මගේ මාධ්‍ය ජීවිතය 59 වසරක් තිස්සේ 1974 සිට අතීත දශක කීපයක එකතුවක් තුළින් ඉදිරියට දිව යන්නකි. අද මෙන් එදා මෙතරම් මාධ්‍ය ක්ෂේත්‍රය ප්‍රසාරණය වී තිබුණේද නැත. 1974 වසරේ මාධ්‍ය ක්ෂේත්‍රයේ මහජනයාගේ පෙරගමන්කරුවන් මෙන්ම බලටපත් පත්වන රජයන් බිඳදැමීමට මහජන බලය උස්සා තැබුවේද මුද්‍රිත මාධ්‍යයන් පමණි. ඒ පෙරගමන්කරුවන් තිදෙනා වූයේ ලේකහවුස්, ලංකාදීප සහ දවස පුවත්පත් ආයතන ජනතාව සමීපයෙන් සිටියේය. එම වසරේ එවක ටයිම්ස් ආයතනය පළකළ දිනපතා සහ ඉරිදා ලංකාදීප පුවත්පත්වල අත්තනගල්ල වාර්තාකරු ලෙස මා වසරක් සේවය කර ඉන් පසු කර්තෘ මණ්ඩලයට එක්වූයේද ස්වාධීන ලේඛකයකු ලෙසයි. (Sri Lanka Latest News)
1977 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිමාවෝ බණ්ඩාරනායක රජය වසර 05ක් තිස්සේ මුද්‍රා තබා තිබූ ‘දවස’ පුවත්පත් ආයතනය අදාළ වසරේ මැතිවරණය ප්‍රකාශයට පත්වෙද්දී මුද්‍රා ගැළවී ගියේය. එම ආයතනයේ මාණ්ඩලික වාර්තාකරු ලෙස සේවයට එක්ව ප්‍රවෘත්ති කර්තෘ ධුරය දක්වා යන තුරුම ‘දවස’ ‘රිවිරැස’ පත්තරවල පොලිසියේ පෙරළි මෙන්ම විවිධ සැඟවුණු අපරාධ ජනතාව ඉදිරියට ගෙන යෑමටත් දේශපාලකයන්ගේ රහස් ගෙන තොරතුරු ගෙන ඒමටත් පෑන මෙහෙයවීමට මට හැකියාව ලැබිණි.
1975 සිට 1977 දක්වා කාලය තුළ රට කරවූ සිරිමාවෝ බණ්ඩාරනායක රජය කාලයේ ලංගම බස් ධාවනය රට පුරා දිනෙන් දින පිරිහීමකට පත්වී ජනතාවට පැය ගණන් මහමග රස්තියාදු වීමට සිදුවිය. එම රජය ලංගම රැකියා දෙන මණ්ඩලයක් බවට පත්කළා මිස බස් ඇණිය දියුණු කිරීමට ගත් පියවරක් නැති තරම්ය. ලංගම සතුව බස් රථ 12,000ක් පැවැති නමුදු දිනපතා ධාවනයට යෙදුණේ 7,500කටත් අඩු ප්‍රමාණයකි.
1976 අවසානයේ පැවැති මහ මැතිවරණයේදී ඒ වනවිට ජනතාව අතර අන්ත අප්‍රසාදයට පත්ව තිබූ සිරිමා රජය පරදා ජේ.ආර්. ජයවර්ධනගේ එජාපය බලයට පත්කළේ තුනෙන් දෙකකටත් වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකිනි. ඒ සඳහා මහජන පත්තරය ලබාදුන්නේද ‘දවස’ ‘රිවිරැස’ ‘සන්’ ‘වීක්එන්ඩ්’ පත්තර සමූහයයි. අලුත් රජය බලයට පත්වුවද ලංගමයේ පිරිවීම ඒ ලෙසම දිග්ගැහෙමින් තිබිණි. ඒ නිසාම දුක් විඳි මගී ජනතාව මෙන්ම පාසල් සිසුන් ප්‍රමාණයද අපමණය. බස් හිඟය නිසා ඇතැම් දිනවල පාසල් යෑමට පාරට පැමිණි සිසුන් වැඩි දෙනා ආපසු හැරී ආවේය. 1970 දශකයේ රට කරවූ එවක ශ්‍රී ලංකා නිදහස පක්ෂ රජය ක්ෂණික දේශීය සංවර්ධන සැලසුම් ගෙන ඒමට විදේශ රටවලින් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය පවා තහනම් කර තිබිණි. ඒ වකවානුව හැඳින්වූයේ මිරිස් පොලු, හාල් පොලු වැටෙන සමයක් ලෙසයි. ඒවා ප්‍රවාහනය කිරීමට බලපත්‍ර ලබාගත යුතු වූවාක් මෙන්ම ඒවාට සීමාවන්ද පනවා තිබිණි. තරුණ යුවළකට මංගල ඇඳුම මිලදී ගැනීමට විවාහ සහතිකය රැගෙන සළුසලට යෑමටද සිදුවිණි. දේශපාලන පලිගැනීම් කොතරම්ද යත් ‘නිල් පාට නොවේ නම්’ ‘බලයේ සිටින පක්ෂයේ පාක්ෂිකයකු නොවේ නම්’ යළි අලුත් රජයක් පත්වන තුරා රජයේ රැකියාවකට යෑමටද වැට බැඳිණි. කොළ පාට නිල් පාට කළ දේශපාලන හෙංචයියන් අතමාරුවලටද ඒවා නොකළා නොවේ. බස් හිඟය නිසා මහජනයා දුක් විඳින ආකාරය ගැන රටේ සෑම ප්‍රදේශයකින්ම නැගෙන ජන දුකට සහනයක් ඉල්ලා ‘රිවිරැස’ ‘දවස’ කර්තෘවරුන්ගේ මේස මතට දිනපතා ගලා ආ ලිපි දහස් ගණනින් වැඩිවිය.
දිනක් මා කර්තෘ මණ්ඩලයේ ප්‍රවෘත්තියක් සොයමින් සිටියදී ‘රිවිරැස’ ප්‍රධාන කර්තෘ සිරිල් ඒ. සීලවිමල මහතාගෙන් හදිසි කැඳවීමක් ලැබිණි. මම වහාම ඔහුගේ කාමරය පිහිටි දෙවැනි මහලට ගියෙමි. ඒ යන විටත් ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ එච්.ඩබ්. අබේපාලද එහි විය. ‘රිවිරැස’ කතුවරයා නිතරම අපව ඇමතුවේ ‘මිත්‍රයා’ යන සුහද වචනයෙනි. ඔහු ආසන්නයට ගිය මට ඔහු පැවැසුවේ ‘මිත්‍රයා වැඩේ උග්‍රයි. මිනිස්සුන්ට වෙලාවට රැකියාවට යන්න ලංගම බස් නෑ. පාසල් යන ළමයින් බොහොමයක් දෙනාටත් ඒ ටිකමයි. ඒ අයට පිහිට වීමේ කාලය දැන් එළඹිලා. අපි ඒ ගැන හොයන්න පාරට බහිමු. ඒකට පාරට බහින්න අපේ අබේපාල මිත්‍රයා ළඟ තියෙන නවීන පන්නයේ පුංචි කැමරාය ඔය වැඩේට හොඳයි. එයත් ඔයා සමග ගිහින් ඒ වැඩේ කරලා දෙයි. හෙට ඉඳන් ඒ වැඩේට බහින්න….’ ‘රිවිරැස’ කතුවරයාගේ ඒ උපදෙස අනුව මමත්, අබේපාලත් පසු දින සවස් යාමයේ නාරාහේන්පිට මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට ඇතුළු වුණෙමු. එහි සිටි අප සමග මිත්‍ර රහසිගත මිත්‍රයකුගෙන් සංඛ්‍යාලේඛනද රැගෙන පිටතට පැමිණ ලංගම ලොක්කන්ගේ වායුසමීකරණය කළ කාමරවල ඡායාරූපද ලබාගත්තෙමු. එසේම කොළඹ බස් නැවතුම්පළවළ පොරකමින් සිටි මගීන්ගේ අදහස් විමසමින් එම අදහස් රහසිගතව පටිගත කරගත්තෙමු. එදා අප සිදුකළ එම බස් මෙහෙයුම 1978 දෙසැම්බර් 31 වැනිදා පළවූ ‘රිවිරැස’ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වශයෙන් පළවිය. ඒ පළවූයේ ‘බස් ලොක්කන්ට සීතල කාමර – මගී ජීවය මගට විනාසයි’ යන සිරස්තලයෙනි. එම පුවතත් සමග ඇතුළු පිටුවක බස් නැවතුම්පළවල මගීන් රස්තියාදු වන ආකාරය දැක්වෙන ඡායාරූපද පිටුවක් පිරෙන්නට පළවිය.
එදා පටන්ගත් බස් සටන සතියෙන් සතිය ලංකාවේ ප්‍රධාන නගර දක්වා රැගෙන ගියෙමු. ‘රිවිරැස’ පත්තරේ පිටු ගණන් ඡායාරූප සහිතව විස්තර පළකිරීමේ මෙහෙයුම එලෙස ක්‍රියාත්මක වෙද්දී තුනෙන් දෙකක බලයකින් ජනාධිපති ධුරයට පත්වූ ජේ.ආර් ජයවර්ධන කලබල වී ඒ ගැන තොරතුරු සොයන්නට විය. ඔහු මුලින්ම ඒ ගැන තොරතුරු විමසුවේ එවක ප්‍රවාහන ඇමැතිව සිටි එම්.එච්. මොහොමඩ්ගෙනි. පසුව තවත් ආ තවත් ආරංචියකින් කියැවුණේ ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ හරහාද තොරතුරු ගෙන්වාගෙන ඇති බවයි. මේ සිද්ධිය නිසා තරමක් කලබල වී කෝප වී සිටි එවක ප්‍රවාහන ඇමැතිවරයාද විටින් විට මාධ්‍ය සාකච්ඡා පවත්වන්නට විය. එහිදී අපගේ සමීක්ෂණ ගැන වැරැදි මත පළකරන්නද ඔහු උත්සාහ දරා තිබිණි.
එක් අවස්ථාවක පැවැති මාධ්‍ය සාකච්ඡාවකට මමද එම අමාත්‍යාංශයට ගියෙමි. එහිදී ඇමැතිවරයා සමග වාදයකට පැටලෙන්නටද මට සිදුවිය. එවක එම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්ව සිටි නිමල් සමරතුංග මහතා එය මැදට පැන දිග්ගැසීමට ගිය අවුලේ බේරුම්කාරයා ලෙස ප්‍රතිඋත්තර සැපයූ අන්දම අදටත් මගේ මතකයේ රැඳී ඇත. ඇතැම් අවස්ථාවක ඇමැතිවරයා කීවේ ‘රිවිරැස’ මාධ්‍යවේදීන් අනුරාධපුර ප්‍රදේශයේ බස් නැවතුම්පළවල සිටින සිඟන්නන් පවා නැගිටුවා ඡායාරූප ගෙන බස් මගීන් බවට හුවාදක්වන බවයි. එහෙත් ඇමැතිවරයා එහිදී ඉදිරිපත් කළ කරුණු සාවද්‍ය බවත්, මාධ්‍ය මගින් ඉදිරිපත් කළ කරුණු සත්‍ය බවත් එවක රජය පවා පිළිගෙන තිබිණි. එම ප්‍රශ්නය දිග්ගැසීගෙන යද්දී ජනාධිපති ජේ.ආර්. මේ ගැන සොයා බලන්න යැයි එවක අග්‍රාමාත්‍ය ප්‍රේමදාස මහතාට දන්වා තිබිණි. ප්‍රේමදාස මහතාද මොහොමඩ් ඇමැතිවරයාගෙන් විමසා සිටියේ ‘රිවිරැස’ මාධ්‍යවේදීන් මෙලෙස බස් සටනක යෙදෙන්නේ ඔවුන් තමාගෙන් පුද්ගලික උදව්වක් ඉල්ලා එය ඉටු නොවූ නිසාදැයි කියාය. එහෙත් එවැනි කිසිදු ඉල්ලීමක් කර නොමැති බව ඊට ප්‍රතිචාර දැක්වූ මොහොමඩ් ඇමැතිවරයා පැවැසූ බව එහි සිටි නාගරික මන්ත්‍රීවරයෙක් පසු අවස්ථාවක අප සමග පවසා සිටියේය.
එක් සතියක සඳුදා දිනයක හිටපු අගමැති ප්‍රේමදාස මහතා කොළඹ මරදානේ ටවර්හෝල් අසලින් උදෑසන 7ට පමණ සෙනග පිරි ලංගම බසයක නැගී පිළියන්ද දක්වා ගමන් කළේය. ඒ යන ගමනේදී මගතොට ලංගම බස් නැතිව දුක් විඳින මගීන් ගැනද සොයා බලමින් ගිය බවයි ඔහු සමග ගමන් කළ ආරක්ෂක නිලධාරියකුගෙන් දැනගන්නට ලැබුණේ. ප්‍රේමදාස මහතා සිදුකළ එම රහසිගත සමීක්ෂණය පිළිබඳ එදිනම ජනාධිපති ජේ.ආර්.ටද දැනුම් දී තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ මාසයක් ගතවීමට පෙර විවෘත ආර්ථිකය යටතේ මිල මුදල් ඇති අයට පෞද්ගලික බස් රථ මෙරටට ආනයනය කිරීමට අවසර ලබාදීමයි. පෞද්ගලික බස් රථ සීමා සහිතව සුළු ප්‍රමාණයක් මෙරටට ගෙන්වූ අතර, ලංගම සමග තරග ධාවනයක යෙදුණු අවස්ථාවේ ලංගම වෘත්තීය සමිති ඒ ගැන විරෝධතා හඬක් නැගුවද එය ලත් තැනම ලොප් විය. පසුව පෞද්ගලික බස් රථ පාරට වැටීම වැඩිවිය. අද වන විට ඔබ සහ මම ගමන් ගන්නා පෞද්ගලික බස් රථ පෙරළිය සිදුවූයේ ‘රිවිරැස’ පත්තරයෙන් අප ගෙනගිය පන්නරය නිසා මිස වෘත්තීය සමිති නැගූ හඬක් නිසා නම් නොවන බව එවක සිටි දේශපාලකයන් ප්‍රසිද්ධ වේදිකාවල පවසා තිබිණි.
ප්‍රේමලාල් විජේරත්න










