පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය පහව යාමෙන් අනතුරුව සිදුවිය හැකි ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වහාම සූදානම් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
අද (01) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය රැස්වූ අවස්ථාවේදී ආණ්ඩුකාරවරුන් සහ පළාත් පළාත් පාලන ප්‍රධානීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට එම උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.
පාසල්, රෝහල්, රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන සහ ඉදිකිරීමේ වැඩබිම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර පවිත්‍රතා කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කර තිබේ.
මේ අතර කොළඹ, රත්නපුර, මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම වැඩි බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේය.










