බුදුරජාණන් වහන්සේ ලංකාවට තුන් වරක් වැඩම කළ බව මෙරට ජනතාව දුරාතීතයේ පටන්ම විශ්වාස කරන මතයකි. උන්වහන්සේ එසේ ලංකාවට වැඩම කළ බව දැක්වෙන විවිධ සාක්ෂි ඇතුළත් පුදබිම් රාශියක්ද මෙරට බෞද්ධයන්ගේ වන්දනාවට නිරන්තරව පාත්‍ර වෙයි. එහෙත් බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කර නොමැති බවත්, එම මතය කිසිදු පුරාවිද්‍යාඥයකු විසින් තහවුරු කර නොමැති බවත් පූජ්‍ය කැකිරාවේ සුදස්සන ස්වාමින්වහන්සේ පවසනවා.
පහත පළවන්නේ බුදුරජාණන්වහන්සේ කිසිදු දිනෙක ලංකාවට වැඩමකර නොමැති බවට වන මතය ‘චරණ ටී.වී.’ රූපවාහිනී නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකදී සුදස්සන ස්වාමින්වහන්සේ ප්‍රකශ කළ ආකාරයයි. (Sri Lanka Latest News)
මාධ්‍යවේදිනිය
ඔබවහන්සේ කියනවා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ නැහැ කියලා. ඒ ගැන කොහොමද පැහැදිලි කරන්නේ?
පූජ්‍ය සුදස්සන හිමි
බුදුහාමුදුරුවෝ ලංකාවට තුන්වරක් ආවාය කියන කාරණාව පුරාවිද්‍යාත්මකව සනාථ වෙච්ච එකක් නෙවෙයි. ඉන්දීය මූලාශ්‍රයක කියන්නෙත් නෑ. අපි යථාර්ථයත් එක්ක කතා කරන්න ඕනේ. ඇත්තටම කියනවා නම් මහාවංශය සහ ලංකාවේ ලියැවිච්ච සාහිත්‍ය කෘති ටික තමයි කියන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට ආවාය කියන කාරණාව. හැබැයි මම විශ්වාස කරනවා බුදුහාමුදුරුවෝ ලංකාවට ආවේ නැහැයි කියලා.
බුදුහාමුදුරුවෝ කිව්වනේ කාලාම සූත්‍රයේදී යමක් විශ්වාස කරනවා නම්, පොතක තිබුණා කියලා හෝ කවුරු හරි කිව්වා කියලා හෝ විශ්වාස කරන්න එපා කියලා. අපිට විමර්ශනාත්මක සාක්ෂි ලැබෙන්න ඕනේ. හැබැයි ලංකාවේ කිසිම පුරාවිද්‍යා නිලධාරියෙක් ඒ කතාව කියන්නේ නැහැ. ඕනෙම දෙයක් ඉතිහාසයේ අධ්‍යයනය කරන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් පුරාවිද්‍යා මූලාශ්‍ර. අනෙක් එක සාහිත්‍ය මූලාශ්‍ර. අපිට චූන් එකේ ඉන්න පුළුවන් බුදුහාමුදුරුවෝ ලංකාවට ආවා කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ ලංකාවට ආවේ නෑ.
මාධ්‍යවේදිනිය
හාමුදුරුවනේ ලංකාව පුරාම ශ්‍රීපාදස්ථානය, කැලණිය වගේ පූජනීය ස්ථානවල බුදුරජාණන් වහන්සේගේ පැමිණීම සම්බන්ධව විවිධ නෂ්ටාවශේෂ තියෙනවා. මේ සියලු දේවල් තියෙද්දී ඒ වගේ දෙයක් කියන එක අසාධාරණයි කියලා ඔබවහන්සේට හිතෙන්නේ නැද්ද?
පූජ්‍ය සුදස්සන හිමි
නිර්මාණයන් කියන දේවල් කරන්න පුළුවන්. අපි බලන්න ඕනේ ඒවායේ නිරීක්ෂණයන් කොච්චර පැරැණිද කියන කාරණාව. ශ්‍රීපාදය සම්බන්ධයෙන් විශ්වාස තුනක් තියෙනවා. මුස්ලිම් අයගේ වෙනම විශ්වාසයක් තියෙනවා. කතෝලික අයගේ තවත් විශ්වාසයක් තියෙනවා. බෞද්ධයෝ හිතනවා එතැන ශ්‍රීපතුල තියෙනවා කියලා. මම කියනවා බුදුහාමුදුරුවන්ගේ රූපකායම ලංකාවේ වරද්දගෙන තියෙන්නේ. උදාහරණයක් විදියට අපි පිළිමවලින් දකින බුදුහාමුදුරුවෝ නෙවෙයි ත්‍රිපිටකයේ ඇත්ත බුදුහාමුදුරුවෝ. හේමවත සූත්‍රයේ කියනවා
‘ඒණිජංඝං කිසං වීරං – අප්පාහාරං අලෝලුපං – මුනිං වනස්මිං ඣායන්තං – ඒහි පස්සාම ගෝතමං’ කියලා. ඒකේදී සාතාගිර යක්ෂයා හේමවත යක්ෂයාට බුදුහාමුදුරුවන්ගේ රූපකාය පැහැදිලි කරනවා. ඒණිජංඝං කිසං වීරං – අප්පාහාරං අලෝලුපං කියන පාඨයෙන් කියන්නේ කෘශ ශරීරයක් ඇති, මුවෙකුගේ බඳු කෙණ්ඩා ඇති, අල්පාහාර වූ වනයේ ධ්‍යාන වඩන මුනිවරයා දකින්න යමු කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙට්ටු, ප්‍රභාශ්වරත්වයක් තිබ්බ මනුෂ්‍යයෙක්. ඒ හැඳින්වීම සිද්ධාර්ථ බුද්ධ චරිතය බලපුවාමත් ගැළපෙන බව පේනවා. මොකද අවුරුදු 6ක් දුෂ්කරක්‍රියාවක් කරපු මනුස්සයෙක්. ඊට පස්සේ ආහාර ගන්න පටන්ගත්තත් බුද්ධත්වයෙන් පස්සේ උන්වහන්සේ එක වේලක් වැලඳූ බව තමයි කියන්නේ. නමුත් අපේ රටේ තියෙන බුදුපිළිම ජෛන ප්‍රතිමාවලට සමානයි. ජෛන මහාවීරගේ පින්තූරයක් අන්තර්ජාලයෙන් හොයාගෙන බලන්න. ඒවායෙත් අපේ බුදු හාමුදුරුවන්ගේ වගේම ඌර්ණ රෝමධාතුවක් තියෙන රූප තමයි දකින්න ලැබෙන්නේ.
ලංකාවට බුදුදහම එන්න කලිනුත් ජෛන දහම ලංකාවට ඇවිල්ලා තිබුණේ. ඓතිහාසික මූලාශ්‍ර බලපුවාම පණ්ඩුකාභය රජ්ජුරුවෝ ජෛනාරාම කෙරෙව්වා කියන කාරණාව වංශකතාවල සඳහන් වෙනවා. අභයගිරිය හැදුවෙත් එතැන තිබුණු ගිරි කියන නිගණ්ඨයාගේ ජෛනාරාමය බිඳලා කියලා කියනවනේ. එතකොට ලංකාවේ පරිබ්‍රාජකයෝ ඉඳලා තියෙනවා. ඒකනේ භද්දකච්චායනා ලංකාවට අරගෙන එද්දී පරිබ්‍රාජක වෙස්ගන්වලා ගෙනාවා කියලා කියන්නේ. ලෝකයේ ශුද්ධ ග්‍රන්ථ අධ්‍යයනය කරද්දී පිළිගත් ශාස්ත්‍රීය ක්‍රම 5ක් තියෙනවා. ඒ ශුද්ධ ග්‍රන්ථය බිහිවෙච්ච සමාජය, සංස්කෘතිය, දේශපාලනය, අර්ථිකය, භූගෝලීය සාධක කියන කරුණු පහ. මේ සාධක එක්ක තමයි ශුද්ධ ග්‍රන්ථ අධ්‍යයනය කරන්නේ. එතකොට තමයි ඒක ලිහාගන්න පුළුවන් වෙන්නේ. ඇත්ත මොකක්ද, බොරුව මොකක්ද කියන කාරණාව.
ථේරවාදය කියන එකත් බිහිවුණේ පස්සේ. මුලින් එහෙම දෙයක් තිබුණේ නැහැ. උදාහරණයක් විදියට අශෝකගේ 3 වැනි ධර්ම සංඝායනාවෙන් පස්සේ තමයි ස්ථවිරවාදය කියන එක ඇතිවුණේ. නරිනාක්ෂි දත්ගේ ‘ඉන්දියාවේ බෞද්ධ නිකායන්’ කියලා පර්යේෂණ කෘතියක් තියෙනවා. ඒක නිකායාන්තර බෙදීම සම්බන්ධව හොඳම විග්‍රහයක් තියෙන පර්යේෂණ කෘතියක්.
ථේරවාදීන්ගේ අනුග්‍රාහක රජවරු තුන්දෙනෙක් හිටියානේ. අජාසත්ත, කාලාශෝක සහ ධර්මාශෝක කියලා. ඒ වගේම මහායාන බුදුදහම ප්‍රවර්ධනය කරපු රජ්ජුරුවෝ තමයි කුෂාන පෙළපතේ ශ්‍රේෂ්ඨතම පාලකයා වෙච්ච කනිෂ්ක කියන අධිරාජ්‍යයාගේ සමයේ තමයි වසුමිත්‍ර, කාර්ශව සහ අශ්වඝෝෂ. බුද්ධ චරිතයක්වත් අපිට තිබුණේ නැහැනේ. නමුත් පරිපූර්ණ බුද්ධ චරිතයක් ලියපු හාමුදුරුවෝ තමයි මහායාන අශ්වඝෝෂ හාමුදුරුවෝ. ථේරවාදීන්ට අදටත් බුද්ධ චරිතයක් නෑ. ථේරවාදීන්ට බුද්ධ චරිතයක් ලිව්වේ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ. එහෙම නැතුව පාලියෙන් ලියවෙච්ච සර්වසම්පූර්ණ බුද්ධ චරිතයක් නෑ. හැබැයි මහායානිකයෝ බුද්ධ චරිතය ගොඩනැගුවා. ලලිත විස්තරය සහ අශ්වඝෝෂ පාදයන්ගේ බුද්ධ චරිත මහාකාව්‍යය. ඒ කනිෂ්ක රජ්ජුරුවොත් ධර්මාශෝක වගේම මහායාන බුද්ධ ධර්මය ප්‍රවර්ධනය කරන්න දූතයෝ පිටත් කරලා හැරියා. එතැනින් තමයි ස්ථිරවම මහායාන කියලා නාමය ආවේ. අපිව හැඳින්වූවේ හීනයානිකයෝ කියලා. පනස් ගණන්වලවල්පොල රාහුල හාමුදුරුවෝ, ගුණපාල මලලසේකර, කේ.එන්. ජයතිලක වගේ විද්වතුන් කරුණු දක්වලා තමයි ථේරවාදීන් කියලා අපිව හඳුන්වන්න කියලා කිව්වේ. එහෙම නැත්නම් අපිව හැඳින්නුවේ හීනයානිකයෝ කියලා.
මහායාන ධර්මයේ කියන ප්‍රධානම දෙයක් තමයි නිවන් දකින්න ඕනේ නම් බුදුවෙන්න අවශ්‍යයි කියන එක. ඒ කාලේ ඇතිවෙච්ච හින්දු බලපෑමත් එක්ක ඒගොල්ලන්ට සිද්ධ වුණා බුදුහාමුදුරුවෝ උත්තරීතර මනුස්සයෙක් හැටියට ගොඩනගන්න. ඒ කියන්නේ වයසට යන්නේ නැති, ඉන්ද්‍රජාලික බලයක් සහිත, අතිමානුෂීය, මහා බලවත් චරිතයක් බවට පත්කරන්න. ඒ අනුව බුදුහාමුදුරුවෝ සර්වකාලීන, සර්වව්‍යාපී මට්ටමට පත්කළා. ඒ, හින්දු දහමට ප්‍රතිවිරෝධයක් දක්වන්න ඕනේ නිසා. හැබැයි ථේරවාදී පාර්ශ්වයේ තියෙන විශ්වාසය ජාති ජරා ව්‍යාධි මරණවලට පත්වෙන බුදු කෙනෙක්.
ලංකාවෙත් මහායාන ධර්ම පුස්තක සහ නිකාය පාර්ශ්වයන් සම්බන්ධව අධ්‍යයනයට ලක්වෙච්ච ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය තමයි අභයගිරිය කියලා කියන්නේ. මහාවිහාරය කියලා කියන්නේ සාම්ප්‍රදායික ථේරවාදී මූලස්ථානයක්. මේ දෙක අතර ගැටුම් තිබුණා. නාගරික සමාජයට ආමන්ත්‍රණය කරපු පාර්ශ්වය තමයි අභයගිරි පාර්ශ්වය කියලා කියන්නේ. හැබැයි පොළොන්නරු රාජධානිය බිඳවැටුණාට පස්සේ ආදිකල්පිත ඝට්ටනයක් තියෙනවා ලංකාවේ. ලංකාවේ දාර්ශනික බුද්ධාගම අභයගිරිය බිඳවැටීමත් එක්ක ඉවර වුණා. දැන් ඉතින් අපි නඩත්තු කරගෙන යන්නේ පරණ මැජික් කතා ටිකක් සහිත බුද්ධාගමක්.
විවිධ කාලවලදී දානයේ එහෙම අඩුපාඩු ආවා. ඒ වෙලාවෙදී මැජික් කතා ගෙනාවා. පූජාවලිය වගේ කෘතියකට කියන්නේ ‘දන් කෙක්ක’ කියලා. ඒ බුද්ධාගම තමයි අපි ප්‍රවර්ධනය කරගෙන ආවේ. හැබැයි පනස් ගණන් කියන්නේ ලංකාවේ ථේරවාදී බුද්ධ ධර්මයත් ප්‍රවර්ධිත මට්ටමට අරගෙන එන්න පුළුවන් මහා ශ්‍රේෂ්ඨයෝ පහළවෙච්ච යුගයක්. 1884 විද්‍යෝදය, විද්‍යාලංකාර පිරිවෙන් බිහිවීම සහ වල්පොළ රාහුල වගේ ස්වාමින්වහන්සේලා බිහිවීමත් එක්ක බුද්ධ ධර්මය කියන එක ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් මට්ටමකට වර්ධනය වුණා. ලෝක විශ්වවිද්‍යාලවල බෞද්ධ අධ්‍යයන අංශ ආරම්භ වෙන්න හේතු වෙච්ච සහ ඒ සඳහා පසුබිම සකසපු හාමුදුරු කෙනෙක් තමයි වල්පොළ හාමුදුරුවෝ. ඒ දාර්ශනික බුද්ධාගම 1970න් පස්සේ ඉවර වුණා. ඊට පස්සේ තමයි බෝධි පූජා සහ එක එක බිස්නස් මොඩලයක් දක්වා බුද්ධාගම වර්ධනය වෙන්න පටන්ගත්තේ. දැන් ලංකාවේ තියෙන්නේ හඳුන්කූරු බුද්ධාගමක්. දාර්ශනික බුද්ධාගමක් කියන එකක් නෑ. දාර්ශනික බුදුදහම කතාකරන අය ඉන්නේ අතළොස්සක් විතරයි.
Modern හාමුදුරුවෝ යූටියුබ් නාලිකාවෙනි










