මේ ලිපියෙන් අපි විමසා බලන්නේ අලුත් බදු සංශෝධනවලින් ඔබට මොන වගේ බලපෑමක් ඇතිවේවිද කියන එක. මේ රඳවාගැනීමේ බද්ද මොන විදියටද අය කරන්නේ, ඒ වගේම උපයන විට බද්ද (PAYE tax) අඩුකිරීම තුළ ඔබට මොන වගේ වාසියක් ඇතිවෙලා තිබෙනවද, ඒ වගේම මේ අලුත් බදු සංශෝධනවල තිබෙන අලුත්ම දේවල් මොනවද කියලා තමයි මේ ලිපියෙන් කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ. (Sri Lanka Latest News)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ප්‍රකාරව තමයි මේ බදු සංශෝධන සිදුවෙලා තිබෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ අරමුණ තමයි 2025 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් විදියට ලංකාවේ රාජ්‍ය ආදායම 15.1%ක් දක්වා වර්ධනය කරගැනීම. ඒ වගේම Primary surplus එක (ප්‍රාථමික ගිණුමේ ශේෂය) 2.3%ක් දක්වා වර්ධනය කිරීමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණක් වෙනවා. මේ තත්ත්වය මත සිට තමයි බදු සංශෝධන අලුතෙන්ම ඉදිරිපත් කරලා තිබෙන්නේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් යම් අදහසක් පළකළා. ඒ අනුව, ඒ කාරණා තුළ තිබෙන තවත් කාරණා සවිස්තරාත්මකව මේ ලිපියෙන් ඔබට කියනවා.
ද්ගලික ආදායම් බදු සංශෝධනය කරලා තිබෙනවා. ඒ පුද්ගලික ආදායම් බදු සංශෝධනය කිරීමට අමතරව Imputed rental income කියන බද්ද අහෝසි කරලා තිබෙනවා. ඒ වගේම සේවා අපනයන මත 15%ක බද්දක් අයකිරීමට යෝජනා කරලා තිබෙනවා. මේක දැනගැනීම ඉතාම වැදගත්. මොන වගේ සේවාවන්ද මේ බද්දට යටත් වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. ඒ වගේම ඩිජිටල් සේවා මත වැට් බද්දක්. මේක ලංකාවට අලුත් දෙයක්. මෙච්චර කාලයක් ඩිජිටල් සේවා මත නෙවෙයි වැට් බදු අය කළේ, ලංකාව තුළ ක්‍රියාත්මක වන සේවා මත. හැබැයි ඩිජිටල් සේවා මත 18%ක වැට් බද්දක් අයකිරීමට යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම වාහන ආනයන සීමා ලිහිල් කිරීමටත් තීන්දු කරලා තිබෙනවා. ඒ තුළත් බදු ආදායම වැඩිකර ගැනීම තමයි අරමුණු කරලා තිබෙන්නේ. ඊට අමතරව කල්බදු පහසුකම් මත මුද්දර ගාස්තු 2%කින් ඉහළ දැමීමට තීරණ කරලා තිබෙනවා. මේ අතරින් ඇතැම් බදු යෝජනා ක්‍රියාත්මක වෙන්නේ 2025 ජනවාරි 01 වැනිදා සිට. තවත් බදු යෝජනා 2025 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මකයි.
මේ අතරින් ඔබට ඉතාමත් වැදගත් වෙන බදු සංශෝධන යෝජනාව තමයි පුද්ගලික ආදායම් බදු කොහොමද වෙනස් වෙන්නේ කියන එක. අප්‍රේල් 01 වැනිදා පටන් තමයි මේ වෙනස සිදුවෙන්නේ. මෙච්චර කාලයක් උපයන විට බද්ද අය කළේ මාසික ආදායම රුපියල් 100,000 වඩා වැඩිපුර උපයපු අයට. රුපියල් 100,000 සිට මේ සීමාව 150,000 දක්වා වැඩිකරලා තිබෙනවා. ඒ කියන්නේ 150,000කට වඩා වැඩිපුර මාසික ආදායමක් උපයන කෙනෙක් තමයි මින් පසුව බද්දට යටත් වෙන්නේ. ඒ වගේම රජය සඳහන් කරලා තිබෙනවා Tax slabs (බදු සීමාවන්) කියන එක රුපියල් 500,000 සිට රුපියල් 10,00,000 දක්වා වැඩිකළා කියලා. මේකෙන් අදහස් වෙන්නේ, මෙච්චර කාලයක් මාසයකට රුපියල් 100,000කට වඩා වැඩි ආදායමක් ලබපු අය තමයි බද්දට යටත් වුණේ. ඒ කියන්නේ අවුරුද්දකට රුපියල් 12,00,000කට වැඩි ආදායම් ලබපු අය මේ බද්දට යටත් වුණා. නමුත් අලුත් පුද්ගලික ආදායම් බදු යෝජනාවලට අනුව වර්ෂයකට රුපියල් 18,00,000ක් උපයන කෙනෙක් බද්දට යටත් වෙන්නේ නෑ. 18,00,000කට වඩා වැඩිපුර උපයන කෙනෙක් බද්දට යටත් වෙනවා. එතකොට 18,00,000කට වඩා වැඩිපුර උපයන පළමු 5,00,000ට මෙච්චර කාලයක් අයකළේ 6%ක බදු ප්‍රතිශතයක්. ඒ කියන්නේ 18,00,000 ඉඳලා 23,00,000 දක්වා 6%ක බද්දක් අයකළා. අලුත් බදු යෝජනාවලට අනුව මේක 10,00,000 දක්වා වැඩිකරලා තිබෙනවා. ඒ කියන්නේ 18,00,000 ඉඳලා එතැනින් පසුව තවත් 10,00,000ක සීමාවක් දාලා තිබෙනවා. ඒ කියන්නේ 5,00,000 සීමාව 10,00,000 දක්වා වැඩිකරලා තිබෙනවා. ඒ කියන්නේ 18,00,000ට තව 10,00,000ක් එකතු කළාම 28,00,000ක් දක්වා උපයන කෙනෙක් 6%ක බද්දක් ගෙවන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ පළමු 18,00,000ට බදු අයකරන්නේ නෑ. ඊට පසුව උපයන 10,00,000ට 6%ක බද්දක් අයකරනවා. ඊට පස්සේ 28,00,000 ඉඳලා 33,00,000 දක්වා 18%ක බද්දක්, 33,00,000 දක්වා 38,00,000 දක්වා 24%ක බද්දක්, 38,00,000 සිට 43,00,000 දක්වා 30%ක බද්දක්, 43,00,000ට වඩා වැඩිපුර වාර්ෂික ආදායමක් උපයන කෙනෙක් තමයි 36%ක බද්දකට යටත් වෙන්නේ. ඒ වගේම මීට පෙර 18%ක බද්දක් ගෙව්වේ වාර්ෂිකව රු. 22,00,000 සිට 27,00,000 දක්වා උපයපු කෙනෙක්. නමුත් දැන් ඒක 28,00,000 සිට 33,00,000 දක්වා වැඩිවෙලා තිබෙනවා.
අපි බලමු උපයන විට බද්ද කොහොමද ඔබේ වෘත්තීය ජීවිතයෙන් උපයා ගන්නා වේතනයට බලපා තිබෙන්නේ කියලා. රු. 100,000ක මාසික වේතනයක් ලබපු කෙනෙක් මීට කලින් බද්දට යටත් වුණේ නැහැ. දැන් මේ සිමාව මාසික ආදායම රු. 1,50,000 දක්වා ඉහළ දැමීම නිසා 1,50,000ක් උපයපු කෙනෙක් මේ වනවිට බද්දට යටත් වෙන්නේ නෑ. ඒ නිසා ඉස්සර 1,50,000ක් උපයපු කෙනෙක් රු. 3,500ක බදු මුදලක් ගෙවන්න සිද්ධ වුණා. නමුත් දැන් මාසික වේතනය ලෙස රු. 1,50,000ක් ලබන කෙනෙකුට රු. 3,500ක මාසිකව ඉතිරියක් ලැබෙනවා. ඒ විදියට බැලුවාම රු. 200,000ක මාසික වේතනයක් ලබන කෙනකුට මාසිකව ඉතිරි වන මුදල රු. 7,500යි. රු. 250,000ක් උපයන කෙනකුට ලැබෙන මාසික ඉතිරිය ආසන්න වශයෙන් රු. 7,500යි. ඒ වගේම රු. 3,00,000ක් උපයන කෙනකුට ලැබෙන මාසික ඉතිරිය ආසන්න වශයෙන් රු. 16,500යි. ඒ වගේම මේ නව බදු සංශෝධනයන් නිසා රු. 3,50,000 සිට රු. 6,50,000 දක්වා මාසික වේතනයක් ලබන කෙනකුට රු. 20,500කට ආසන්න ඉතිරියක් මාසිකව ලැබෙනවා.
ඒ වගේම රඳවා ගැනීමේ බදු ඉතාම වැදගත් වෙනවා. මොකද ස්ථාවර තැන්පතු තියෙන බොහෝ පිරිසක් අපේ රටේ ඉන්නවා. ඔවුන් බැංකුවල තැන්පත් කරපු මුදල්වලට ලැබෙන පොලී ආදායම මත 5%ක බද්දක් රඳවා ගැනීමේ බදු විදියට මීට කලින් අයකළා. ඒක දැන් 10% දක්වා වැඩිකරලා තිබෙනවා. මේ ස්ථාවර තැන්පතු දාපු අයට නම් මේක හොඳ ප්‍රවෘත්තියක් බවට පත්වෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ බදු ගෙවීම වැඩිවෙනවා. හැබැයි රජය සඳහන් කරපු කාරණය තමයි ඒ තැන්පතුව රු. 150,000කට වඩා අඩු නම්, මාසිකව ලබන පොලී ආදායම ඔවුන්ට ඉල්ලීමක් කරන්න පුළුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මේ 5% බද්ද 10% දක්වා වැඩිකරන්න එපා කියලා. මම ලබන පොලී ආදායම මාසිකව රු. 150,000කට වඩා අඩුයි කියලා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ඇයි ඒගොල්ලන්ව මේ විදියට මේ බදු දැලට හසුකරගත්තේ, ඇයි මේ විදියට කපන්නේ, කපලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යවලා පස්සේ ඒක ආපහු ක්ලේම් කරන්නේ. ඒ කියන්නේ මට ඒක ආපසු ලබාදෙන්න කියන එක තර්කානුකූල නැහැයි කියලා. ඇත්තටම ඒ සඳහා රජය ඉදිරිපත් කරපු තර්කය තමයි මේ බදු දැල වැඩිකිරීම සඳහා, එහෙමත් නැත්නම් බදු ගොනු වැඩිකිරීම සඳහා තමයි මේ තීන්දුව ගත්තේ කියන කාරණය.
අපි දැන් බලමු අපනයන සේවා මත බදු අයකරන්නේ කොහොමද කියන එක. ඒක 2025 අප්‍රේල් 01 වැනිදා සිට 15%ක බද්දක් අපනයන සේවා මත බදු විදියට අයකරනවා. මීට කලින් මේ අපනයන සේවා මත බදු අයකළේ නැහැ. අපනයන සේවාවන්ට අයත් වෙන්නේ තොරතුරු තාක්ෂණ අපනයන සමාගම්. බාහිර සේවා ලබාදෙන සමාගම්. ඒ වගේම නාවික සේවා ලබාදෙන සමාගම් මීට අයත් බව තමයි අනාවරණ වෙන්නේ. ඒ වගේම සූදු, දුම්කොළ සහ මද්‍යසාර බදු 40% සිට 45% දක්වා වැඩිකරලා තිබෙනවා. තවත් වැදගත් බද්දක් තිබෙනවා. ඒ තමයි ඩිජිටල් සේවා මත වැට් බදු. මේක 18%ක් අයකිරීමට යෝජනා වෙලා තිබෙනවා. මේ පිළිබඳ අපි සොයාබැලිය යුතුයි. මේ ඩිජිටල් සේවා මත වැට් බදු කියලා මොන වගේ දේවලටද මේ වැට් බද්ද අයකරන්නේ? රජය සඳහන් කරන්නේ මෙච්චර කාලයක් ලංකාවේ සේවා මත පමණයි වැට් බදු අයකළේ. හැබැයි ජාත්‍යන්තරව මේ තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා. සිංගප්පූරුව වගේ රටවල් ජාත්‍යන්තරව ලබාදෙන ඩිජිටල් සේවා මත වැට් බදු අයකරනවා. ඒ අනුව, විශේෂයෙන්ම අන්තර්ජාලය ඔස්සේ ඩජිටල් සේවා ලබාදෙන සමාගම් මේ විදියට 18%ක වැට් බද්දකට 2025 අප්‍රේල් 01 වැනිදා සිට යටත් වෙනවා.
දැන් පැනනගින ප්‍රශ්නයක් තමයි යූටියුබ්, ෆේස්බුක් ඔස්සේ යම් සේවාවක් ලබාදෙන සමාගම් මේ වැට් බද්දට යටත් වෙනවද කියන එක. මේ පිළිබඳ අපට තවමත් හරියට පැහැදිලි නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ජනාධිපති ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා සමග මේ කාරණාව සම්බන්ධයෙන් කතාබහ කරලා පැහැදිලි කරගැනීමට.
ජයන්ත කෝවිලගොඩගේ










