පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (01) කටයුතු කර තිබේ.Sri Lanka Latest News
වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබූ අතර යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගතවී ඇතත් මාර්ගය මෙතෙක් මහ ජනතාවට විවෘත නොවිණි.
මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර ඉල්ලීම් සිදු කළ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආණ්ඩුකාරවරුන් අතර පසුගිය ඔක්තෝබර් 22වෙනිදා පැවති සාකච්ඡාවේදී උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා ද ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳ ඉල්ලීමක් සිදු කළේය.
ඒ අනුව මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බලා අදාළ කටයුතු සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශවලට දැනුම් දුන් අතර ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් මෙම මාර්ගය විවෘත කිරිමට පියවර ගැනිණි.




ජනාධිපති මාධ්‍ය අංශය
2024-11-01










