2024 ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එම පක්ෂයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා සමග මාධ්‍යවේදී නුවන් හෙට්ටිආරච්චි මහතා සිදුකළ ප්‍රථම මාධ්‍ය සාකච්ඡාව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් මෙලෙස ඉදිරිපත් කරමු. (Sri Lanka Latest News)
අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළාට පස්සේ ඒ දිවුරුම් දීමේ උත්සවයේදී හෝ ඇමැතිවරු පත්කිරීමේ අවස්ථාවේදී හෝ ඔබව දකින්න ලැබුණේ නෑ. ඔබ ඒ අවස්ථාවලට සහභාගි වුණේ නැද්ද?
මම ඒ දිවුරුම් දීමේ උත්සවයට ගියා. මම එතැනින් ටක් ගාලා පැනලා ආවා නුවරට. මොකද අනුර සහෝදරයා ඊට පස්සේ දළදා මාලිගාවට යන්න තිබුණා. ඒ කටයුතු සංවිධාන කරන්න ඕනේ නිසා මම ආවා. ඊට පස්සේ මල්වතු අස්ගිරි නායක හාමුදුරුවරු මුණගැහෙන්න තිබුණා. හින්දු කෝවිලට යන්න තිබුණා. අනිත් තැන්වලටත් යන්න ඕනෙකම තිබුණා, නමුත් වෙලාව මදිවුණා. ඊට පස්සේ අනුරාධපුරේටත් යන්න තිබුණා. ඒ නිසා මම නුවරට ඇවිල්ලා ඒ කටයුතු ටික සංවිධාන කළා.
අපි වැඩ කරගෙන යන ක්‍රම කිහිපයක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ වැඩ කරගෙන යන ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ එන්.පී.පී. එක ගොඩනැගුණාම මාලිමාවේ වැඩ කරන ක්‍රමයක් තියෙනවා. දැන් ආණ්ඩුවක් හදලා තියෙනවා. ඒ ආණ්ඩුව විශේෂ ආණ්ඩුවක්. ඒක විශේෂ වෙන්නේ මේ වෙලාවේ රට පාලනය කරන්නේ මහජන නියෝජිතයෝ තුන්දෙනයි. ලංකාවේ පළමු වතාවට. ලෝකේ කුඩාම කැබිනට්ටුවට අමතරව වෙන කිසිදු මහජන නියෝජිත ආයතනයක් දැන් ලංකාවේ නෑ. ප්‍රාදේශීය සභා නෑ, නගර සභා නෑ, මහනගර සභා නෑ. පළාත් සභාත් නෑ. දැන් පාර්ලිමේන්තුවත් නෑ. මීට කලින් ජනාධිපතිවරණ තියෙනකොට පාර්ලිමේන්තුව තියෙනවා, පළාත් සභා තියෙනවා, පළාත් පාලන ආයතන තියෙනවා. පළාත් සභා තියෙනකොට අනිත් තුනම තියෙනවා. දැන් ඒ මුකුත් නෑ. මහජන නියෝජිතයෝ තුන්දෙනයි ඉන්නේ රටටම. ඒ වගේම රාජ්‍ය සේවයේ වැඩකරන කට්ටිය. ඒ කණ්ඩායම තමයි මේ වෙලාවේ රට කරගෙන යන්නේ. ආණ්ඩුව කරන්නේ ඒ හරහා. ඒ හරහා ආණ්ඩුකරණ ක්‍රියාවලිය ජනාධිපති මූලික කරගෙන යන අතර අපිට තියෙනවා තව වැඩක්. පාර්ලිමේන්තුව විසුරුවලා තියෙන්නේ. අපි ලෑස්ති වෙන්න ඕනේ අපි භාරව ඉන්න දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවීමට අදාළ කටයුතු සිදුකරන්න. ඒක තමයි අපි කරමින් ඉන්නේ. අපිට වෙන පක්ෂවල අයට වගේ අතෙන්නටත් මූණ දාන්න, මෙතනටත් මූණ දාන්න අපිට අවශ්‍යතාවක් නෑ. අපි බෙදාගත්ත වැඩ ප්‍රමාණයක් තමයි කරගෙන යන්නේ. මම නුවර ආවේ මීට අවුරුදු 5කට විතර කලින්. රට පිළිබඳ අපේ සංවිධාන කටයුතු පිළිබඳ කතාබහ කරනකොට නුවර ටිකක් දුර්වලයි කියන සාකච්ඡාවක් ආවා. ඒ වෙලාවේ මම ඉදිරිපත් වුණා මම නුවරට යන්නම් කියලා. මම අමාරු වැඩවලට කැමැතියි. මොකක් හරි අමාරු තැනක් අරගෙන ඒක දියුණු කරලා ගත්තම තමයි අපි දෙයක් කළා කියලා අපිට දැනෙන්නේ. ඒකේ ප්‍රතිඵලය අද ලැබිලා තියෙනවා. අපි මහනුවර දිස්ත්‍රික්කය දිනුවා. මේක එහෙම ලේසියෙන් දිනන්න පුළුවන් දිස්ත්‍රික්කයක් නෙවෙයි. මහනුවර ආසනය දිනුවා. මහනුවර කියන්නේ ලොකු විවිධත්වයක් තියෙන තැනක්. ජනවර්ග පදනම සංකීර්ණයි. මහින්දානන්දගේ බළකොටුව නාවලපිටිය අපි දිනුවා. නාවලපිටියට කාටවත් අත තියන්නවත් බෑ වගේනේ තිබුණේ. වෙන පක්ෂවලින් නෙවෙයි තමන්ගේ පක්ෂෙ අනිත් අයටවත් එන්න දුන්නේ නෑ ඔහු නාවලපිටියට.
මහින්දානන්ද පරාද වෙන්න එක හේතුවක් තමයි රටේ හොරකම වංචා දූෂණවලට තියෙන විරෝධය. ඊළඟ හේතුව තමයි ඔහු තමන්ගේ ඡන්දදායකයෝ අතහැරලා රනිල් එක්ක එකතු වීම. ඒ එක්කම පොහොට්ටුවේ ඡන්දදායකයෝ ඔහු අතරමං කළා. ඒ වගේ සාධක ගොඩක් එකතු වෙලා මේක සිදුවුණේ.
පාතදුම්බර, හේවාහැට සහ ගම්පොළ කියන මැතිවරණ කොට්ඨාස සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කළා. ඇයි ඒ ප්‍රදේශ ජාතික ජන බලවේගයට ජයග්‍රහණය කරන්න බැරිවුණේ?
අපේ සමහර ප්‍රදේශ තිබුණා සංවිධාන ශක්තිය ටිකක් දුර්වල. පිරිස් අපිත් එක්ක එකතු වෙච්ච විදියේ විවිධත්වයක් තිබුණා. මහනුවර නගරය ගත්තොත් හැම කණ්ඩායමක්ම අපි එක්ක එකතු වුණා. කාලයක් එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා එකේ, පොහොට්ටුවේ විවිධ අය අපි එක්ක එකතු වුණා. ඒක තමයි පදනම. සමහර ප්‍රදේශවල අපේ ක්‍රියාකාරීත්වයේ අඩුපාඩු තිබුණා.
ඔබේ දේශපාලන ජීවිතයට කොච්චර කල්ද මේ වෙනකොට?
අවුරුදු 42ක්. හැබැයි 42ම සම්පූර්ණ දේශපාලනයට වෙන් කරලා නෑ. 1981 විතර තමයි දේශපාලනයට එන්නේ.
මෙවර ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔබේ බිරිඳ සහ දුව කොයි තරම් සතුටු වුණාද?
දේශපාලනය කරන්නේ මම. නෝනාවත් දුවවත් නෙවෙයි. අපි පොදුවේ සංස්කෘතියක් විදියට අපේ පවුල්වල වුණත් නෝනා දේශපාලනය ගැන කතාකරන්නේ නෑ. නමුත් මාධ්‍ය අහනකොට අපිට හංගන්න දේකුත් නෑ. අහන හින්දා මෙහෙම කියන්නේ. අපිට කියන්න ඕනේ නෑ මගේ නෝනා මෙහෙමයි, දුව මෙහෙමයි කියලා. රටේ පොදු ජනතාව සතුටු වුණා වගේම ඒගොල්ලොත් සතුටු වුණා. මොකද අපි වැඩකරනකොට ඒගොල්ලොත් කැපකිරීමක් කරනවනේ. ඒ වගේම මගේ නෝනා 88 කාලේ විශ්වවිද්‍යාලයේ හිටියේ. ඒ කාලේ ඉඳලම ඇය මේ දේශපාලනයත් එක්ක හිටියේ. ඉතින් ඒගොල්ලන්ට ගොඩක් සතුටුයි.
අනුර කුමාර දිසානායක සහෝදරයා දැන් රටේ විධායක ජනාධිපති. හැබැයි මේ ජනාධිපති ධුරයේ මීට කලින් වාඩිවෙච්ච හැම කෙනාම පිස්සු කෙළලා තියෙනවා. ඔවුන්ගේ ධනේෂ්වර ක්‍රමය විසින් හදපු මේ සිස්ටම් එක ඇතුළේ යමක් කරන්න අනුරට හැකියාව ලැබෙයිද? නැත්නම් ඒ ක්‍රමය විසින්ම අනුරව යටපත් වෙන තැනකට යන්න සිදුවෙයිද?
උඩ කට්ටිය හිතුව දිනන්නේ නැති වෙයි කියලා. අයි.එම්.එෆ්. එක දාලා යයි කියලා හිතුවා. එහෙම මත කිව්වා. ඒ කියපු ඔක්කොම මේ වෙනකොට අවලංගු වෙලා ඉවරයි. පෙරහැර තියන්න වෙන්නේ නෑ කිව්වා. ජනතාව අපිත් එක්ක ඉන්නවා. වුවමනාව තියෙන ජනතාවක් අපිත් එක්ක ඉන්නවා. අපිට ඡන්දේ දීපු ජනතාව ගත්තොත් ජාතික වුවමනාවක් එක්ක ඡන්දේ දීපු අය. මෙතෙක් වෙන ඕනෙම කණ්ඩායමකට ඡන්දේ දුන්නට වඩා අපිට ඡන්දේ දීපු ජනතාවගේ වෙනසක් තියෙනවා. ඒගොල්ලන්ට ඕනෙකම තියෙනවා හොඳ දෙයක් කරන්න. හොඳ දෙයක් වෙනුවෙන් කැපවෙන්න. එහෙම කැපවෙන කණ්ඩායමක් එක්ක අනුර සහෝදරයා වැඩ කරගෙන යනවා. අපිට දියුණු මානව සම්පත් ඉන්නවා මේ වෙනුවෙන් වැඩ කරන්න. ඒ වැඩකරන ඔක්කොම නොමිලේ වැඩකරන්නේ. ඒ අයට ජීවත් වෙන්න මොනවා හරි වෙන මාර්ග තියෙනවා. අපි අමාත්‍යාංශ ලේකම්වරු 15ක් පත්කළා. ආණ්ඩුකාරවරු පත්කළා. ආයතනවලට සභාපතිවරු පත්කරමින් ඉන්නවා. ඒවා පත්කරන්න ගියාම ප්‍රශ්න තියෙනවා. සමහර අය පත්කළාට පස්සේ ඒ අයට විවේචන එනවා. මේගොල්ලන්ගේ මෙහෙම දේවල් තියෙනවා කියනවා. මම හිතන්නේ නෑ රාජ්‍ය සේවයේ මෙච්චර කල් වැඩකරපු කිසිම කෙනකුට කාටවත් මොනවා හරි කියන්න දෙයක් නැතිව ඇති කියලා. මොනවා හරි තියෙනවා. එක්කෝ එයා නිලධාරිවාදියෙක් කියයි. අපිට සැලකුවේ නෑ කියයි. එහෙම දේවල් තියෙනවා. අපිට ජනතාවට කියන්න තියෙනවා මෙහෙම දෙයක්. අපි පත්කරපු දිනයේ සිට යම් වැරැදි දෙයක් වුණොත් අපිට කියන්න. අපි ඒ අය සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරනවා. අපි පත්කරන්න කලින් ඒගොල්ලන්ගේ මොනවා හරි තිබ්බා නම් ඒවත් අපිට දෙන්න. ඒ සම්බන්ධයෙනුත් ක්‍රියාත්මක වෙන ආයතනවලට අපි භාරදීලා ක්‍රියාත්මක වෙන්න දෙනවා අපි ඇඟිලි ගහන්නේ නැතුව.
අපේ රටේ ව්‍යාපාරිකයන්ට මේ තියෙන ජඩ දේශපාලනයට කප්පම් නොදී වැඩක් කරන්න පුළුවන්කමක් තිබුණේ නෑනේ. ඒක ව්‍යාපාරිකයාගේ වැරැද්දක් නෙවෙයි. ඒ ව්‍යාපාරිකයෝ ඔක්කොටම අපි ආරාධනා කරනවා අපි හරියට වැඩක් කරමු කියලා. මෙතැනින් එහාට එහෙම දේවල් වෙන්නේ නෑ කියලා. නිලධාරීන්ටත් කියන්න තියෙන්නේ ඒකම තමයි. ඕගොල්ලන්ට විවිධ හේතු මත තිබුණු විදියට වැඩ කරන්න සිද්ධ වුණා. දැන් අලුත් විදියට වැඩ කරමු. ඕගොල්ලන්ගේ දක්ෂකම් මේකට දෙන්න. ඔයගොල්ලන්ට අවශ්‍ය වැටුප් ඒ තියෙන විදියට ලැබේවි. එච්චරයි. ජනතාවටත් කියන්න ඕනේ අපි පත්කරලා තියෙන අයගේ වරදක් තියෙනවා නම් අපි ඔවුන්ව ආරක්ෂා කරන්නේ නෑ. අපිට ඒ ගැන දැනුම් දෙන්න. අපි ඒ ගැන ක්‍රියාත්මක වෙන්නම්. මෙයා මගේ එක්කෙනා, මෙයාව ආරක්ෂා කරන්න ඕනේ කියලා කවුරුවත් නෑ අපි පත්කරපු අය අතර.
ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය නොදීපු පිරිස ඉදිරි මහ මැතිවරණයේදී දිනාගැනීම සඳහා මොකක්ද ඔබලා ක්‍රියාත්මක කරලා තියෙන වැඩපිළිවෙළ?
අපි හරියට වැඩකරන එක තමයි පළමු දේ. ජනාධිපතිතුමා හරියට වැඩකරනවා. අපේ ඇමැතිවරු දෙන්නා හරියට වැඩකරනවා. ඒ වැඩකිරීම විසින්ම අමුතුවෙන් යමක් නොකළත් ඒ වැඩ පේනකොට, වැඩ දකිනකොට අපරාදේ අපි මේකට ඡන්දේ දුන්නේ නැත්තේ, නමුත් අපි මේ පාර ඡන්දේ දෙනවා කියලා. අලුතෙන් ලොකු පණිවුඩයක් දෙන්න දෙයක් නෑ. හොඳ විදියට හරි විදියට වැඩ කිරීමෙන්ම ඔය කියන ජනතාව එනවා. වැඩිපුර දඟලන්න වෙන්නේ වැඩ නොකළාම. ඒ නිසා අමුතුවෙන් දෙයක් කරන්න නෑ. විශේෂත්වයක් තියෙන්නේ අනෙක් දේශපාලන පක්ෂ ඔක්කොම බිඳවැටිලා තියෙන්නේ.
අපිත් එක්ක කතාකරන බොහෝ අය කියන දෙයක් තමයි අනුර කුමාර දිසානායකට ලබාදීලා තියෙන ආරක්ෂාව මදියි කියන එක. ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ?
ජනතාවට එකපාරටම පේන්නේ ආරක්ෂාව කිව්වම භටයන් ලොකු ප්‍රමාණයක් එක්ක වාහන ගොඩක්. ඒකම විතරක් නෙවෙයි තියෙන ආකෘතිය. වෙනත් ආකෘතියක් තියෙනවා. ඒක කිව්වොත් තමයි ආරක්ෂාව නැතිවෙන්නේ. ඒ නිසා ආරක්ෂාවට අදාළ පුළුල් වැඩපිළිවෙළක් සහිතව තමයි අනුර සහෝදරයා කටයුතු කරන්නේ.
මහමැතිවරණයෙන් පස්සේ ඇමැතිවරු සහ නියෝජ්‍ය අමැතිවරු පත්කරන්නේ මොන පදනමක් යටතේද? අගමැති වෙන්නේ හරිනිමද? නැත්නම් වෙනත් කෙනකුට අගමැතිකම දෙනවද?
අපි මේ වෙලාවේ කල්පනා කරන්නේ මහ මැතිවරණය තුළින් ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනගන්න. ඒක ගොඩනගන්න පුළුවන්. අපි මේ වෙලාවේ බිම් මට්ටමෙන් ලොකු දේවල් නොකළත් මේ වෙනදේවල් තුළින්ම ඒ තත්ත්වය දැනටමත් ගොඩනැගිලා තියෙන්නේ. ජාතික ජන බලවේගයට ජාතික විධායක සභාවක් තියෙනවා. ඒ ජාතික විධායක සභාවෙන් තමයි ඔය කියන ඔක්කොම තීරණය කරන්නේ. ඊළඟ අගමැති කවුද, ඊළඟට අමාත්‍යාංශවල වගකීම දරන්නේ කවුද කියන දේවල්. අමාත්‍යාංශ දැනටමත් 25ක් වෙන්කරලා තියෙන්නේ. ඇමැතිවරු 15ක් ඕනේ නියෝජ්‍ය ඇමැතිවරු 15ක් ඕනේ. අපි ඒ පියවර තිබ්බට පස්සේ තමයි ඊළඟ කාරණය දිහා අපි බලන්නේ.
අමාත්‍යාංශ 25ට මෙන්න මේ නම් ටික කියලා යෝජනා කරලා නැද්ද?
යම් යම් දේවල් ගැන අදහසක් තියෙනවා. නමුත් ඕනේ වෙලාවට කලින් කියන්න ඕනේ නෑනේ. මාධ්‍ය සමාජය හරි ආසයි කලින් දැනගෙන නිවුස් එක්ක ගහන්න. නමුත් ඒක අපේ ක්‍රමය නෙවෙයි. ඇමැතිවරු වෙන්කරන්න කලින් ඒ ඇමැතිවරු පාර්ලිමේන්තු එන්න ඕනනේ.
ජනාධිපති පත්වෙලා පැය 24ක් යන්න කලින් දූෂිතයන් අත්අඩංගුවට ගන්නවා, ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කරනවා කියලා ඔබේ පක්ෂයේ ප්‍රධානීන් කිව්වා කියලා සමාජ මාධ්‍යවල හරියට පෝස්ටු පළවෙනවා. ඇත්තටම එහෙම දෙයක් වෙනවද?
දැන් මේ තියෙන්නේ තාවකාලික ආණ්ඩුවක්. මේක තියෙන්නේ ඊළඟ මැතිවරණයෙන් හරිහමන් ආණ්ඩුවක් හදනකල් මේක නඩත්තු කරගෙන අල්ලගෙන පවත්වාගෙන යන්න. ඒ අතරත් පුළුවන් දේවල් ටිකක් කරන්න. ඕක තමයි ඇත්ත. එතකොට ඊළඟ මැතිවරණයෙන් අපට ශක්තිමත් ආණ්ඩුවක් ඕනේ. ඇමැතිවරු 25ක් සහ නියෝජ්‍ය ඇමැතිවරු 25ක් පත්කරන්න ඕනේ. සභාපතිලා ආයෙත් අලුතෙන් පත්වෙනවා අලුත් ඇමැතිවරුන්ට. අධ්‍යක්ෂ මණ්ඩල. ඒ යාන්ත්‍රණය ඉක්මනින් ක්‍රියාත්මක කරගෙන තමයි ඔය කියපු බොහෝ දේවල් කරන්න වෙන්නේ. අපි ඒ හින්දයි ජනතාවට කිව්වේ අපි දිනපු ගමන් පාර්ලිමේන්තුව විසුරුවනවා, විසුරුවපු ගමන් මෙහෙම දෙයක් කරන්න වෙනවා, ඊට පස්සේ තමයි මේක හරියන්නේ කියලා. ඒක නොතේරෙන අය වෙන්න ඕනේ මෙහෙම කිව්වා කියලා කියන්නේ. මම දැක්කා චම්පික රණවකගේ ප්‍රවෘත්තියක් තියෙනවා දැන් අපිට තේරිලාලු කියපු දේවල් කරන්න බෑ කියලා. එයා හිතන එක ඒ එයා කියන්නේ. නමුත් අපිට හොඳටම තේරිලා තියෙනවා මේ ටිකට, ඊටත් වඩා දෙයක් කරන්න පුළුවන් කියලා.
එස්.බී. දිසානායක පහුගිය කාලේ කිව්වා ජාතික ජන බලවේගය ලොකු ගානකින් දිනනවා, ඒගොල්ලොත් එක්ක අපිට හැප්පෙන්න බෑ කියලා. ඒ වගේ හොඳ කියන්න පටන් අරගෙන තිබුණා නේද?
හොඳ නෙවෙයි ඒ කියන්නේ. ඒගොල්ලෝ අපිට හොඳ කියන කට්ටිය නෙවෙයි. ජනතාව යන පැත්ත බලලා, ඒ දිශාවට හරියන්නත් මොනවා හරි ටිකක් කියනවා. එතකොටනේ මහපොළොවේ ඒගොල්ලන්ටත් පැවැත්මක් තියෙන්නේ.
මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය දෙන්න හිතාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. තවමත් තීරණයක් ගත්තේ නැති පිරිසකුත් ඉන්නවා. ඒ අයට කියන්න තියෙන්නේ මොකක්ද?
ඡන්දය බලාගෙන නැතුව මම දෙයක් කියන්නම්. ඡන්දේ වෙනුවෙන් කියන්න ඕනේ නෑ. ඒක බොරුවක්. කපටිකමක්. කාටවත් අපි අසාධාරණයක් වෙන්න තියන්නේ නෑ ඒ ඒ සමාජ ස්ථරවල. වලව් සමාජයක් ඉන්නවා. ඒගොල්ලන්ටත් සාධාරණයක් වෙන්න ඕනේ. ඒගොල්ලෝ ටිකක් කඩාවැටෙන්න හේතු වුණේ නරක දේශපාලනය. සමහර අය හොඳට ඒවා පවත්වාගෙන යනවා. කාටවත් මුක්කු ගහලා නෑ. ගෞරවය තියෙන අය ඉන්නවා. ඒගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වෙලත් ඉන්නවා. එක එක සමාජ ස්ථර තියෙනවා. ඒ ස්ථරවල වටිනාකමකුත් තියෙනවා ඒ අයට. ඒ වටිනාකම් ආරක්ෂා වෙන විදියට, වටිනාකම් මුකුත්ම නැතුව දරිද්‍රතාවයේ පතුලේ ඉන්න ජනතාව ඔක්කොම කළමනාකරණය කරමින් රට යුක්තිසහගත සාධාරණ මට්ටමකට ගේන එකයි අපේ වැඩේ. හැමෝටම කියන්න තියෙන්නේ ඒකට සම්බන්ධ වෙන්න කියලා. අපෙන් කාටවත් අසාධාරණයක් වෙන්නේ නෑ. ඒක තමයි පළමු දේ. අපි එන්නේ රට හොඳට හදාගන්න. නමුත් අපි ගැන බයකිරීම් ගොඩක් කළා ඇතැම් අය. ඒවා බහුතරයක් ජනතාව භාරගත්තේ නෑ. වැඩි ප්‍රමාණයක් අපිට දුන්නේ ඒ මතය ප්‍රතික්ෂේප කරලා. භාවිතාවෙන්නේ ඇත්ත තේරුම් ගන්න වෙන්නේ.
ගෝඨාභය බලයට එන වෙලාවෙත් මහනුවර ආසනය ගෝඨාභය පරාදයි. නමුත් අපි ඡන්ද ලක්ෂ 56ක් ගන්නකොට මහනුවර ආසනය දිනුම්. ඇයි ඒ? මහනුවර ආසනය කියන එක තුළ සෑම සමාජ ස්ථරයකම අය ඉන්නවා. ඒගොල්ලෝ අපිව විශ්වාස කරලා තියෙනවා. අපි ඒ විශ්වාසය ආරක්ෂා කරලා ඉදිරියට ගෙනියනවා.
ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය ජයග්‍රහණය කරපු වෙලාවේ ඒ සතුට සමරන්න ඉඩ දුන්නේ නෑ කියලා බොහෝ අය චෝදනා කළා. ඒ අයට මොකක්ද කියන්න තියෙන්නේ?
අපේ රටේ දේශපාලන කණ්ඩායමක් දිනුවට පස්සේ මෙතෙක් කරපු සැමරීම්වලින් අනෙක් අය අපහසුතාවට පත්වුණා. කිරිබත් කනකොටත් ඒක වෙලා තියෙනවා. කිරිබත් කන සංස්කෘතිය දේශපාලනයේදී කිරිබතුත් සවුත්තු කරලා තියෙන්නේ. අපි අවුරුද්දට කිරිබත් හදලා කනකොට ඒකට වටිනාකමක් තියෙනවා. මේ පාර ඒවා වුණේ නෑ. පරාජිතයා රිදවන කිසිවක් කරන්න හොඳ නෑ. ඒ නිසා අපි ඡන්දෙට කලින්ම කිව්වා ඕගොල්ලන්ගේ ගම් ඕගොල්ලෝ බලාගන්න ඕනේ, ආරක්ෂා කරගන්න ඕනේ, කිසිම කෙනෙකුට කරදරයක් වෙන්න දෙන්න එපා කියලා. ඒක ජනතාව අකුරටම භාරගත්තා. ඒක ලොකු සේවයක් වුණා මුළු ලෝකෙටම.
අපේ ඡන්දේ වෙනුවෙන් වැඩ කරපු යාළු මිත්‍රයෝ යාළුවෝ එකතු වෙලා ඒ ජයග්‍රහණයේ සතුට සමරන්න ඇති. විනෝදාශ්වාදය කියන්නේ මනුෂ්‍ය වර්ගයාට අවශ්‍ය දෙයක්. අපි විනෝදාශ්වාදයට ඉඩ දෙන්න ඕනේ. හැබැයි කිසිම කෙනෙකුට කරදරයක් වෙන්න බෑ වචනයකින්වත්.
මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවද්දී යම් යම් අවස්ථාවලදී හිත් රිදීම් වගේ දේවල් සිදුවෙනවා. ඒ වගේ අවස්ථාවලදී පහළ දේශපාලන අධිකාරියට පක්ෂයේ ඉහළ විධායක සභාව විසින් මොනවා හරි උපදෙස් දීලා තියෙනවද ඒ වගේ හිත් රිදීම් සමනය කරගැනීමට?
ඉහළම මට්ටමේ ව්‍යාපාරිකයෝ විවිධ දේශපාලනඥයෝ එක්ක මම ගනුදෙනු කරනවා කියලා හැමෝම දන්නවා. අපේ පක්ෂය අතුළේ සමහරු ඉන්නවා ඒ ගනුදෙනුවලට බයයි. මම පොදුවේ රටටත් කියලා තියෙනවා තමන්ගේ දේශපාලන කොන්ද ශක්තිමත් නම් ඕනෙ කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න බය වෙන්න ඕනේ නෑ. ඒගොල්ලෝ මට කියලා තියෙනවා ‘ලාල් ඔයාලා ගැන අපි දන්නවා, අනිත් නායකයෝ ගැනත් අපි දන්නවා. නමුත් ගම්වල අය විවිධ දේවල් කරන්න පුළුවන් නේද? විවිධ පලිගැනීම් කරන්න පුළුවන් නේද?’ කියලා. මේ ඡන්දෙට ආසන්න කාලේ කියපුවා. මම කිව්වා එහෙම වෙන්නේ නෑ කියලා. එහෙම දෙයක් වුණාද? වුණේ නෑ. අපේ පක්ෂයේ සාමාජිකයෙක් අපේ පක්ෂය කියන දේට පිටින් කිසිම දෙයක් කරන්නේ නෑ. ඒක ස්ථිරයි.
අපි පොලිසියට කියන්නේ නීතියේ ආධිපත්‍යය හරියට ක්‍රියාත්මක කරන්න. නීතියට පිටින් කවුරු හරි වැඩකරලා තිබුණොත් අපේ මිනිහෙක් කියලා අපි හැරිලාවත් බලන්නේ නෑ. අපේද, මගේද ප්‍රශ්නයක් නෑ. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක නිත්‍යානුකූලව විසඳගම්මු. ප්‍රශ්නයට මුහුණ දීපු කෙනාගේ පැත්තේ තමයි අපිත් ඉන්නේ හැම තිස්සෙම. පීඩාවට පත්වෙන මිනිහගේ පැත්තේ තමයි අපි ඉන්නේ.
මහ මැතිවරණයේදී මන්ත්‍රී ආසන කීයක් විතර ජයග්‍රහණය කරන්නද බලාපොරොත්තුව?
මම නම් කවදාකවත් ඡන්ද ඉලක්කම් ප්‍රතිශත කියන්නේ නෑ. වැඩ කරන එකයි කරන්නේ. ගිය ඡන්දේ වෙලාවේ එක එක අය කිව්වා මේ මේ අය මේ මේ ප්‍රතිශත ගන්නවා කියලා. නමුත් මම නම් ඒවා බැලුවෙවත් නෑ. අපේ අයටත් මම කියන්නේ ඕවා ගැන හිතන්න එපා වැඩ කරන්න කියලා. වැඩ කරලා ඉවර වෙලා එන ප්‍රතිඵලය භාරගනිමු කියලා.
මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලනය කරපු අනෙකුත් දේශපාලන කණ්ඩායම්වල එක්කෙනෙක් හරි ඉන්නවද ඔබට හොඳයි කියලා හිතෙන?
පුද්ගලයෝ විදියට සමහර අයත් එක්ක මම කතාකරනවා. ඇත්තම කියන්නම්කෝ. අපේ අය පිළිගන්න එකකුත් නෑ සමහර වෙලාවට. මේ ඡන්දෙන් පස්සේ මම මහින්දානන්දට කතා කරලා ඇහුවා ‘මොකද වුණේ?’ කියලා. ‘බලන්නකො ලාල් අයියේ කෙළවෙලාම ගියානේ. හිතුවෙත් නෑනේ’ කියලා එයා කිව්වා. මම කිව්වා ‘ඉතුරු ටිකත් කෙළවෙයි. ඒ නිසා පාඩුවේ ඉන්න. වෙන මොනවා හරි කරගෙන’ කියලා. ඉතුරු ටික කියන්නේ ඊළඟ පාර්ලිමේන්තු ඡන්දේ. සමහර අය එක්ක මම කතාකරනවා. ඒගොල්ලෝ කියන්නේ මොනවද කියලා අහන්න. අපිට පුද්ගල වෛරයක් නෑ කාත් එක්කවත්. එහෙම දෙයක් ඇත්තෙම නෑ. කතා කළොත් කතා කරනවා. රටේ පැවැතුණු නීතියට අනුව ඒගොල්ලන් වැරැදි කරලා තියෙනවා නම් දඬුවම් ලැබෙනවා. එච්චරයි. ඒ ආයතන ක්‍රියාත්මක කරවනවා හරි. ගිහිල්ලා කාගෙවත් බෙල්ලෙන් අල්ලගෙන එන්න අපිට බලයක් දෙන්නේ නෑනේ කවුරුවත්. එහෙම අයිතියකුත් නෑනේ. කාටවත් අත තියන්නවත්, බණින්නවත් අපිට අයිතියක් නෑ. ඒ සඳහා ආයතන තියෙනවා. ඒ ආයතන අක්‍රීය වෙලා තිබුණා. අපි ඒ ආයතන සක්‍රීය කරගෙන යනවා. ජනතාවට පැමිණිලි කරන්න පුළුවන්. නිලධාරිවාදයට බයට දේශපාලන බයට වැරැදි දැක දැක සද්ද නැතුව හිටියා තමන්ට කරදරයක් වෙයි කියලා. දැන් කිසි ප්‍රශ්නයක් නෑ. නිදහසේ ආයතනික ක්‍රම පාවිච්චි කරමින් වැඩ කරන්න පුළුවන්.
Nuwan Hettiarachchi යූටියුබ් නාලිකාවෙනි










