්ල වූ වේගවත් ප්‍රහාරවලට ඔහු කිසිදා ප්‍රතිප්‍රහාර එල්ල නොකළ නමුත්, පාඨක ප්‍රතිචාර ඔහුට ඉහළින්ම ලැබිණි. ඒ බව සනාථ වූයේ ඔහු ලියූ සෑම පොතක්ම උණු කැවුම්වලටත් වඩා වේගයෙන් අලෙවි වීමෙනි.
70 දශකයේ මුල් භාගය වනවිට ඔහුගේ පොතක් නොකියවූ තරුණයකු නැති තරම් යැයි කීම අතිශයෝක්තියක් නොවේ.
ඔහු පොත් ලිව්වේ, විචාරය කරගන්නවත්, පාසල් පොත් විදිහට අනුමත කරගන්නවත් නොව පාඨකයාට කෙටි කාලයක් තුළ එනම් බසයක දුම්රියක යන ගමන් කියවා හුදු විනෝදයක් ලබාගැනීම පිණිස පමණය.
සම්භාව්‍ය සාහිත්‍ය කෘති අගය කළ, එසේම ඒ අවධියේ රටේ ඉහළ තැන්වල සිටි බුද්ධිමත් පිරිස් අතරින් වැඩි දෙනෙක් ඔහු ලියූ පොත් කියවූ බවද නොරහසකි. ඒ බව ඩීමන් ආනන්ද 1978 දී සිදුකළ සම්මුඛ සාකච්ඡාවේදී මෙසේ පවසා තිබිණි.
‘රේස් කොළේ කියවමින් සිටි වැඩකරන ජනතාවට පොත් කියැවීම පුරුදු කළේ මමයි. අද සිටින සමහර ප‍්‍රවීණ උගතුන් මුලින් මගේ පොත් කියවා ගැටවර අවධියේ එතැනින් වෙනත් පොත්පත්වලට යොමු වූ අයයි. ඔවුන් ප‍්‍රසිද්ධියේ කීවත් නොකීවත් එය මා දන්නවා….’
කවුරුන් කුමන විවේචන සිදු කළත් ඔහුගේ ලේඛන තුළින් සමාජයට විෂබීජ ඇතුළු කිරීමවත්, තරුණ සිත් දූෂණය කිරීමවත් සිදු නොවුණි. ඔහු තමාටම ආවේණික චරිත නිර්මාණය කළා. ඔහුගේ රහස් පරීක්‍ෂකයා වූයේ ඩිකී වීරකෝන්. ඔහුගේ රහස් ඔත්තු නියෝජිත ජේම්ස් බණ්ඩා බැලූ බැල්මට ජාත්‍යන්තරව ප‍්‍රකට ජේම්ස් බොන්ඩ්ට සමාන වුවත් බණ්ඩා බටහිර (විශේෂයෙන් CIA) සැලසුම්වලට එරෙහිව කි‍්‍රයා කරමින් දේශීයත්වය මතු කරන්නෙක් වුණා.
වාමාංශික නැඹුරුවක් තිබූ ඩීමන් ආනන්ද 1960 දශකයේ ජන මනසේ ප‍්‍රකටව තිබූ CIA කුමන්ත‍්‍රණ තම කතාවලට ඈඳාගත්තා.
ත‍්‍රාසජනක කතා පුවත් සොයමින් කොළඹ නගරයේ සැරිසැරූ ඩීමන් ආනන්ද බටහිර හා හින්දි චිත‍්‍රපටවලට අමතරව අලුත්කඩේ උසාවියේ නඩු අසනු බලා සිටීමෙන් ද ප‍්‍රබෝධක ආවේගයන් ලද බව කියැවෙනවා.
කොල්වින් ආර්. ද සිල්වා, ජී.ජී. පොන්නම්බලම් වැනි දක්‍ෂ අපරාධ නීතිඥයන් සම්බන්ධිත නඩුවලට ඔහු විශේෂ අවධානය යොමුකළ බව ඔහුව හොඳින් දන්නා හඳුනන ඔහුගේ සමීපතමයන් පවසා තිබෙනවා.
රහස් පරීක්‍ෂක කතා සාහිත්‍යයක් සිංහලෙන් නොතිබූ යුගයක ඒ අඩුව යම් තරමකට හෝ පියවුණේ ඩීමන් ආනන්ද අතිනි. රහස් පරීක්‍ෂක කතා යනු විශ්ව සාහිත්‍යයේ ප‍්‍රබල සාහිත්‍යාංගයකි. ඉංගී‍්‍රසී, ප‍්‍රංශ, ස්පාඤ්ඤ හා හින්දි වැනි භාෂාවල එහි හොඳ සම්ප‍්‍රදායන් තිබේ. ශ්‍රී ලංකාවේ මුල් යුගයේ ලේඛකයන් වූ පියදාස සිරිසේන හා ඩබ්ලියු.ඒ. සිල්වා වැනි අය ද රහස් පරීක්‍ෂක කතා රචනා කළ අය වෙති. ඒ අයට සමකළ නොහැකි වුවත් ජනප‍්‍රිය සංස්කෘතියට මේ සංකල්ප රැගෙන ආ ලේඛකයා ඩීමන් ආනන්දය.
රහස් පරීක්‍ෂක කතාවලින් ජන මනස දූෂණය කරන බවට සුචරිතවාදීන් දුන් විලාප කිසිවකින් ඩීමන් ආනන්ද සැලුණේ නැත. ඔහු විශ්වාස කළේ, නීති තර්ක, සියුම් ගවේෂණ හා තීක්‍ෂණ බුද්ධිය ආදිය මත පදනම් වූ මේ කතා නිසා පාඨක මනස පුළුල්වන බවය.
ඩීමන් ආනන්දගේ පොත් ගැන මවුපියන්, ගුරුවරුන් හා සම්භාව්‍ය යයි සැලකෙන සාහිත්‍යයට සම්බන්ධ උදවිය බැලුවේ අවඥාවෙනි. ඒ අවධියේදී බොහෝ පාසල්වල මේ පොත් ගෙන ඒම තහනම් කොට තිබිණි. සිසු සිසුවියන් ඒවා කියවූයේ සඟවා ගෙනය. වෙනෙකක් තබා ඩීමන් ආනන්ද ඉගෙනුම ලැබූ කොළඹ ආනන්ද විදුහලේ ද ඔහුගේ පොත් කියවීම සහ ළඟ තබාගැනීමේ තහනම තදින්ම ක්‍රියාත්මක වී තිබිණි.
මුල් යුගයේ සිනමා සඟරාවකට සම්බන්ධ වූ ඩීමන් ආනන්ද පසු කලෙක සිංහල සිනමා කර්මාන්තයට ද දායක වූ අයෙකි. තිර රචකයෙක් හැටියට ‘මේ දෑස කුමකටද?’, ‘යළි ඉපදේ’, ‘සූරයා සූරයාමයි’ හා ‘දාමරිකයෝ’ යන චිත‍්‍රපට ඔහු අතින් රචනා විය.
ඩීමන් ආනන්ද චිත‍්‍රකතා ක්‍ෂේත‍්‍රයටත් දායක වූ බව එතරම් ප‍්‍රකට කරුණක් නොවේ. ශ්‍රී ලංකාවේ එළිදුටු මුල්ම චිත‍්‍රකතා පොත වූයේ සුසිල් පේ‍්‍රමරත්න නිර්මාණය කළ ‘රන් දූපත’යි. එයින් පසු දෙවැනි පොත වූයේ ‘තිසා’ නම් චිත‍්‍රකතාවයි. 1960 දශකයේ පළවූ එහි කතාව ඩීමන් ආනන්දගේය. චිත‍්‍ර දයා කරුණාරත්නගේය. ඒ අවධියේ මෙයින් පිටපත් 55,000ක් ඉක්මවා අලෙවි වූ බව ඩීමන් ආනන්ද පවසා තිබේ
ඩීමන් ආනන්ද ලියූ පොත් එක්දහස් අටසීයෙන් එක පිටපතක්වත් 1990 වන විට ඔහු ළඟ නොමැති බව ඔහු වරක් ප්‍රකාශ කර තිබිණි. ලංකාවේ ප්‍රකාශනය කරන සෑම පොතකම පිටපතක් අනිවාර්යයෙන්ම රාජ්‍ය ලේඛනාගාරයේ සතුව පවතී. එහෙත් ඩීමන් ආනන්ද ලියූ පොත්වලින් එක පිටපතක්වත් රාජ්‍ය ලේඛනාගාරයේද නැති බව ඒ අවධියේදීම ඩීමන් ආනන්දම ප්‍රකාශ කොට තිබිණි.
එවකට නුවරඑළියේ පැවැති රාජ්‍ය ලේඛනාගාරය කොළඹ අලුත් ගොඩනැගිල්ලට මාරුකරන විට, එහි තිබූ ඩීමන් ආනන්දගේ පොත් සියල්ල පොත් පැටවූ කම්කරුවන් සොරකම් කොට තිබේ. පරම්පරා ගණනාවක් ආරක්ෂා කළ යුතුව තිබූ මෙම පොත් එසේ සොරකම් කොට ඇත්තේ මොකටවත් නොව කියවීමට බව ඩීමන් ආනන්ද පසු කලෙක ප්‍රකාශ කොට තිබිණි.
1933 මාර්තු 30 වැනිදා මාතර බණ්ඩාරවත්තේදී උපන් ඩීමන් ආනන්ද නම් වූ මෙම කලාකරුවා 2007 අප්‍රෙල් 15 වැනිදා අප අතරින් සදහටම සමුගත්තේය.
ඩීමන් ආනන්ද නම් වූ කලාකරුවාගේ කලා ජීවිතය පිළිබඳ ලියන්නට තව බොහෝ දේ ඇතත් මෙය ඊට අවස්ථාව නොවේ. මේ ඔහු පිළිබඳ කෙටි සටහනක් පමණි.
සුනිල් ගාමිණී ජයලත්ගේ










