පැවැති ආණ්ඩු විසින් අවස්ථා කිහිපයකදීම කල්දැමූ පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට මැතිවරණ කොමිසම සියලු කටයුතු සූදානම් කිරීමත් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව රජයද ඒ සඳහා මේ දිනවල සූදානම් වෙමින් පවතින බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ අනුව, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති වත්මන් රජයේ මුල්ම කැබිනට් මණ්ඩල රැස්වීමේදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සිදුව ඇති බව දැනගන්නට ඇත.
එහිදී මේ වනවිට මැතිවරණ කොමිසම වෙත භාරදී ඇති නාමයෝජනා මත පළාත් පාලන මැතිවරණය නොපවත්වා ඒ සඳහා අලුතෙන් නාමයෝජනා කැඳවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව පැවැසේ.
ඒ අනුව, ඉදිරියේදී පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කොට පළාත් පාලන මැතිවරණය සඳහා අලුතෙන් නාමයෝජනා කැඳවීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.
පළාත් පාලන මැතිවරණය ඉකුත් 2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබුණද කොරෝනා අර්බුදය හේතුවෙන් එය වසරකින් කල් දැමීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය.
ඉන් අනතුරුව බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා මුදල් නොමැති බව කියමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම කල්දැමීය.
පසුව විපක්ෂය ඇතුළු පාර්ශ්ව ගණනාවක් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමෙන් අනතුරුව අධිකරණය තීන්දු කළේ වහාම පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන් කරන ලෙසටය.
ඒ අනුව, ලබන වසර මුලදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කොට ඇත.










