දැනටමත් ජනාධිපතිවරයා නම් ප්‍රකාශ කර ඇත්තේ ලබන අප්‍රේල් මුල වනවිට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බවකි. ආණ්ඩුව ඒ සඳහා සූදානම් වෙමින් සිටින ආකාරයක් දැකගන්නට ඇත්තේ ජනාධිපතිවරයා දැනටමත් සුහද හමු පවත්වමින් රට වටා යෑම ආරම්භ කර ඇති නිසාය. නමුත් තවමත් සජබය පැත්තෙන් පළාත් පාලන මැතිවරණයට සූදානමක් වීමක් දැකගන්නට නැති අතර, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙක් තවමත් එජාප-සජබ සන්ධාන සාකච්ඡාවල යෙදී සිටින ආකාරයක් දැකගන්නට පුළුවන.Sri Lanka Latest News
මෙහිදී මේ එකතුව ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන සිටින සජබ ඇතැම් ප්‍රධානීන්ට පැවැසිය යුතු තවත් කරුණක් තිබේ. ඒ, ආණ්ඩුවද මේ එකතු වීම සිදුවන්නට ඉඩ හැර ඒ දෙස බලා සිටින බවය. මන්ද යත් ඔවුන්ද මේ වනවිට සැලසුම් කොට ඇත්තේ එජාපය සමග එක්වූ වහා සජබය හොරු සමග එක්වූ බව කියමින් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමටය. මන්ද යත් පසුගිය කාලයේදී එජාප ප්‍රධානීන්ට මහබැංකු හොරු, ඉඩම් හොරු, ගෑස් හොරු, තෙල් හොරු, ගල් අඟුරු හොරු ආදී වශයෙන් කියමින් ප්‍රබල ප්‍රහාරයක් දියත් වී තිබුණු අතර, ඒ සම්බන්ධයෙන් තවමත් විමර්ශන රැසක් ක්‍රියාත්මකය. එමෙන්ම සජබ සාමාජිකයන් එජාපයෙන් ඉවත් වන විට එජාප ප්‍රධානීන්ට එල්ල කළ චෝදනා ඇතුළත් හඬ පටද ආණ්ඩුව පැත්තෙන් මේ වනවිට එකතු කරගෙන ඇති ආකාරයක් දැනගන්නට පුළුවන. ඒ අනුව ආණ්ඩුව සූදානමින් සිටින්නේ එජාප සජබය එකතු වූ වහා හොරු එකතු වූ බව කියමින් දැවැන්ත ඩිජිටල් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමටය.
එහි ආරම්භක පියවරක් ලෙස පසුගිය සතියේ රනිල්, සජිත්, මහින්ද, මෛත්‍රීගේ රූපරාමු යොදාගනිමින් ‘ආපසු අපට’ යනුවෙන් වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයට නිකුත් කිරීමට කිසියම් පාර්ශ්වයක් කටයුතු කොට තිබිණි.










