පැවැති රජයේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ Smart Youth Night ප්‍රදර්ශන මාලාව සංවිධාන කිරීමේදී සිදුව ඇති මූල්‍ය වංචාව පිළිබඳ විගණන විමසුමකින් කරුණු අනාවරණ වී ඇත. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම ප්‍රදර්ශන සහ ප්‍රසංග මාලාව පැවැත්විණි. එම ප්‍රසංග මාලාව සංවිධාන කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණ කළේය. Sri Lanka Latest News
Smart Youth Night ප්‍රදර්ශන සහ සංගීත ප්‍රසංග මාලාවෙහි යෝජිත ප්‍රසංග 14න් ප්‍රසංග 2ක මූලික වියදම් සහ සංවිධාන කටයුතු සිදුකර ඇති නමුත්, ප්‍රසංග පවත්වා නොමැති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවැසීය.
ඒ අනුව, හැටන් සහ වැලිසර ප්‍රදේශවල ප්‍රසංග සඳහා මූලික වියදම් දරා ඇති නමුදු එම ප්‍රසංග පවත්වා නොමැති බවත්, එම ප්‍රසංග දෙකෙහි සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 295,292ක් වියදම් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
හැටන් ප්‍රසංගයේ සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 234,592ක් සහ වැලිසර ප්‍රසංගයේ සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 60,700ක වියදමක් දරා ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය.
දැඩි ආර්ථික අර්බුදයක් පැවැති සමයකදී පසුගිය රජය Smart Youth Night ප්‍රදර්ශන සහ ප්‍රසංග මාලාව සඳහා මුදල් වියදම් කිරීම මතභේදාත්මක යැයි මෙම වසරේ ජනවාරි 06 වැනිදා නිකුත් කරන ලද විගණන විමසුමකින් කරුණු ඉදිරිපත් කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම ප්‍රදර්ශන හා ප්‍රසංග තරුණ සේවා සභාවේ විශේෂ ව්‍යාපෘති යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය. එනමුත් සංගීත ප්‍රසංග අප්‍රේල් මාසයේදී ආරම්භ කර කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත්තේ ජූලි මාසයේදී බවත්, මෙම විශේෂ ව්‍යාපෘතිය පිළිබඳ තරුණ සේවා සභාවට දන්වා ඇත්තේ කැබිනට් අනුමැතිය හිමිවී සතියකට පසුව බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණ කළේය.
2030 වසර වනවිට තරුණ තරුණියන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය නගාසිටුවීමට හැකි බවත්, බෝ නොවන රෝග වැලඳීම තුනෙන් එකකින් වළක්වා ගත හැකි බවත් සඳහන් කරමින් Smart Youth Night ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මාලාව පවත්වා ඇති නමුත්, එම හේතු සාධාරණ හේතු ලෙස පිළිගත නොහැකි බව විගණන විමසුමේ දක්වා තිබේ.
මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, මෙම වංචාවට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවැසුවේය.
දියගම ක්‍රීඩා සංකීර්ණයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරු ඊට සහභාගි වී සිටියහ.










