‘ඇමෙරිකා එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් ශ්‍රී ලංකාවේ ‘ආරුගම් බේ’ (ආරුගම් බොක්ක) ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කරන ලදී. එක්සත් ජනපද සහ ඉන්දියානු ඔත්තු සේවාවන් දෙකම පසුවිපරම් ක්‍රියාමාර්ග සඳහා ඔවුන්ගේ ශ්‍රී ලංකා සගයන්ට තර්ජනය සන්නිවේදනය කළහ. ඉරාකයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයකු සහ මාලදිවයින් අන්තවාදියකු විසින් ආරුගම් බේ ඉලක්ක කරගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කළ බවට එල්ලවී ඇති තර්ජනය විශ්වාසදායකය. ඔවුන් ඉලක්ක ගත් ස්ථානය නිරීක්ෂණය කළ අතර, ඊශ්‍රායල ජාතිකයන් ඇතුළු බටහිර ජාතිකයන් මරාදැමීම සඳහා පුපුරන ද්‍රව්‍ය ගෙන යෑමට සැලසුම් කළහ. මෙහිදී ආසන්නතම තර්ජනය උදාසීන කර ඇත. රැඩිකල්කරණයේ තර්ජනය ශ්‍රී ලංකාවේ රජය සහ පුරවැසියන් විසින් බැරෑරුම් ලෙස අවධානයට ගත යුතුය. සෙසු පුරවැසියන්ට ආදරය කරන ශ්‍රී ලාංකේය ප්‍රජාවක් ගොඩනැගීමට රජය විසින් පියවර ගත යුතුය.’
කුමක්ද මෙලෙස ඇසෙන කතාන්දරය? රට තුළ පසුගියදා උද්ගත වූ යම් ආරක්ෂක වටපිටාවක් ගැන මෙම වතගොත අසන්නට ලැබිණි. එනම් මෙයට දින කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකාවේ ‘ආරුගම් බේ’ සංචාරක කලාපය ආශ්‍රිත කරගෙන සිදුවූ යම් ත්‍රස්ත තර්ජනයක් එසේ විස්තර කරන්නට විය. මෙම ආරක්ෂක විශ්ලේෂණය සිදුකර සිටින්නේ කවරකු විසින්ද? මෙම සුවිශේෂ විග්‍රහය සිදුකරනු ලබන්නේ ගෝලීය ආරක්ෂක පරිසරයේ තර්ජන විශේෂඥයකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා විසිනි. මහාචාර්ය ගුණරත්න යනු ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් වසර 30කට වැඩි අධ්‍යයන, ප්‍රතිපත්ති සහ මෙහෙයුම් පළපුරුද්දක් ඇති විද්වතෙකි. මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා සිංගප්පූරුවේ නැන්යැන්ග් විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරයකු වෙයි. ඔහු එංගලන්තයේ සහ ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල දෙකකින් ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි හිමිකරගෙන ඇත. ආරක්ෂක සහ ත්‍රස්ත ව්‍යාපාර විෂයට අදාළ ග්‍රන්ථ 20ක් පමණ සම්පාදනය කර ඇති මහාචාර්ය ගුණරත්න, පසුගියදා ශ්‍රී ලංකාවට අදාළව සිදුකෙරුණු ත්‍රස්ත තර්ජනය පසුබිම් කරගෙන විශ්ලේෂණයක් සිදු කළේය. ප්‍රකට ඉංග්‍රීසි පුවත්පතක පළකෙරුණු මෙම විශ්ලේෂණය සිංහල බසින් අරුත් ගැන්වීම මෙහිදී සිදුකෙරෙයි. ‘ශ්‍රී ලංකාවට එරෙහිව අලුත් වී ඇති ත්‍රස්තවාදී තර්ජනය කළමනාකරණය කරන්නේ කෙසේද?’ (How to manage the renewed terrorist threat to Sri Lanka) යන ඉංග්‍රීසි මාතෘකාව යටතේ එය ලියැවෙයි. (Sri Lanka Latest News)
‘රැඩිකල්කරණයේ තර්ජනය ශ්‍රී ලංකාවේ රජය සහ පුරවැසියන් තේරුම්ගත යුතුයි. එසේ නොවුණහොත් ත්‍රස්තවාදී ආයතන පරාසයක් එනම් අල්කයිඩා, ඉස්ලාමීය රාජ්‍ය, හමාස්, හිස්බුල්ලා සහ තවත් සංවිධාන ගණනාවකම තර්ජනයන්ට ලක්විය හැකිය. මොවුන් සිදුකිරීමට සැලසුම් කරනු ලබන ප්‍රහාරයන්ට ශ්‍රී ලංකාව ලක්විය හැකිය. එම මෙහෙයුම් සඳහා ශ්‍රී ලාංකිකයන් මෙන්ම විදේශ රටවල සිටින අනෙකුත් අනුගාමිකයන්ද සම්බන්ධ කරගත හැකිය. එම මෙහෙයුම් ප්‍රහාරයන් ලෙසට අර්ථකථනය කළ හැකිය. මෙහිදී රජයේ ප්‍රවේශය විය යුත්තේ රැඩිකල්කරණයට සහ විශේෂයෙන්ම විදේශීය මතවාදයන්ට සහ විදේශ අරමුදල්වලටද ඔරොත්තු දෙන ප්‍රජාවක් ගොඩනැගීමයි. මෙම තර්ජනයන්ට මුහුණ දීමට නොහැකි වූ විට ආරක්ෂක තත්ත්වය බිඳෙනසුලු වනු ඇත. ලොව පුරා සිටින බොහෝ මුස්ලිම් ප්‍රජාවන් මෙන්ම ශ්‍රී ලංකාව තුළද ඔවුහු ප්‍රධාන ධාරාවක් වී සිටිති. නමුත් ආගමික අන්තවාදීන්ගේ බලපෑමට ලක්වූ සහ ආගමික උමතුවෙන් මෙහෙයවනු ලැබූ ඉතා කුඩා ප්‍රතිශතයක් පමණක් සෑම ඇදහිල්ලකටම පොදු වෙයි. ඉස්ලාමයද දේශපාලන හේතු මත වැරැදි ලෙස අර්ථකථනය කර, රැඩිකල් දේශපාලකයන් විසින් හසුරුවනු ලැබේ. මුස්ලිම් රැඩිකල්කරණය යනු ගෝලීය, කලාපීය සහ ජාතික අභියෝගයක් වන අතර, එය ආමන්ත්‍රණය කළ යුතුය. මැදපෙරදිග වර්ධනයන් සහ ඊශ්‍රායලයේ ප්‍රතිචාරයද සලකා බලනවිට තර්ජනය ක්ෂණිකව හෝ කාලීනව හෝ පහව යන්නේ නැත. එහෙත් තර්ජන අවම කිරීම සඳහා ලොව පුරා රජයන් මුස්ලිම් හවුල්කරුවන් සමග කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකාවද එහිදී හැරදමන ලද්දක් නොවේ….’
මහාචාර්ය රොහාන් ගුණරත්න තමාගේ විශ්ලේෂණය සහ විග්‍රහය තවදුරටත් මෙසේ සිදුකරයි.
‘ත්‍රස්තවාදය, ප්‍රචණ්ඩත්වය, අන්තවාදය සහ සුවිශේෂත්වවාදය කළමනාකරණය කිරීම රජයේ සහ ප්‍රජා නායකයන්ගේ ඉහළම ජාතික ආරක්ෂක වගකීමයි. එහිදී පුරවැසියන්ගේ සහ අමුත්තන්ගේ ජීවිත සහ දේපළ මරණයෙන් හා විනාශයෙන් ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍යය. මුස්ලිම් රැඩිකල්කරණය හඳුනා ගැනීමට සහ කඩාකප්පල් කිරීමට ශ්‍රී ලංකා රජයන්ට සහ මුස්ලිම් ප්‍රජා නායකයන්ට තර්ජන ආමන්ත්‍රණය කිරීම වඩා හොඳින් සිදුකළ හැකිය. 2019 අප්‍රේල් 21 වැනි දින ඉස්ලාමීය රාජ්‍ය ශ්‍රී ලංකා ශාඛාව විසින් එල්ල කරන ලද විනාශකාරී ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මෙරට තුළ රැඩිකල්කරණය සිදුවෙමින් පවතී. ශ්‍රී ලංකා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන නිදහස් කරන ලද ශ්‍රී ලාංකිකයන් 2000කට ආසන්න පිරිසක් පුනරුත්ථාපනය කිරීමක්ද නැත. රජය මෙසේ පුනරුත්ථාපනය සිදු නොකරන්නේ නම් අන්තවාදීන් තවදුරටත් ඔවුන්ගේ දුෂ්ට මතවාදය සමාජයෙන් දිගටම පතුරුවා හරිමින් විනාශකාරී ආසාදනයන් සිදුකරනු ඇතිය. ඔවුන් වීරයන් ලෙස හුවාදක්වනු ඇතිය.’
ආරක්ෂාව සහ ගැටුම් කළමනාකරණය පිළිබඳ මනා පරිචයක් ඇති මෙම මහාචාර්යවරයා විසින් මෙරට පාලනය කරන ලද ජනාධිපතිවරුන් තිදෙනකු ගැනද තම ලිපියෙහි සඳහන් කර ඇත. ඔවුන් මෙම අර්බුදයට අදාළව තම මෙහෙවර ඉටු නොකළ ආකාරය ඔහු විග්‍රහ කරයි.
‘මෙතරම් ඛේදවාචකයක් රට තුළ තිබියදීත්, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරුන් විසින් ත්‍රස්තවාදයේ පූර්වගාමීන් වන සුවිශේෂවාදය සහ අන්තවාදය වැළැක්වීමට සහ ප්‍රතිරෝධය දැක්වීමට අසමත් විය. ඒ හා සමානවම බොහෝ මුස්ලිම් ආගමික සහ ප්‍රජා නායකයන්ද ව්‍යාජ කුමන්ත්‍රණ න්‍යායන්ට දායක විය. රැඩිකල්කරණයේ ප්‍රතිලෝම ලෙස පුනරුත්ථාපනය කිරීමේ උත්සාහයන් කඩාකප්පල් කිරීමට ඇතැම්හු නඩු ගොනු කළහ. හම්බන්තොට, නුවරඑළිය, අරුප්පොල සහ කාත්තන්කුඩි යන ප්‍රදේශවල පුහුණුව ලැබූ සහරාන්ගේ අනුගාමිකයන්ගේ විකෘති චින්තනය නිවැරැදි කිරීමට ප්‍රජා නායකයන් විසින් ප්‍රජා සම්බන්ධීකරණ වැඩසටහන් හෝ ආගමික පුනරුත්ථාපන වැඩසටහන් සකස් කළේ නැත. ඒ වෙනුවට ශ්‍රී ලංකාව ආරක්ෂා කළ ආරක්ෂක අංශවලට සහ බුද්ධි අංශවලට දොස් පවරමින් ඔවුහු ලැජ්ජාසහගත ලෙස කාලය හා සම්පත් වැය කළහ.’
මෙම ලේඛකයා විසින් විවිධ අනු විෂයන් කිහිපයක් හරහා තම විශ්ලේෂණය සිදුකරන ආකාරය දැකිය හැකිය. එය කුමක්දැයි සොයා බලමු.
★ අභියෝග සොයා බැලීම
පාස්කු ඉරුදින සමූල ඝාතනය සිදුකළ සහරාන්ගේ අනුගාමිකයන් දෙස නැවත බැලීම අවශ්‍ය වේ. පසුගියදා ඉන්දියාවේ ගුජරාටයේ ප්‍රහාරයක් එල්ල කිරීමට සහරාන්ගේ අනුගාමිකයන් විසින් දියත් කරන ලද කුමන්ත්‍රණයකට ඉන්දීය බලධාරීන් බාධා කළද ශ්‍රී ලංකා බලධාරීහු එය ප්‍රතික්ෂේප කරමින් ජීවත් වෙති. 2024 මැයි 19 වැනි දින ඉන්දියාවට පැමිණි ශ්‍රී ලාංකික ප්‍රහාරකයන් හතර දෙනාට ඉන්දියාවේ ‘ඉස්ලාමික රාජ්‍ය’ කණ්ඩායම් සහාය දැක්වීය. ඉන්දීය විමර්ශකයන්ගේ ඉල්ලීම පරිදි ඉන්දියාව විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබූ අතර, ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිසිය විසින් මහමොළකරු අත්අඩංගුවට ගෙන පිටුවහල් කරන ලෙසට රතු නිවේදනයක් නිකුත් කර ඇත. මෙලෙස තර්ජනය පුනරාවර්තනය වන්නේ තර්ජනය විසුරුවා හැරීම හෝ පුළුල් ලෙස ආමන්ත්‍රණය නොකළ බැවිනි.
★ මානසිකත්වය වෙනස් කිරීම
අද වත්මන් ආණ්ඩුවේ චින්තනය පාස්කු ප්‍රහාරයට පෙර කාලයේ බලයේ සිටි ආණ්ඩුවට සමානද? 2015 ජනවාරි සිට 2019 අප්‍රේල් දක්වා බුද්ධි වාර්තා 337ක්, සහරාන් හා මුස්ලිම් රැඩිකල්කරණය සහ අයි.එස්.අයි.එස්. අදාළව සඳහන් කර ඇත. කරුණු දැක්වීමෙන් පසු විස්තර කළද අනතුරු ඇඟවීමෙන් අනතුරු ඇඟවුවද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස ත්‍රස්තවාදී පාලනය බිඳදැමීමට දැඩි ලෙස ක්‍රියා කළේ නැත. වෛරය සහ ක්‍රෝධය පතුරුවන සුවිශේෂ සහ අන්තවාදී යටිතල ව්‍යුහය තවමත් නොනැසී පවතී. එවක සිටි ප්‍රධාන ඔත්තු සේවයක ප්‍රධානියා විසින් තර්ජනය ගැන ආරක්ෂක කවුන්සිලයට දැනුම් දුන් විට මුස්ලිම් ඡන්දවලින් ක්‍රියා කරන ශ්‍රී ලංකා දේශපාලන නායකයෙක් පැවැසුවේ ‘ශ්‍රී ලංකාවේ මුස්ලිම් රැඩිකල්කරණයක් සිදුවී නොමැති’ බවයි. ප්‍රජාවක් ලෙස මුස්ලිම්වරුන් රැඩිකල්කරණය වී නැති නමුත් රැඩිකල්කරණයේ නිසි ස්ථාන හඳුනාගෙන ආමන්ත්‍රණය නොකළහොත් එහි පැතිරීම උග්‍ර වනු ඇතිය.
★ ඉදිරි මග කුමක් විය යුතුද?
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට වත්මන් රජය සිය නායකත්වය දැනුවත් කළ යුතුය. රාජ්‍ය නායකත්වය රැඩිකල්කරණයේ තර්ජනය මහජනතාවට ඵලදායී ලෙස සන්නිවේදනය කළ යුතු අතර, එය විසඳීමට මුස්ලිම් නායකයන් කැඳවිය යුතුය. තර්ජනය පැහැදිලි කිරීම සඳහා රජය විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමේ වාර්තා නිකුත් කළ යුතු අතර, තවත් ප්‍රහාරයක තර්ජනය මහජනතාවට ඒත්තු ගැන්විය යුතුය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රැස්වීමක් කැඳවා දේශපාලන නායකයන්ට උපදෙස් දිය යුත්තේ පාස්කු සමූල ඝාතනය සම්බන්ධයෙන් දේශපාලනය කිරීම නවත්වන ලෙසයි. තිබෙන අඩුපාඩු පුළුල්ව විමර්ශනය කළ යුතුය. ප්‍රහාරයේ විවිධ පැතිකඩ විමර්ශනය කළ විනිසුරුවරුන් විශ්වසනීය වන අතර, ඔවුන්ගේ සොයාගැනීම් ඉතා අගනේය. යමෙක් අධිකරණයට අපහාස කරන්නේ නම් ඒ ගැන සොයාබලා නඩු පැවරීම කළ යුතුය. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ප්‍රවේශයක් ගොඩනැගිය යුතුය. SIS බුද්ධි පනත හෝ ජාතික ආර්ක්ෂක පනත් කෙටුම්පත සම්මත කර නීතියක් බවට පත්කර නැත. එය ඉටුකළ යුතුය.
★ අවසන් නිගමනය කුමක්ද?
ශ්‍රී ලංකාවට තවත් ප්‍රහාරයක් එල්ල වුවහොත් ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරයට අනාරක්ෂිත ගමනාන්තයක් ලෙසට ශ්‍රී ලංකාව සදහටම කිලිටි වනු ඇත. සංචාරක ව්‍යාපාරය නැවත පණගැන්වීමට වසර ගණනාවක් ගතවනු ඇතිය.

ප්‍රියන්ත හෙට්ටිගේ











