දෙවියනේ, හැම පැත්තකින්ම පෙනෙන්නේ මරණය, මරණය, මරණය. කුරිරු ගිනි ජාලා මේ මුළු දසතම වසාගෙන බුර බුරා අහසට නගිනවා. මේ සිදුවන්නේ කුමන විනාශයක්ද? මේ මහා විපත දෙනෙත් අදහාගන්නට පුළුවන්ද? අහස් කුසේ ඉඳන් බැලූ විට මේ සිදුවන විනාශය කෙසේ විශ්වාස කරන්නට පුළුවන්ද? අක්කර දසදහස් ගණනක මහා තෝතැන්නක් කුරිරු ගිනි ජාලාව වසාගෙන සිටින හැටි. අතොරක් නැතිව දැනට දවස් 12කට ආසන්න කාලයක් ගිනිගෙන දැවෙන හැටි පුදුමාකාරය. මේ ගිනි දලුවලට දැවී අළුවී යන මිනිස් ජීවිත, සත්ව ජීවිත, ගස්කොළන් තුරුලතා, ගොඩනැගිලි නිවාස දේපළ සිහදහස් ගණනකි. පණ බේරාගන්නට හිස් ලූලූ අත දිවගිය මිනිසුන් දහස් ගණනක් යාන්තමින් තමන්ගේ ජීවිත පමණක් බේරාගත්තේය. තමන්ගේ අත්වලට පමණක් ගෙනයා හැකි දෙයක් පමණක් ගෙන ඔවුහු හිස් හැරුණු අත දිවගියෝය. මේ මාරාවේශ වූ ගිනිදැල් පරදන්නට දෙවියන්ටද නොහැකිය. දෙවියනි ඔබ කොහිද?
දෙවියන්වත් මානයකට නොපැමිණි මේ මහා ගිනිගත් කතර කුමක්ද? එම බියකරු කතාවේ පරිච්ඡේදයන් ගණනාවක්ම ඔබ මේ වනවිට අසා ඇත්තේය. මුළුමහත් ලෝකයම වසාගත් මෙම ශෝකීය කතාන්දරය අපට අසන්නට ලැබුණේ මෙයට දින 12කට පමණ පෙරදීය. එනම් ඇමෙරිකාවේ ප්‍රදේශ ගණාවක ඇතිවූ මහා ලැව්ගින්න එම වතගොත විය. මෙම ශෝකාන්තය සිදුවී දැනට දින 12කට ආසන්න කාලයක් ගතවී ඇතත්, තවද එම විනාශයට විසඳුමක් නැත. එම කුරිරු ලැව්ගින්න මේ වනවිටද පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්ව ඇත. දැනට ජීවිත හානි 28ක් පමණ සහ පුද්ගල අතුරුදන්වීම් 25ක් පමණ මෙම විනාශයෙන් සිදුව ඇති අතර, විනාශ වූ දේපළ ගණන සියදහස් ගණනකි. එසේම විනාශයට පත්වූ අක්කර ප්‍රමාණයද දසදහස් ගණනකි. මෙම කුරිරු විනාශය නිමක් දකින්නේ කවදාද? Sri Lanka Latest News
දැනට ඇමෙරිකාවේ කැලිෆෝනියා සහ ලොස් ඇන්ජලීස් ප්‍රදේශ වසාගෙන දැවෙන මෙම මහා ලැව්ගින්නෙන් සාමාන්‍ය පුරවැසියන්ගේ දේපළ පමණක් නොව ලොව ප්‍රකට පුද්ගලයන්ගේ දේපළ රැසක්ද මේ වනවිට විනාශයට පත්ව ඇත. එහිදී ඇමෙරිකාවේ සිටින ප්‍රකට ධනකුවේරයන් මෙන්ම ප්‍රකට කලාකරුවන් රැසකගේද දේපළ විනාශයට පත්ව ඇත. මෙම ඇමෙරිකානු හොලිවුඩ් කලාකරුවන්ගේ ශෝකාන්තය පසුගිය දිනවල විවිධ මාධ්‍ය පුවත් හරහා ප්‍රකාශ වී තිබිණි. මෙම වටපිටාවේදී තවත් හෙළිවන සුවිශේෂ පුවතක් වන්නේ දැනට ඇමෙරිකාවේ වාසය කරන ප්‍රකට ඉන්දීය බොලිවුඩ් රංගන ශිල්පීන්ගේ නිවාස දේපළ කිහිපයක්ම අනතුරට ලක්ව තිබීමය. මේ තත්ත්වය ඉන්දියාවේ සහ අනෙකුත් බොලිවුඩ් රසිකයන්ගේ විමතියට හේතුවී ඇති ආකාරය දැකගත හැකිය.
ප්‍රියංකා චොප්රා
ලොව ප්‍රකට ඉන්දියානු බොලිවුඩ් රංගන ශිල්පිනියක් වන ප්‍රියංකා චොප්රාගේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පිහිටි අතිසුඛෝපභෝගී නිවාස සංකීර්ණය වෙතද මෙම කුරිරු ගින්න ළඟාවෙමින් පවතින බව වාර්තා වෙයි. ඇය පසුගියදා තමන්ගේ එම නිවෙසේ සිට කිලෝමීටර් තුන හතරක පමණ සමීප දුරින් ඇති ප්‍රදේශය ගිනිගන්නා ආකාරය වීඩියෝගත කර මාධ්‍ය වෙත මුදාහැර තිබුණාය. අන්තර්ජාලයේ පළකෙරුණු මෙම දර්ශන සමග ඇය ප්‍රකාශයක්ද සිදුකර තිබුණාය. ‘මගේ නිවෙස ආසන්නයටම තවම මේ කුරිරු ගින්න ඇවිල්ලා නැහැ. එහෙත් ඒ අනතුර ගැන කිසිම විශ්වාසයක් තබන්න බැහැ. මගේ සිතුවිලි සෑම කෙනෙක් සමගම බෙදාගන්නවා. අද රෑ අපි හැමෝටම ආරක්ෂිතව ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අපි තවමත් අපේ ගේ දාලා ගිහින් නැහැ…’ යැයි ඇය ප්‍රකාශ කර තිබිණි. ප්‍රියංක චොප්රා යනු දැනට 42 වැනි වියෙහි පසුවන ඉතා සුපිරි නිළියකි. බොලිවුඩ් චිත්‍රපට රාශියක ප්‍රධාන චරිතය රඟපා ඇති ඇය තමන්ට 17 වැනි වියෙහිදී ‘මිස් වර්ල්ඩ් 2000’ ලෝක රූප සුන්දරී කිරුළ දිනාගත්තාය. සිනමා සහ විවිධ සිවිල් සමාජ සම්මාන 60කට අධික ප්‍රමාණයක් හිමිකරගෙන ඇති ඇය 2017 වසරේදී ඉන්දීය ප්‍රධාන රාජ්‍ය සම්මානයක් සහ ගෞරව නාමයක් වන ‘පද්ම ශ්‍රී’ සම්මානය ඉන්දීය ජනාධිපතිවරයා අතින් ලබාගත්තාය. ඇය 2018 වසරේදී තමන්ට වඩා අවුරුදු 10ක් වයසින් බාල (දැනට අවුරුදු 32ක්) ප්‍රකට ඇමෙරිකානු ගායකයකු සහ නළුවක වන නික් ජොනාස් සමග විවාහ වූවාය. මෙම විවාහයෙන් පසුව ඇය ඇමෙරිකාවේ පදිංචියට ගියාය. එහෙත් ඇය තවද ඉන්දීය සිනමාවේ නිරතවී සිටින්නීය. ප්‍රියංකා චොප්රා ඉතා ධනවත් කාන්තාවක්ද වෙයි.
නෝරා ෆටෙහි
ඉන්දීය බොලිවුඩ් ප්‍රකට නිළියක වන නෝරා ෆටෙහිට අයත් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි නිවෙස ලැව්ගිනිවලට අයත් ප්‍රදේශයෙහි පිහිටා ඇත. ඇයගේ තත්ත්වය බොහෝ අනතුරුදායක බවට වාර්තා වෙයි. එනම් මෙයට දින දෙකකට පෙරදී ඇයගේ එම සුපිරි නිවාසයෙන් ඉවත්වන ලෙසට දැන්වීම් නිකුත් කර ඇත. එසේ වන්නේ එම නිවාස ඇති ප්‍රදේශය ආසන්නයටම ලැව්ගිනි පැතිර ඇති හෙයිනි. මෙම බියකරු තත්ත්වය ගැන ඇය තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පණිවුඩයකින් ප්‍රකාශ කර තිබිණි. ‘මම මගේ ලොස් ඇන්ජලීස් ගෙදර ඉන්නේ. මේ ලැව්ගින්න මහ භයානක පිස්සු එකක්. මේ වගේ දෙයක් මම කවදාවත් දැකලා නැහැ. අපේ ගෙවල් පැත්තට වේගයෙන් ගින්න පැතිරෙනවා කියලා දැන් ටිකකට ඉස්සෙල්ලා අපිට කිව්වා. මේ ගෙවල්වලින් ඉවත් වෙන්න කියලා. මේක රජයේ නියෝගයක්. දැන් මම මට ගෙනියන්න පුළුවන් දෙයක් අරගෙන මෙහෙන් පිටව යනවා. මම බඩු පැක් කරගෙන ගුවන් යානයකින් පිටත්ව යනවා. හෙට අනිද්දා අපේ ගෙවල්වලට කුමක් වේවිද…?’ නෝරා ෆටෙහි යනු දැනට 32 වැනි වියෙහි පසුවන කැනේඩියානු සම්භවයක් ඇති ඉන්දියානු සිනමාවේ රංගන ශිල්පිනියකි. ඇයද බොහෝ ධනවත්කම් ඇති නිළියක වන අතර, ඇය ඇමෙරිකාවේ සහ ඉන්දියාවේද වාසය කරන්නීය.
ප්‍රීටි සින්ටා
ඉන්දීය බොලිවුඩ් සිනමාවේ අතිශයින්ම ප්‍රකට සහ ප්‍රවීණ නිළියක වන ප්‍රීටි සින්ටා සතුවද ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ අතිශය සුපිරි මන්දිරයක් ඇත. ඇයද තම එක්ස් ගිණුම හරහා සටහනක් තබමින් කියා ඇත්තේ තමන් ජීවත් වන ප්‍රදේශයද දැඩි ලෙස ලැව්ගිනිවලින් වෙළාගෙන සිටින බවයි. ඇයගේ නිවාසය පිහිටා ඇති ප්‍රදේශය හරහා ලැව්ගිනි වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ඇය තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ මෙසේ ලියා තබා ඇත. ‘අප අවට සිදුවන විනාශය ගැන මගේ හද කමපා වෙනවා වගේම, අපි මේ වනවිටත් ආරක්ෂිතව සිටීම ගැන දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා. මෙම ලැව්ගිනි නිසා දැනට තම ගේදොර දේපළ අහිමි වී ගිය ජනතාවට මම යාච්ඤා කරනවා. සුළඟ ඉක්මනින් පහව ගොස් ලැව්ගිනි අඩු වන්නට යැයි ප්‍රාර්ථනා කරනවා. මෙම මහා විනාශයත් සමග මම කවදාවත් හිතුවේ නැහැ මම ජීවත් වෙන දවසක් දකින්න වෙයි කියලා…’ යනුවෙන් ඇය සටහනක් තබා ඇත. දැනට 49 වැනි වියෙහි පසුවන ප්‍රීටි සින්ටා 2016 වසරේදී විවාහයට පත්වුණේ ඇමෙරිකානු ජාතික මූල්‍ය විශ්ලේෂකයකු වන ජීන් ගුඩ්නොෆ් සමගය. කෙසේ හෝ ඇය තම විවාහයෙන් පසුව මේ දක්වා සිය පවුල සමග ජීවත්ව සිටින්නේ ලොස් ඇන්ජලීස් නගරයේය. එම යුවලට නිවුන් දරුවන්ද සිටියි.
මේ ආකාරයට ඉන්දියානු බොලිවුඩ් සිනමාවේ සුපිරි රංගන ශිල්පිනියන් තිදෙනකුටම ඇමෙරිකානු ලැව්ගිනි තර්ජනය ප්‍රබල ලෙස බලපා තිබෙයි. මෙම පිරිසට අමතරව ඇමෙරිකාවේ සිටින සුප්‍රකට හොලිවුඩ් නළු නිළියන් ගණනාවකටද මෙම තර්ජනය බලපා ඇත. මෙම පිරිසෙන් සමහරකගේ සුපිරි නිවාස මේ වනවිට ගිනි ජාලාවට හසුවී විනාශ වී ගොස් ඇති අතර තවත් සමහරකගේ නිවාස දේපළ ගිනි තර්ජනය අබියසම තිබෙන ආකාරය දක්නට හැකිය. මෙම බොහෝ ධනවත් කලා ශිල්පීන් ලොස් ඇන්ජලීස් සහ කැලිෆෝනියා ප්‍රදේශවල ඉතා සුපිරි මන්දිර ඉදිකර ඇත්තේ දැනට කාලයක සිටය.
මේ ආකාරයට ඇමෙරිකානු හොලිවුඩ් සිනමාවේ සහ ඇමෙරිකානු සංගීත ක්ෂේත්‍රයේ සිටින අතිශයින් ප්‍රකට කලා ශිල්පීන් ගණනාවකගේම නිවාස දේපළ මුළුමනින්ම විනාශයට පත්වී ඇත. එම ප්‍රමාණය 50කට අධිකය.
මෙල් ගිබ්සන්
ලොව අතිශයින්ම ප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පියකු වන මෙල් ගිබ්සන්ගේ ඩොලර් මිලියන 14.5ක් වටිනා සුවිශාල නිවාසයක් ගින්නෙන් මුළුමනින්ම දැවී විනාශයට පත්විය. මෙය ශ්‍රී ලංකා මුදලින් වටිනාකම රුපියල් කෝටි 450ක් වෙයි. ‘මෑඩ් මැක්ස්’ ක්‍රියාදාම චිත්‍රපට මාලාවෙන් ලොව පුරා ප්‍රචලිත වූ මෙල් ගිබ්සන් තම නිවෙස ගින්නෙන් දැවී අළුවී යනවිට ටෙක්සාස් ප්‍රාන්තයේ නව චිත්‍රපටයක දර්ශන රූගත කරමින් සිට ඇත. මෙම විනාශයෙන් ඔහු මහත් දැඩි ලෙස කම්පාවට පත්ව ඇත.
ජෙෆ් බි්‍රජස්
අතිශයින්ම ප්‍රකට හොලිවුඩ් නළුවකු වන ජෙෆ් බි්‍රජස්ගේ මාලිබුහි පිහිටි නිවෙස සම්පූර්ණයෙන්ම දැවී අළුවී ඇත.
පැරිස් හිල්ටන්
ඇමෙරිකානු ප්‍රකට නිළියක සහ රූපවාහිනී නිෂ්පාදකවරියක වන පැරිස් හිල්ටන්ගේ නිවෙසද සම්පූර්ණයෙන් ගින්නෙන් විනාශ වී ඇත. මෙම විනාශයෙන් තමන්ගේ හදවත කැබලි මිලියනයකට කැඩීගියේ යැයි ඇය ප්‍රකාශ කර තිබිණි.
සර් ඇන්තනී හොප්කින්ස්
හොලිවුඩ් ඇකඩමි සම්මානලාභී ශ්‍රීමත් ඇන්තනී හොප්කින්ස්ගේ නිවෙසද ලැව්ගින්නෙන් මුළුමනින්ම දැවී විනාශ වී ගොස් ඇත. එයද අතිශයින් වටිනා නිවෙසකි.
කුරිරු ලැව්ගිනි ජාලාවක් සිදුකළ විනාශයකින් මේ බිඳක් පමණකි.

ප්‍රියන්ත හෙට්ටිගේ










