ආරුමුගම් තොණ්ඩමන් මහතා කිසිදු දිනෙක ජාතිවාදී දේශපාලනයක නිරත නොවූ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය.
නුවරඑළියේ අද (31) පැවැති තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එම සම්පූර්ණ කතාව මෙසේය.
ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැතිතුමාට අවසන් ගෞරව දක්වන්නයි අපි සියලු දෙනා මෙහි රැස්වෙලා ඉන්නේ. ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමාගේ සමුගැනීම අපි කාටත් ඉතාම තදින් දැනෙනවා. විශේෂයෙන් මට මේ මොහොත ඉතාම තදින් සංවේගය දැනෙන මොහොතක් බව කියන්න ඕනේ.
ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා ජීවිතයෙන් සමුගන්න පැය කීපයකට කලින් ඇවිත් මාව හමුවුණා. ඔහුගේ පුතා හා බෑනා සමඟ. මට මතක නෑ එතුමා සමුගන්න මොහොතේ කිව්වේ ගිහිං එන්නම් කියලද, නැතිනම් යන්නම් කියලා විතරද කිව්වේ කියලා. ඒත් මට මතකයි අවසාන මොහොතේ හුමුවුණ වෙලාවෙත් එතුමා මාත් එක්ක කතා කළේ තමන්ගේ වතකුරයේ ජනතාවගේ ප්‍රශ්න ගැන. ඒවා විසඳගන්න ආකාරය ගැන. එතුමා වතු කම්කරු ජනතාවගේ වැටුප රුපියල් 1000ක් කරගන්න එක ගැන මාත් එක්ක දිගටම කතා කළා. ඔහුගේ අන්තිම ඉල්ලීම වුනෙත් ඒක.
ඒ වගේම තමන්ගේ ජනතාව ජීවත්වන වතු නිවාස සංවර්ධනය කිරීම ගැන එතුමා කතා කළා. වතුකරයේ ඉස්කෝල වැඩිදියුණු කිරීම ගැන කතා කළා. ඒ වගේම කොවිඞ් 19 වසංගතයෙන් අමාරුවට පත්වුණ ජනතාවට සහන සලසන්නේ කොහොමද කියන එක ගැනත් එතුමා කතා කළා. එහෙම කතා කරලා ගිහින්ලයි එතුමා සමුගත්තා. ඔබගෙන් සමුගන්න කලින් එතුමා මගෙන් සමුගත්තා. එතුමා සමුගත්තත් එතුමාගේ අවසාන මොහොතේ තිබුණ ප්‍රාර්ථනා අපට භාරදීලයි ගියේ. ඒ නිසාම සමුගත්ත දාට පසුදාම එතුමා අවසාන දවසේ කළ ඉල්ලීම් සියල්ල මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඒවා විසදන ආකාරය සාකච්ඡා කළා.
පහුගිය 27 වැනිදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා මට පෞද්ගලිකවම දුරකතනයෙන් කතා කරලා තොණ්ඩමන් මහතාගේ වියෝව සම්බන්ධයෙන් ශෝකය පළකළා. තොණ්ඩමන් මහතාගේ පවුලේ උදවිය වෙත, විශේෂයෙන් ජනතාවට, එතුමන්ගේ ශෝකය පළකරන බව දන්වන්න කියලත්
කිව්වා. ඔහු ඉන්දියාවේ අපේ, මගේ මිතුරෙක් කියලයි ඉන්දීය අගමැතිවරයා සඳහන් කලේ. තවත් රටවල් ගණනක නායකයින් දුරකතනයෙන් කතා කරලා ශෝකය පළ කළා.
මිත්‍රවරුනි, තොණ්ඩමන් කියන්නේ වතුකරයේ ජනතාව එක්ක ගසට පොත්ත වගේ දැඩි බැඳීමක් තිබුණ පරපුරක්. වතු කම්කරු කොංග්‍රසයේ ආරම්භක නායකයා වුණ මෙතුමාගේ සීයා සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතාවත් අපට මතකයි. මට මතකයි මම කම්කරු ඇමැතිවරයා විදියට සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මැතිතුමා එක්ක නොයෙක්වර සාකච්ඡා පවත්වලා තියෙනවා. ඒ වගේම මේ පළාත්වලටත් මාව කැඳවාගෙන එනවා. වතු කම්කරු ජනතාවගේ ප්‍රශ්න මාත් සමඟ සාකච්ඡා කරලා තමන්ගේ ජනතාවට සේවය ලබා ගන්නවා.
ආණ්ඩුව කාගෙද ආණ්ඩුවේ ඉන්න නායකයෝ කවුද කියලා නෙමෙයි එතුමන්ලා බැලුවේ. දේශපාලනය ගැන තොණ්ඩමන්ලා පටු විදියට හිතුවේ නෑ. ආණ්ඩුව කියන්නේ අපි කාගෙත් ආණ්ඩුව කියලා තමයි එතුමන්ලා හිතුවේ. ඒවායින් තමන්ගේ ජනතාවට සේවයක් සලස්වාගන්න එතුමන්ලා හැමවෙලාවෙම කටයුතු කළා.
2005 ආණ්ඩුවේදි ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා මාත් සමඟ එකතු වුණා. ඒ වෙනකොට එතුමන්ගේ සීයා සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මැතිතුමා පුරවැසිභාවය වගේම කම්කරු අයිතවිාසිකම් රාශියක් තමන්ගේ ජනතාවට දිනාදීලා තිබුණා. ඒත ්දියුණු පුරවැසියෙක් හැටියට නැඟීසිටීමට අවශ්‍ය බොහෝ දේවල් ඒ වන විටත් වතු ජනතාවට ලැබිය යුතුව තිබුණා. ඒ දේවල් ලබා දීමේ වගකීම සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මැතිතුමාගේ මුණුබුරා වන අද මේ සැතපිලා සිටින ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමාට භාරකළා.
එතුමා අපේ අනුග්‍රහයෙන් මේ වතුකරයේ සෑම පාරක්ම කොන්ක්‍රීට් කරන්න, දහස් ගණන් වතු නිවාසවලට විදුලිය ලබා දෙන්න, ලැයිම් කාමර වෙනුවට හොඳ නිවාස ලබා දෙන්න, තමන්ගේ ප්‍රදේශයේ පාසැල් වැඩිදියුණු කරන්න පියවර ගත්තා. කොන්ක්‍රීට් කරපු පාර නිසා, විදුලිය නිසා වතුකරයේ ජනතාවට ලෝකයත් එක්ක සම්බන්ධ වෙන්න ඊට පස්සේ අවස්ථාව ලැබුණා.
පසුගිය කාලේ මට මතකයි වතුකරයේ ජනතාවට රුපියල් 1000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා ලොකු උද්ඝෝෂණයක් කළා. එදා වතුකරයේ තරුණයෝ කොළඹ ජනාධිපති කාර්යාලය වට කළා. ඒ සටන මෙහෙයෙව්වේ ෆෙස්බුක් එකෙන්. මුහුණු පොතේ හිටපු තරුණයෝ එකතුවෙලා තමයි ඒ සටන කළේ. 1940 මුල්ඔය වතුයායේ ගෝවින්දන් කියන වතු කම්කරුවා කරපු සටනට වඩා අද ඉන්න තරුණයින් කරන සටන් දියුණුයි කියලා දැන් අපට පේනවා. ඒ වගේ දියුණු තත්ත්වයට එන්න තමන්ගේ ජනතාවට පාර කපා දුන්නේ අද අප ඉදිරිපිට සැතපෙන ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා.
මිත්‍රවරුනි, බොහොමයක් ජනවර්ග නියෝජනය කරන නායකයෝ පාර්ලිමේන්තු යන්නේ බලය ලබා ගන්නේ ජාතිවාදය වපුරලා. උපන්න රටට විරුද්ධ අදහස් ලෝකය පුරා ප්‍රචාරය කරලා ආධාර අරගෙනයි පාර්ලිමේන්තු බලය රැකගන්නේ. නමුත ් තොණ්ඩමන්ලා කවදාවත් බොරු න්‍යායයන්
ඇදබාලා ජනතාව රැවැට්ටුවේ නෑ. ඒ නිසාම වතුකරයේ ලේ වැගිරීම් සිද්ධ වුණෙත් නෑ. තමන්ගේ ජනතාවට දිනෙන් දින දියුණුවන්න වුවමනා මහා සේවයක් කරන්න එතුමන්ට පුළුවන් වුණා. ජීවිත ආරක්ෂා කරගෙන ඔවුන්ට සේවය කිරීමේ ගෞරවය තොණ්ඩමන්ලාට හිමිවන බව මම කියන්න ඕනේ.
මිත්‍රවරුනි, ආරුමුගම් තොණ්ඩමන් පරපුරේ අය තමන්ගේ ප්‍රදේශයේ විහාරස්ථාන, දේවස්ථාන තිබුණට ඒවා ප්‍රශ්නයක් කරගත්තේ නෑ. ඒවා තමන්ගේ ප්‍රදේශයෙන් ඉවත් කරන්න කියලා තමන්ගේ ජනතාව අතර විෂබීජ වැපිරුවෙත් නෑ. ඒ වෙනුවට අද මේ සැතපෙන ආරුමුගම් තොණ්ඩමන් තමන්ගේ ප්‍රදේශවල විහාරස්ථාන රාශියකට විශාල වශයෙන් ආධාර කළා. අද පැමිණ සිටින මහා සංඝරත්නයෙන්ම අපිට ඒ බව තහවුරු වෙනවා. නායක හාමුදුරුවෝ කිව්ව විදියට තමන්ගේ ප්‍රදේශයේ විහාරස්ථාන ගොඩනගලත් තිබුණා. භික්ෂූන් වහන්සේලාට සිවුපසයෙන් උපස්ථාන කළා. ඒ නිසයි එතුමා නියම ජනතා නායකයෙක් වුණේ. මානව හිමිකම් රකින ජනතාවාදී නායකයෙක් වුණේ.
මිත්‍රවරුනි, තොණ්ඩමන් හැමදාමත් තමන්ගේ වතුකර ජනතාවට කිව්වේ අපේ මිනිස්සු කියලා. එතුමා වතු දෙමළ කියන වචනය පාවිච්චි කළේ නැති තරම්. එතුමා හැම තිස්සෙම කිව්වේ අපේ මිනිස්සුන්ට සේවය කරන්න ඕන කියලයි. ඒ නිසා අපි හැමෝටම ආරුමුගම් තොණ්ඩමනුත් අපේම මිනිහෙක්. සැබෑ ජනතාවාදී නායකයෙක්.
අපේ මිත්‍රයාට අපි සංවේගයෙන් යුතුව සමුදෙමු.










